අපිට දෙකම නෑ,

මම ඔයාලට කියන මේ කතාව හොදින් කියවන්න.සාධාරණ විවේචනයක් තියනව නම් කියන්න.ඔයාලට මතක ඇති 2000 – 2005 කාළය.අපි දන්න මතක කිට්ටු ඉතිහාසය.අපි unp ආණ්ඩුවක් දැක්ක.සංධාන ආණ්ඩුවක් දැක්ක,පරිවාස ආණ්ඩුවකුත් දැක්ක.ඒ කාළේ ජනාධිපතිනිය චන්ද්‍රිකා මැතිනිය.ඒ කාළේ හරිම අවාසනාවන්ත කාළයක්.රට බරපතල ලෙස අරාජක වෙලා තිබුනේ.හරියට අද වගේ.ආර්ථිකය කඩා වැටිල.LTTE ය ශක්තිමත් වෙලා.මිනීකදු,මිනිස් බෝම්බ අපි දැක්කා,අපි සටන් විරාම ගිවිසුම් දැක්කා.සුනාමි සහන මණ්ඩල දැක්කා.රටක් විනාශය කරා යනවා දවසින් දවසම පෙනුනා.

කොහොම වුනත් රටේ වාසනාවට එදා ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් රටේ තිබුනා. ජවිපෙ.ජාහෙඋමය වගේ පක්ෂත් නිවැරදි තීරණ ගත්තා.මේ සියල්ල මැද්දේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගත්තා.චන්ද්‍රිකා මැතිනිය ඊට දැඩි ලෙස විරුද්ධ වුනා.ඒ කාළේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රිලනිපය තුළ අරගල කලේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි තව කීපදෙනෙකුයි විතරයි.ඒ ජනාධිපතිවරණ සටන අපිට හොදට මතකයි.ඒ සියලු බලවේග ඓයිතිහාසික වැඩ කොටසක් කළා.මහින්ද රාජපක්ෂ මහතාව ජාතික න්‍යාය පත්‍රයකට හිර කර ගැනීම විශේෂයක්.එහි ප්‍රධාන එක් කොන්දේශියක් වූනේ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමයි.එහිදී දේශහිතෛශී ජාතික ව්‍යාපාරය,මානෙල් මල් ව්‍යාපාරය. ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ.විමල් වීරවංශ හා ජාහෙඋ නායක පාඨළී චම්පික රණවක යන මහත්වරු මහා වැඩ කොටසක් කළා.

හැබැයි යුද්ධය අවසන් වුනාට පසු ජාතික ව්‍යාපාරය තම වගකීම අතහැරියා.ජාතික ව්‍යාපාරයේ කොඩිය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරියේ හකුළලා හංග ගත්තා.2009 යුද්ධය අවසන්වූ පසු මහින්ද රාජපක්ෂ පාලනය ගියේ අත්තනෝමතික ගමනක්.වංචාව.දූෂණය. බලහත්කාරය,ඉහවහා ගියා.කාටවත් පාලනය කරන්න බැරි උනා.පාලනය කරන්න හිටිය ජාතික ව්‍යාපාරයේ නායකයෝ බොහෝමයක් සිය ගුණයන් සිදගෙන යටත්වෙලා තිබුණා.

2015 වන විට දෙපාරක් මහින්ද මහත්තයා ජනාධිපති කරපු මේ රටේ මිනිස්සු සිය අත්වලින්ම කතිරේ ගහලා රාජපක්ෂ මහත්තය පැරැද්දුවා.මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති කළා.එතන ජාතික ව්‍යාපාරය තිබ්බේ නෑ.හිටියේ ඔය NGO කාරයෝ ටිකයි.රනිල්ගේ උවමනාව ඉටුකරලා අපේ රට කොල්ල කන්න ආපු ජාත්‍යන්තර ප්‍රජාවයි.දෙමළ ඩෑෂ්පෝරාවයි. විතරයි.දැන් අවුරුදු තුන වෙනව.මොනවද උනේ.අපි කබළෙන් ලිපට වැටුනා.අද මෛත්‍රී ජනාධිපතිතුමා ඉන්දැද්දිම unp න්‍යාය පත්‍රය ඉදිරියට යනවා. ජනාධිපතිතුමා පොඩි පොඩි බාධාවන් කළත් ඒ වැඩ පිළිවෙල ඉදිරියට යනවා.රටක් විධිහට අපි යන්නේ කොහේටද කියලා හිතා ගන්න බෑ.අපිත් අදුරේ අත පත ගාමින් නායකයෙක් හොයනවා.හැබැයි අපේ උරුමය මේ යන විදිහ නම් නෙවෙයි.

අපේ රටේ ජාතික ව්‍යාපාරයේ ආවේනික ලක්ෂණය ජාතික නිදහස දිනා ගැනීමේ සටනයි.1815,1848 ඇරඹුණු ඒ ජාතික සටනේ නිම නොවූ කාර්‍යබාරය තවමත් තියනවා.අනගාරික ධර්මපාල තුමාගේ සටනේ දිගුව තමයි අපට ඉතුරු වෙලා තියෙන්නේ.ඒක යම්තාක් දුරකට ගෙනාවේ බණ්ඩාරනායක මහත්තයයි මැතිණියයි.එයාලගේ දුව ඒක කණපිට හැරෙවුවා.අද අපේ රටේ දූෂණ විරෝධී සටන්පාඨය නියෝජනය කරන්න කිසිදු දේශපාලනඥයෙකුට බෑ.හැම කෙනාටම දූෂණ චෝදනා එල්ල වෙලා.ඒක මහා අවාසනාවක්. මෙච්චර බණ අහපු රටක හොරකමේ චෝදනා නොගැවුනු නායකයෙක් නැ.අපේ නායකයා නම් හොරකම් කළාට කමක් නෑ කියල හිතන තරම් පහත් මානෂික මට්ටමට වැටුණු ජාතියක් අපි.ඒත් මම හිතනවා ඒ ඓයිතිහාසික උරුමය අවම වශයෙන් හෝ නියෝජනය කරන නායකයෝ දෙන්නෙක් තවම ඉතුරුවෙලා ඉන්නව.ඒ මහින්ද හා මෛත්‍රී දෙදෙනායි.එහෙම කිවුවාම සමහර අයට නම් කේන්ති යයි.ඒත් ඇත්ත ඒකයි. දෙදෙනාම එකම උරුමය නියෝජනය කරනවා.දෙදෙනාම එකම සංස්කෘතිය නියෝජනය කරන්නේ. දෙන්නගේම පාලන කාල අපි දැක්කා. දෙන්නගේම අසාර්ථක තැන් අපි දැක්කා.ඒත් මේ දෙන්නා සමගිකර බලවේගය එකතු කිරීම හැර රටට උත්තරයක් තවම නැ. ඒක කරන්න අපිට ලේසි නෑ.ඒකට නායකත්වය දෙන්න අලුත් විධිහට හිතන ජාතික ව්‍යාපාරයක් ඕනි.පැරනි ජාතික ව්‍යාපාරය යැයි කියාගන්න ඒවා දැන් යල් පැනලා.ඒක තමයි මම කියන්නේ අපිට සිංහයෙක් ඕනි කියලා. ඒ රජ කරවන්න නෙවෙයි.රජෙකු හොයාගැනීමට.නායකයන්ට බලකර පැවසිය හැකි ජාතික ව්‍යාපාරයක් ඕනි.ඇල්ලේ හාමුදුරුවෝ පහුගියදා එහෙම කතාවක් කියනවා මට ඇහුණා.ඒක හොදා අදහසක්.මේරටේ නායකයා කවුරුවුනත් ඔහු ජාතික ව්‍යාපාරය සෙවනේ වැඩිය යුතුයි.ඊට සුදුසුකම් ලැබූ ජාතික ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි.අවාසනාව තවම අපට නායකයෙක් හා ජාතික ව්‍යාපාරයක් යන දෙකම නැතිවීමයි.අපට සිටින්නේ පාලකයන් පමණි.



59 Viewers