• Home »
  • Sinhala »
  • අපේ කුලපති හාමුදුරුවෝ – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි

අපේ කුලපති හාමුදුරුවෝ – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි

(Source: www.sjp.ac.lk)

bellanwila

“මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූහ”.

මේ වූකලී උදා වූ 2018 වර්ෂයේදී අපට අසන්නට ලැබුණු අති සංවේගජනක මෙන් ම අතිකම්පනීය පුවත යි. ගසට පොත්ත මෙන්, මලට සුවඳ මෙන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමග අත්‍යන්තයෙන් බැඳුණු අතිසහෘදය මහා යති පඬි රුවන මේ සටහන තබන අඳුරු නිමේෂයේ අප අතර දිවමන් ව නැත.< ඒ උන් වහන්සේ 2018 පෙබරවාරි මස 03 වැනි සෙනසුරාදා සදහට ම දේශයට අහිමි ව ගිය බැවිනි. උන් වහන්සේගේ මේ අනපේක්ෂිත සමුගැන්මෙන් වික්ෂිප්ත සහ වේදනාවට පත් ව සිටින අප‍්‍රමාණ චරිත සමුදාය අතුරින් එක් චරිතයක් වන මම ශ‍්‍රී ජයවර්ධනපුර විද්‍යොදය විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් උන් වහන්සේ පිළිබඳ ව මේ කෙටි සටහන තබනු කැමැත්තෙමි.

1942 අපේ‍්‍රල් 14 වැනි දා බණ්ඩාරගම වීදාගමදී ඕමත්තගේ පෝල් පෙරේරා සහ පල්ලගේ දෝන බුත්සිලිනා ද සිල්වා යන දම්පතීනට දරු සුරතල් බැලීමේ අවස්ථාව සිව්වැනි වරටත් උදා විය. උපන් කුල කුමරුවා ඕමත්තගේ ගිල්බට් පෙරේරා නම් වූ අතර, නිකපෙ කනිෂ්ඨ විද්‍යාලයත් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයත් ඔහුට ශාස්ත‍්‍ර ශාලා විය. මෙසේ අධ්‍යාපනය හැදැරූ ගිල්බට් පෙරේරා නමැති ශිෂ්‍ය මාණවකයා 1956 පෙබරවාරි මාසයේ දිනයක ගිහිගේ අත් හැර දමා පැවිදි බිමට ඇතුළත් විය. මේ පසු කලෙක ශ‍්‍රී ලාංකේය සංඝ සමාජයේ අතිප‍්‍රබල සංඝ පිතෲන් වහන්සේ නමක බවට පත් වන අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ශ‍්‍රමණ ජීවිතයේ සමාරම්භය යි.

මෙරට කීර්තිමත් යති පඬි රුවන් රැසක අධ්‍යාපන චාරිකාවේ මුල් බිම් වූ මොල්ලිගොඩ ප‍්‍රවචනෝදය මහ පිරිවෙනින් සහ රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනින් අධ්‍යාපනය ලැබීමට භාග්‍යවත් වූ බෙල්ලන්විල විමලරතන හිමියෝ අනතුරුව 1965 දී ශාස්ත‍්‍රවේදී උපාධිය දිනාගත්හ; අනතුරුව 1972 වර්ෂයේදී පාලි භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ව එවකට විද්‍යෝදය සරසවිය නමින් ප‍්‍රචලිත ව තිබූ වර්තමාන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විශේෂවේදී උපාධිය දිනාගැන්මට සමත් වූහ. ඒ වන විට තිස් හැවිරිදි වියේ සිටි මේ වියත් පඬි රුවන එම සරසවියේ සුවිසල් තනතුර වන කුලපති ධුරයට තමා මතු අනාගතයේදී භාග්‍යවත් වනු ඇතැයි නොසිතන්නට ඇත.
සිය ප‍්‍රථම උපාධියෙන් සෑහීමට පත් නොවූ මේ උතුම් යති පඬි රුවන එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලය නමැති ජාත්‍යන්තර කීර්තියට පත් ශාස්ත‍්‍රාලයට ඇතුළත් ව 1980 වර්ෂයේදී සිය ආචාර්ය උපාධිය දිනාගත්හ. පසු කලෙක උන් වහන්සේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් මෙන් ම සබරගමුව විශ්වවිද්‍යාලයෙන් ද සාහිත්‍යසූරී උපාධියෙන් සම්මානිත වූහ.

විමලරතන නාහිමියන් සිය ගුරු ජීවිතය ආරම්භ කරන්නේ රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනිනි. එහි පරිවේණාධිපතිවරයා බවට ද පත් වූ උන් වහන්සේ පසුව රත්මලානේ බෞද්ධ භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවයට පත් වන්නේ 1976 වර්ෂයේදී ය. 1980 වර්ෂයේදී ආරාධිත කථිකාචාර්යවරයකු ලෙස ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධ වන මේ මහා යති පඬි රුවන කථිකාචාර්ය, සහාය මහාචාර්ය තනතුරු පසු කරමින් විත් මහාචාර්ය තනතුරට පත් වන්නේ 2003 වර්ෂයේදී ය. සිය සේවා ප‍්‍රදානය ලක් සරසවිවලට පමණක් සීමා නොකළ මහාචාර්ය විමලරතන හිමියෝ එංගලන්තයේ ලන්ඩන් සරසවියේ ද ආරාධිත මහාචාර්යවරයකු වශයෙන් කලක් සේවය කළහ. ඒ උදාර චරිතයක් ඇති විද්වතකුට ලොව ඕනෑ ම තැනකට සිය සේවය ලබා දිය හැකි ය යන අදහස සනාථ කරවමිනි.
විමලරතන නාහිමියන් සිය සේවා ජීවිතයට අයත් දෙවසරක් පමණ ඉතුරු ව තිබියදී විශ‍්‍රාම ලබන්නේ සරසවි පද්ධතියෙන් එපිටට ද පුළුල් ව පැතිරෙන පරිදි ආගමික-සමාජීය-ශාස්ත‍්‍රීය කටයුතු කිරීමේ පරමාභිලාෂයෙනි. එහෙත් උන් වහන්සේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි කුලපති ධුරයෙන් පිදුම් ලබන්නේ බෙල්ලන්විල විමලරතන නාහිමි යනු අප සරසවියට නැති ව ම බැරි මහරු චරිතයක් ය යන්න යළිදු සනාථ කරවමිනි.

එතැන් සිට නොයෙක් ආගමික-ශාස්ත‍්‍රීය සේවාවන් මධ්‍යයෙහි ම විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයෙහි වගකීම් ද නොපිරිහෙළා ඉටු කිරීමෙහි තත්පර වූ උන් වහන්සේ ස්වකීය සෞඛ්‍ය තත්ත්වය කෙබඳු වුවත් තමන් වහන්සේගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය ම වූ උපාධි ප‍්‍රදානෝත්සවය ඇතුළු සරසවියේ කටයුතුවලට සිය උපරිම දායකත්වය ලබා දුන්හ. එලෙස අපේ නායක හාමුදුරුවන් අතින් ප‍්‍රථම උපාධිය හෝ පශ්චාද් උපාධි හෝ ලද විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංඛ්‍යාව අප‍්‍රමාණ ය. මා දන්නා තරමින් ශ‍්‍රී ලාංකේය සරසවි පද්ධතියේ වැඩි ම සේවා කාලයක් සම්පූර්ණ කළ කුලපතිවරයා වූයේ ද බෙල්ලන්විල විමලරතන නාහිමි ය. උන් වහන්සේගේ කුලපතිත්වය ඇති විදුදය සරසවියේ උපකුලපතිවරුන් ලෙස සේවය කිරීමට ජ්‍යෙෂ්ඨ ආචාර්යවරු පස් දෙනෙක් භාග්‍යවත් වූහ. උන් වහන්සේගේ මේ නොසිතූ විරූ සමුගැන්ම සිදු වන මේ සංවේගජනක අවස්ථාවේ එකී පස්වන උපකුලපතිවරයා ලෙස මෙවන් කම්පනීය සටහනක් තැබීමට සිදු වෙතැයි මම කිසි කලෙකත් නොසිතුවෙමි.

1983 වර්ෂයේදී මෙසරසවියට ශිෂ්‍යයකු ලෙස ඇතුළත් වූ මට පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයකු වශයෙන් සේවය කළ උන් වහන්සේ දැකගැන්මට ලැබිණ. ඥානයෙන් මිස මානයෙන් නොපිරුණු හිසින් ද සාමයෙන් මිස පාපයෙන් නොපිරුණු හදින් ද යුතු උන් වහන්සේ එදා සරසවි බිමේදී මට නොයෙක් වර මුණගැසුණු සැටිත් මා හා කතා-බහ කළ සැටිත් අද සොවින් බර හදින් යුතු ව සිහිපත් කරන්නේ ද උන් වහන්සේට කෙරෙන ගෞරවයක් ලෙසිනි.

එසේ ම උන් වහන්සේ සේවය කරන කාලයේදී ම ආචාර්යවරයකු වශයෙන් සරසවි ආචාර්ය මණ්ඩලයට එක් වීමට මට අවස්ථාව ලැබිණ. අනතුරුව උපකුලපතිවරයා ලෙස උන් වහන්සේ කුලපති ධුරය ඉසිලූ ඓතිහාසික යුගයේ ඒකදේශයක් නියෝජනය කිරීමටත් මට අවකාශ ලැබිණ. හිමි වීම් මෙන් ම අහිමි වීම් ද ජීවිතය හා බැඳුණු ධර්මතා ය යන බුදු වදන සනාථ කරවමින් උන් වහන්සේගේ සමුගැන්ම නමැති මහා අහිමි වීමට හිමිකම් කීමට ද අපට සිදු විය. එය මට පමණක් නොව අප මුළු මහත් සරසවියට ම අහිමි වීමකි; සරසවි පද්ධතියට ම සුවිශිෂ්ට ශාස්ත‍්‍රවන්තයකුගේ අහිමි වීමකි; මහා ප‍්‍රඥාංකුරයකු වූ යති පඬි රුවනක අහිමි වීමකි; තමා නිවැරැදි යැයි විශ්වාස කළ දෙය වෙනුවෙන් කොන්දේසි විරහිත ව පෙනී සිටි අභීත හ`ඩ පෞරුෂයක අහිමි වීමකි.

විමලරතන නාහිමියන් සතු දැනුම ද හැකියාව ද තැනකට දෙකකට පමණක් සීමා නොවී ය. සිංහල, පාලි, සංස්කෘත, ඉංග‍්‍රීසි ආදි පෙර’පර දෙදිග ම භාෂා ඥානය උන් වහන්සේට තිබිණ. බෞද්ධ මූර්ති කලාව පිළිබඳ ව මෑතකාලීන ලංකාවේ සිටින ඉහළ ම තලයේ ප‍්‍රාමාණිකයන් අතුරින් කෙනකු වීමට තරම් උන් වහන්සේ සතු දැනුම සුවිශේෂ විය. එසේ ම උන් වහන්සේ විසින් සිංහල භාෂාවෙන් සහ ඉංග‍්‍රීසි භාෂාවෙන් සම්පාදනය කරන ලද විවිධ පර්යේෂණ ග‍්‍රන්ථ මෙන් ම ශාස්ත‍්‍රීය ලේඛන ද සාක්ෂි දරන්නේ උන් වහන්සේගේ ශාස්ත‍්‍රවන්ත භාවයට යි.

උන් වහන්සේ කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පදවිය දරමින් ජාතික වශයෙන් ද ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ලේඛකාධිකාරී ධුරයක් දරමින් අන්තර්ජාතික වශයෙන් ද ඉමහත් සේවයක් ඉටු කළහ. ඒ ආගමික වශයෙනි. මීට අමතරව උන් වහන්සේ විසින් සේවය සපයන ලද සමිති-සමාගම් ද දරන ලද විවිධ තනතුරු ද රාශියකි. ඒ සාමාජික වශයෙනි. මෙසේ නොයෙක් අංශවලට සුවිශිෂ්ට සේවා ප‍්‍රදානයක් කළ උන් වහන්සේ සිය වැදූ මවට, උපන් බිමට ණය නැති නිදහස් නිවහල් චරිතයක් බවට පත් වූහ.

බෙල්ලන්විල නාහිමියන් සතු වටිනා චරිත ලක්ෂණ රාශියකි. ඒ සියලූ චරිත ලක්ෂණ පිළිබඳ ව සටහන් කිරීමට මෙවන් කෙටි ලේඛනයක් කිසි සේත් ප‍්‍රමාණවත් නොවේ. එහෙයිනි, උන් වහන්සේගේ අපට වඩාත් දැනුණු ගුණ කිහිපයක් ගැන පමණක් සඳහන් කරන්නේ. උන් වහන්සේ උජුපටිපන්න එනම් ඍජු ප‍්‍රතිපන්න ගුණය පිළිබඳ ව මේ යුගයේ ජීවමාන නිදර්ශනයක් වූහ; කලිනුදු කී පරිදි ජාතික-ආගමික කටයුතුවලදී නිවැරැදි සේ තමන් දුටු මතය නොසඟවා ඉදිරිපත් කළහ; ඒ වෙනුවෙන් දිරිගෙන ක‍්‍රියා කළහ; කිසිදු දේශපාලන පක්ෂයක කොටසක් නොවී සමස්ත දේශයේ ම අභිවෘද්ධිය උදෙසා පෙනී සිටියහ.

නියම බෞද්ධ භික්ෂුව කෙබඳු විය යුතු දැයි මැනැවින් අවබෝධ කොට සිටි විමලරතන නාහිමියෝ සහජීවනය පිරුණු සමාජයක් අපේක්ෂා කළහ. ගෞරවනීය සාමය උදෙසා නිබඳ පෙනී සිටි උන් වහන්සේ ශ‍්‍රී ලාංකිකයන් අතර අන්‍යොන්‍ය සුහදතාව වැඩිදියුණු කිරීමට, ජාතික සමගිය ඇති කිරීමට දැරූ ප‍්‍රයත්නය කොතරම් ද යන්නට ‘බුදු දහම හා සමාජ සේවය’, ‘ශ‍්‍රී ලංකාවේ බුදුදහම හා ජනවාර්ගික අර්බුදය, බහුතරයේ හා සුළුතරවල අනන්‍යතාව’, ‘ආගමික විවිධත්වය වටහාගැනීම සහ ජාතික සමගියේ වටිනාකම’ ආදි මාතෘකා යටතේ ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත‍්‍රිකා සාක්ෂි දරයි. එම අදහස් පර්යේෂණ පත‍්‍රිකාවලට පමණක් සීමා නොකොට ප‍්‍රායෝගික තලයට ද ගෙනා අපේ කුලපති හාමුදුරුවෝ විවිධ ජාතීන් සමග, විවිධ ආගමිකයන් සමග නොගැටී, මනා අවබෝධයෙන් සහ අන්‍යොන්‍ය සුහදතාවෙන් යුතු ව ජීවත් වූහ.

බුදු සමය නමැති මහා වෘක්ෂය කපා දැමුව හොත් බෞද්ධයනට පමණක් නොව බෞද්ධ නොවන ජනතාවටත් එහි සෙවණ අහිමි වන බව විමලරතන නාහිමියෝ මනා ව දැන සිටියහ. එසේ ම බුදු සමය සුරැුකීම යනු සියලූ ධාර්මික සංස්ථාවන්ගේ පැවැත්ම තහවුරු කිරීම ය යන අවබෝධය ද උන් වහන්සේ සතු විය. අප නාහිමියන් සමීප ව ඇසුරු කළ විවිධ ජාතීනට අයත් චරිත ද විවිධ ආගම්වලට අයත් චරිත ද උන් වහන්සේගේ බෞද්ධකම හා බැඳුණු මේ පෘථුල අර්ථය මැනවින් වටහාගෙන සිටියහ. ජාති-ආගම්-පක්ෂ භේදයකින් තොර ව අප‍්‍රමාණ ජනතාවක් උන් වහන්සේ අපවත් වූ අවස්ථාවේ සිට මේ දක්වා සිය අවසන් ගරු බුහුමන් කිරීම සඳහා බෙල්ලන්විල රාජමහා විහාරය වෙත ගඟක් සේ ගලා ආවේ එහෙයිනි. ඒ වූකලී උන් වහන්සේගේ අප‍්‍රමාණ ගුණ සමුදාය වෙත පළ කැරුණු පූජාවකි. මේ අවස්ථාව අපට සිහිපත් කර දුන්නේ රත්න ශ‍්‍රී විජේසිංහ නමැති ප‍්‍රවීණ කලාකරුවාගේ සංකල්පයකි. එහි එක් තැනක් පමණක් වෙනස් කොට අපගේ අතිපූජනීය නාහිමියන් පාමුල මලක් කොට පුදනු රිසියෙමි.

”එක මලෙක නම් නොවේ මැ යි
මල් යායක සිරස නැමේ
පිතු සෙනේහයෙන් ලොව කියා දුන්නු
යති පාද පියුම් සුවඳ යි”

භික්ෂුවකගේ උරුමය මනා සේ හඳුනා-ගත් බෙල්ලන්විල නාහිමියෝ සිය පා සෙවණෙහි රැඳුණු සාමණේරයන් වහන්සේට ආදරබර පිය කෙනෙක් වූහ; ආධ්‍යාපනික කෘති මඟින් දුටු-නුදුටු දහස් ගණන් සිසු පිරිසට ගුරු කෙනෙක් වූහ; ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිවර්තනයෙහි සමත්කම් පෑ අග‍්‍රගණ්‍ය පාලි පඬි රුවනක් වූහ; සසුන් බර දරා සතන් යහ මඟ යැවූ නායකයෙක් වූහ; ආශ‍්‍රිතයන්ගේ දියුණුවට මඟ පෑ කල්‍යාණ මිත‍්‍රවරයෙක් වූහ; දායක-කාරකාදින්ගේ දෙලෝ වැඩ සලසන සුලූ දහම් ඔවා සැපයූ සංඝ පිතෲන් වහන්සේ කෙනෙක් වූහ; අසන්නන්ගේ කන්හි මිහිරි අමා වන් වදන් ලෑ චතුර දේශකයෙක් වූහ; ජාතික-අන්තර්ජාතික මට්ටමින් බුද්ධ ධර්මය ව්‍යාප්ත කළ ධර්ම ප‍්‍රචාරකයෙක් වූහ; පුවත්පත් ලිපි, සඟරා ලිපි මඟින් සමාජය සදාචාරවත් කළ සුවිශිෂ්ට ලේඛකයෙක් වූහ; කෙතට දියවර සපයන පිණිස පිරුණු වැවක් සේ අනුනට සෙත සපයන පිණිස ම දැනුමින් පිරිපුන් වූ ශාස්ත‍්‍රවන්ත බහුශ‍්‍රැතයෙක් වූහ; ‘කිං සච්චගවේසී’ යන පාලි පාඨයේ අර්ථය වන සත්‍යය කුමක් දැයි සොයන පර්යේෂකයෙක් වූහ; ඒ සියල්ලට ම වඩා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සුපේශල ශික්ෂාකාමී බුද්ධ පුත‍්‍රයෙක් වූහ.

දේශයට මතු නොව ලොවකට අහිමි ව ගියේ ඒ උත්තම චරිතය යි. ඇතැම් හිස්තැන් පිරෙයි. ඇතැම් හිස්තැන් කිසි දා නොපිරෙයි. අප නාහිමියන්ගේ සමුගැන්ම නිසා ඇති වූයේ ද කිසි දා නොපිරෙන හිස්තැනකි.

ගුණ සුවඳ මල්-පල පිරි ඒ සුවිසල් රුක අද අපට අහිමි ය. ඒ අම සිහිල් සෙවණේ සැනසෙන්නට මින් මතු සරසවි සිසුවනට වරම් නැත. එහෙත් උන් වහන්සේ විසින් ඉටු කරන ලද මහත් මෙහෙයෙහි සාධනීය ප‍්‍රතිඵල අනාගත පරම්පරාවට ද භුක්ති විඳිය හැකි ය. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යම් තාක් පවතී ද, ඒ තාක් අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි නාමය ද නොමැකී පවතිනු ඇත. බෙල්ලන්විල රාජමහා විහාරයේදී වේවා, අත්තිඩිය මාළිගාවත්ත පුරාණ විහාරයේදී වේවා, වෙනත් විහාරස්ථානයකදී වේවා, උන් වහන්සේගේ භෞතික රූපකාය අපට දැකගැන්මට ලැබෙන්නේ නැත. එහෙත් උන් වහන්සේගේ ගුණකාය පිළිබඳ ආදරණීය මතකය කිසි දා නොමියෙනු ඇත.
අපවත් වී වදාළ අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමා මහා නිවන් සුවය ම අත් වේවා!

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිබඳ අනුස්මරණ සටහනකි.

author

මහාචාර්ය සම්පත් අමරතුංග
උපකුලපති – ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

 

313 Viewers