• Home »
  • Sinhala »
  • අභියෝග පරදා ජනපති කිරුළ දිනූ රණවිරුවා

අභියෝග පරදා ජනපති කිරුළ දිනූ රණවිරුවා

godr555(Courtesy of Divaina)

ඉකුත් සතියේ හැමෝම හිටපු ආරක්‍ෂක ලේකම් යැයි කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැන් මේ රටේ විධායක ජනාධිපතිවරයා සහ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා ය. සුවහසක් වූ මෙරට සිංහල බෞද්ධ ජනතාව තමන්ගේ මීළඟ නායකයා විය යුතු වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව එකහෙලා තීරණය කිරීම මේ වෙනසට හේතු වී ඇත.

අනුරාධපුර රුවන්මැලි මහා සෑය අභියසදී පෙරේදා (18 වැනිදා) පැවති ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් උළෙලේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින්ම මේ බව පැවසීය.

ඉකුත් 2015 ජනවාරි 08 වැනිදා මේ රට තුළ සිදුවූ දේදුණු විප්ලවයත් සමඟ වත්මන් විපක්‍ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බලය අහිමි වීමෙන් පසු ඒ වන විට මේ රටේ අතිශූර රාජ්‍ය නිලධාරියකු ලෙස කටයුතු කරමින් සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතාටද එම ධුරය අහිමි විය. ඔහු හිටපු ආරක්‍ෂක ලේකම්වරයා බවට පත්වූයේ එම බලපෙරළියත් සමඟිනි.

එතැන් පටන් මේ රටේ ප්‍රථම පුරවැසියා හෙවත් ජනාධිපතිරයා බවට පත්වනතුරු ගෝඨාභය රාජපක්‍ෂයන් ආ ගමන් මඟ සුවපහසු මාවතක් ඔස්සේ වැටී තිබුණක්ද? නැත ඔහු වෙතට එල්ල වූ ගල්, මුල්, පරිභව කිරීම් මෙන්ම වෛරී ප්‍රහාරද බොහෝ විය.

එහිදී ඔහු මුහුණ දුන් දුක් ගැහැට අපමණය. එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ආරක්‍ෂක හමුදාවන්ට මහා ශක්තියක් වීම නිසාම ප්‍රභාකරන්ගේ පරාජයෙන්

වියරු වැටුණෝ ඔහුට කළ නින්දා අපහාස බොහෝ වූහ.

ගෝඨාභය රාජපක්‍ෂයන් කෙසේ හෝ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලීන සිරදඬුවමකට යටත් කිරීම සියල්ලන්ගේ ඒකායන අරමුණ වී තිබිණි.

දේදුණු විප්ලවයේ කසකාරයන් වූ කොටිහිතවාදී දෙමළ ඩයස්පෝරාව, එන්ජීඕ නඩ, උන්ට කඬේ ගිය ඊනියා මාධ්‍ය මෙන්ම සිවිල් සංවිධාන නමින් විවිධ සංවිධාන අටවාගෙන සිටි ද්‍රෝහීන් මෙහිදී නැටූ නැටිල්ල සුළුපටු නොවූවකි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහි මේ මෙහෙයුමේදී මෙකී සියලු ද්‍රෝහීන්ගේ සක්‍රීය බලකොටුව බවට පත්ව තිබුණේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ දේදුණු විප්ලවයෙන් පසු යහපාලනය මගින් පිහිටවනු ලැබූ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විය.

මෙහිදී ගෝඨා දඩයම් කිරීමට ඉලක්කය ගත් ප්‍රධාන තැනක් බවට පත්ව තිබුණේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය ය. පසුගිය කාලයේ ඔවුන් සිදු කළ විවිධ විමර්ශනවලදී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන්ට එරෙහිව රජයේ සාක්‍ෂියක් නිර්මාණය කිරීමට

ගනු ලැබූ නින්දිත උත්සාහයන් බොහෝය.

ඔවුහු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන විමර්ශනය ඇරඹූහ. ඒ අනුව නාවික හමුදා නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගත් විමර්ශකයන් සහනයක් දෙන්නට නම් ඉදිරිපත් කළ කොන්දේසිය වූයේ ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ නම කියන්නට යැයි බලපෑම් කිරීමය. එම නිලධාරීහු පසු කලෙක එය හෙළි කළහ.

ප්‍රගීත් එක්නැලිගොඩ විමර්ශනයේදී වරක් අත්අඩංගුවේ පසුවූ යුද හමුදා නිලධාරීන් තිදෙනකු කොළඹ ගෝල්ෆේස් පිට්ටනියට රැගෙන ගොස් සුපිරි සාදයක් පැවත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ එම විමර්ශනය භාරව සිටියවුන් හමුදා නිලධාරීන්ට මත්පැන් බොන්නට දී ඔවුන් ලවා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම කියවා ගන්නට ගත් උත්සායක් පිළිබඳවද පසුව අනාවරණය විය.

එසේම එක්නැලිගොඩ සිද්ධියේදී අත්අඩංගුවට ගත් හමුදා නිධාරීන්ගේ බිරින්දෑවරුන්ට මහ රෑ දුරකථන ඇමතුම් ලබා දෙමින් සැමියා නිදහස් කිරීමට නම්

ගෝඨාභයගේ නම කියවන ලෙස බලපෑම් කිරීමට තරම් මේ විමර්ශකයෝ කුජීත කුජීත තැනකටඇද වැටී සිටියහ.

ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවකට සහභාගි වූ එක් හමුදා නිලධාරියකුගේ බිරිඳක් වරක් ඒ බව හැඬූ කඳුළින් යුතුව පසුගිය කාලයේ අනාවරණය කරනු ලැබුවාය. වසීම් තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා තිබුණේ ගෝඨාභය රාජපක්‍ෂයන්වය.

ඒ බව අනුර සේනානායක මහතා විසින්ම අනාවරණය කරනු ලැබීය. ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළ විමර්ශනයේදීත් එය ඒ ආකාරයටම සිදුවිය. වැලිකඩ බන්ධනාගාරය තුළ ඉකුත් 2012 වසරේ ඇතිවූ කැරැල්ල පිළිබඳ විමර්ශනයේදී සිදුවූයේත් එයමය.

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දීම, උපාලි තෙන්නකෝන්ට පහරදීම, වැල්වත්තේදී තරුණයන් පස් දෙනකු ඇතුළු පිරිසක් අතුරුදන් වීම ආදී ලෙසින් පසුගිය කාලයේ සීඅයිඩීය සිදු කළ බොහෝ විමර්ශනවලදී හඹා ගිය එකම ඉලක්කය වූයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන්ය.

මේ අන්දමට ගෝඨාභය රාජපක්‍ෂයන් ඉලක්ක කර විමර්ශන සිදු කළ සීඅයිඩීය වරක් කිසියම් සිද්ධියකට ඔහුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී අධිකරණය විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඇප නියම කළේය.

මේ රටේ නීතියට අනුව එසේ කිසියම් අයකුට අධිකරණයකින් ඇප නියම කිරීමෙන් පසු ඇප කොන්දේසි සපුරා අවසන් වන තුරු ඔහු බන්ධනාගාර නිලධාරීන් භාරයේ අධිකරණ සිරමැදිරියේ රඳවා තබයි. ඒ අන්දමට උපන් රට වෙනුවෙන් අසීමිත සේවයක් කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටද අධිකරණ සිරමැදිරියේ ටික වේලාවක් රැඳී සිටින්නට සිදුවිය.

එහිදී කාලකණ්ණි සතුටක් ලැබුවෝද සිටියහ. එහෙත් මේ රටේ බොහෝ මිනිස්සු එය දැක අසා අතිශය කම්පාවට පත්වූහ. මේ සිද්ධියට පසුදා උදයේ මම ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දුරකථන ඇමතුමක් ගත්තෙමි.

එහිදී දුරකථනයට පූතිචාර දැක්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉතා සංවේදී ලෙස මුලින්ම සඳහන් කළ වදන වූයේ මේ වගේ මිනිස්සුත් ඉන්න රටකටද මම වැඩ කළේ යන්නය. එසේම ‘ඇයි මිනිස්සුන්ට මේ වගේ නිකරුණේ වධ දෙන්නේ’ යනුවෙන්ද හෙතෙම මා සමඟ සඳහන් කළේය.

එහෙත් ඇතැම් තැන්වලදී ගෝඨාභය රාජපජෂ මහතා එසේ සංවේදී වුවද කිසිසේත්ම ඔහුව සසල කිරීමට නම් මේ කසළ විමර්ශනවලට මෙන්ම විමර්ශකයන්ටද නොහැකි විය. හමුදා නිලධාරියකු ලෙස ලද පන්නරය තුළින් අභියෝගවලට මුහුණ දීමට ඔහු තුළ වූ හැකියාව එයට හේතු වූවා විය යුතුය.

පසුගිය කාලයේ සීඅයිඩීය සිදු කළ කැකිල්ලේ විමර්ශන ගණනාවක් තමන් ඉලක්ක කර පසු පස හඹා එද්දී ඔහු ඉතාම උපේක්‍ෂාවෙන් ඒ දෙස බලා සිටියේය. එහෙත් රට බේරා ගන්නට දිවිහිමියෙන් කැපවූ රණවිරුවන් විවිධ විමර්ශන ඔස්සේ එක පෙළට සිරගත කෙරෙද්දී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන් බොහෝ දුකට පත්විය.

වරක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ පැවති සම්මුඛ සාකච්චාවකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරගෙන යනු ලබන රණවිරුවන් සිගත කිරීම පිළිබඳ මම ඔහුගෙන් විමසීමක් කළෙමි.

එහිදී දිගු සුසුමක් පිට කළ ඔහු පෙරලා කී කතාව වූයේ ‘ඇයි පදනමක් නැතුව මේ මිනිස්සු හිරේ දාන්නේ.. මේ රටේ අනාගතය කොතැනකටද මේ ගෙනියන්නේ යන්නය. එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඇතැම් විමර්ශනවලදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව දියත් කළ ඉකුත් මානුෂීය මෙහෙයුමේ සංවේදී රහස් අනාවරණය වෙමින් පිළිබඳවද ගෝඨාභය රාජපක්‍ෂයන් තුළ දැඩි කණාගාටුවක් විය.

ඉකුත් අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා තව්හිද් ජමාත් ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයෙන් පසුවත් හිටපු ආරක්‍ෂ ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවී ඒ පිළිබඳ ඔහුගේ අදහස් විමසීමට මට අවස්ථාව හිමිවිය.

එහිදීත් සහරාන් හෂීම්ගේ අන්තවාදයට එරෙහිව තමන් ආරක්‍ෂක අංශ පෙළ ගස්සාවා තිබූ අකාරය සහ 2015 දේදුණු විප්ලවයෙන් පසු ඒ සියල්ල බිඳ වැටුණු අන්දමත් පැහැදිලි කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය මිනිසුන් පිළිබඳ බොහෝ කම්පාවට පත්වූයේ වළකා ගත හැකිව තිබූ ප්‍රහාරයකට ඒ මිනිසුන් ගොදුරු බව සඳහන් කරමින්ය.

පසුගිය කාලයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්‍ෂ ඉලක්ක කර රණවිරුවන් දඩයම් කිරීමේදී ජාතික ආරක්‍ෂාව බරපතළ ලෙස බිඳ වැටෙමින් රට අනතුර වෙතට ඇදී යන බව මාධ්‍යයක් ලෙස අප පෙන්වා දුන් අවස්ථා බොහෝ විය.

එහෙත් ඒ සත්‍ය අවබෝධ කර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රධාන ආණ්ඩුවට සවිඥාණික දැක්මක් තිබුණේම නැත. මුල් තැනක තිබුණේ රාජපක්‍ෂ වෛරය ය. ඇමැති සරත් ෆොන්සේකා රාජපක්‍ෂවරුන් මැදමුලන වලව්වේ ජනෙල්වල එල්ලන්නට සැරසෙද්දී තාජුඩීන් ඝාතන සිද්ධියේදී පොලිසිය ෂතුව ඇති ඡයාරූපවල රාජපක්‍ෂවරුන් සිටිනු තමන් දෑසින් දුටු බව කී ඇමැති රාජිත සේනාරත්නද සිටියේ ඒ කුලකයේමය.

රටේ ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමට වඩා මේ බිම සිංහල බෞද්ධ නොවේයැයි ලෙසින් නොහොඹිනා කතා කියමින් ඇමැති මංගල සමරවීර වැන්නන්ට වුවමනා වූයේ බෙදුම්වාදයේ සෙනෙහස දිනා ගැනීමටය.

මේ තත්ත්වය හමුවේ දිගින් දිගටම රටට සිදුවන විනාශය දැක කම්පාවෙන් යුතුව අවස්ථාව එනතුරු බලා සිටි ජනතාව අවසානයේ රටේ නායකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂයන් තෝරා පත්කර ගත්හ. සියලු අභියෝග හමුවේ නොසැලී සිටිමින් විද්වත් ප්‍රවේශයක් සමඟ ගමන ඇරඹූ ගෝඨාභය රාජපක්‍ෂ එජාපයට අන්ත පරාජයක් උරුම කර දෙමින මේ රටේ ජනාධිපති සහ සේනාධිනායකයා වූයේ එසේය.

බෙදුම්වාදයට කඬේ ගිය මෙවන් පාවාදීම් හමුවේ ඉකුත් 2002 වසරේදීද එක්සත් ජාතික පක්‍ෂයට මෙවන් ඉරණමක් අත්විය. අවසානයේ පරාජයන් මාලාවකට මුහුණ දී හෙම්බත්ව සිටි එජාපය යාන්තම් ගොඩ ගියේ පෙරමුණු ගණනාවකින් සැලසුම් කළ 2015 දේදුණු විප්ලවයට අනුවය.

එහෙත් එසේ බලයට එමෙන් පසු සිදු කළ රටට එරෙහි ක්‍රියාදාමය හමුවේ සිව් වසරක් ඇවෑමේ දැන් යළිත් එජාපයට පරාජය උරුම වී අවස්නය. හේතුව 2002 සිදුවූවාක් මෙන්ම පාවා දීමේ න්‍යාය පත්‍රය තුළ ගමන යෑමය.

එසේ නම් දඩයමේ ඉලක්කය කරගෙන සිටි ගෝඨාභය රාජපක්‍ෂයන් සුවහසක් ජනතා ආශීර්වාදයෙන් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කිරුළ දිනා ගැනීම හමුවේ මේ සටහන් වෙමින් තිබෙන්නේ පාවාදීමේ න්‍යායපත්‍රය තුළ සිරවී සිටින එජාපය දිට්ටධම්මවේදයට අනුව යළිත් පරාජයන් මාලාවකට ගොදුරු වීමේ සුනාමියකට යළි මුහුණ දීම ආරම්භ වූ බවද?

සමන් ගමගේ

74 Viewers