• Home »
  • Sinhala »
  • ආණ්ඩුව බලා සිටියදී සහරාන්ට මුවාවී බෙදුම්වාදයට තටු දෙන ශිවඥණම් ශී‍්‍රධරන්…

ආණ්ඩුව බලා සිටියදී සහරාන්ට මුවාවී බෙදුම්වාදයට තටු දෙන ශිවඥණම් ශී‍්‍රධරන්…

සමන් ගමගේ
11

පාස්කු ප‍්‍රහාරයෙන් ඔළුව අවුල් වූ ආණ්ඩුව මේ මොහොතේත් යමින් සිටින්නේ සහරාන් හෂීම් පසුපසය. තේරීම් කාරක සභා සහ සීඅයිඞීයේ විශේෂඥ විමර්ශන ආදී සියල්ල තුළින් සිදු වෙමින් තිබෙන්නේ එය බව පැහැදිලිය. මෙය සිදු විය යුතු දෙයක් බව ද සැබෑවකි. එසේ වුවද ආණ්ඩුව යන ගමන තුළ ඇත්තේ ව්‍යාජය ද අව්‍යාජය ද යන ගැටලූව අද මෙරට ජනසමාජය ඉදිරියේ ඇත.

22එයට හේතු වී තිබෙන්නේ සියලූ විමර්ශන සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසයය බරපතළ ලෙස පළුදු වී තිබීමය. සහරාන් හෂීම් පාස්කු ප‍්‍රහාරය එල්ල කරනු ලැබුවේ ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදාය. එකී ප‍්‍රහාරයේදී බිහිසුණු මිනිස් බෝම්බ පුපුරා යද්දී ඊටත් වඩා වේගයෙන් අප ආණ්ඩුවට පෙන්වා දුන් වැදගත් කරුණක් තිබිණි.

එය වූයේ පෙර වැරදි හමුවේ ජනතා විශ්වාසය බිඳී යා හැකි බැවින් පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශන වගකීම සීඅයිඞීයට නොපවරා ඒ ගැන විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කරන්නැයි යන්නය.

එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. ගොඩ වෙදාගේ තිපල් කසාය හැළියටම පාස්කු ප‍්‍රහාරයේ විමර්ශනද එකතු විය. මේ කියන ගොඩ වෙදා යනු අපේ ජනවහරේ ඇති කතාවක එන මහා ඝෘෂිවරයකු ලෙස පෙනී සිටිමින් හැම ලෙඬේටම ඖෂධය ලෙස තිපල් කසාය නමැති කසායක් ලබා දී රෝගීන් රවටා නොමග යවමින් බඩවඩා ගත්තෙකි.

එසේ කරනු ලැබුවේ අද පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශන භාරව සිටින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා හෝ සහකාර පොලිස් අධිකාරී තිසේරා මහතා මෙන්ම එහි සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු නිලධාරීන් නොව ජනවහරේ එන ගොඩ වෙදාය. අප කියන්නේ පාස්කු ප‍්‍රහාරයේ විමර්ශන ඇත්තේ ගොඩ වෙදාගේ තිපල් කසාය හැළියේ බවය.

කතාවේ හැටියට මිනිස් ජීවිත සමග සෙල්ලම් කළ ඌ ඒ තරමටම නින්දාසහගත එකකු විය.

මේ අන්දමට සිදුවෙමින් තිබෙන පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ආණ්ඩුවේ විමර්ශන දෙස බැලීමේදී අද පැහැදිලිවම දක්නට ලැබෙන එක් විශේෂත්වයක්ද ඇත. එය වන්නේ සහරාන් හෂීම්ගේ ඉස්ලාම් අන්තවාදයටත් එහා ගිය විමර්ශන අන්තවාදයක ආණ්ඩුව දැන දැනම සිරවී සිටින බවය.

එහිදී අමතක වන සහ කෙරෙන දේද බොහෝය. සහරාන් හෂීම් යනු තුන්කල් දැක්මකින් තොරව අප ඉදිරියට හිටි හැටියේ අහම්බයකින් මෙන් පැමිණියෙකි. මොන විශේෂඥයා කුමක් කීවද එල්ටීටීඊ ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කර දස වසරක් පිරෙමින් තිබියදී සහරාන් හෂීම් මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියකු ලෙස අප ඉදිරියට පැමිණියේ අහම්බයක් ලෙස නොවේ නම් ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ මීළඟ මරාගෙන මැරෙන ප‍්‍රහාරයද දැන් අපට එල්ල වී අවසන්ව තිබිය යුතුය.

එහෙත් මේ දක්වාම එවැන්නක්් සිදුවූයේ නැත. ඉන් පැහැදිලි වන එකම කරුණ වන්නේ බිහිසුණු මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එකවර එල්ල කිරීමට සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සමත් වුවද ඔවුන් තුළ ඉන් එහාට ගිය දීර්ඝ කාලීන සැලසුමක් නොවූ බවය.

එසේ නම් මේ අහම්බය අප ඉදිරියට පැමිණියේ කුමක් නිසාද? අප ජාතියක් සහ රටක් වශයෙන් තිස් වසරක් පුරාවට සටන් වැදුණේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය සහ දෙමළ ඊළාම් බෙදුම්වාදය සමගිනි. එහිදී එල්ටීටීඊ ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කරන්නට අපට හැකි වුවද දෙමළ ඊළාම් බෙදුම්වාදයට තිත තබන්නට නොහැකි විය.

33බෙදුම්වාදී දෙමළ දේශපාලනය යළි යළිත් ඊළම වෙනුවෙන්ම කි‍්‍රයාත්මක විය. මෙකී බෙදුම්වාදී දෙමළ දේශපාලනයේද සහායෙන් ඉකුත් 2015 වසරේදී යහපාලනය බලයට පැමිණියේ මේ අතරය. එසේ බලයට පැමිණීමෙන් පසු සංහිඳියාව සහ සහජීවනය යන සොඳුරු වදන් පෙරට දමාගත් යහපාලන ආණ්ඩුව කරනු ලැබුවේ උපකාරයට ප‍්‍රතිඋපකාර දක්වමින් දෙමළ බෙදුම්වාදයට ඉනිමං තැබීමය.

එහිදී ජාතික ආරක්‍ෂාව බරපතළ ලෙස බිඳ වැටිණි. රටේ බුද්ධි අංශ සහ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කි‍්‍රයාත්මක වූ බුද්ධි මෙහෙයුම් අකී‍්‍රය විය. මේ සියල්ල සිදු වන්නේ දෙමළ බෙදුම්වාදයට අමතරව යළි මතුවීමට වෙරදරන එල්ටීටීඊ ත‍්‍රස්තවාදයේ සෙවනැළි සහ ඉස්ලාම් අන්තවාදය දිනෙන් දින සක‍්‍රීය වෙමින් තිබෙන වටපිටාවක බව යහපාලනයට නොවැටහිණි.

නොවැටහීමටත් වඩා ඇත්ත ඇති සැටියෙන් දැකීමේ වුවමනාවක් ආණ්ඩුවට නොවිණි. සහරාන් හෂීම්ගේ අහඹු මතුවීම කිසිවකුත් නොසිතූ අන්දමින් සිදුවන්නේ එහිදීය. තේරීම් කාරක සභා හෝ ජනාධිපති කොමිෂන් දමා සොයන්නට දෙයක් නැත. සත්‍ය කතාව ඇත්තේ මෙතැනය.

එහෙත් මේ මොහොතේ සහරාන් හෂීම් පසුපස යමින් ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ වලිගය අල්ලාගෙන දෙව්ලොව යන්නට සැරසෙන ආණ්ඩුව දෙමළ බෙදුම්වාදය ඉදිරියේ තමන් අතින් සිදුවූ මේ වරද නිවැරදි කිරීමට පියවර ගනිමින් තිබේද?

තවමත් එවැන්නනක් සිදු නොවන බවට සහ ආණ්ඩුවට ඒ පිළිබඳ කිසිදු දැක්මක් සහ වුවමනාවක් නොමැති බවට මේ මොහොතේ හොඳම උදාහරණය සපයමින් සිටින්නේ හිටපු කොටි ත‍්‍රස්තවාදියකු වන දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශිවඥාණම් ශී‍්‍රධරන් හෙවත් එස්. ශී‍්‍රධරන්ය.

වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ජීවත්ව සිටියදී ආර්. සම්පන්ධන් ප‍්‍රධාන දෙමළ ජාතික සන්ධානය යනු ප‍්‍රභාකරන්ගේ දේශපාලන බලඝණය ලෙස ඊළම වෙනුවෙන්ම කි‍්‍රයාත්මක වූවක් බව මේ රටට රහසක් නොවන්නකි.

ප‍්‍රභාකරන්ගේ අවසානයෙන් පසුවද ඔවුන් සිටගත්තේ එකී බෙදුම්වාදය සමගය. එහිදී ආර්. සම්පන්ධන්, උතුරේ මහ ඇමැතිව සිටි වී විග්නේෂ්වරන්, ශිවාජිලිංගම් ආදී ලෙසින් වූ සමස්ත දෙමළ දේශපාලනඥයෝ මේ දක්වාම උතුරේ තාරුණ්‍යය සහ දෙමළ ජනතාව බෙදුම්වාදය දෙසට තල්ලූකරමින් හලාහල විෂ පතුරවිමින් සිටින්නාහ. එහෙත් ආණ්ඩුව කළ සහ කරන දෙයක් තිබේද?

මේ අතරේ දැන් දෙමළ බෙදුම්වාදයේ විෂ උතුරේ බාල පරපුර අතරටද ගෙන යමින් ජාතික සමගියට එරෙහි අලූත්ම මෙහෙයුමක් අරඹා තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශී‍්‍රධරන්ය.

ඔහුගේ මේ නැගී සිටීම සිදුවන්නේ සහරාන් හෂීම්ගේ බෝම්බ ප‍්‍රහාරයත් සමග කිලිනොච්චි දිස්ති‍්‍රක්කය ඇතුළු උතුරේ පාසල්වලට යුද හමුදා ආරක්‍ෂාව යෙදීමට ආණ්ඩුව කටයුතු කිරීමත් සමගය. එහිදී දැඩි ලෙස කෝපවූ ශී‍්‍රධරන් කිලිනොච්චියේ පාසල් වෙත යමින් ඒවායෙහි විදුහල්පතිවරුන් අමතා දෙමළ ජන සංහාරකයන් උතුරේ පාසල් දරුවන් ආරක්‍ෂා කිරීමට අවශ්‍ය නැති බවය.

බෝම්බ පිපිරුණේ කොළඹ හෙයින් උතුරේ පාසල්වලට හමුදා ආරක්‍ෂාවක් කුමකටදැයි හේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විමසමින් ප‍්‍රශ්න කරන්නට විය.

මේ අතරේ ඉකුත් ජුලි මස 04 වැනිදා කිලිනොච්චිය පිරමන්තල්ආරු විදුහලේ අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වූ හෙතෙම එහි සිටි ප‍්‍රාථමික ශ්‍රේණිවල සිසු සිසුවියන් අමතා නුඹලාගේ සොයුරු සොයුරියන් දෙමාපියන් ඝාතනය කළ ඝාතකයන් අද පාසල්වල ආරක්‍ෂාවට යොදවා සිටින අතර ඒ ඉතිහාසය නොදන්නේ නම් වහාම නිවෙස්වලට ගොස් වැඩිහිටියන්ගෙන් විමසා දැනගන්නා ලෙසද ඒ කුඩා දරුවන්ට පවසා තිබිණි.

ඉන් නොනැවතුණු හේ යුද හමුදාව පාසල්වල ආරක්‍ෂාවට පැමිණ සිටින්නේ බෝම්බ තබා දරුවන් ඝාතනය කිරීමට යැයි ලෙසින් ඉතාම තිරිසන් ප‍්‍රකාශයක්ද එකී දරුවන් ඉදිරියේ සිදු කර ඇත.

සහරාන් හෂීම්ගේ බෝම්බ ප‍්‍රහාරයෙන් අනතුරුව මේ අන්දමට උතුරේ පාසල් වෙත ගොස් දරුවන් අමතා ඇති එස්. ශී‍්‍රධරන් ජාතික සමගිය පළුදු වන අන්දමින් සිදු කර ඇති බරපතළ ප‍්‍රකාශ රාශියකි. එසේම ඉකුත් ජුලි මස 5 වැනිදා ප‍්‍රථමයෙන්ම මියගිය කළු කොටි සාමාජිකාව වන අන්ගෙයි කන්නි නමැත්තිය සමරමින් කිලිනොච්චියේ පිහිටි සිය පක්‍ෂ කාර්යාලයේදී උත්සවයක් පැවත්වීමටද හේ කටයුතු කර තිබිණි.

මෙසේ අද උතුරේ පාසල් දරුවන් ආමන්ත‍්‍රණය කරමින් සිටින්නේ ඉකුත් 1990 වසරේදී එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ට එකව 1993 ඉන් ඉවත්ව එල්ටීටීඊයේ හිටපු ප‍්‍රබලයකු වන කර්නල් තීපන්ගේ නැගණිය බිරිඳ කරගත් ශී‍්‍රධරන්ය.

එහෙත් ශී‍්‍රධරන්ලා මේ අන්දමට හැසිරෙද්දී තවමත් ආණ්ඩුව නිහඬය. අන්තර්ජාලයේ තැබූ සටහනක් මුල් කරගෙන තරුණ තරුණියන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතින් සිරගෙට යවන රටක ශිවඥාණම් ශී‍්‍රධරන්ලාට ඕනෑම කුණුහරුපයක් පවසන්නට හා කියන්නට නිදහස ඇත.

ජාතිවාදය සහ බෙදුම්වාදය වපුරන්නට නිදහස ඇත. උතුරේ ළමා මනස බෙදුම්වාදී අදහස්වලින් වනසා දමන්නට නිදහස ඇත. සියල්ල හමුවේ ආණ්ඩුව නිහඬය. උතුරේ ළමා මනස විකෘති කරමින් ශී‍්‍රධරන්ලා අද මේ අන්දමට කටයුතු කරමින් සිටින්නේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය නැවත මතුකරවන්නට විදේශගත කොටි ඩයස්පෝරාව ඇතුළු කණ්ඩායම් කි‍්‍රයාත්මක වෙමින් සිටියදීය.

ඒ තුළ ඇති භායානක බව පහසුවෙන් නොසලකා හැරිය නොහැකිය. එහෙත් අණ්ඩුව නිහඬය. මේ නිහඬබව තුළ තිබෙන්නේ තවත් සහරාන් හෂීම් කෙනකුට පාවාඩ දැමීමක්ද?

134 Viewers