• Home »
  • Sinhala »
  • අන්තවාදයෙන් වනසන අක්‌කර සිය ගණනක බොදු උරුමය…

අන්තවාදයෙන් වනසන අක්‌කර සිය ගණනක බොදු උරුමය…

image-01
මහා ගල් පර්වතය ගිනිගෙනය. වියරු වැටුණු හිරුගේ ආකරුණික රැස්‌ දහරා අවට දවාලන්නේය. ගිනියම් සුළං රැලි ගත විනිවිද ඇටමිදුළු ද රත් කරමින් හමා යන්නේය. පර්වතය බෑවුමේ වීර ගසක්‌ යට ගල් පඩියක්‌ මත හිඳගෙන මම මෑත බලා සිටියෙමි.

දෑස්‌ මානයට ඉහළින් ගල්තලාව මත කටු කොහොළින් වැසී ගිය ගොඩැල්ලක්‌ ඇස ගැටිණි. ඉහළට එසවුණු ගල් කණු කිහිපයක්‌ සහ මුදුනේ සිට කඳු පහළට වැටුණු ගල් පඩි පෙළක්‌ හොඳින් දර්ශනය විය. අව් කූටයේ ගිනි ගත් මහා පර්වතය මැදින් මම ගොඩැල්ල පිහිටි ඉහළ බිම් තැන්නට ගියෙමි. ගඩොලු ශේෂ හා කැඩුණු පස්‌ කන්දක ස්‌වරූපයක්‌ ගත් එය විශාල ස්‌තූපයක ගරා වැටුණු කොටස්‌ බව හඳුනාගැනීමට අසීරු නොවිණි. නිධන් හොරු විසින් ස්‌තූපය මැද වළක්‌ හාරා දාගැබ සම්පූර්ණයෙන් විනාශ කර ඇති අයුරු දකින විට හදවත පත්තු විය. මහා සෑයට මඳක්‌ පහළින් අලුතින් ඉදිකරන ලද, එහෙත් දැන් ගරා වැටී ගිය ගොඩනැඟිල්ලක ගැලවී ගිය බිත්ති අතරින් සෑයේ ගඩොල් දකින විට සිත් පත්ලෙන් තියුණු අඳෝනාවක්‌ මතු විය. සිත දවන වේදනාව යටපත් කරගෙන ගොඩනැඟිල්ල දෙසට යන විට බදාම ඇනූ මල් ආසනය දකින විට සිත වැළපිණි. කූරගල, මුහුදු මහා විහාරය, දෙවනගල බොදු බිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු වී ඇති සැටි චිත්‍රපටයක්‌ සේ මනසේ ඇඳෙන්නට විය. මේ ඊට දෙවැනි කොට සැලකිය යුතු ආක්‍රමණයක්‌ නොවේ. මේ ඓතිහාසික පුදබිම නැගෙනහිර පළාතේ පිහිටි විශාලතම බෞද්ධ සිද්ධස්‌ථානයකි. ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පන්කුලම් රක්‍ෂිතය මැද සෙම්බුමලේ කන්ද මත පිහිටි ඉපැරැණි බෞද්ධ කේන්ද්‍රස්‌ථානයකි.
image-02
උස්‌ බිමක, ගල් කන්දක්‌ මත පිහිටි සෙම්බුමලේ පුදබිම වටා ඈතින්, ඈතට ඓතිහාසික වන සෙනසුන් කිහිපයකි. ඒ සියලු සෙනසුන් මේ පුදබිමට හොඳින් දර්ශනය වේ. එනම් සෙම්බුමලේ සෑයට නැගෙනහිර දෙසින් බඹරගල වන සෙනසුන, උතුරු දෙසින් දෙඹරගල වන සෙනසුන, බටහිර දිසාවෙන් වසන්වැව චෛත්‍යය, ඊසාන දිසාවෙන් තිරියාය සහ රංගිරි උල්පත නමැති ඓතිහාසික බොදු බිම් මේ පුදබිම වටා ඇති සිද්ධස්‌ථානවලින් කිහිපයකි. එමෙන්ම නැගෙනහිර දෙසින් මහ මුහුද සහ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගය හොඳින් දර්ශනය වේ. හිරු කිරණ දෙපලු කරගෙන ඈත සොබාසිරි විඳිමින්, බොදු බිම් සිසාරා දිව ගිය මගේ දෙනෙත් නැවත සෙම්බුමලේ පුරාවිද්‍යා බිම් කඩ මත නතර විණි.

කඳු මුදුනේ තැනිතලා බිම අක්‌කර දෙසීයකට වැඩිය. ඒ භූමිය සම්පූර්ණයෙන්ම ඓතිහාසික ආරාම ශේෂවලින් පිරී ගොස්‌ය. බිම් තැන්න මැද පිහිටි සෑයට පහළින් විශාල මළුවක ශේෂ දැකිය හැකිය. ස්‌තූපය පිහිටි මළුවට පිවිසීමේ දොරටුව වැටී ඇත්තේ බටහිර දෙසින් බව පිහිටි ගල මත නෙළන ලඳ පියගැටපෙළින් පැහැදිළිය. දාගැබට නැගෙනහිර දෙසින් සුන්බුන් සහිත තැනක හුණුගලින් නෙළන ලද හිටි පිළිමයක්‌ වේ. එහෙත් පිළිමයේ ශීර්ෂය විනාශ කර දමා ඇත. එක්‌ අතක්‌ නැත. සිවුරේ රැළි මනා ලෙස සටහන් වී ඇති අයුරු හොඳින් දර්ශනය වේ. දාගැබට අඩි පනහක්‌ පමණ දුරින් විශාල ගොඩනැඟිල්ලක කොටස්‌ ශේෂව තිබිණි. ඒ අසල දිය පිරුණු පොකුණු දෙකක්‌ දිස්‌ විය. ඊට අමතරව මහා පෑවිල්ලකට හෝ දිය නොසිඳෙන තවත් පැන් පොකුණු තුනක්‌ මේ බොදු බිම පුරා පිහිටා තිබෙන අයුරු පෙනේ. ස්‌තූපයට ඊසාන දිගින් තවත් ගොඩනැඟිල්ලක ශේෂ වූ පාදම කොටස්‌, ගල් කණු දක්‌නට ලැබේ. ඊට මඳ දුරකින් තවත් විශාල ගොඩනැඟිල්ලක ශේෂ ඉතිරි වී ඇති අයුරු පෙනේ. එය තුළ උස්‌ වූ ගල් කණු නවයකි. දාගැබට නැගෙනහිරින් මඳ දුරකින් හුණු ගලින් නෙළන ලද පාද ලාංඡන ශිලා ඵලකයකි. ස්‌තූපයේ නැගෙනහිර දෙසට තවත් ගොඩනැඟිලි කිහිපයක පාදම් කොටස්‌ මතු වී පෙනේ. කැඩී බිඳී ගිය ගඩොල් සෑම තැනම විසිරී තිබෙන අයුරු පෙනේ. ගල් කණු හා පියගැටපෙළවලට අයත් කළුගල් කැබලි තැන, තැන පෙරළී තිබේ. කැටයම් සහිත ආසන ගල් පුවරු දෙකක්‌, කළු ගලෙන් නෙළන ලද සිරිපතුලක්‌ ද මේ පුරාවස්‌තු අතර දකින්නට ලැබිණි. තවත් කියවා නැති සෙල් ලිපි දෙකක්‌ එම බොදු බිමේදී පැහැදිලිව පෙනිණි. එමෙන්ම දාගැබට බටහිර බෑවුමෙන් ගල් පඩි බැස පහළට ගිය විට තවත් විශාල ගල්තලාවකි. ඒ ගල් තලාව කෙළවරක අතීතයේ ගලින් නෙළන ලද නිර්මාණයන් කළ ගල් වැඩ පළක්‌ දකින්නට ලැබේ. එය අති දුර්ලභ දැකුමකි. බාගෙට නෙළන ලද ගල් කණු, සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන ලද ගල් කණු, තවත් ගල් නිර්මාණ බොහෝමයක්‌ දකින්නට ලැබිණි. කළු ගල්, සිදුරු කර ඇති අයුරු, ගල් පළු වෙන් කර ඇති අයුරු හරි අපූරුවට ප්‍රදර්ශනය විය. අපගේ හෙළ කලාකරුවන්ගේ විස්‌කම් ප්‍රදර්ශනය කරන එම අතීත ගල් වැඩපළ ලෝක ජනයාගේ ප්‍රදර්ශනයට බඳුන් කළ යුතු ස්‌ථානයක්‌ බව අපගේ හැඟීමය. එමෙන්ම සෙම්බුමලේ බොදු බිම නැගෙනහිර පළාතේ විශාල බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යා භූමියක් බව ද හොඳින් පැහැදිළි වේ.
image-03
එල්ලාවල මේධානන්ද හිමියන් විසින් උතුර, නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කරමින් පුරාවස්‌තු පරීක්‍ෂණය කර සම්පාදනය කරන ලද ‘නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය’ යන ග්‍රන්ථයේ සෙම්බුමලේ පුරාවිද්‍යා භූමිය ගැන දීර්ඝ සටහනක්‌ තබා ඇත. එම ග්‍රන්ථයේ සඳහන් වන පරිදි “සෙම්බුමලේ තුළ පිහිටා ඇති නෂ්ටාවශේෂ ගැන සලකා බලන විට රා.ව. පූර්ව යුගයේ ආරම්භව රා.වර්ෂ දසවන ශතකය පමණ දක්‌වා සංවර්ධනය වුණු සමුද්‍ර විහාර සංකීර්ණයක්‌ මෙහි පැවති බව තීරණය කිරීමට පුළුවන. පියගැට පෙළවල ප්‍රමාණය හා ස්‌ථානයේ පූජනීය ගොඩනැඟිලි ප්‍රමාණ අනුව බොහෝ සැදැහැවතුන් පැමිණි තැනක්‌ ලෙස පැවති බවද පෙනේ. මෙවන් තත්ත්වයක්‌ එදා පැවතිය ද අද එසේ නොවේ. බුදුරදුන් ජීවමාන යුගයේ සිටම මෙහි පැවති සිංහල බෞද්ධ අයිතිය ආගන්තුක අසිංහලයන් විසින් පැහැරගෙන ඇත…” ඒ පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් විසින් රචිත ‘නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය’ යන ග්‍රන්ථයෙන් උපුටා ගැනීමකි. එමෙන්ම එම පුරාවිද්‍යා භූමියේ පිහිටි පිළිම වහන්සේ කන්දෙන් පහළට පෙරළා ගස්‌ දෙබලක හිරවී තිබී ඉන් පසුව එතැනින් ද ඇදගෙන ගොස්‌ විනාශ කර ඇති බව පුවත්පත්වල පළවී තිබුණු බවද එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ග්‍රන්ථයේ සඳහන්ය. එම පුරාවිද්‍යා භූමියේ දේවාලයක්‌ ගොඩනඟා ඇති බවද එම ග්‍රන්ථයේ සඳහන් කර ඇත. එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ග්‍රන්ථයෙන් හිස මෑත් කළ මම සෙම්බුමලේ බොදු බිම පහළ කුටි සෙනසුනේ වැඩ සිටින, මේ මොහොතේ අප අසල වැඩ සිටි කැප්පෙටියාවේ අරණවිහාරී ස්‌වාමීන් වහන්සේ දෙසට හැරුණෙමි.

“මම මේ ප්‍රදේශයට වැඩම කළේ 2015 මැයි මාසේ දවසක. කුච්චවේලි පිච්ච මල් විහාරයේ තමයි වැඩ සිටියේ. එතකොට ඒ විහාරයේ විහාරාධිපතිව වැඩ සිටියේ අමරපුර සිරි සද්ධම්මවංශික මහා නිකායේ මහානායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි නාහිමි. උන්වහන්සේ මේ ප්‍රදේශයට වැඩම කරලා තිබුණේ 1978 අවුරුද්දේ. පසුව උන්වහන්සේ මහා කැලෑවෙන් වැසී ගිය උතුරු, නැගෙනහිර බෞද්ධ සිද්ධස්‌ථාන රාශියක්‌ සොයාගෙන නැවත ප්‍රතිසංස්‌කරණය කිරීමට මූලිකත්වය ගෙන තිබෙනවා. මේ සෙම්බුමලේ පුදබිම සොයාගෙන ෙච්තියගිරි පුරාණ රජමහා විහාරය, කිණිහිරියා කන්ද යන නමින් ලියාපදිංචි කර තිබුණෙත් උන්වහන්සේ. පසුකාලීනව ෙච්තියගිරි පුරාණ රජමහා විහාර නාමය සෙම්බිමලේ යනුවෙන් වෙනස්‌ කරලා තියෙනවා. වර්තමානයේ සෙම්බිමලේ ‘සෙම්බුමලේ’ ලෙස හඳුන්වනවා…” අරණවිහාරී ස්‌වාමීන් වහන්සේ වීර ගස්‌ සෙවණ යට හිඳගෙන සෙම්බුමලේ පුදබිමේ වර්තමානයේ සිට අතීතයට අප රැගෙන ගියහ.

“පිච්චමල් විහාරයේ වැඩ සිටින අතරේ දවසක්‌ මම ආවාස ගේ අස්‌පස්‌ කරනකොට පරණ පෙට්‌ටගමක තිබිලා වටිනා ලියකියවිලි තොගයක්‌ හමු වුණා. ඒ ලියකියවිලි අතර මේ සෙම්බුමලේ බොදු බිම ගැන සඳහන් ලිපි කිහිපයක්‌ම තිබුණා. ඒ ලිපිවල සඳහන් විදිහට යුද්ධයට පෙර 1979 ඉඳලා 84 අවුරුද්ද විතර වෙනකම් මේ සෙම්බුමලේ බොදු බිම දැවැන්ත පුරාවිද්‍යා වැඩ බිමක්‌ විදිහට තිබිලා තියෙනවා. පුරාවිද්‍යා සේවකයෝ දහයක්‌, පහළොවක්‌ වැඩ කරලා තියෙනවා. ඒ කාලේ කැණීම් කරලා සොයාගත්ත නටබුqන් තමයි අදටත් දකින්න ලැබෙන්නේ…” මේ අසිරිමත් පුදබිමේ ආරක්‍ෂාව සඳහා 2016 වර්ෂයේ සිට කැප්පෙටියාවේ අරණවිහාරී ස්‌වාමීන් වහන්සේ සෙම්බුමලේ පුදබිමට පහළ කුටි සෙනසුනේ වැඩ සිටිති. උන්වහන්සේට දානය පිළිගන්වමින් සියලු ඇප උපස්‌ථාන කරනු ලබන්නේ කුටි සෙනසුනට මඳ දුරකින් පිහිටි හමුදා මුරපොළේ රණවිරුවන්ය.

“මේ රණවිරුවන්ට පින් සිද්ධ වෙන්න දැන් මේ බොදු බිමට හොඳ ආරක්‍ෂාවක්‌ තියෙනවා. ඒත් සෑම මාස පෝය දවසකටම දෙමළ මිනිස්‌සු කණ්‌ඩායම් පිටින් ඇවිත් සෑය අසල හදාගෙන තියෙන දේවාලය කියන තැන පුද පූජා පවත්වලා යනවා. ඒ දේවාලය කොයි කාලේ කොහොම ඉදිකළාද කියලා කියන්න මම දන්නේ නෑ. ඒත් මේ දේවාලය කියන ගොඩනැඟිල්ල පූජා භූමි ආක්‍රමණයක්‌ බව පැහැදිලිව කියන්න පුළුවන්. දේවාලයේ බිත්ති බැඳලා තියෙන්නේ චෛත්‍යයේ ගඩොල්වලින්. බදාම අනන්න අරගෙන තියෙන්නේ මල් ආසනයක්‌. පුද පූජා පවත්වන්න කිරිබත් හදන්න ලිප් පත්තු කරන්නේ පෞරාණික ගඩොල් තියලා. මේ මෑතක දවසක දාගැබ ආසන්නයේ තිබුණු ශ්‍රී පතුල් ගලක්‌ දේවාලය ඇතුළට අරගෙන ගිහින් ඒ මත කාන්තා රූපයක්‌ අඹලා. ශ්‍රී පතුල නොපෙනන විදිහට සම්පූර්ණයෙන්ම බදාම ගාල වහලා. ඒ සිද්ධිය ගැන පුරාවිද්‍යා නිලධාරීන්ට දැනුම් දුන්නම ඒ අය කියනවා අපිට එන්න විදිහක්‌ නෑ කියලා. ඊට පස්‌සේ මම පොලිසියේ පැමිණිල්ලක්‌ දැම්මා. කුච්චවේලි පොලිසියේ ඕඅයිසී මහත්තයා දේවාලයේ භාරකාර මණ්‌ඩලය ගෙනත් සිද්ධිය පැහැදිලි කළාට පස්‌සේ ඔවුන් වරද පිළිගෙන ශ්‍රී පතුල් ගල තිබුණු තැනට ගෙනත් තිබ්බා. දෙමළ ජනතාව බහුතරය වෙසෙන මේ ප්‍රදේශවල ඔවුන්ගේ ආගමික වතාවත් සඳහා කෝවිලක්‌ ඉදිකරගැනීම ගැටලුවක්‌ නෙමෙයි. සෙම්බුමලේ බෞද්ධ පුරාවිද්‍යා භූමිය පහළ බිමක කෝවිලක්‌ ඉදිකරගැනීමත් ගැටලුවක්‌ නෙමෙයි. සමහර බෞද්ධ සිද්ධස්‌ථාන තුළ ආගමික සහජීවනයෙන් දේවාල පවත්වාගෙන යනවා. ඒත් උතුර, නැගෙනහිර බොදු බිම් තුළ පුරාවස්‌තු අමුද්‍රව්‍ය කරගෙන කෝවිල්, දේවාල, පල්ලි ඉදිකරන්නේ පූජා භූමි කොල්ලකන්න. ලෝකයාට බොරු ඉතිහාසයක්‌ මවා පාන්න. මේ ආක්‍රමණයන් සිදු කරන්නේ අන්තවාදී සංවිධාන. සාමාන්‍ය දෙමළ ජනතාවට පූජා භූමි කොල්ලකෑමේ අවශ්‍යතාවක්‌ නෑ. ඒ මිනිස්‌සු සුහදව සිංහල මිනිස්‌සු සමඟ එකට ජීවත් වෙනවා…” කැප්පෙටියාවේ අරණවිහාරී ස්‌වාමීන් වහන්සේගේ දෙනෙත් මහා සෑය දෙසට යොමු වූහ. අතීතයේ මහරහතුන් වැඩසිටි සෙම්බුමලේ පුදබිමේ මැවෙන ආශ්චර්යයේ තතු උන්වහන්සේ අපට පැහැදිලි කළහ. එහෙත් ඒ සියලු තතු මේ සටහනේ පෙළගැස්‌වීමට අසීරු බව අපි මතක්‌ කර සිටිමු.
image-04

කුච්චවේලි හන්දියෙන් හැරී තිරියාය මාර්ගයේ සුළු දුරක් පැමිණ කුච්චවේලි පොලිසිය ඉදිරිපිටින් වැටුණු කල්ලම්පත්තු මාර්ගයේ මීටර් සියයක්‌ පමණ දුර ගෙවා වමට හැරී කැඩී බිඳී අබලන් වූ පාර දිගේ තවත් සුළු දුරක්‌ ගොස්‌ දකුණු දෙසට කිලෝමීටර් හතක්‌ පමණ ගිය විට මහ කැලයෙන් වැසී ගිය සෙම්බුමලේ කඳු මුදුනේ පිහිටි මේ පුද බිම ආසන්නයේ දෙමළ ජනාවාස තිබුණු බවට කිසිදු සලකුණක්‌ නැත. බැලූ, බැලූ පසින් වන සතුන් ලගින මහා ඝන කැලෑවකි. පුදබිම ආසන්නයේ පිහිටා ඇත්තේ ස්‌වාමීන් වහන්සේ නමක්‌ වැඩ හිඳින කුටි සෙනසුනක්‌ සහ පුදබිමේ ආරක්‍ෂාවට ස්‌ථාපිත හමුදා මුරපොළ පමණි. ඒ හැරෙන්නට ජනාවාසයක්‌ පිහිටා ඇත්තේ මේ ඉසව්වේ සිට කිලෝ මීටර් ගණනාවක්‌ මෙපිටිණි. එමෙන්ම මේ පුදබිම තුළ විසිරුණු බෞද්ධ නටබුන් අතර හින්දු බැතිමතුන්ගේ ඓතිහාසික උරුමයක්‌ සම්බන්ධ අල්පමාත්‍ර සලකුණක්‌ නැත. එහෙයින් බොදු පුරාවස්‌තු විසිරුණු ගල් කන්දක දේවාලයක්‌ ඉදිකිරීමට අසරණ දෙමළ ජනතාවට ප්‍රායෝගික අවස්‌ථාවක්‌ නැති බව ද සුපැහැදිලිය. 1974 වර්ෂයේදී මේ ස්‌ථානයේ දේවාලයක්‌ ලියාපදිංචි කිරීමත්, එය දෙමළ ජනතාවගේ ඕනෑකමකින් සිදු වූවා නම් මේ වන විට මේ දේවාලය මීට වඩා දියුණුය. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි වූ මහා සෑයේ ගඩොල් ගලවා, මල් ආසනයක බදාම අනා ගොඩනඟන ලද දේවාලය ප්‍රතිසංස්‌කරණය කිරීමට හෝ සාමාන්‍ය දෙමළ වැසියෙක්‌ ඉදිරිපත් වී නැත. ඉනිදු පසක්‌ වන්නේ මේ දෙමළ ප්‍රජාව තුළින් සිදු වූ ආක්‍රමණයක්‌ නොව, අන්තවාදී කණ්‌ඩායමක්‌ විසින් සිදු කරන ලද පූජා භූමි කොල්ලයක්‌ බවය. එම කොල්ලය සිදු කොට බෞද්ධ දාගැබ සහ නටබුqන් සංකීර්ණය මත අනවසර ගොඩනැඟිලි ඉදිකර එය ලියාපදිංචි කර ගන්නා තෙක්‌ පුරාවිද්‍යා නිලධාරීන් සිහි මද ගතියෙන් සිටීම ගැන අපට උපදින්නේ සිත් කම්පනයකි. අදටත් සෙම්බුමලේ පූජා භූමියේ ආරක්‍ෂාවට පුරාවිද්‍යා නිලධාරියෙක්‌ යොදවා නොතිබීමෙන් පසක්‌ වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිතා මතාම මේ පූජා භුමිය අනතුරේ දැමීමක්‌ බවය. එය සෙම්බුමලේ පුදබිමට පමණක්‌ සීමා වූ ඉරණමක්‌ නොවේ. උතුර, නැගෙනහිර සියලු බෞද්ධ වෙහෙර, විහාරවලට උරුම වූ ඉරණමය.

අන්‍ය ආගමික අන්තවාදීහු උතුර, නැගෙනහිර බෞද්ධ වෙහෙර, විහාර විනාශ කරති. එම පින්බිම් මත දේවාල, කෝවිල්, පල්ලි ඉදිකරති. දකුණේ පන්සල්වල ඇතැම් මිනීමරු චීවරධාරීන් ගිහියන්ගේ ගෙල සිර කර මරා දමති. ඇතැම් තිරිසන් ගිහියන් විසින් පූජනීය සිද්ධස්‌ථාන ඉදිරිපිටදී භික්‍ෂුන් වහන්සේට වෙඩි තබා අපවත් කිරීමට තැත් කරති. බෞද්ධ හදවත් කම්පනයට පත් කරවන මේ කාලකණ්‌ණි සිදුවීම් පෙළ දකින විට දෙදහස්‌ පන්සිය වසරක සංස්‌කෘතික උරුමය තිගැස්‌සී, ඉතිහාසය කඳුළු සලන බව අපි නොකියමු. මේ ගෙවී යන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයෙන් සුගන්ධවත් වූ සදහම් දිවයිනක අවසන් හෝරාව යෑයි ද අපි නොකියමු. එහෙත් මේ සිදුවෙමින් තිබෙන මහා විනාශයෙන් ශාසනය ආරක්‍ෂා කරගැනීමට බෞද්ධ නායකයන් නැති බව අපි මතක්‌ කර සිටිමු. එහෙයින් මෙරට බෞද්ධ ශාසනයේ හෙට දවස ගැන අපට ඇත්තේ මහා බියක්‌ බව සංවේගයෙන් යුක්‌තව අපි දැනුම් දී සිටිමු.

තරංග රත්නවීර


153 Viewers