• Home »
  • Sinhala »
  • අයර්ලන්තය, ව්‍යවස්ථාව සහ බෙදුම්වාදය

අයර්ලන්තය, ව්‍යවස්ථාව සහ බෙදුම්වාදය

මේ දිනවල කිසියම් ජනපති අපේක්ෂකයෙක් ශ්‍රී ලංකාවේ වර්තමාන ව්‍යවස්ථාව අහෝසි කොට ඔහු විසින් ඉදිරිපත් කර ඇති යම් අලුත් ව්‍යවස්ථාවක් වහාම ක්‍රියාත්මක කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටී. ඒ සඳහා එළඹෙන ජනපතිවරණය ඔහුගේ ව්‍යවස්ථාව වෙනුවෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් ලෙස සලකන බවත්, ඒ අනුව ඔහුට බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලැබුනහොත් එය ජනතාව විසින් ඔහුගේ ව්‍යවස්ථාව සම්මත කිරීමක් ලෙස සලකා එය වහාම ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටී.

මෙය බැලූ බැල්මට විප්ලවකාරී ජනතාවාදී ප්‍රයත්නයක් ලෙස පෙනේ. 2014-15 යහපාලන *රෙජීම් චේන්ජ්* ව්‍යාපෘතිය පැමිණියේද ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කරන විප්ලවයක් ලෙසිනි. කෙසේ වෙතත් ඔහු ඉදිරිපත් කරන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ අතිශය භයානක එකකි. එය මා සහේතුකව *තාර්කිකව* පියවරෙන් පියවර අපෝහනය කර පෙන්වන්නම්.

අයර්ලන්තයේ ව්‍යවස්ථාව හැදුන හැටි

ඔහු කියන ආකාරයට අයර්ලන්තයේ ව්‍යවස්ථාව මෙවැනි ක්‍රියාවකින් සම්මත කළ එකකි. එය පට්ටපල් බොරුවකි. අයර්ලන්තය යනු අත්ලන්තික් සාගරයේ මහා බ්‍රිතාන්‍යයට බටහිරින් පිහිටා ඇති ශ්‍රී ලංකාවට මදක් විශාල දුපතකි. එම දූපතේ දකුණු කොටස *“අයර්ලන්ත ජනරජය”* නමින් ස්වාධීන රාජ්‍යයක් ලෙසත්; උතුරු කොටස *“උතුරු අයර්ලන්තය”* නමින් එක්සත් රාජධානියේ කොටසක් ලෙසත් පවතී.

එනම් එකම දූපත, උතුරු සහ දකුණු රාජ්‍යයන් දෙකකට *දේශසීමාවකින්* බෙදා වෙන් කර ඇත. එවැනි රාජ්‍යයක් උදාහරණයට ගැනීම ගැන අප දෙවරක් නොව දසවරක් සිතිය යුතුය. මන්ද ශ්‍රී ලංකා රාජ්‍යයද එලෙස බෙදා වෙන් කිරීමට බොහෝ අය කැස කවන බැවිනි.

අයර්ලන්තය යනු ශතවර්ෂ ගණනාවක් තිස්සේ මහා බ්‍රිතාන්‍යයෙන් දරුණු ලෙස බැට කෑ රාජ්‍යයකි. කතෝලික අහිංසක දුප්පත් ගොවි පවුල් ජීවත් වූ අයර්ලන්තය කිහිප වරක්ම එංගලන්තයේ රජුන් සහ රැජිනියන් විසින් මෙන්ම ඉංග්‍රීසි ප්‍රොතෙස්තන්ත ආගමිකයන් විසින්ද *ආක්‍රමණය* කර තිබේ. 1600 ගණන් වල සිට සියවස් තුනක් පුරාම එය පවතින්නේ බ්‍රිතාන්‍යයේ කොලනියක් ලෙසටය. අයර් ජාතිකයන්ට බ්‍රිතාන්‍ය ජාතිකයන් වහකදුරු වැනිය.

කෙසේ හෝ විසිවන සියවස මුල්භාගයේ අයර් ජාතිකයන් සිය නූතන නිදහස් සටන අරඹයි. 1918 මහමැතිවරණයෙන් ජයගන්නා ශින් ෆෙයින් (Sinn Féin) පක්ෂය, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වර්ජනය කරමින් වෙනම *ව්‍යවස්ථාදායක සභාවක්* (Dáil) අයර්ලන්තයේ පිහිටුවා ගන්නා ලදී. ලෝක ප්‍රසිද්ධ *IRA* හෙවත් අයර් ජනරජ හමුදාව (Irish Republican Army) බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව වරින් වර සන්නද්ධ අරගල කරන්නට විය.

එහි ප්‍රතිඵලයක් ලෙස 1921 දී *ඉංග්‍රීසි-අයර් ගිවිසුම* (Anglo-Irish Treaty) අත්සන් කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස බහුතර ඉංග්‍රීසි ප්‍රොතෙස්තන්තවරු පැළපදියම්ව සිටින උතුරු පළාත, “උතුරු අයර්ලන්තය” නමින් එක්සත් රාජධානියේ කොටසක් ලෙස දේශසීමාවකින් වෙන් වීමට තීරණය කෙරේ. ගිවිසුම් ප්‍රකාරව 1922 දී *අයර් නිදහස් රාජ්‍ය* (Irish Free State) ව්‍යවස්ථාව සම්මත කර ගැනුනත් එයින් ඔවුනට පූර්ණ නිදහස ලැබෙන්නේ නැත. එය 1948 දී සිලෝන් රාජ්‍යයට (වත්මන් ශ්‍රී ලංකාවට) ලබා දුන් *ඩොමිනියන්* (Dominion) තත්ත්වය හා සමානය.

ඉංග්‍රීසි-අයර් ගිවිසුමට සහ එහි ඵලය වූ අයර් නිදහස් රාජ්‍ය ව්‍යවස්ථාවට එරෙහිව *එයිමොන් ඩි වලේරා* (Éamon de Valera) ගේ නායකත්වයෙන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ වේ. එය හරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගෙනගිය පූර්ණ නිදහස සඳහා වූ දේශපාලන උත්සාහය වැන්නකි. 1922 දී ඩි වලේරා ආරම්භ කරන ෆියනා ෆෝල් (Fianna Fáil) පක්ෂය 1932 මහමැතිවරණයෙන් තේරී අයර්ලන්ත *ආණ්ඩුව* පිහිටුවනු ලැබේ.

ඉන් අනතුරුව ඩි වලේරාගේ නායකත්වයෙන් අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අරඹයි. එම ව්‍යවස්ථා කෙටුම්පත වතිකානුවේ පාප් වහන්සේට පවා ඉදිරිපත් කෙරිණි. එමෙන්ම එම කෙටුම්පත අයර්ලන්තයේ පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර විවාද කර සංශෝධන සිදු කෙරිණි. අවසාන කෙටුම්පතට *පාර්ලිමේන්තුවේ අනුමැතිය* ලැබිණි.

ඉන් අනතුරුව 1937 ජූලි මස මහමැතිවරණයට සමගාමීව ඔවුන්ගේ වචනයෙන් *ප්ලෙබිසිට්* (plebiscite) හෙවත් වෙනම ජනමත විමසුමකට එම ව්‍යවස්ථාව ඉදිරිපත් කෙරිණි. එහිදී අයර් වැසියන්ගෙන් ඇසූ ප්‍රශ්නය වූයේ “ඔබ ප්‍රස්තුත ව්‍යවස්ථාවට එකඟද?” (ඔව් හෝ නැහැ ලෙස පිළිතුරු දැක්විණි). 56% ක් “ඔව්” යනුවෙන් ඡන්දය ප්‍රකාශ කළහ. ඒ අනුව 1937 දෙසැම්බර් මස එම අලුත් ව්‍යවස්ථාව නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ඇරඹිණි. විවිධ සංශෝධන කෙරෙමින් අදටත් එම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වේ.

පුරවැසියන් සමග සූදු කෙළීම

ඉහත නිශ්චිත ලිඛිත ඓතිහාසික පැහැදිලි කිරීම අනුව අයර්ලන්තයේ ව්‍යවස්ථාව සම්මත කෙරුණු ආකාරය සහ ඊනියා අපේක්ෂකයා විසින් යෝජනා කරන ක්‍රමය එකිනෙකට *ඉඳුරා වෙනස්* බව ඔබට දැන් පැහැදිලි විය යුතුය. 1972 මැයි මස 22 වන දින ක්‍රියාත්මක වුනු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සැබැවින්ම අපගේ *ස්වජාත* හෙවත් අප විසින්ම නිර්මාණය කරගත් අපේම ව්‍යවස්ථාවයි. එය බ්‍රිතාන්‍යයන් අපට බලෙන් පැටවූයේ නැත. එහිදී සිදු නොවූ එකම දෙය නම් ජනමත විමසුමයි. නමුත් එයින් එම ව්‍යවස්ථාවේ ස්වජාතභාවය වෙනස් වන්නේ නැත. (ස්වයංජාත යනු අවනාමයකි.)

අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කරගන්නා ආකාරය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇත (XII සහ XIII වැනි පරිච්ඡේද බලන්න). එහිදීද ජනතා අවශ්‍යතාවය අනුව සම්පාදනය කෙරෙන අලුත් ව්‍යවස්ථා කෙටුම්පත එම ජනතාවගේ නියෝජිතයන් රැස්වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, තවදුරටත් විවාද කර, එම සංශෝධනද ඇතුලත් අවසාන කෙටුම්පත පාර්ලිමේන්තුවේ ⅔ ක ඡන්දයෙන් සම්මත කර අවශ්‍ය නම් ජනමත විමසුමකටද ඉදිරිපත් කළ යුතුය.

එයිමොන් ඩි වලේරා අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ කාලයක් තිස්සේ දේශපාලන බලවේගයක් නිර්මාණය කරමින්, පියවරෙන් පියවර ඒ සඳහා අවශ්‍ය පනත් සම්මත කරමින්, *පාර්ලිමේන්තු ක්‍රමය* අනුගමනය කරමිනි. ඊනියා අපේක්ෂකයා මෙන් හදිසියේ අහසින් පහත් වී ලහිලහියේ නොවේ. එයිමොන් ඩි වලේරා විසින් මහමැතිවරණය ජනමත විමසුමක් ලෙස සලකන බවක් කීවේද නැත. ඔහු ව්‍යවස්ථාව ප්‍රස්තුත කරමින් වෙනමම ජනමත විමසුමක් පැවැත්වීය. ජනපතිවරණය සහ ජනමත විමසුම එකක් කරමින් ජනමනස ව්‍යාකූල කිරීම නීච සෙල්ලමකි.

බෙදුම්වාදයේ අත්හදා බැලීම්

අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට දත කන *අනෙක් පාර්ශවය* කවුද? ඒ නම් බෙදුම්වාදී දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් කල්ලි සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇන්ජීඕ සිවිල් සංවිධාන අශුද්ධ හවුලයි. ඔවුන්ගේ 2014-15 රෙජීම් චේන්ජ් ව්‍යාපෘතියේ අවසාන අරමුණ එයම බව දැන් අපි දනිමු. 2018 ඉල් මහ අරගලයෙන් එම දුෂ්ට ව්‍යාපෘතිය ඇණහිටීමත් සමග බෙදුම්වාදීන් විසින් අටවා ඇති වෙනත් උපක්‍රම වේගවත් කර ඇති බව පෙනේ. *අප්‍රේල් 21 ප්‍රහාරය සහ අන්තවාදී කල්ලිවල සක්‍රීය වීම එහි කොටසකි*.

*ජනරජයේ නීතිය සහ අධිකරණය කෙරෙහි වැසියන් හැකි තරම් බිඳවීම, පවතින සියලු සමාජ ගැටලු වලට හේතුව පවතින ව්‍යවස්ථාව බව විසිහතර පැයේම මතුරමින් ගොබෙල්ස් න්‍යාය අනුව වැසියන් තත්වාරෝපණය කිරීම, ඒ හරහා අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට වැසියන් තුළින්ම මතයක් ගෙන ඒම ඊනියා උපක්‍රමයේම කොටසකි.* වෙනත් රටවල ඇතැයි කියන සුරංගනා සිහින ලෝක මවමින් බොහෝ තරුණ පිරිසක් දැනටමත් මෙසේ රවටා ඇත. හාස්‍යජනක කරුණ නම් ඉන් අතිශය බහුතරයක් අවම තරමින් පවතින ව්‍යවස්ථාව කියවා හෝ නොතිබීමයි.

ඊනියා අපේක්ෂකයා යෝජනා කරන ආකාරයට ජනපතිවරණය ජනමත විමසුමක් ලෙස සලකා ජනතාව ඡන්දය භාවිතා කළේ යැයි අපි මොහොතකට උපකල්නය කරමු. එවිට උතුරු සහ නැගෙනහිර පළාත් වල ජීවත් වන ජනතාව බහුතරයක් එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහොත් එයින් *බෙදුම්වාදීන්ට අවශ්‍ය දෙය නිතැතින්ම සිදු වෙනවා නොවේද?* ඊනියා ව්‍යවස්ථාවට ඔවුන් එකඟ නොවන නිසා වෙනම ව්‍යවස්ථාවක් යටතේ වෙනම රාජ්‍යය පාලනයක් අවශ්‍ය යැයි ඔවුන් එවිට කියනු ඇත. ජනපතිවරණයට පෙර පළාත් සභා වරණය පැවැත්වීමට උත්සාහ දරන්නේ එවැනි විෂමාචරයකට සුජාතභාවය ලබා දීමටද? එවිට ජනරජය කෙතරම් බරපතල දේශපාලන අවුලකට යනු ඇතිද? එහි ප්‍රතිවිරුද්ධ දෙය සිදු වුවත් ප්‍රතිඵලය එකමය. එය දරුණු *ද්විත්ව බන්ධනයකි*.

සැබෑ ව්‍යවස්ථා අර්බුදය මතුවන්නේ එවිටයි. එවැනි අරාජික අන්දමන්ද දුර්වල අවස්ථාවක අන්තවාදී කණ්ඩායම් නැගී සිට නැවත *ජාතිවාදී ආගම්වාදී සිවිල් ගැටුම්* ඇති වීම වැළැක්විය නොහැකිය. සාම සාධක හමුදා පමණක් නොව ඇමරිකාව සමග අත්සන් කර ඇති අලුත් ගිවිසුම් හරහා ඇමරිකානු හමුදාව පවා එයට මැදිහත් වනු ඇත. අයර්ලන්තයේ මෙන් ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ඒකීය රාජ්‍යයද දේශසීමාවලින් දෙකට හෝ තුනට බෙදා වෙන් නොකරාවී යැයි කාට නම් කිව හැකිද?

කරන දෙයක් හරියට කරනු

*සාර්ථකත්වයට කෙටි පාරවල් නොමැත*. ඔය කියනා තරම් අනෙක් රටවල් අති පාරිශුද්ධ අති සුන්දර අති රමණීය නැත. එම රටවල වැසියන්ටද අපට මෙන්ම විවිධ සමාජ, පාරිසරික, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, තාක්ෂණික, නෛතික ගැටලු තිබේ. ලංඩනයේ ඇතුළු පාරවල් වල මුත්‍රා ගඳ ඉවසන්න බැරිය. රෝමයේ රැකියා විරහිත රස්තියාදුකාර තරුණයන් සිගරට් බොමින් තරුණියන්ට කොලොප්පම් කරයි. ඕස්ට්‍රේලියාවේ දුඹුරු හමට දෙවැනි තැනය. ඇමරිකාවේ නිවාස නැතිව මිනිසුන් මහමග කූඩාරම් ගසා ගෙනය. සිංගප්පුරුවේ තරුණ-තරුණියන් මානසික ආතතියෙන් සියදිවි නසාගනී. බෙයිජිං වල වාතය උග්‍ර විසය. *අපි අපේ මාතෘ භූමිය ගැන සාධාරණ වෙමු*.

පිටරටවල රැකියා තුන හතරක් කරමින් ජීවිකාව කරන ශ්‍රී ලාංකිකයන්, එම උත්සාහය සහ මහන්සියෙන් *අඩක් තම මව් රටේදී යොදවන්නේ නම්* ඉතා සැපසේ ජීවත් විය හැකිය. පිටරට දේ හරිසැප දේ කියමින් උගුරට හොරා බෙහෙත් කන ඇතැමුන් තම හීනමානය වසා ගැනීමට ඊනියා බෙදුම්වාදී කුමන්ත්‍රණ වලට උල්පන්දම් දීම මහත් අපරාධයකි. සැබැවින්ම තම මව්බිමේ සාර්ථකත්වය දැකිය යුතු නම් ඔවුන් කළ යුත්තේ තම මව් රටේ ආර්ථිකය සහ සමාජ සුභසාධනය වෙනුවෙන් *ඍජුව දායක වීම* මිස ඊනියා දේශපාලන කුමන්ත්‍රණ කිරීම නොවේ.

ජනරජයේ ගැටලු ඇත. කිසිම රටක් සර්ව සම්පූර්ණ නැත. වසර 71 ක් ගැන කියමින් නන් දොඩවන අයට මතක් කර දිය යුත්තේ ඉන් වසර 30 ක්ම කුරුරු ත්‍රස්තවාදී යුද්ධයකට අප මුහුණ දුන් බවයි. සිංගප්පුරුවට එවැනි යුද්ධයක් තිබුනේ නැත. 1948 න් පසු ඉන්දියාව-පාකිස්ථානය මෙන් අපගේ රාජ්‍යය දෙකඩ යා නොදී වසර 24 ක් පුරා කෙසේ හෝ පවත්වා ගනිමින් අවසානයේ ජනරජය පිහිටුවා ගැනීම ගැන එකල ප්‍රගතිශීලී නායකයන්ට අප කෘතඥ විය යුතුය.

යම්තම් හරි අපට සාධාරණ අවස්ථාවක් ලැබුනේ 2009 ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමෙන් පසුවය. නමුත් ඉන් අනතුරුව ජනතාවට ලබා දුන් මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින් උපරිම ප්‍රයෝජනය ගෙන *ව්‍යවසායී* ලෙස ආර්ථිකය දියුණු කරනවා වෙනුවට කම්මැලි ශ්‍රී ලාංකිකයන් කළේ ඒවාට බොරු අවලාද නැගීමයි. හම්බන්තොට වරාය විකුණා දැමීමයි. මත්තල වී ගබඩා කිරීමයි. ඉතින් අප දියුණු වන්නේ කෙසේද? *ජනතාවගේ කුහකකමට ව්‍යවස්ථාව පළි නැත*.

ජනරජයේ දැන් අවශ්‍යතාවය අලුත් ව්‍යවස්ථාවක් නොවේ. එය බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවයයි. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය යැයි විශ්වාස කරන ඊනියා අපේක්ෂකයා සහ ඔහුගේ කණ්ඩායම කළ යුත්තේ ව්‍යවස්ථානුකූලව එය සිදු කිරීමයි. ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයට එය සිදු කිරීමයි. නීත්‍යානුකූලව එය සිදු කිරීමයි. *ඉක්මන් ගමනට ආයුෂ කෙටිය*. කරන දෙයක් හරියට කරනු. 2014-15 මූසල වෙනස නැවත නොකරනු.

එරන්ද ගිනිගේ



107 Viewers