• Home »
  • Sinhala »
  • අලුත් ව්‍යවස්ථා යෝජනා මගින් රට බෙදී යන ආකාරය

අලුත් ව්‍යවස්ථා යෝජනා මගින් රට බෙදී යන ආකාරය

aa

අලුත් ව්‍යවස්ථාවක් යෝජනා වන අවස්ථාවේ රටේ ජනතාව වන ඔබ විසින් මේ නිසා ඔබටත් ඔබගේ දරු මුනුබුරන්ටත් අනාගතයේදී සිදුවිය හැකි දේ හොදින් දන සිටිය යුතුය. අන් සියලු කරුණු පසෙකලා ලංකාව තුල තවත් කැටලෝනියාවක් බිහිනොවීමට අප සියලු දෙනා වගබලාගත යුතුය. මේ සඳහා දේශපාලඥයන් කියන කරුණු පසෙක ලා අතුරු කමිටු වාර්තාවේ ඇති වගන්ති තේරුම් ගැනීම වැදගත්වෙයි.

1. මෙහි පළමු වගන්ති දෙකෙන් සත්‍ය ලෙසම ලංකාව නොබෙදිය හැකි රටක් බවත් එය බෙදීම සඳහා පළාත් සභාවක් හෝ වෙනත් කිසිදු අධිකාරියක් ක්‍රියා නොකළ යුතුබව සඳහන්ව ඇති බව මුලින්ම කිව යුතුය – පිටුව 1 හා පිටුව 5 (2.2).

2. මෙම යෝජනා වල 5 වන පිටුවේ සඳහන් වන්නේ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් ආරක්ෂාවන් සැලැස්විය යුතුය. මෙම වාර්ථාවේ 27 වන පිටුවහි යෝජිත ප්‍රතිපත්ති හා සූත්‍රණයන් ඇතුළත් කොට තිබේ”.

නමුත් අවාසනාවකට මෙන් මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල ලියවිල්ලේ ඇත්තේ පිටු 26 පමණි. එසේ නම් 27 වැනි පිටුවේ ඇති දේ සම්බන්ද්ධයෙන් මෙහි සඳහන් වීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් මුළු ලියවිල්ලම පාර්ලිමේන්තුවටඉදිරි පත් කර නොමැති බව නේද?

මිට අමතරව සුමන්තිරන් මන්ත්‍රී වරයා 2017 දෙසැම්බර් 30 වැනිදා යාපනයේදී පැවසුවේ මෙම ව්‍යවස්ථාවෙන් ෆෙඩරල් වලට සමාන ව්සඳුමක් ලැබෙන බවත් එම කරුණු මෙහෙයුම් කමිටු වාර්තාවේ 1, 2, 30 සහ, 34 වැනි පිටු වල ඇති බවයි.

ඉතාම පැහැදිලිව මෙම ලියවිල්ලේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ පිටු 26 ක් පමණි . එසේ නම් මේ සුමන්තිරන් මන්ත්‍රීවරයා 30 හා 34 වැනි පිටු ගැන කතා කරන්නේ කෙසේද යන ප්‍රශ්නයට මෙම රජය ඍජු පිළිතුරක් දිය යුත්තේ මෙම ව්‍යවස්ථාව මුළු රටේම අනාගතය තීරණය කරන ඉතා වැදගත් ලියවිල්ලක් වන බැවිනි.

ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමට ප්‍රථමව ම පාර්ලිමේන්තුවට කොලේ වසා ව්‍යවස්ථා සම්පදනයකට යාම ප්‍රජතන්ත්‍ර විරෝධී බව මතක තබා ගත යුතුය.

3. මෙසේ ව්‍යවස්ථාවේ 1 සහ 5 වැනි පිටුවල බෙදිය නොහැකියි තිබු පමණින් රට බෙදීයාමේ අවදානමක් නැතැයි අපට සතුටු විය හැකිද ?
4. එසේ නැත්නම් රට බෙදියනවයයි කීම බොරු බිල්ලෙක් මවා පෑමක්ද ?
පහත දැක්වෙන කරුණු සාවදානව කියවා අවබෝධකර ගන්න. මන්ද ඔබේ රට ගැන ඔබට තීන්දුවක් ගැනීමට ඇති අවසාන අවස්ථාව එය විය හැකි බැවිනි.

මොකද්ද මේ “මොන්ටි වීඩියෝ” සම්මුතිය?

ලෝකයේ යම්කිසි භූමියක් වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සැපිරිය යුතු කරුණු සඳහන් වන්නේ මොන්ටි වීඩියෝ සම්මුතියෙහිය. මොන්ටි විඩියෝ සම්මුතිය ඇතිකරගත්තේ 1933 දී ඇමරිකා මහද්වීපයේදීය. පසුකලකදී ඉශ්‍රායලය වෙනම රටක් ලෙස පිලිගනිමේදීත් යුගෝස්ලාවියාව කඩා රටවල් 8 ක් හැදීමේදීත් නිර්ණායක ලෙස ගත්තේ මේ මොන්ටි වීඩියෝ සම්මුතියේ ඇති නිර්නයකයන්ය. මෑතදී කැටලොනියව වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කලෙත් ඔවුන් ඒ අවශ්‍යතා සපුරා සිටි බැවිනි.

Article 1 of the “Money Wideo Resolution” stated that the state as a person of international law should possess the following qualifications: a. a permanent population; b. a defined territory; c. government; and d. capacity to enter into relations with the other states.
“මොන්ටි වීඩියෝ සම්මුතියට” අනුව ලෝකයේ ප්‍රදේශයක් වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සැපිරිය යුතු කරුණු :
i. ස්ථිර ජනතාවක් සිටීම ,
ii. නිශ්චිත භුමියක් ඇතිබව ,
iii. රජ්‍යපාලනයක් ඇතිබව,
iv. පිටරට සමග සබඳතා පැවැත්වීමට ශක්තියක් ඇතිබව.

අපේ ව්‍යවස්ථාවේ මොකක් තිබුනත් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේදී ඉහත දක්වූ කරුණු සම්පූර්න වුවහොත් වෙනම රාජ්‍යයක් ඇතිවීම වැලක්වීමට නොහැකි වනු ඇත. එම භුමියේ වෙසෙන ජනතාව වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කලවිට ලෝකයේ රටවල් දෙකක් එම ප්‍රකාශය පිළිගතහොත් එම භුමිය වෙනම රාජ්‍යයක් වනු ඇත.
ලංකාවේ ඕනෑම පළාතක ස්ථිර ජනතාවක් සිටින බව කවුරුත් දන්නා කරුණකි. එසේනම් මීළඟට අප බැලිය යුතුයි පළාතකට නිශ්චිත දේශ සීමාවක් ලබාදීම යෝජිත ව්‍යවස්ථාවෙන් සිදුවෙනවාද යන කරුණ වේ.

භුමියේ ස්වයං නිර්ණ අයිතිය පළාතට ලබා දෙන ආකාරය

aa2

දැන් අපි නව යෝජනාවල 4 වැනි පිටුවේවර්තමාන ව්‍යවස්ථාවට විකල්ප ලෙස යෝජිත දෙවැනි වගන්තිය දෙස බලමු;
• පළාත් දෙකක් හෝ වැඩි ගණනක් එක ඒකකයක් ලෙස කටයුතු කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ [ 154අ (3) වැනි ව්‍යවස්ථාවේ ] දැනට පවතින ප්‍රතිපාදන අදාල පළාත්වල මහජනයාගේ ජනමත විචාරනයක්ද අවශ්‍යය යන අතිරේක අවශ්‍යතාව සමග රඳවාගතයුතු බව.

• ඒකාබද්ද කිරීමක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විදිවිදාන සැලැස්වීම නොකළ යුතු බව.

• ව්‍යවස්ථාවෙන් උතුරු නැගෙනහිර එක ඒකකයක් ලෙස පිලිගතයුතුබව
(මෙවා ගෝලීය දෙමල සංසදයේ යෝජනාවන්ය- වෙබ් අඩවිය බලන්න)

අද දක්වාම ශ්‍රී ලංකාව නමැති මුහුදින් වටවූ මේ භුමියේ පළාත් හෝ ප්‍රාදේශීය සභා හෝ වෙනයම් භූමියක සිමාවන් පැනවීමේ පුර්ණ අධිකාරී බලය තිබුනේ පාර්ලිමේන්තුවටයි. එනම් භුමිය පිලිබඳ ස්වයන් නීර්ණ අයිතිය තිබුනේ ශ්‍රී ලංකාවේ මුළුමහත් ජනතාවටමයි.

මෙම යෝජනාව ක්‍රියාත්මක වීමත් සමග පාර්ලිමේන්තුව සතු ඒ බලය අහෝසිවෙයි. පර්ලිම්නේතුවේ මන්ත්‍රීවරු 100% කිවත් පළාතේ ජනතාව ජනමත විචාරණයකින් අනුමැතිය නොදුන හොත් පළාතේ සිමාවන් වෙනස් කල නොහැකි වනු ඇත. එනම් පළාතක භුමියේ සිමාව පිලිබඳ ස්වයන් නිර්ණ අයිතිය පාර්ලිමේන්තුවෙන් උදුරා පළාතේ ජනතාවට සින්නක්කර පවරා දීමක් සිදුවේ. මේ මගින් ඕනෑම පළාතකට වෙනත් කිසිම අධිකාරියකට වෙනස් කල නොහැකි නිශ්චිත භූමියක් හිමිවේ.

ඊළඟ වගන්තියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පළාත් ඒකාබද්ධ කිරීම සඳහා තිබු බලතල අහෝසිකර තිබේ. ඒ අනුව පළාතක සිමා නිර්ණය කිරීමේ එකාන්තික බලය පාර්ලිමේන්තුවෙන් හා ව්‍යවස්ථාවෙන් ඉවත්කර පවරා දෙනු ඇත්තේ ඇත්තේ පළාතේ ජනතාවට පමණි.

මෙය මොන්ටි වීඩියෝ සම්මුතියේ දෙවැනි කාරණය සැපිරීමක් බව හොදින් තේරුම් ගන්න.
නිශ්චිත ජනතාවක් සිටිය යුතුය යන මුල් අවශ්‍යතාව මේ වන විටත් පළාත් සපුරා ඇත.
දැනටමත් විදේශයන් හා ගනුදෙනු කිරීමට ශක්තියක් පළාත් වලට ඇත ( ගුවන් හා නැවු තොටවල් තිබීම වැනි කරුණු ප්‍රමානවත්වේ).

එසේනම් ඔවුන්ට අවශ්‍ය වන්නේ රජ්‍යපලනයක් ආපසු වෙනස් කල නොහැකි ආකාරයට ලබාගැනීම පමණක් බව සිහි තබා ගන්න.

මෙය නව යෝජනා වලින් කර දෙන්නේ කෙසේ දැයි අප තේරුම් ගමු:
18 වැනි පිටුව VI පළාත් ලයිස්තුවේ විෂයන් සම්බන්ධව මධ්‍යම රජයේ නීති සම්පාදනය;
• දැනට බල පැවැත්වවන සියලුම මධ්‍යම නීති (පළාත් ලැයිස්තු විෂයයන් පිළිබද) පළාත්‍ විසින් සම්මත කරන නීතියකින් සංශෝධනය හෝ අහෝසි කරන තුරු ඒ ආකාරයට ම බලපැවැත්වවනු ඇත.

මෙයින් කියවෙන්නේ දැනට මධ්‍යම රජය පැනවූ සියලු පනත්, පළාත් පනත් සම්මත වීමෙන් පසු අහෝසිවෙන බවය
• පළාත් ලැයිසේතුවේ සඳහන් ඕනෑම විෂයයක් පිළිබඳව කේන්ද්‍රයට නීති පැනවිය හැකි නමුත් ඒ නීති සඳහා සියලු ම පළාත් සභාවල එකඟතාව තිබිය යුතුය.

• කේසේවුවද, කේන්ද්‍රය මඟින් පළාත් සභා ලැයිසේතුවේ ඇතුලත් කිසිඳු කාරණාවක් සම්බන්ධයෙන් යම් පලාත් සභාවක් මඟින් නීති පැනීමකට එකඟ නොවන වන අවසේථාවකදී, විමධ්‍යගත කරන ලද බලතල ඒක පාර්ශ්විකව පළාත් වෙතින් නැවත්‍ පවරා ගැනීම වැළැක්වීම සඳහා වන ව්‍යවස්ථාමය සුරැකියාවන් ගෙන් තොරව එකී නීති පැනැවීම සිදු නොකළ යුතුය.

මෙයින් බොහොම පැහැදිලිව පළාත් නීති සම්බන්ධව කිසිදු බලපෑමක් කිරීමට පාර්ලිමේන්තුවට නොහැකි කර තිබේ. එමෙන්ම පළාත් සභාවල බලතල කිසිදු විටෙක ආපසු පවරා ගැනිමක් සිදුවීම ව්‍යවස්ථාවෙන්ම තහනම් කර තිබීම ඉතා සුවිශේෂිය වේ. ඒ අනුව පැවරු බලතල කුමන තත්ත්වයක් යටතේ වුවද ආපසු පාර්ලිමේන්තුවට පවරා ගැනීමට කිසිදා නොහැකි වනු ඇත.

ජර්මානු ෆෙඩරල් ව්‍යවස්ථාවේ 77 වගන්තියට අනුව පළාත් රාජ්‍යයක සම්මත වන ඕනෑම පනතක් මධ්‍යම රජයේ වැඩි චන්දයෙන් ප්‍රතික්ෂේප කල හැක. ජර්මානු ෆෙඩරල් ව්‍යවස්ථාවෙ වත් නැති බලය බෙදීමක් පළාත් වලට ලබා දෙන්නේ මොන්ටි වීඩියෝ සම්මුතියේ 3 වන කරුණ වන රජ්‍යපලනයක් ඇත යන්න තහවුරු කර ගැනීමට බව මතක් කරමු.

යෝජනාවලියේ 3.2 වගන්තියට අනුව පළාත්පාලන ආයතන වල ව්‍යූහය, මැතිවරණ ක්‍රමය අදිය හැර පළාත් පාලන ආයතන සංවර්ධනය හා පරිපාලනය හා මුල්‍ය පාලන බලයද පළාත් සභාවලට පවරා දෙනු ලැබේ. එවිට පළාත රජයක් ලෙස සැලකුවිට ඒ යටතේ ඇති පළාත් පාලන එක්ක සියල්ලද පාර්ලිමේන්තුවේ බල අධිකාරියෙන් ගලවා පළාත් ආණ්ඩුවටම පවරා දී ඇත .

රටේ ජාතික ප්‍රතිපත්ති යන සංකල්පය අහෝසි කරන ආකාරය
නව යෝජනා වල 7 වැනි පිටුවේ 5.2 වගන්තියට අනුව,
5.2.1 ජාතික ප්‍රතිපත්තිය සම්බන්දයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනම හරයාත්මක ව්‍යවස්ථාවක් තිබිය යුතුය මෙය (ව්‍යවස්ථාදායක බලය සම්බන්දව අදාල වන ) සංවෘත ලැයිස්තුවට ඇතුලත් නොකළ යුතුය.

මතක තබා ගන්න මෙතෙක් කල් ඕනෑම විෂයක් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සැදීම පාර්ලිමේන්තුව සතු බලයක්ව පැවතුනා. 1978 ව්‍යවස්ථාවේ සංවෘත ලැයිස්තුව ( list 2 reserved list ): National Policy on all Subjects and Functions, Defence and National Security: Internal Security;

මේ බලය නැතිවීමත් සමග රටට ජාතික ප්‍රතිපත්ති සැදීමට පාර්ලිමේන්තුවට නොහැකි වනවා. ඉන්පසු රටේ පවතින්නේ පළාත් ප්‍රතිපත්ති පමණක් වනු ඇත. රටකට ප්‍රතිපත්ති සැදීමට පාර්ලිමේන්තුවට බලයක් නැත්නම් ඇත්තේ පළාත් ප්‍රතිපත්ති පමණක් නම් එතන තවත් රටක් පවතින්නේ නැතිබව තේරුම් ගන්න.

එතන ඉතුරු වන්නේ ප්‍රතිපත්ති 9 ඇති එකක 9 පමණි
තවදුරටත් ඔවුන් යෝජනා කරන්නේ පළාත් විෂයන් සම්බන්ධ ප්‍රතිපත්ති මධ්‍යම රජය සැදුවත් ඒවා පළාත් ප්‍රඥප්ති අභිබවා නොයා යුතු බවය ( මධ්‍යම රජය ප්‍රතිපත්ති සෑදිමෙන් ඉවත් කල පසු ලංකාව තුල පවතින සියලු ප්‍රතිපත්ති පළාත් ප්‍රතිපත්ති බවද මතක තිය ගන්න).

මධ්‍යම රජයට ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමට අවශ්‍යනම් ජර්මානු ව්‍යවස්ථාවේ 72 වගන්තිය අනුගමනය කරන ලෙසට යෝජනා කරයි.
ව්‍යවස්ථාදායක මණ්ඩලය මුළු රටම නොමග යවමින් සිටින බව කිව යුතුය.

hed
mid

slide

ජර්මන් ව්‍යවස්ථාවේ 72 වගන්තිය ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය කියන වගන්තියක් නොවේ. එහි ඇත්තේ ජර්මානු ව්‍යවස්ථාවේ සමගාමී ලයිස්තුවේ ඇති නීති ක්‍රියාත්මක කරන ආකාරයයි (සමගාමී ලැයිස්තුවක ඇත්තේ මධ්‍යම රජය හා පළාත් රජය සාකච්චා කොට ක්‍රියාත්මක කල යුතු විෂයන්ය ). මේ අය අපට යෝජනා කරන්නේ අපගේ ජාතික ලයිස්තුවේ ඇති නීති හා ප්‍රතිපත්ති ජර්මනුව්‍යවස්ථාවේ සමගාමී ලයිස්තුවේ ඇති ආකාරයට ක්‍රියාත්මක කරන ලෙසටයි.
මතක තියා ගන්න ෆෙඩරල් ජර්මානු ව්‍යවස්ථාවේ පළාත් ලැයිස්තුවක් නැත. ඇත්තේ සමගාමී හා සංවෘත ලැයිස්තුවක් පමණි. නමුත් අප රටේ දැනටමත් පළාත් ලැයිස්තුවක් ඇත. ඊට අමතරව සමගාමි ලයිස්තුව අහෝසිකර ( 6 පිටුවේ 4.2 වගන්තිය අනුව ; ජාතික ලයිස්තුවක් (සංවෘත් ලැයිස්තුවක්) සහ පළාත් ලැයිස්තුවක් තිබිය යුතුය යන්න මෙහෙයුම් කමිටුවේ මතය වේ).

සංවෘත ලයිස්තුවේ ඇති නීතිද ජර්මානු ව්‍යවස්ථාවේ සමගාමී ලැයිස්තුව ක්‍රියාත්මක කරන ආකාරයට කරන ලෙසට උපදෙස් දීම මගින් අපගේ පාර්ලිමේන්තුව බල රහිත කර ජනතා පරමාධිපත්‍යයට පයින් ගසා සියලු බලය ආපසු ගත නොහැකි ලෙස පළාත් සභාවලට පවරා දීමක් සිදුවන බව වටහා ගන්න.
ෆෙඩරල් ව්‍යවස්ථාවකටත් එහා ගිය බලය බෙදීමක් යෝජනා කරන්නේ රට බෙදීමට බව තේරුම් ගන්න.

සුමන්තිරන් ගේ කටින් එලියට පැන්නේ මේ කාරනාවය. ජාතික ප්‍රතිපත්ති නොමැතිව පළාත් සභා ප්‍රතිපත්ති සැදීමට ඇරඹු විට බහු භාර්යා විවාහ, බාල වයස්කාර විවාහ, සම ලිංගික විවාහ, ගබ්සා කිරීම් ආදිය විවිධ පළාත් වල ප්‍රතිපත්ති වනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණ, 1987 දී, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මහා හර්තාලයක් කලත් ව්‍යවස්ථාව සම්මත වුන බව මතක් කල යුතුය.
මෙනිසා ජනතාව පාරට බැහිමෙන් මේ බෙදුම් වාදී ව්‍යවස්ථාව පරාජය කල නොහැකිබව තේරුම් ගන්න.

• බුද්ධිමත් වන්න ඔබගේ ජනතා නියෝජිතයා ලවා මේ රුදුරු පනතට එරෙහිව චන්දයක් ගැනීමට බලපෑම් කරන්න.
• මෙම යෝජනා කියවන්න, දැන ගන්න .
• ඔබේ කනින් රින්ගන්නට කිසිවකුට ඉඩ දෙන්න එපා.
පාර්ලිමේන්තුවේ ජනතා බලය පළාත් සභාවල අභිමතයට යට කර තිබෙන ආකාරය

නව ව්‍යවස්ථාවේ යෝජනා වල VI වැනි ඇමිණුමේ දක්වා ඇති පරිදි දෙවන මන්ත්‍රන සභාවක් යෝජනා වෙනවා. එහි ඉන්නේ පළාත් සභා වලින් 45 හා පාර්ලිමේන්තුවෙන් 10 දෙනෙක් . ඒ කියන්නේ අති බහුතරය පළාත් සභා නියෝජිතයින් .

අලුත් ව්‍යවස්ථාව ආවයින් පසු නැවත ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට මේ දෙවන මන්ත්‍රන සභාවේ 2/3 අනුමැතියක් අවශ්‍ය බව කියන්නේ යෝජිත ව්‍යවස්ථාවේ 20 වැනි පිටුවේ පස්වන වගන්තියට අනුවය. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ 100% කිවුවත් දෙවන මන්ත්‍රී මණ්ඩලයේ 2/3 නැතිව අනාගතයේ රටේ කිසිම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන්න බරිවනවා. මෙය රටේ ජනතා පරමධිපත්‍යය පළාත් බලයට යට කිරීමක් නොවෙයි ද.

මිට අමතරව එහි සඳහන් වෙනවා පාර්ලිමේන්තුවේ හදන ඕනෑම සාමාන්‍ය නීතියක් ආපසු පාර්ලිමේන්තුවට හරවා යැවීමේ බලය දෙවන මන්ත්‍රණ සභාවට ලබා දී තිබෙන බව. මේ අනුව ඔබට පේනවද වඩා බලවත් රටේ ජනතාවගේ පරමාධිපත්‍යය හිමි පාර්ලිමේන්තුවද ? බහුතර පළාත් සභා බලය සතු දෙවන මන්ත්‍රණ සභාවද? පැහැදිලිවම දෙවැනි මන්ත්‍රණ සභාවට වැඩි බලයක් හිමි වෙනවා

ජර්මන් ෆෙඩරල් ව්‍යවස්ථාවේ 77 වගන්තියට අනුව පළාත් රාජ්‍යයක සම්මත වන ඕනෑම නීතියක් මධ්‍යම රජයේ පාර්ලිමේන්තුවේ බහුතර චන්දයෙන් අහෝසිකළ හැකියි. අපේ රටේ සිද්ද වෙන්න යන්නේ මේකේ අනිත් පැත්ත. එහෙනම් ඔබට තේරුම් යා යුතුයි මේ ය සුදානම් වන්නේ ජාතික සන්හින්දියාවකට නොව රට බෙදීමට බව.

රාජ්‍ය පරිපාලනය මහ ඇමතිගේ යටතට පත්කරන යෝජනා මේ ආකාරයෙන් හඳුනාගත යුතුය

නව යෝජනා වල 9 වගන්තියට අනුව පළාත් රාජ්‍ය සේවා කොමිසමේ නියෝජිතයන් නම් කරන්නේ පළාතේ මහා ඇමති හා විපක්ෂ නායක වේ . මේ යෝජනා ව්‍යවස්ථා සභාව හා ආණ්ඩුකාරයා අනුමත කලයුතුය. එනම් මේ තනතුරු මහ ඇමතිගේ රුකඩ වනු ඈත.
සියලු උසස් පරිපාලන නිලධාරීන් පත් කරන්නේ පළාත් ඇමති මණ්ඩලයයි. මේ මගින් මුළු පරිපාලනයම දේශපාලන හෙන්චයියන් වනු ඇත.

එහි (ඌ ) වගන්තියට අනුව ප්‍රධාන ඇමති එකඟ නම් පමණක් ජනාධිපතිට පළාතේ ප්‍රධාන ලේකම් පත්කළ හැක. රටේ ජනාධිපති මහ ඇමතිගේ සාක්කුවට දාන මෙහෙව් ව්‍යවස්ථාවක් අප දැක නැත.

වගන්තියට අනුව ආණ්ඩුකාරයා චාරිත්‍රනුකූල කාර්යයක් පළාතේ ඇමතිමන්ඩලයේ උපදෙස් මත ඉටුකළ යුතුය.

මේ අනුව ඉතාම කණගාටුදායක ලෙස මුලූ රාජ්‍ය පරිපාලනයම දේශපාලනීකරණය වනු ඇත. මධ්‍යම රජයේ වේවා පළාත් ආණ්ඩුවේ වේවා දේශපාලකයන් අතට රජ්‍යසේවය පත්වූවිට ස්වාධින කොමිසන් සභා ගැන රටේ මිනිසුන් මැවු සිහින වලට වන්නේ කුමක්දැයි අපි අපෙන්ම ප්‍රශ්න කල යුතුය.

අපගේ අධිකරණයට කරනු ලබන විනාශය

මෙම යෝජනා වල 9 වන පිටුවේ 8 වන වගන්තියේ සඳහන්ව ඇති අයුරු පළාත් නීතිවල ව්‍යවස්ථානුකුල භාවය තීරණය කිරීමත්, 14 වැනි පිටුවේ 16 වැනි වගන්තිය හා 15 වැනි පිටුවේ 20 වන වගන්තියට අනුව පළාත හා මධ්‍යම රජය අතර ඕනෑම ඉඩම් ආරවුලකදී ඒ සම්බන්ධ තීරණ ලබාදීම, 22 වැනි පිටුවේ 11 (ඈ) වගන්තියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගේ තනතුර අහෝසිවුවිට ඒ පිලිබඳ අභියාචනයකදී අවසාන තීරණය ලබාදීම සිදුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොව ව්‍යවස්ථා අධිකරණය කිනි.

මේ ව්‍යවස්ථා අධිකරණයෙන් ලබාදුන් කිසිදු තීන්දුවක් වෙනත් කිසිදු අධිකරණයකින් වෙනස් කල නොහැකි බවද මෙහි සඳහන් වෙයි.

මෙම ව්‍යවස්ථා අධිකරණය යනු අපගේ උසාවියක් නොවේ එය උසාවියට පරිබාහිර වෙනම ආයතනයකි. මේ බව සඳහන් වන්නේ මෙම යෝජනාව ඇතුළු ව්‍යවස්ථා සමපාදක යෝජනා ඉදිපත් කල විකල්ප ප්‍රතිපතති කේන්ද්‍රය නම් “එන් ජි ඕ” -NGO එකේ 15 වැනි ලියවිල්ලේ 8 වන පිටුවට අනුවය.

A CONSTITUTIONAL COURT FOR SRI LANKA?
PERCEPTIONS, POTENTIAL & PITFALLS
CPA Working Papers on Constitutional Reform No. 15, April 2017
Tom Gerald Daly
Centre for Policy Alternatives | www.cpalanka.org

මෙහි 16 වැනි පිටුවට අනුව මෙම ව්‍යවස්ථා අධිකරණයට පත්කරනු ලබන්නේ අපගේ විනිශ්චය කරුවන් නොවේ . එයට නීති වේදීන්, විදේශ විනිශ්චයකාරවරුන්, විද්වතුන් (එන් ජි ඕ NGO නියෝජිතයන්,) හා සුළුජාතික නියෝජිතයන් පත්කළ හැකි බව සඳහන් වෙයි .

මෙහි 11 වන පිටුවේ සඳහන් කරුණු වලට අනුව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කර ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවන්නේ අපගේ අධිකරණය දුෂිත , ප්‍රජා තන්ත්‍ර විරෝධී හා ව්‍යවස්ථා විරෝධී තීන්දු දී ඇති බැවිනි. (මෙම ලියවිල්ල ඇත්ත වශයෙන්ම අප අධිකරණයට කරන ලද අපහාසයකි.)

මේ අනුව අලුත් ව්‍යවස්ථාව පැමිණීමෙන් පසු එන් ජි.ඕ හා සුළු ජාතික නියෝජිතයන් වසින් මෙහෙයවන සුපිරි අධිකරණයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය අභිබවා තීන්දු දෙනු ඇත. මෙය අපගේ අධිකරණ පද්දතියේ මල ගම වනු ඇත.

නිතිය පිලිබඳ විශ්වාසය බිඳ වැටීම නිසා රට අරාජික වී විනාශ මුඛයට යනු ඇත.

ලංකාවේ ජාතිවාදී ප්‍රශ්නයට මුල
අද වන විට රාජ්‍ය සේවයට කරනු ලබන සියලු පත්වීම් අදාල ඇමතිගේ අනුමැතියට යැවිය යුතු පාදඩ තත්වයට රට පත්වී අවසානය. මේ තත්වය වෙනස් කරන වා වෙනුවට සන්හින්දියාවට මුවාවී මේ අයතා වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට පළාතේ දේශ පාලනඥයින්ටත් ඒ බලයම බෙදා දීම සංහිඳියාවක් වන්නේ කෙසේද?. විය යුත්තේ මහාණ්ඩුවේ දේශපාලකයින් සතු මේ අයතා බලය ඉවත් කර ජාති ආගම් කුල බේධයෙන් තොරව සුදුස්සාට සුදුසු තැන ලැබීමට හැකි වන පරිදි රටේ ව්‍යවස්ථාව සැදීම නොවේද ? එවිට සිංහල දෙමල මුස්ලිම් දක්ෂයින්ට නිසි තැන ලැබෙනවා නොවේද ? මේ අසික්කිත දේශපාලුවෝ මේක කරාවිද ?

මෙය කියවා ඔබ නිශ්ශබ්ධව නොසිටින්න . මෙහි මා පෙන්වා දුන් ලියවිලි ගෙන කියවන්න. නොපෙනුණු තවත් කරුණු ඔබට පෙනීමට ඉඩ ඇත. පාර්ලිමේන්තුවට මෙම යෝජනා පැමිණි විට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අති බහුතරය, සියලු සුළු ජාතික පක්ෂ හා පිතෘ දේශය වෙනුවෙන් 60000 තරුණයන් මර දැමු ජනතා විමුක්ති පෙරමුණද කිසිදු හිරිකිතයකින් තොරව මෙම භයානක ලියවිල්ලට කැමැත්ත ඵල කිරීම අතිශයින්ම කනගාටුවට කරුණකි.

මෙහිදී මෙයට විරුද්දව හඬක් නැගුවේ ත්‍රයි නිකායික මහා සංඝ රත්නයත්, කාදිනල් තුමා හා හින්දු සභාවේ ප්‍රධාන පුජක තුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පමණි.

ලඟදි එන පළාත් පාලන චන්දයේදී මෙම ව්‍යවස්ථා සංශෝධනයට සහය දුන් පක්ෂ වලට ජයග්‍රහණයක් ලැබුන හොත් ඔවුන් ඒකාබද්ද විපක්ෂය විනාශකර හෝ මුදලට මිලදීගෙන මෙම විනාශකාරී ව්‍යවස්ථාව ගෙන එනු ඇත. එය අප රටේ හා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මල ගම වනු ඇත.

ඔබගේ පක්ෂය පන්තිය ආගම ජාතිය කුමක් උනත්, රට නොබෙදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් සහිතව ඉදිරි ගමනක් බළා පොරොත්තු වන්නේ නම්. එජාපය, මෛත්‍රී පිල, සුළු ජාතික පක්ෂ , හා ජවිපෙට කිසි ලෙස කින් චන්දය නොදෙන්න. ඔවුන්ට රට පිලිබඳ මිට වඩා වගකීමෙන් යුක්තව තීන්දු ගැනීමට මතක හිටින පණිවුඩයක් ඔබ දිය යුතුමය.

මේ යුතුකම ඔබ වෙනුවෙන් නැතත් ඔබගේ දරුවන් වෙනුවෙන් ඉටුකිරීමට ඔබට සිදුවනු ඇත.

ව්‍යවස්ථාව පරාජය කිරීමෙන් පසුව ඔබ ඕනෑම පක්ෂයකට චන්දය දුන්නට අපට ප්‍රශ්නයක් නැත

රට විනාශ වීමෙන් බෙරා ගැනීමේ යුතුකම් ඔබ සතුය. වහා ඔබ ක්‍රියාත්මක විය යුතුය.

රට හිතැති වෛද්‍යවරු

263 Viewers