• Home »
  • Sinhala »
  • ආණ්‌ඩුව හදන්නේ සිංහල බෞද්ධ සංස්‌කෘතිය විනාශ කරන්නයි…

ආණ්‌ඩුව හදන්නේ සිංහල බෞද්ධ සංස්‌කෘතිය විනාශ කරන්නයි…

pg4මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස ස්‌වාමීන් වහන්සේ

සිල් රෙදි නඩුවේ විත්තිකරුවන්ට නියම වූ දඩ මුදල් ගෙවීම සඳහා මහා සංඝයා වහන්සේ ආරම්භ කළ පිණ්‌ඩපාත චාරිකාවේදී ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියන් සිය මාසික වැටුප පරිත්‍යාග කළ අයුරු…

සිල් රෙදි නඩුවේ විත්තිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට යන මහත්වරුන්ට අධිකරණයෙන් නියම වූ දඩ මුදල් ගෙවීම සඳහා මහා සංඝරත්නය පිණ්‌ඩපාත චාරිකාවක නිරතවීම බොහෝ දෙනාගේ කතාබහට ලක්‌වූ සිදුවීමකි. මහා සංඝරත්නය එබඳු වැඩපිළිවෙළක නිරතවූ හේතු පිළිබඳවත් ඊට එරෙහිව ඇතමුන් සිදුකළ ප්‍රකාශ පිළිබඳවත් පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන්පති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස ස්‌වාමීන් වහන්සේ සමඟ දිවයින ඉරිදා සංග්‍රහය සිදුකළ සාකච්ඡාවකි මේ.

සිල් රෙදි නඩුවේ විත්තිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන්ට අධිකරණයෙන් නියම වූ දඩ මුදල් ගෙවීම සඳහා මහා සංඝරත්නය පිණ්‌ඩපාත චාරිකාවක නිරත වුණා. ඒ පිළිබඳ බොහෝ විවේචන පළ වුණා. ඒ පිළිබඳ ඔබවහන්සේගේ අදහස කුමක්‌ද?

රටක වැදගත් වෙන්නෙ මොන පක්‌ෂයක්‌ රට ආණ්‌ඩු කරනවද කියන එක නෙමෙයි. වැදගත් වෙන්නෙ රටේ ජනතාවට එම ආණ්‌ඩුව ක්‍රියාත්මක වෙන ආකාරයයි. රාජ්‍ය නිලධාරීන් අකර්මන්‍ය කිරීම හරහා රාජ්‍ය ආයතන විශාල වශයෙන් අකාර්යක්‌ෂම වෙලා ඒ නිසාම ජනතාවට ඒ ආයතනවලින් ලැබෙන සහනයන් නොලැබෙන ආකාරයට එම ආයතන පත්වෙනවා නම් එය බරපතළ තත්ත්වයක්‌. නිදසුනක්‌ හැටියට කොතැනක හෝ විශාල කන්දක්‌ නාය යනවා යෑයි සිතමු. එයින් විශාල පිරිසක්‌ හානියට පත් වුණ වෙලාවක රාජ්‍ය ආයතන ඒ අය වෙනුවෙන් සහන සලසා දෙන්න පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක වුවහොත් හෝ රාජ්‍ය මුදල් වැය කළොත් ඔවුන්ට අත්විය හැකි ඉරණම පිළිබඳ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට අද සාධකයක්‌ වී තිබෙනවා. ඒ හරහා මේ රටේ රාජ්‍ය ආයතන අකර්මන්‍ය කර පොදු ජනතාවට රාජ්‍ය ආයතනවලින් සිදුවිය යුතු සේවය පිළිබඳ විශාල බියක්‌ ඇති කිරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පෙනෙනවා. එය එක කාරණයක්‌.

මේ සිද්ධිය සිල් රෙදි බෙදාදීමේ සිද්ධියක්‌. බැඳුම්කරයක්‌ ලබාගෙන ගෙවල් ගන්න, ඉඩම් ගන්න, මාධ්‍ය ආයතන ගන්න කළ වැඩක්‌ නෙමෙයි. මේ ක්‍රියාවලියේ ප්‍රතිලාභ සියයට සියක්‌ම ජනතාව අතරටයි ගිහින් තියෙන්නෙ. එය මෙම තීන්දුවේදීත් විනිශ්චයකාර තුමා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. මේ විත්තිකරුවන් දෙදෙනා සිල් රෙදි ව්‍යාපෘතිය සඳහා වැය කළේ යෑයි කියන රුපියල් මිලියන 600 ක මුදලින් කිසිදු ප්‍රතිලාභයක්‌ පෞද්ගලිකව ලබාගෙන නොමැති බව පෙනී යැම නිසා මෙවැනි ලිහිල් දඬුවමක්‌ අධිකරණය නියම කරන්නේය යන එම ප්‍රකාශය පසුගිය 08 වැනිදා ‘දිවයින’ පුවත්පතේ පළ වුණා. සිල් රෙදි ව්‍යාපෘතියෙන් මෙම විත්තිකරුවන් කිසිදු ප්‍රතිලාභයක්‌ ලබාගෙන නොමැති බව ගරු අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා. යම් ව්‍යාපෘතියකින් පෞද්ගලික ප්‍රතිලාභයක්‌ නොලැබූ රාජ්‍ය නිලධාරියකු රජයේ සේවය කර ලබාගන්නා වැටුපින් මේ සා විශාල වන්දි මුදලක්‌ ගෙවන්නෙ කොහොමද? මහා සංඝරත්නය මේ මුදල් එකතු කරන්නේ ඒ නිසයි.

පසුගිය දිනවල විවිධ පුද්ගලයන් මහා සංඝරත්නයට අපහාස කරන ප්‍රකාශ විවිධ මාධ්‍ය ඔස්‌සේ පළ වුණා. රට තුළ මේ සිදුවෙමින් පවතින්නේ කුමක්‌ද?

අද වන විට බෞද්ධ සංස්‌කෘතියට බරපතළ ලෙස පහරදීමේ වැඩපිළිවෙළක්‌ රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. රටේ වනාන්තර කපන විට ඒ ගැන කතා නොකරන අය, සතොස වැනි රාජ්‍ය ආයතන තුළිනුත් මත්කුඩු කන්ටේනර් පිටින් මතුවුණත් ඒ මත්කුඩුවලටවත් සිදුවූ දෙයක්‌ නැති තැනට පත්වෙද්දී, බුරුමය වැනි රටවලින් එන සරණාගතයෝ නිසා අපේ සමාජයට සිදුවිය හැකි ව්‍යසනය ගැන නොසිතා ඡන්ද පදනම ගැනම සිතන දේශපාලකයන් සිටිද්දියි සිල් රෙදි බෙදාදී රාජ්‍ය නිලධාරීන් දෙදෙනකුට සිරගත වීමට සිදුවුණේ. විධායක ජනාධිපතිවරයකුගේ තීන්දුවක්‌ මත 2014 දී ආරම්භ වූ සිල් රෙදි ව්‍යාපෘතිය ඉල්ලා සිටියේ සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුව මගින්. එම නිසා මේ සිදුවීමට මහා සංඝරත්නය සංවේදී වෙන්නේ නැත්නම්, නැගී සිටින්නේ නැත්නම් ඉදිරියේදී මේ රටේ බෞද්ධ සංස්‌කෘතියේ මුල් සිඳ දැමීම අනිවාර්යයි.

මේ ආණ්‌ඩුව බලයට ආවේ සිංහල ජාතියේ සහ බෞද්ධයාගේ ප්‍රමුඛතාව නැති කළ යුතුයි කියන ආදර්ශ පාඨය ඉදිරියට තියාගෙනයි. මේ රට තුළ සිංහල ජාතියේත් බෞද්ධයාගේත් මූලිකත්වය ඉවත් කිරීමට ආණ්‌ඩුව ගෙනයන වැඩපිළිවෙළ සමහර බෞද්ධයන්ටත් අවබෝධයක්‌ නෑ. බෞද්ධ සංස්‌කෘතියටත් බුදුදහමටත් විශේෂයෙන්ම මේ රට තුළ බෞද්ධයාට හිමි තැනට පහරදීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වෙනවා.

භික්‌ෂූන් වහන්සේට මේ අපහාස උපහාස කරන අය බෞද්ධයො නෙමෙයි. සමහරු බෞද්ධ වෙසින් පෙනී සිටින අබෞද්ධයො. බී. එම්. ඩබ්ලිව්. වල යන සංඝ මුදලාලිලා පිණ්‌ඩපාතෙ යනවා කියල මෝඩ, අවිදග්ධ දේශපාලකයෙක්‌ පසුගියදා කියල තිබුණා. අපේ කිසිම බෞද්ධයෙක්‌ මේ වනතෙක්‌ කිසිම කතෝලික පූජකතුමෙකුට කටක්‌ ඇරල නෑ. කතෝලිකයෙක්‌ හරහා බෞද්ධ භික්‌ෂූන් වහන්සේට නිර්දය ලෙස අපහාස කිරීම සමාජය තුළ විශාල ආගමික ගැටුමකට මුලපිරීමක්‌ බව මේවා මෙහෙයවන අය කල්පනා කරන්න ඕන. අපේ රටේ ආගමික නායකයො මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු බව මම කියන්න කැමතියි.

ඔබ වහන්සේ මේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක්‌ සිදුකරන බව මේ අය නගන චෝදනාවක්‌?

භික්‌ෂූන් වහන්සේ කියන්නෙ ඉතා අතීතයේ සිට මේ රටේ අතිශය වැදගත් කාර්යභාරයක්‌ ඉටු කළ පිරිසක්‌. මේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් පමණක්‌ ද භික්‌ෂූන් වහන්සේ මැදිහත් වුණේ. පසුගිය කාලේ සෞදියේ දී බෙල්ල කපා මරාදැමූ රිසානාගේ පවුලේ අයගේ නිවස හදල දුන්නෙ මම. විශ්වවිද්‍යාලයේ මගේ මාස 6 ක වැටුප සහ විශ්වවිද්‍යාලයේ තවත් ආචාර්යවරුන්ගෙ ආධාර යොදවලයි. ලක්‌ෂ 16 ක්‌ පමණ ඊට වියදම් වුණා. කොටි ත්‍රස්‌තවාදියෙකුට වෙඩි තිබ්බයි කියල සිරගත කරපු වික්‍රමගේ රණවිරුවා වෙනුවෙන් දඩමුදල් ගෙවන්න ලක්‌ෂ 20 ක මුදල එකතු කරල දුන්නෙ මගෙ මූලිකත්වයෙන්. නියඟය නිසා යාපනේ පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේ ජනතාවට ඇතිවූ දුෂ්කරතාව වෙනුවෙන් සිංහල බෞද්ධයන් ලබාදුන් වතුර ටැංකි 50 ක්‌ ඒ ප්‍රදේශයේ සවි කළේ අපි. සුනේත්‍රා මහාදේවි පිරිවෙනේ ව්‍යාපෘතියක්‌ ලෙස නම් සඳහන් ඒ වතුර ටැංකිවලින් යාපනේ දෙමළ ජනතාව අදත් වතුර බොනවා. ඒ නියඟයටම මුහුණ පෑ දකුණේ සූරියවැව ප්‍රදේශයේ ජනතාවටත් අපි ඒ විදිහටම වතුර ටැංකි ලබාදීල ඔවුනුත් අද ඒවා භාවිත කරනවා. මගේ මූලිකත්වයෙන් ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ ගෙවල් 35 ක්‌ ඉදිකර දිළිඳු ජනතාවට ලබාදී තිබෙනවා. වැසී යාමට ආසන්නව තිබූ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පන්සල් 25 කට එම පන්සල් පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය උපකරණ ලබාගැනීම සඳහා රුපියල් ලක්‌ෂය බැගින් මම ලබාදී තිබෙනවා. මේවනවිට අන්ධ දරුවන් වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට මගේ මුළු වැටුපම පරිත්‍යාග කර තිබෙනවා. මේ රටේ අසරණයන් වෙනුවෙන්, විපතට පත්වූ අය වෙනුවෙන් වගේම අයුක්‌තියට ගොදුරු වූ අය වෙනුවෙන් සහ අසාධාරණයට ලක්‌වූ සියලු දෙනා වෙනුවෙන් මහා සංඝරත්නය හැටියට පෞද්ගලිකව මමත් මේ රටේ මහා සංඝරත්නයත් එළියට බැහැල කටයුතු කරනවා.

රටේ ජනතාවට දේශපාලනික වශයෙන් හානිදායක යෑයි සිතන සමහර දේවල්වලට සෘජුව තීරණයක්‌ අරගෙන කතා කරද්දී ඒකට අකුල් හෙළීම දැන් සංවිධානාත්මකව සිදුකරන බව පේනවා. රටටත් ජනතාවට ත්ඉතාමත් අහිතකර මේ නව ව්‍යවස්‌ථා ක්‍රියාවලියේ වැරදි පෙන්වා දුන් අවස්‌ථාවේ එක එක බත්බැලයො දාලා අස්‌ගිරි මහා විහාරයේ හාමුදුරුවරුන්ට ගරහා කරපු ආකාරය අපි කාටත් පැහැදිලියි. මේ ක්‍රියාවලියේ ඉන්නෙ සරත් ෆොන්සේකා සහ රන්ජන් රාමනායක කියන අවිදග්ධ දේශපාලකයො දෙදෙනා නෙමෙයි. බෞද්ධ විරෝධී, ජාති විරෝධී, මේ සංස්‌කෘතිය බිඳහෙළල විනාශ කරන්න කටයුතු කරන දැවැන්ත බලවේගයක්‌ ඔවුන් පසුපස ඉන්නවා. අර හාමුදුරුවන්ට බැන්නා, මේ හාමුදුරුවන්ට බැන්නා කියන මේ මතුපිටින් පේන දේ නෙමෙයි මේ රටේ සිංහලයාට, බෞද්ධයාට තිබෙන මූලිකත්වය, නායකත්වය බිඳහෙළීමේ විශාල කුමන්ත්‍රණයක්‌ මෙහි තිබෙන බව අපේ රටේ සමස්‌ත සිංහල, බෞද්ධ සමාජය තේරුම් ගත යුතුයි. මේ දේශපාලකයින්ගෙ කටින් එන්නෙ ඒ කුමන්ත්‍රණයයි. අපි ඔවුන්ට අනුකම්පා කරන අතරේ මේ මහා කුමන්ත්‍රණයෙන් රට බේරා ගැනීමේ අවශ්‍යතාව ගැන ජනතාව දැනුවත් කරනවා. මේ කුමන්ත්‍රණයෙන් රට බේරා ගැනීම රටේ සමස්‌ත ජනතාවගේම වගකීමක්‌.

දිවයින පුවත්පත අනුග්‍රහයෙන්

සාකච්ජා කළේ පාලිත සේනානායක
ඡායාරූපය – සමන් අබේසිරිවර්ධන 



974 Viewers