• Home »
  • Sinhala »
  • ආණ්ඩු පෙරළියේ පශ්චාත් මරණ පරීක්ෂණය

ආණ්ඩු පෙරළියේ පශ්චාත් මරණ පරීක්ෂණය

( Courtesy of Lanka Lead News)
December 30, 2018 6:40 am

maithri-amaraweera-duminda
වර්තමාන දේශපාලන අර් බුදය විග්‍රහකර ගැනීමේදී 2003 දී අප විසින් පියමන්කළ සුවිශේෂී තත්වයක් ස්මරණය කළ හැක. එදා රට පාලනය කළ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නෝර් වේජියානුවන් විසින් ඔහු මත පැටවූ බෙදුම්වාදී මාර් ග සිතියමට අනුව සටන් විරාම ගිවිසුමක් අත්සන් කළේය. එම ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරන්නේ ජනාධිපතිවරයාගේ දැනුවත් භාවයකින් තොරව ය. ඉන්පසුව සුඩානය බෙදා වෙන් කිරීම සඳහා යොදාගත් තාවකාලික ආණ්ඩු උපක්‍රමය ශ්‍රී ලංකාවට ද ආදේශ කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ලවා අන්තර් කාලීන ආණ්ඩුවක් එල්ටීටීඊ සංවිධානයට ලබා දීමට නොර් වේජියානුවන් ක්‍රියා කළේ ය. එම ගිවිසුම අත්සන් කිරීමට පෙර රනිල් – චන්ද්‍රිකා ගැටුම යොදා ගනිමින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පෙරළා දමා මැතිවරණයක් කැඳවීම සදහා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග දේශපාලන වශයෙන් පෙළඹවීමට ජාතික බලවේග සමත් විය.

ඒ ආකාරයට ආණ්ඩු පෙරළියක් සිදු විය හැකි යැයි උපකල්පනය කළ බෙදුම්වාදී බලවේග ඊට පෙර ව්‍යවස්ථාව සංශෝධනය කොට ජනාධිපතිවරයා සතුව තිබූ පාර් ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර හතර හමාරක් දක්වා කල් දැමීමට 2003 දී උත්සාහයක් ගනු ලැබීය. නමුත් එදා එම උත්සාහය ව්‍යවර් ත වී ගියේය. ඊට හේතුව ඒ සදහා පාර් ලිමේන්තුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතරය අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම ය. 2015 දී 19 වැනි සංශෝධනයට ඉතා කූඨ ලෙස ජනමත විචාරණයකින් තොරව මෙම ප්‍රතිපාදනය ඇතුලත් කරගන්නේ අනාගතයේ දී එනම් ඔක්තෝබර් 26 දා සිදු වූ ආකාරයට නැවත වටයකින් ආණ්ඩු පෙරළියකින් සහ පාර් ලිමේන්තු මැතිවරණයක් කැඳවීම මගින් බෙදුම්වාදී මාර් ග සිතියම අවුල් විය හැකි බවට බෙදුම්වාදී බලවේග විසින් උපකල්පනය කළ බැවිනි. එදා 2002 දී ගනු ලැබූ උත්සාහය සාර්ථක වූවා නම් 2003 දී ආණ්ඩුව පෙරළීමේ ක්‍රියාවලිය ආරම්භ කොට 2004 දී පාර් ලිමේන්තු මැතිවරණයකින් නව ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලැබෙන්නේ නැත. එසේ වූවා නම් අද අප සුඩාන වැසියන් මෙන් දෙකඩ වූ රාජ්‍යක දෙපසට වී මරා ගන්නා අවාසනාවන්ත ජාතියකි.

නමුත් වසර 15 කට පසුව බෙදුම්වාදී බලවේග 2003 දී ඔවුනට සිදු වූ ප්‍රධාන වරදක් නිවැරදි කළ නොහැකි වුවත් තමාගේ පරාජය ආපසු හැරවීමට සමත්වී ඇත. නෝර් වේජියානු රජයේ ආධාර සංවිධානය වන නොරාඩ් ආයතනය විසින් 2010 දී නිකුත් කරන ලද සාමයේ ඉත්තෝ නම් වූ වාර් තාවට අනුව ඔවුන්ගේ සැලසුම් මගින් සුඩානය බෙදා වෙන් කළ හැකි වුවත් ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට නොහැකි වන්නේ ප්‍රධාන වශයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර පැවති ගැටුම් සමනය කිරීමට ඔවුන් අසමත් වීම නිසාය. අද 2018 දී එනම් වසර පහළොවකට පසු ඒදා 2003 දී ඔවුන්ට සිදුවූ වරද නැවත සිදු විය. එනම් චන්ද්‍රිකා – රනිල් ගැටුම සමනය කිරීමට නොහැකි වූ ආකාරයටම මෛත්‍රී – රනිල් ගැටුම සමනය කිරීමට ඔවුන් අසමත් විය. නමුත් මෙවර ඔවුන් බලය අහිමි වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නැවත බලයේ පිහිටුවීමට සමත් විය.

ඒ අනුව 2003 සහ 2018 සිදුවීම් සංසන්දනාත්මකව විග්‍රහ කිරීමේදී සුවිශේෂී ලක්ෂණ කිහිපයක් හඳුනා ගත හැක

එදා 2003 දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පෙරලා බෙදුම්වාදී මාර් ග සිතියම අවුල් කිරීමට මුල් වූ බලවේගය එනම් ජනතා විමුක්ති පෙරමුණ මෙදා 2018 දී රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය.

එදා එම ආණ්ඩු පෙරළිය සඳහා චන්ද්‍රිකා ජනාධිපතිනිය පෙළඹවීම මුල් කරගෙන ජාතික බලවේග ප්‍රමුඛ විපක්ෂය විසින් ප්‍රභල භූමකාවක් ඉටුකරනු ලැබීය. නමුත් මෙදා 2018 දී එවැනි තත්ත්වයක් දක්න නොලැබුණු අතර එම ක්‍රියාවලියට මුල් වූයේ ජනාධිපතිවරයාමය.

එදා රනිල් -චන්ද්‍රිකා ගැටුමට වඩා මෙදා මෛත්‍රී-රනිල් ගැටුම දේශපාලන ගැටුමක් ලෙස මතුවී පෙනුණි. එදා බෙදුම්වාදී න්‍යායපත්‍රයට අදාලව චන්ද්‍රිකා – රනිල් ගැටුමක් පැවතියේ නැත.

බෙදුම්වාදී දෙස් විදෙස් බලවේග එදාට වඩා මෙදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ආරක්ෂා කිරීම සඳහා ඉතා ප්‍රබල ලෙස සහ විවෘතව ඉදිරිපත් විය. විශේෂයෙන්ම ටී.එන්.ඒ පක්ෂය විසින් රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීම සදහා ප්‍රභල භූමිකාවක් ඉටු කරනු ලැබීය.

එදා විපක්ෂයේ බලවේග තම ජයග්‍රහණය තහවුරු කර කරගැනීම සඳහා ප්‍රහාරාත්මක ප්‍රවේශයක ක්‍රියා කළ අතර සතුරාගේ උගුල්වලට පය නොතැබීය. නමුත් මෙදා විපක්ෂ බලවේග ආරක්ෂාකාරී ප්‍රවේශයක ක්‍රියා කළ අතර සතුරාට තම පරාජය ආපසු හැරවීම්ට ඉඩ ලැබෙන ලෙස දුර්වල ආකාරයට ඊට මුහුණ දුනි. (ඒම ක්‍රියාවලිය තුළ යම් ආකාරයක පාවාදීම් හෙවත් පිළිගත නොහැකි දේශපාලන වැරදි සිදු වූ බව රහසක් නොවේ)

අවසාන වශයෙන් එදා රනිල් වික්‍රමසිංහ මහතාට තම පරාජය ආපසු හැරවීමට නොහැකි වූ අතර මෙදා ඔහු අධිකරණය යොදා ගනිමින් තම බලය කෙටිකාලීනව හෝ නැවත තහවුරු කර ගැනීමට සමත් විය. එමෙන්ම එදා මෙන්ම අදත් ඔහු තම පක්ෂ ය තුළ පැන නැගුණු අර් බුදය තාවකාලිකව යටපත් කිරීමට සමත්ව ඇත.

ඊට අමතරව ඉතා දුෂ්කර ලෙස බලය තහවුරු කරගැනීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග තවදුරටත් තම ප්‍රහාරාත්මක ප්‍රවේශය දිගු කරමින් මහින්ද රාජපක්ෂ මහතාට ලැබිය යුතු විපක්ෂයේ නායක ධුරය ද ඔහුට අහිමි කිරීමට උත්සාහ කරති.

එදා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ බෙදුම්වාදී බලවේගවලට එරෙහිව ප්‍රබල ජාතිකවාදී දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට ජාතිකවාදී බලවේග සමත් වුවත් මෙදා එවැනි ප්‍රබල දේශපාලන පෙළ පෙළගැස්මක් දක්නට නැත. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා එවැනි බලයක් ගොඩනැගීමට ප්‍රශස්ත උත්සාහයක් ගනිමින් සිටීයි. ඒ අතර විපක්ෂය ඊට ප්‍රතිවිරුද්ධ දේ එනම් වැදගත් මිතුරු බලවේග ලකුණක් මුල් කරගෙන දුරස් කරමින් සිටියි.

එදා රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රභල ජන බලයක් පෙන්වීමට නොහැකි වූවත් මෙදා ඔහු සැබෑ ලෙසම තමා සතුව නොමැති ජන බලයක් පෙන්වීමට සමත් වී ඇත. එදා විපක්ෂ බලවේග තමා සතු සැබෑ ජනබලය උපරිමයෙන් පෙන්වූ නමුත් මෙදා විපක්ෂය තමා සතු සැබෑ ජන බලය අවතක්සේරු කරන බවක් පෙනෙයි.

ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මෙන් නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ප්‍රහාරාත්මක ප්‍රවේශය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව දක්නට ඇත. නමුත් විපක්ෂය කොන්දේසි විරහිතව ඊට සහාය දෙන බවක් දක්නට නැත.

මෙම තත්වය යටතේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරක්ෂා කර ගත් තව දුරටත් තහවුරු කර ගැනීම සදහා තේරිය හැකි විකල්ප උපායමාර් ග්ක ප්‍රවේශයන් ත්‍රිත්වයක් හදුනා ගත හැක. ඔවුන් සතු පළමු විකල්පය වන්නේ විපක්ෂ බලවේග ප්‍රහාරාත්මක ප්‍රවේශයකට අවතීර් ණ වීම වලක්වා (උදාහරණයක් ලෙස පුළුල් ජාතික දේශපාලන සන්ධානයක් ගොඩනැගීම වලක්වා) කෙසේ හෝ පාර් ලිමේන්තුව තුළ තුනෙන් දෙකේ විශේෂ බහුතර බලය තහවුරු කරගනිමින් 20 වැනි සංශෝධනය සම්මත කිරීම ය. ඒ මගින් ඉතා සූක්ෂමව සහ කූට ලෙස බෙදුම්වාදීන් ඉල්ලා සිටින සුළු ව්‍යවස්ථා සංශෝධන ප්‍රමාණය සම්මත කරන අතර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ මුවාවෙන් පාර් ලිමේන්තු මැතිවරණය කල් දැමීම සඳහා සීමා නීර් ණ උපක්‍රමය යොදා ගනු ඇත. අවසානයේදී දෙස් විදෙස් සියලු බෙදුම්වාදී බලවේග සතුටු කරන අතර ඔවුන් විසින් යටත් කළ හැකි දුර්වල පාර් ලින්තුව තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යන තත්ත්වය නිර් මාණය වේ.

දෙවන විකල්පය අවශ්‍ය වන්නේ පාර් ලිමේන්තුව තුළ තුනෙන් දෙකේ විශේෂ බහුතර බලය නිර්මාණය කර ගැනීමට අසමත් වන තත්වයක් යටතේය. එහිදී විපක්ෂ බලවේග ආරක්ෂාකාරී ප්‍රවේශයක සිටියදී ආණ්ඩුව විසින් ප්‍රහාරාත්මක ප්‍රවේශයක් තුළ තමාට වැඩි වාසි සහගත ලෙස පාර් ලිමේන්තු මැතිවරණය කැඳවීම මගින් ජාතික බලවේග වලට අඩු බලයක් සහ බෙදුම්වාදී බලවේගවලට වැඩි බලයක් සහිත පාර් ලිමේන්තුවක් නිර් මාණය කිරීමට එම බලවේග විසින් උත්සාහ කරනු ඇත. එම ශක්තිමත් පාර් ලිමේන්තු බලය යොදාගනිමින් බෙදුම්වාදීන්ට අවශ්‍ය ආකාරයට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත. එහිදී පාර් ලිමේන්තුව තුළ සැලකිය යුතු බලයක් ඔවුන් විසින් ලබා ගතහොත් ප්‍රබල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති මැතිවරණය අහෝසි කොට ඒ වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීමට පවා ඉඩ ඇත. එවැනි තත්ත්වයකදී විධායක නොවන ජනාධිපතිවරයා පත් කෙරෙන්නේ ද එම පාර් ලිමේන්තුව මගිනි.

තුන්වන විකල්පය වන්නේ ඉහත විකල්ප දෙකම අනතුරට වැටෙන තත්ත්වයක් තුළ ඉදිරි මාස 10 තුළ ප්‍රහාරාත්මක ප්‍රවේශයෙන් ඉදිරියට යමින් විපක්ෂය දුර්වල කොට සහ බේද බින්න කොට ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමය. ඉන් පසුව ඔවුන් එම ජයග්‍රහණයේ වාසිය යොදාගනිමින් බෙදුම්වාදි න්‍යාය පත්‍රයකට වාසිසහගත පාර් ලිමේන්තුවක් නිර් මාණය කිරීම සඳහා කටයුතු කරනු ඇත. එහිදී එම පොදු අපේක්ෂකයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස පමණක් නොව විධායක නොවන ජනාධිපති වරයා පාර් ලිමේන්තුවෙන් පත්කිරීම සඳහා නව ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසුව තනතුර අතහැර යන අපේක්ෂකයෙකු බවට පත් කරනු ඇත. පොදු අපේක්ෂකයා තේරීමේ දී ඔහු හෝ ඇය ජනතා විමුක්ති පෙරමුණට කැත නැතිව කරේ තබා ගෙන යා හැකි අයෙකු වීම සහ එම අපේක්ෂකයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාව අතින්ගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම යන කොන්දේසි මූලික වනු ඇත. එනම් එම ජනාධිපතිවරණය දහසක් පොරොන්දු ඉටු කරන බවට ඉදිරිපත් කෙරන නව ව්‍යවස්ථාව සම්මත කරන ජනමත විචාරණයක් බවට පත් වනු ඇත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

398 Viewers