අවුරුදු දෙසීයකට පසු

පක්‍ෂ හා පෞද්ගලික දේශපාලනයෙන් ඉවත් වී රට ජාතිය ආගම (සංස්කෘතිය) මත පදනම් වූ දේශපාලනයක නිරත වීමට නොහැකි වීම නිසා අප 1815-18 කාලයෙහි සුද්දන්ට රට පාවා දුන්නා. එයට වග කිව යුත්තේ එකල සිටි නායකයන් එනම් සෙංකඩගල නිළමෙලා. උඩරට ගිවිසුම නමින් හැඳින්වෙන 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම අත්සන් කිරීමට බොහෝ නිළමෙලා එකඟ වුණා. සෙංකඩගලින් පිට සිටි නායකයන් ගිවිසුමට විරුද්ධ වී ඇති බව පෙනෙනවා. එහෙත් රාජ්‍ය බලය තිබුණෙ සෙංකඩගල. දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටියෙත් සෙංකඩගල. එදා රට ගැන හිතුව නම් විවිධ නිළමෙලා තම තමන්ට රජකම ගැනීමට සැලසුම් නොකෙරුවා නම් රටේ තත්වය වෙනස් වන්න ඉඩ තිබුණා.

ගිවිසුමට අත්සන් කරපු සෙංකඩගල නිළමෙලා අතර කැප්පටිපොළ නිළමෙත් හිටියා. එහෙත් ඔහුත් තවත් නිළමෙලාටත් තමන් කරපු වරද පසුව තේරුම් ගත්තා. ඔවුන් සුද්දන්ට විරුද්ධව වෙල්ලස්සෙ, මතක තබා ගන්න සෙංකඩගලින් පිට විශේෂයෙන් ම ආදි හෙළයන්ට නෑ සබඳකම් තිබූ අය, මා හිතන විධියට යක්‍ෂ සංස්කෘතියට සම්බන්ධ අය, පටන් ගත් නිදහස් අරගලයට එකතු වුණා. එහෙත් නැවතත් නායක නිළමෙලාගෙ කුළල් කා ගැනීම් නිසා අප පැරදුණා. එහි විපාක අදටත් අප විඳිනවා.

අවුරුදු දෙසියකට පස්සෙ අද අප ඉන්නේ ඊටත් වඩා භයානක තත්වයක. එදා අපට ඉංගිරිසි අධ්‍යාපනය එතරම් බලපෑවෙ නැහැ. පහතරට කිහිප දෙනකුට පමණක් ඉංගිරිසි ආභාසය බලපෑවා. එහෙත් අද තත්වය එහෙම පිටින් ම වෙනස්. අප බොහෝ දෙනා අද ඉංගිරිසි අධ්‍යාපනයෙන් (මාධ්‍යය කුමක් වුවත්) පමණක් නොව විද්‍යුත් ජනමාධ්‍යයෙන් ද වල්මත් කෙරිළා. අද අප සිතන්නේ බටහිර සංකල්පවලින්. ඊනියා මානව අයිතිවාසිකම්වලින්. කම්කරු පංති අරගලයෙන් හිතන අයත් තාමත් ඉන්නවා.

අරක්කු විකුණන්න ඉල්ලන ගෑණුන්ට අමතක වෙනවා මැතිවරණවලට කාන්තාවන් 25%ක් අවම කිරීමත් ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීමක් බව. කාට හරි කියන්න පුළුවන් ඡන්දදායකයාට තමන් කැමති ආකාරයට නියෝජිතයන් තෝරා ගැනීමට ඇති අයිතිය එයින් නැති වෙනවා කියලා. කොහොමටත් මෙහි දී කියැවෙන්නේ ඇතැම් ගැහැණුන් අසීමිත ලෙස බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට යට වී ඇති බව. එය නිදහස සඳහා කරන සටනක් නොව බටහිර වැහැලියන් වීමට කරන ඊනියා සටනක්.

අවුරුදු දෙසියයකට පස්සෙ අප රට ගැන කොහොමටවත් හිතන්නෙ නැහැ. අද බොහෝ විට දේශපාලනඥයන් කියන්නෙ තමන් ජනතා සේවය සඳහා ඉදිරිපත් වී ඇති බව. එහෙත් ඔවුන් සේවය කර ගන්නෙ තමන්ට හා පවුලට. ඔවුන්ගේ අනුගාමිකයන් සිතන්නේ තම නායකයන් හා නායකයන්ගෙ විරුද්ධ දේශපාලනඥයන් ආශ්‍රිත ව. ඊයේ අගමැති ජාතිය ඇමතුවා. ජාතිය ඇමතීමත් දැන් කෙරෙන්නෙ තරගයට. ජනාධිපති අද ජාතිය ඇමතුවොත් අගමැති හෙට ජාතිය අමතනවා. කතානායකටත්, විපක්‍ෂ නායකටත්, විපක්‍ෂ සංවිධායකටත් ජාතිය ඇමතීමට අවස්ථාව සැලසුව නම් තව තවත් සුරංගන් කතා අහගන්න පුළුවන්.

බැඳුම්කර ප්‍රශ්නය අගමැති අතට ගන්න හදනවා. ඔහු බැඳුම්කරය ගැන වාර්තාවෙන් කියැවෙන එ ජා ප මැති ඇමතිවරුන් ගැන සොයා බැලීමට පක්‍ෂ කමිටුවක් පත් කරන්න යනවා. අපට එය ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් එ ජා ප කමිටුව ජාතියට වැඩක් නැහැ. මේ අයට නීතිය මගින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර වහාම ගත යුතුයි. එය තවත් මොහොතකටවත් පමා කරන්න බැහැ. බැඳුම්කර වාර්තාව (නිර්දේශ පමණක් නොවෙයි) අනුව වහාම ක්‍රියාත්මක වීමට අදාළ ඇමති නැත්නම් ජනාධිපති ඒ ඒ ආයතනවලට උපදෙස් දිය යුතුයි.

රනිල් තවත් දෙයක් කියනවා. බැංකුව ඇලෝෂීියස්ලාගේ යම් මුදලක් තමන් භාරයේ තබා ගෙන ඇති නිසා රජයට පාඩු වූ මුදල ඉන් කපා ගත හැකිය කියා. එසේ කිරීම ගැන අපට විරුද්ධතාවක් නැති වුවත් එය කිසිසේත් ම ප්‍රමාණවත් නැහැ. ඇලෝෂියස්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන්න ඕන. මහේන්ද්‍රන්වත් ආපසු ලංකාවට ගෙන්වා නීති මාර්ගයෙන් කටයුුතු කරන්න ඕන. එය පහසු නොවන්න පුළුවන්. එහෙත් හැකි සෑම උත්සාහයක් ම දැරිය යුතුයි. අනෙක් අතට ඔය රඳවා ගෙන ඇතැයි කියන මුදල කුමක් ද? ඒ ගැන විස්තරයක් අගමැති රටට වහාම හෙළි කළ යුතුයි. ඔහු හෙළි නොකරන්නේ නම් ජනාධිපති ඒ හෙළි කිරීමට වහාම පියවර ගත යුතුයි.

ඒකාබද්ධ විපක්‍ෂය හා පොහොට්ටුව ඒ සඳහාත් ජනාධිපතිට ආධාර කළ යුතුයි. මෛත්‍රිපාලට පඹයා කොන්දක් නැත්තා ආදී වශයෙන් කියන අය කල්පනා කළ යුතු කරුණක් තියෙනවා. දේශපාලන වශයෙන් වඩා සමීප මහින්ද හා මෛත්‍රිපාල ද, මහින්ද හා රනිල් ද නැත්නම් මෛත්‍රිපාල හා රනිල් ද? මා කතා කරන්නේ පෞද්ගලික අර්ථයකින් නොව සිංහලයන්ට සමීප යන අර්ථයකින්. අවුරුදු දෙසියකට ඉහත කළ අන්දමට පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට මෛත්‍රිපාලට රනිල් ඉවත් කිරීමට ආධාර නොකර කුළල් කා ගන්නවා ද? අද මෛත්‍රිපාලට ජන බලයක් නැහැ. එබැවින් ඔහුගේ විධායක බලතලත් දුර්වල වෙලා. ඒ අවශ්‍ය ශක්තිය ලබා දිය හැක්කේ ජන බලයක් ඇති මහින්දටයි.

අවාසනාවකට මේ පළාත් පාලන මැතිවරණයේ වඩාත් ම කුළල් කා ගැනීම ඇත්තේත් මෛත්‍රිපාල කණ්ඩායම හා පොහොට්ටුව අතර. එය වැළැක්විය හැක්කේ නායකයන්ට පමණයි. නායකයන් පාර්ලිමේන්තුවේ රනිල් අගමැතිකමෙන් ඉවත් කර සිංහල හිතවාදී අයකු අගමැති කිරීමට එකතු වෙනවා නම් පළාත් පාලන ආයතනවලත් මැතිවරණයෙන් පසුව හරි කණ්ඩායම් දෙකට එකතු වී කිසිම ප්‍රශ්නයක් නැතිව බලය ලබා ගත හැකියි. එසේ නැතිව රනිල් හෝ චන්ද්‍රිකා හෝ වෙනත් සිංහල විරෝධියකු හෝ අගමැති කළහොත් ඇතැමුන්ගේ 2020, 2025 සිහින ද බොඳ වන බව කිව යුතුයි.

අද තත්වය වසර දෙසියකට පෙර තිබූ තත්වයට වඩා භයානකයි. අද රනිල් අගමැති ධුරයේ දිගට ම සිටියහොත් හෝ වෙනත් සිංහල විරෝධියකු අගමැති බවට තාවකාලික නමුත් පත් කළහොත් හෝ සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට අවුරුදු පනහකින් රට ම නැති වේවි. මෛත්‍රිපාල මහින්ද වෛරය දිගින් දිගට ම පවත්වාගෙන යෑමට උපකාර වන සියල්ලන්ට ම අනාගතයේ දී තම තීරණ ගැන කණගාටු වෙන්න සිදු වේවි.


289 Viewers