• Home »
  • Sinhala »
  • ඇමෙරිකානුවන්ට මව්බිම පාවා දීම.

ඇමෙරිකානුවන්ට මව්බිම පාවා දීම.

(රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා 2019 ජුනි 09 වැනි දින ඉරිදා මව්බිමට ලියූ ලිපිය)

ඇමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් සමාගම (M.C.C.) සමග ශ්‍රි ලංකාව එළඹ ඇති ගිවිසුම, ජාතික භෞතික සැලසුම් කවුන්සලයේ සභාපති ලෙස ජනාධිපති විසින් අත්සන් කර තිබේදැයි තවමත් කිසිවෙකුත් නොදනී.
වසර 2018 අගෝස්තු 13 වන දින උක්ත ඇමරිකානු සමාගම ඇමෙරිකානු කොංග්‍රසයට තමන් ශ්‍රි ලංකාව සමඟ ගිවිසුමකට සාකච්ඡා කරන බවට දැනුම් දී ඇති අතර, 2019 අප්‍රේල් 25 වන දින එම මිලේනියම් චැලෙන්ජ් සමාගම ශ්‍රි ලංකාව සමග වසර 5ක ගිවිසුමකට අනුමැතිය ලබාදී ඇති බැව් කොංග්‍රසයට දන්වා ඇත.

එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ ලංකාවේ ‘ආර්ථික වර්ධනය’ තුළින් දුප්පත්කම දුරු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා වන අතර, වසර 5ක් සඳහා ඔවුන් යොදවන මුදල ඩොලර් මිලියන 480ක් වේ. ඔවුන්ට අනුව ඔවුන් ලංකාවේ රජයට උදව් කරනුයේ ආර්ථික වර්ධනයට බාධා වන සාධක දෙකක් පිළිබඳව අවධානය යොමු කිරීමට ය. එනම්, සැපයුම් ප්‍රවාහනයෙහි ඇති දුර්වලතාවය සහ කර්මාන්ත ආයෝජනය, කෘෂි කර්මාන්තය යනාදියට අවශ්‍ය ඉඩම් ලබා ගැනීමට තිබෙන අපහසුතාවයයි. ඒ අනුව මෙම ගිවිසුමෙහි ව්‍යාපෘති දෙකක් අඩංගු වේ. එනම්, ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ව්‍යාපෘතියයි. ප්‍රවාහන ව්‍යාපෘතියට මාර්ග පද්ධතිය සහ බස් සේවා සංවර්ධනය සහ රටේ මධ්‍යම පළාතේ සිට වරායවල් සහ වෙළදපළවල් සඳහා මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය අයත් වන අතර, ඉඩම් ව්‍යාපෘතියෙන් පුද්ගලික සහ දැනට “ඵලදායී ලෙස ප්‍රයෝජනයට නොගන්නා” රජය සතු ඉඩම් සම්බන්ධ තොරතුරු ලබා ගනී. දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් සමාගම තම ප්‍රවේශ ව්‍යාපෘතිය ලෙස දැනටමත් ශ්‍රි ලංකාව තෝරාගෙන ඒ අනුව ක්‍රියා කිරීම ආරම්භ කොට තිබේ.

නමුත් රටේ ජනතාව මේ පිළිබඳව තවමත් කිසිත් නොදනී. දරිද්‍රතාව අඩු කිරීම සඳහා මොවුන් තෝරාගෙන ඇති ‘ආර්ථික කොරිඩෝව’ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන සැතපුම් 200 ක් දිග තීරයක් වන අතර එය පාදක වී ඇත්තේ නගර සැලසුම් පනත අනුව සකසන ලද ජාතික භෞතික සැලසුමය. 2018 – 2050 දක්වා වූ වර්තමාන භෞතික සැලසුම 2011 වසරේදී 2011 – 2030 දක්වා පිළියෙල කරන ලද භෞතික සැලසුමේ සංශෝධනයක් වේ. මෙයට අදාළ පනතට අනුව, 2011 වසරේ දී පිළියෙල කරන ලද භෞතික සැලසුම, පනතෙහි සඳහන් නියම ක්‍රමවේදයන් අනුගමනය කරමින් පිළියෙල කරන ලද්දක් වන අතර 2018 වසරේ දී පිළියෙල කරන ලද සැලසුම එම නියම ක්‍රමවේදය අනුගමනය කළ බවට සාධක නොමැත. පනතට අනුව මෙම භෞතික සැලසුම් කෙටුම්පත, විශේෂඥයින්ට, වෘත්තිකයින්ට සහ සාමාන්‍ය ජනතාවට ද ඉදිරිපත් කළ යුතු අතර අමාත්‍යතුමාගේ අනුමැතියෙන් පසු සිතියම් සහ සැලසුම් ද සමග සම්පූර්ණ වාර්තාව ගැසට් කළ යුතු වේ. එසේ කරනුයේ ඊට පසුවද ජනතාවගේ නිරීක්ෂණයන් සහ නිර්දේශයන් ලබාගෙන වැරදි නිවැරදි කොට අවශ්‍ය අමතර කරුණු එම සැලසුම් කෙටුම්පතට අන්තර්ගත කරනු පිණිසය. මේ සියලු දේ කළ පසුය, එම ජාතික භෞතික සැලසුම, ජාතික භෞතික සැලසුම් කවුන්සලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කරනුයේ දැන් ජනතාව ඉදිරියේ තිබෙන ප්‍රශ්ණය වන්නේ මෙලෙස ක්‍රියාත්මක කිරීමට යන ජාතික භෞතික සැලස්ම අදාළ පනත ප්‍රකාරව අනුගමනය කළ යුතු ක්‍රමවේදයන්ට භාජනය කර නොමැති නම්, ජනාධිපති සහ කවුන්සලය විසින් එය අනුමත කළ ද එම ක්‍රියාවලිය කෙතරම් දුරට නීත්‍යානුකූල ද යන්නයි. එවැනි නීත්‍යානුකූල නොවන සැලැස්මක් ඇමරිකානු සමාගමක් සමග ක්‍රියාත්මක කිරීම මවුබිම පාවා දීමක් නොවන්නේද ?

මීට පෙර සකසනු ලැබූ භෞතික සැලසුම මුළු රටේම සංවර්ධනය පිළිබිඹු කර ඇති නමුත් මෙම සංශෝධිත සැලසුමෙන් පෙන්වා දෙන්නේ එක් තීරුවක (එනම් කොළඹ, ත්රිධකුණාමලය) සංවර්ධනය පමණි. ලැබී ඇති තොරතුරු අනුව කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා විදුලි දුම්රිය මාර්ගයක් ඉදිවන අතර එය දෙපස වැටක්ද ස්ථාපිත වේ. මෙයින් සිදු වන්නේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා වන, හෙක්ටයාර් අක්කර ලක්ෂ 12ක ප්‍රමාණයක් ආවරණය වන ආර්ථික කොරිඩෝවකින් නොහොත් තාප්පයකින් රට උතුරු සහ දකුණු ලෙස භෞතිකව දෙකට බෙදීමයි.

ඇමෙරිකානු සමාගම මෙම ව්‍යාපෘතියට අතපොවන්නෙ ආර්ථික වර්ධනය හරහා දරිද්‍රතාවය දුරු කිරීමට නම් මෙම ආර්ථික සංවර්ධනයට තෝරාගත් ප්‍රදේශයන්හී දරිද්‍රතාවය, රටේ සෙසු ප්‍රදේශවල දරිද්‍රතාවය සමඟ සැසඳෙන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුය. අපේ සංඝනන සහ සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ජාතික දරිද්‍රතා දර්ශකය වනුයේ 4.1 කී. ඉඩම් පරිපාලන ව්‍යාපෘතියට යටතේ ඉඩම් සම්බන්ධ කටයුතු වලට අයත් වනුයේ කෑගල්ල, නුවර, මාතලේ, කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලයයි. (ගම්පහ දිස්ත්‍රික්කය ද ඇතුළත් කිරීමට සාකච්ඡා කරනු ලබයි) මෙම දිස්ත්‍රික්ක 8න් ජාතික දරිද්‍රතා දර්ශකයට වඩා දරිද්‍රතාවයෙන් ඉහළින් සිටින්නේ නුවර (5.5) කෑගල්ල (7.1) සහ ත්‍රිකුණාමලය (10.0) වේ. මෙහි අවංක අදහස දුප්පත්කම තුරන් කිරීම නම් ඇත්ත වශයෙන්ම දරිද්‍රතා දර්ශකය 4.1 ට වැඩි දිස්ත්‍රික්ක පමණක් තෝරා ගත යුතුවේ. එනම් මොණරාගල (5.8) රත්නපුර (6.5) බදුල්ල (6.8) මඩකලපු (11.3) කිලිනොච්චිය (18.2) මුලතිව් (12.7) යාපනය (7.7) නුවරඑළිය (6.3) යන දිස්ත්‍රික්කයි. මෙවන් ප්‍රදේශ අතහැර දරිද්‍රතා දර්ශකයට පහලින් ඇති ප්‍රදේශ තව තවත් සංවර්ධනය කිරීම තුළ එම සංවර්ධන විශමතාවය නිසා ඉදිරියේ එම තත්ත්වය වාර්ගික ගැටළු බවට පත්වීමට පවා ඉඩ තිබේ.

තවද පරිසරය පිළිබඳ විශේෂඥයන්ට අනුව මෙම යෝජිත ආර්ථික කොරිඩෝවට දශක ගණනාවක් තිස්සේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ බලපෑමට අයත් වන ප්‍රදේශ ඇතුළත් වන අතර පාරම්පරික අලි ඇතුන් එහා මෙහා සංක්‍රමණය වන තීරුද අයත් වේ. මෙවැනි ඉතා සංවේදී පාරිසරික සම්පත් සහ ස්වභාව ධර්මය විනාශ වන මෙවන් භෞතික සැලැස්මක් සම්පාදනය කළ පුද්ගලයින් හට තමන් කුමන පදනමකින් එසේ කළා දැයි හෙළි කිරීමට ඉදිරියේදී සිදු වනු ඇත.

මේ සම්බන්ධයෙන් රජය කඩිමුඩියේ තවත් පනත් 3ක් ගෙන ඒමට සැරසේ. එනම් “ඉඩම් බැංකු පනත” “ඉඩම් විධි විධාන පනත” සහ “ඉඩම් අයිතිය සීමා කිරීමේ පනතය.” එනම් මෙම ආර්ථික තීරුවට අයිති සියළුම රජ්‍ය “ඉඩම් බැංකුවට” පවරා ගනු ලබයි. ඉන්පසු අයදුම්පත් මගින් එම ඕනෑම ඉඩමක් මිලදී ගැනීමට, ඕනෑම කෙනෙකුට, එනම් විදේශිකයින්ට හෝ විදේශ සමාගම් වලට හෝ අවසර ලැබේ. අවශ්‍යම වන්නේ ඇමතිතුමාගේ අනුමැතිය පමණි. ඉඩම් විධි විධාන පනත මගින් දැනට බලපත්‍ර හිමි සියලු ඉඩම් ලාභීන්ට සින්නක්කර ඔප්පු ලබාදීම කරනු ලබයි. එවිට එම ඉඩම් හිමියන්ට විශාල මුදලකට තම ඉඩම් විකිණිය හැක. ඉඩම් අයිතිය සීමා කිරීමේ පනතින් දැනට තිබෙන අක්කර පහේ ඉඩම් සීමා අයිතිය අහෝසි කරන අතර ඕනෑම අක්කර ප්‍රමාණයක් ඕනෑම කෙනෙකුට මිලදී ගත හැකිවේ. දෙමළ ඩයස්පෝරාවේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 400ක් බව ජෙන්ස් ඩිෂෙන්ස් වික්ලි යන විදෙස් සඟරාව පවසයි. අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයට ද අයත් මුදල් කන්දරාව ගැන අප අසා ඇත. එසේනම් වර්තමාන ආණ්ඩුව මේ සිදු කරන්නේ අපේ රටේ ඉඩම් සම්පූර්ණයෙන්ම රටට අගතියක් සිදු කරන විදේශකරණයට භාජනය කිරීමයි. වසර 5කට බලයට විත් මේ අයුරින් රටේ සම්පත් තමන්ට හිතුමතේ විකුණ දැමිය හැකිද? මැල්කම් රංජිත් කාදිනල්තුමා ද පැවසූ පරිදි පාලකයෝ වනාහි මෙම භූමිය පාලනය කරන්නන් මිස ඔවුන් භූමියේ අයිතිකරුවන් නොවේ. නමුත් අද පාලකයෝ හැසිරෙන්නේ සහ කටයුතු කරන්නේ රටේ අයිතිකරුවන් සේ නම් ජනතාව තවත් බලා සිටිය යුතුද ?

දැනටමත් අප ඇමරිකාව සමග AC SA හෙවත් (Acquisition and Cross Service) ගිවිසුම අත්සන් කොට තිබේ. තව ද SOFA හෙවත් (Status of forces) ගිවිසුම එහිම කොටසක් බව කියනු ලැබේ. මෙම ගිවිසුම් වලට අනුව ඇමරිකානු සෙබලුන්ට සහ ඇමරිකානු කොන්ත්‍රාත්තුකරුවන්ට තානාපතිවරුන්ට දෙන මුක්තිය ලබා දෙන අතර ඔවුන් ලංකාවේ අපරාධ නීතියට අයත් නොවේ. ඔවුන් වරදක් කළොත්, එනම් කාන්තා දූෂණයක් සිදු කළොත්, මිනීමැරුමක් සිදු කළොත්, අපට කළ හැක්කේ ඔවුන්ව ඇමරිකානු තානාපති කාර්යාලයට භාර දීම පමණි. ලංකාවේ නීතියට අයත් නොවන, අවි අතින් ගත් විදේශීය හමුදා නිල ඇඳුමින් සැරසෙන සෙබළුන් අභියස අපේ රටේ වැසියන් අපේ රටේම දෙවන පංතියේ පුරවැසියන් වන්නේ එලෙසය. මෙම ව්‍යාපෘතිය ලංකාවේ සංවර්ධනයට වඩා ඇමරිකාවේ යහපත සඳහා වූ එකක් බැව් ඕනෑම කෙනෙකුට වැටහෙන දෙයකි. ඉහත ගිවිසුම් අනුව ලංකාව තුළ ඇමරිකාවේ යුද සැපයුම් කේන්ද්‍රයක් ස්ථාපිත වනු ඇත. ඇමරිකානු කණ්ඩායම් ලංකාවේ දුප්පත් ජනයාට නොමිලේ ඉංග්‍රිසි ඉගැන්වීම ද සමාජ සත්කාරයක් ලෙස කිරීමට යන බව දැන ගැනීමට තිබේ.

අද රටේ ආර්ථිකය වලපල්ලටම ගොස් තිබේ. ජාතික ආරක්ෂාව තිබෙන්නේ බින්දුවේය. කොටි ත්‍රස්තයින්ට අමතරව ඉස්ලාම් ත්‍රස්තවාදයද හිස ඔසවා තිබේ. අගමැති ඇමෙරිකාව සමඟ ගිවිසුම් ගසන විට ජනපති චීනය සමඟ ගිවිසුම් ගසයි. ජනතාව මේ කිසිදෙයක් නොදනී. මෙවන් විදේශ ප්‍රතිපත්තියක් ලෝකයේ මොනම රටකවත් තිබිය නොහැක. රට මෙවන් තත්ත්වයකට ඇද දැමූ මෙම පාලකයන් සියලුම දෙනා අනාගතයේ දී ඊට වගකීමට සූදානම්ව සිටිය යුතුය.

අද රට පත්ව ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් එදා ඩෙස්මන් ටුටු පියතුමා කළ ප්‍රකාශයක් නැවත සිහි කිරීමවටී. “අප්‍රිකාවට මිෂනාරිවරුන් පැමිණෙන විට ඔවුන් අත බයිබලය තිබූ අතර ඉඩම් අප සතුව තිබින. ඔවුන් අපට “දැන් යාඥා කරමු”යැයි කීවෝය. අපේ දෑස් පියාගෙන යාඥා කළෙමු. අප නැවත ඇස් ඇර බලන විට අපේ අතේ බයිබලය තිබූ අතර සියලුම ඉඩම් ඔවුන් සතුව තිබිණ”

(මෙම ලිපිය ලිවීමට නෙවිල් ලද්දුහෙට්ටි මහතා ලබා දුන් කරුණු වලට කෘතඥ වෙමි.)



137 Viewers