• Home »
  • Sinhala »
  • ඇත්තේ ජාතික ප්‍රශ්නයක්‌ හෝ දේශපාලන ප්‍රශ්නයක්‌ නොව බෙදුම්වාදී ප්‍රශ්නයකි – බෙංගමුවේ නාලක හිමි

ඇත්තේ ජාතික ප්‍රශ්නයක්‌ හෝ දේශපාලන ප්‍රශ්නයක්‌ නොව බෙදුම්වාදී ප්‍රශ්නයකි – බෙංගමුවේ නාලක හිමි

මෙරට දෙමළ ජනතාවට ප්‍රශ්නයක්‌ වී ඇතැයි දේශපාලකයෝත් ඇතැම් උගත්තුත් කියති. තවත් සමහරු එය ජනවාර්ගික ප්‍රශ්නයක්‌ ලෙස හඳුන්වති. මේ අතර නලින් ද සිල්වා වැනි අය මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ඇතිව තිබෙන ප්‍රශ්නය කුමක්‌දැයි කලක්‌ තිස්‌සේම අසති. එහෙත් ඊට නිසි පිළිතුරක්‌ මෙතෙක්‌ ලැබී නැත. විසඳුමක්‌ දීමට නම් මුලින්ම ප්‍රශ්නය කුමක්‌දැයි වටහා ගත යුතුයි. ප්‍රශ්නයක්‌ නැතුව හෝ ප්‍රශ්නය හරිහැටි වටහා නොගෙන හෝ විසඳුම් යෙදුවාට ඵලක්‌ නොවේ.

කෝට්‌ටේ යුගය දක්‌වා මෙරට ඉතිහාසයක්‌ තිබුණු ප්‍රශ්නය නම් දකුණු ඉන්දියානු ආක්‍රමණයි. ඒවා සියල්ල දෙමළ හෝ ද්‍රවිඩ ආක්‍රමණ නොවේ. වරින්වර දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණිකයෝ සිංහල රාජධානිය අත්පත් කරගෙන පාලනය කළහ. එහෙත් කිසිදු අවස්‌ථාවක ඔවුන්ට මුළු රටම අත්පත් කරගත නොහැකි විය. අනුරාධපුර හෝ පොළොන්නරු රාජධානි අත්පත් කරගෙන රට කොල්ලකෑහ. ඒ හැම විට තම රුහුණේ සිංහල රජ කුමාරවරු පාලනය ගෙන ගියහ.

දකුණු ඉන්දියානුවන්ට මෙන්ම පෘතුගීසි, ලන්දේසි, ඉංගී්‍රසින්, බටහිර ජාතීන්ට ද සටන්කර රට අත්පත් කර ගත නොහැකි විය. මුහුදුබඩ ප්‍රදේශවල පමණක්‌ ඔවුන් බලය තහවුරු කරගෙන සිටියද කන්දඋඩරට සිංහල රාජධානිය පැවැතිණි. ජෝන් ඩොයිලි නම් වූ කපටි කෛරාටික සුද්දාගේ උපක්‍රමය නිසා 1815 දී ගිවිසුමක්‌ මගින් මළු රටේම පාලන බලය ඉංගී්‍රසින්ට අත්පත් කරගත හැකි විය. ඔවුන් ගිවිසුම ප්‍රකාර පාලනය නොකළ හෙයින් 1818 දී හා 1848 දී සිංහලයෝ ඔවුන්ට විරුද්ධව කැරලිs ගැසූහ. ඒවා සිංහල විමුක්‌ති සටන් ලෙස හැඳින්විය හැකිය. එකද දෙමළ හෝ මුස්‌ලිම් වැසියෙක්‌ ඉංගී්‍රසීන්ට එරෙහිව සටන්වැදී නැත.

සිංහල බලය බිඳීම සඳහා ඉංගී්‍රසි උගත් දෙමළ හා මුස්‌ලිම්වරුන් ඉංගී්‍රසි පාලකයන් විසින් යොදාගනු ලැබීය. එම ක්‍රියාදාමය වර්ධනය වෙද්දී ඉංගී්‍රසි උගත් දෙමළ වෙල්ලාලයෝ තමන්ට වෙනම පාලන බලයක්‌ තහවුරු කර ගැනීමේ ක්‍රියාමාර්ගයක යෙදුණහ. 1833 සිටම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වී ඇත. බෙදා පාලනය කිරීමේ ඉංගී්‍රසි ක්‍රමවේදය තුළ මෙය ඉංගී්‍රසීන්ට පාලනය ගෙන යැම සඳහාත් සිංහල බලය බිඳ දැමීම සඳහාත් උපකාර විය.

දෙමළ දේශපාලකයන් ඉංගී්‍රසි පාලන සමය තුළදීම සර්වජන ඡන්ද බලය දීමට එරෙහි වීම, ඉලංගෙයි තමිල් අරසුකච්චි නමින් දෙමළ දේශපාලන රාජ්‍ය පක්‍ෂයක්‌ පිහිටුවීම, පනහට පනහෙ ඉල්ලීම, ෆෙඩරල් පාලනයකට ගොස්‌ දෙමළ දේශපාලකයන්ට රට තුළ වෙනම පාලන බලයක්‌ ඇති කර ගැනීම යන ක්‍රියාමාර්ග ගනු ලැබිණි. ඒ කිසිවක්‌ මෙරට දෙමළ ජනතාවගේ වුවමනාවන් නොව ඉංගී්‍රසි උගත් දෙමළ දේශපාලනයන්ගේම වුවමනාවන් වීම විශේෂ ලක්‍ෂණයකි. අවසානයේ උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ නිජබිම ලෙස වැරැදි ලෙස හඳුන්වාගෙන එම ප්‍රදේශවලට දෙමළ ඊළමක්‌ ලබා ගැනීම දක්‌වා මෙම දෙමළ දේශපාලන වැඩපිළිවෙළ වර්ධනය විණි. එය නතර වූයේ ඊළම ලබාගැනීම සඳහා අවි අතට ගත් ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදී ක්‍රියා මාර්ගයෙනි.

මෙම දෙමළ බෙදුම්වාදී දේශපාලන වැඩපිළිවෙළ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ ලෙස හඳුනාගත් මෙරට දේශපාලකයෝ ඊට (නැති ප්‍රශ්නයකි) විසඳුම් සෙවූහ. ඒ සඳහා සාකච්ඡා, වට මේස සාකච්ඡා, තිම්පු සාකච්ඡා, පැවැත්වූහ. එම සාකච්ඡාවලදී දෙමළ දේශපාලකයන් ඉල්ලා සිටි එකම විසඳුම වූයේ රට තුළ ඔවුන්ට වෙනම පාලන බලයක්‌ අවශ්‍ය බවයි. එවැන්නක්‌ නොලැබුණු නිසා එය ලබා ගැනීම සඳහා අවි අතට ගත් කණ්‌ඩායමක්‌ එහි විය. 1978 සිටම මෙරට පාලකයෝ එම ත්‍රස්‌තවාදීන් සමඟ ද සාකච්ඡා කළහ. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම් දිය නොහැකි නිසා සාකච්ඡා අසාර්ථක විය. චන්ද්‍රිකා ජනාධිපතිනිය මෙන්ම 2002 දී රනිල් වික්‍රමසිංහ අගමැති ද දෙමළ ත්‍රස්‌තවාදීන් සතුටු වන අන්දමේ විසඳුම් දීමට අරඇන්ද නමුත් ඒවා ද අසාර්ථක විය.

අවසානයේ බෙදුම්වාදී ත්‍රස්‌තවාදයට ඇති එකම විසඳුම ඔවුන් සටනින් පරාජය කිරීම බව වටහාගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් තම හමුදාවන් යෙදීය. වසර තුනක්‌ ඇතුළත ලොව බිහිසුණුම ත්‍රස්‌තවාදීන් ලෙස නම් දරා සිටි දෙමළ බෙදුම්වාදී ත්‍රස්‌තවාදීන් පරාජය කිරීමට මහින්ද රාජපක්‍ෂ රජයට හැකි විය. එමගින් ඉංගී්‍රසි පාලන සමයේ සිට ක්‍රියාත්මක වූ දෙමළ බෙදුම්වාදයට, එම ත්‍රස්‌තවාදයට 2009 මැයි 18 දා නිසි පිළිතුර ලැබුණි. එම ප්‍රශ්නයට දිය හැකිවූ දේශපාලන විසඳුමද එයම විය. ප්‍රශ්නයක්‌ තිබුණා නම් එදා එම ප්‍රශ්නය ද මුළුමනින්ම විසඳනු ලැබිය. එහෙත් දෙමළ බෙදුම්වාදීන්, එන්. ජී. ඕ. කාරයන් ද සමහර දේශපාලකයන් ද කියන ජාතික ප්‍රශ්නයක්‌ හෝ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ එදත් නොතිබුණු බැවින් අදත් නැති බැවින් එවැනි ප්‍රශ්නයකට විසඳුම් සෙවීම අනුවණ කමක්‌ මිස වෙනත් දෙයක්‌ නොවේ.

රට පාලනය කළ දේශපාලකයන්ගේ වැරැදි නිසා, සුළු ජන කොටස්‌වල ඡන්දය ලබාගෙන එම දේශපාලනඥයන් සතුටු කර බලයට පැමිණීමට හා බලය රැක ගැනීමට ක්‍රියා කිරීම නිසා දෙමළ බෙදුම්වාදී දේශපාලන වැඩපිළිවෙළ වර්ධනයවී අවසානයේ ඔවුන්ට වෙනම දෙමළ රටක්‌ (ඊළමක්‌) අවශ්‍ය වන තැනට කරුණු යෙදුණි. සුද්දන් ඇටවූ උගුලෙහි මෙරට දේශපාලකයන් අසුවීම නිසා රට තුළ අනවශ්‍ය ප්‍රශ්නයක්‌ ඇති වී ත්‍රස්‌තවාදයක්‌ ද බිහිවුණි. එය 2009 මැයි 18දා, විසඳුණු ලැබූවද නෛතික වශයෙන් ද එය නොවිසඳීම නිසා ප්‍රශ්නය විසඳීමට ක්‍රියා කළ රජය පෙරළා දැමූ දෙමළ බෙදුම්වාදීන්ට අවශ්‍ය රජයක්‌ බිහිකර ගැනීමට ද හැකි විය. 2015 ජනවාරි 08 දා අගෝස්‌තු 17 දා පිහිටුවාලනු ලැබුවේ එවැනි පාලන තන්ත්‍රයකි. දැන් තිබෙනුයේ දෙමළ බෙදුම්වාදීන් හා ඔවුන්ට හිතවත් බටහිර හා ඉන්දියානු බලවේග විසින් මෙහෙවන පාලන තන්ත්‍රයකි. එම පාලකයන්ට මේ බෙදුම්වාදීන් සතුටුවන විසඳුමක්‌ ලාබදීමට සිදුවී ඇත. ඒ සඳහායි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් නව ව්‍යවස්‌ථාවක්‌ හෝ ගෙනඒමට රජය උත්සාහ දරන්නේ.

බෙදුම්වාදීන් සතුටු කිරීමට අපේ කුඩා මවුබිම දෙකඩ වන තැනට පාලකයන් කටයුතු කළොත් එය ඔවුන් මාතෘ භූමියට සිදු කළ ඓතිහාසික අපරාධයක්‌ වනවාමයි. එය එසේ කරවා ගැනීම සඳහා දෙමළ බෙදුම්වාදීන් ජාත්‍යන්තර බලපෑම් ඇති කිරීමටද ක්‍රියා කර ඇත. රටින් පිට දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවාගෙන ඇති ඔවුහු බටහිර රටවලට ඒත්තු ගන්වා ඇත්තේ තමන්ගේ රට තමන්ට අහිමිකර ඇති බව හා එය ලබා ගැනීමට තමන්ට උපකාරවන ලෙසයි. ඔවුන් ගොතා ඇති තවත් බොරුවක්‌ නම් ඉංගී්‍රසීන් අත්පත් කර ගත්තේ සිහංල හා දෙමළ යන රටවල් දෙකක්‌ බවත් නිදහස දීමේදී දෙමළ රට ද සිංහලයන්ට පාවා දී ඇති බවත් ය. මේ බොරුව පිළිගත් ඉංගී්‍රසිහු තමන් වරදක්‌ කර ඇතැයි ද එම වරද නිවැරැදි කිරීමට නම් දෙමළ රට යළි ලබා ගැනීමට උපකාර කළ යුතු යෑයි ද තීරණය කර බෙදුම්වාදයට සහාය දෙති.

මෙහිදී මුළු ලෝකයේම දෙකෝටි විසි ලක්‍ෂයක පමණ සිටින සිංහල ජනතාවට එරෙහිව කෝටි 12 ක්‌ පමණ වු ලොව පුරා විසිරී සිටින දෙමළ ජනගහනය කෙසේ වෙතත් ඔවුන්ගේ නියෝජිතයන් ලෙස දෙමළ දේශපාලකයන් හා උගතුන් ක්‍රියාත්මක වෙමින් සිටී. සත්‍යය එනම් ශ්‍රී ලංකාව ඉතිහාසය පුරාම එකම රටක්‌ ලෙස පැවතියා යන්න අබිබවා අසත්‍යය එනම් රට තුළ වෙනම දෙමළ රටක්‌ පැවතුණා යෑයි යන්න ජාත්‍යන්තරය තුළ තහවුරු කිරීමට බෙදුම්වාදීහු ක්‍රියා කර ඇත. ශ්‍රී ලංකා රජය ද එම මතය පිළිගෙන හෝ එවැන්නක්‌ ඇතැයි නොදැන හෝ බෙදුම්වාදයට අසුවී රට බෙදීමට කැස කවති. ඒ සඳහා ව්‍යවස්‌ථා පිඹුරුපත් සකසති. රටට හිතවත් කිසිවෙක්‌ ඊට සහය නොදැක්‌විය යුතුය. බෙදුම්වාදයට ඉඩ දී රට විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය.

57 Viewers