ඉන්දියාව අපට සම්මුතිවාදයක් පටවයි

මේ ලිච්ඡවි රජදරුවන්ගේ යුගය නො වේ. මේ මෝදි යුගය යි. මෝදි යුගය ලිච්ඡවින්ට අවුරුදු දෙදහස් හයසියයකට පමණ පසුව ඉංගිරිසි යුගයක් නේරු යුගයක් හා ගාන්ධි යුගයක් පසුකර පැමිණ ඇත්තකි. ඉංගිරිසින්ට පෙර තවත් යුග ගණනාවක් චෝල, චේර පාණ්ඩ්‍ය, මූගල් ආදී වශයෙන් ද අපි පසුකර ඇත්තෙමු. එයට අමතර ව ධර්මාශෝක යුගයක් ද අපි පසු කෙළෙමු. මෝදිට නැති සම්මුතිවාදයක් මෝදි අපට ලබාදෙන්නේ කෙසේ ද? ධර්මාශෝක රජු අපට ඊනියා යථාර්ථවාදී ථෙරවාදී සංස්කෘතියක් ලබා දුන්නේ ය. ඒ ඔහුට තිබිණු සංස්කෘතියකි. යථාර්ථයක සම්මුතිවාදයක් තිබිය හැකි යැයි නො සිතමි. එය අවසානයේ දී අවුරුදු දහස් ගණනක් අපේ වාසියට හේතු විය!

අද ක්‍රියාත්මක වන සම්මුතිවාදී දේශපාලනය යන්න ම ලංකාවේ නිර්මාණයක් නොවන බව සිතාගත හැකි ය. ලිච්ඡවිහු යථාර්ථයක් ගැන විශ්වාස කළෝ ද? අප යථාර්ථයක් ගැන විශ්වාස කරන්නේ නම් අප දරණ මතය යථාර්ථය යැයි අප පිළිගන්නේ නම් අපට අනෙකා කියන දෙය සමග එකඟ විය හැකි ද? එය ඊනියා සත්‍යයක් ලෙස පිළිගත හැකි ද? සම්මුතිවාදී දේශපාලනයක් සඳහා අනිවාර්ය අවශ්‍යතාවක් වනුයේ යථාර්ථයක් නැති බව පිළිගැනීම යැයි සිතමි. දාර්ශනික අර්ථයකින් වුව ද සම්මුතිවාදී දේශපාලනය යන්න විකෘතියක් බව පැහැදිලි ය.

මම පසුගිය දිනවල සති කිහිපයක් අසනීපයෙන් පසුවූයෙමි. ඒ කාලයෙහි සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරගන්නා අතර එයටත් වඩා දැනුම පිළිබඳ මගේ දැනුම වර්ධනය කර ගත්තෙමි. ඇතැම් වර්ධනයන් වෙනත් පුවත්පත්වල ද, විශේෂයෙන් ම විදුසර පුවත්පතෙහි පළවනු ඇත. ඉතා කෙටියෙන් කියන්නේ නම් පෘථග්ජනයන්ගේ සියළු දැනුම් (මා ලියන දේ ද ඇතුළු ) බොරු බවට බුද්ධ දේශනාවෙහි සඳහන් ප්‍රකාශ පිළිබඳ විශ්වාසය ඒ කාලයෙහි තව තවත් තහවුරු විය. අපේ සියළු දැනුම් මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්ප, ප්‍රවාද, තර්ක ආදියට සීමා වෙයි. මනස විසින් නිර්මාණය නොකෙරෙන දැනුමක්, ඊනියා වාස්තවික යථාර්ථයක් අපට තිබිය හැක්කේ කෙසේ ද? තණ්හාව යන්න ද අපේ නිර්මාණයකි. තණ්හාව නමැති සංකල්පය නොමැතිව තණ්හාවක් තිබිය හැක්කේ ඊනියා යථාර්ථවාදීන්ගේ මනසෙහි යැයි සිතමි. දේශපාලන බලය පිළිබඳ තණ්හාව ගැන කියනුම කවරේ ද? තණ්හාව නැති කර ගැනීම බුදුන් වහන්සේ පෘථග්ජනයන්ගේ මනසින් ග්‍රහණය කරගත හැකි සංකල්ප (දැනුම) දේශනා කළහ. දේශපාලන බල තණ්හාව නැති කර ගත හැකි දේශපාලනඥයෝ වෙත් ද?

පෘථග්ජන අපේ සියළු දැනුම් බොරු බව බුදුන් වහන්සේ දේශනා කර ඇත. එසේ නම් අප ජීවත්වන්නේ, එදිනෙදා වැඩකටයුතු කරගෙන යන්නේ කෙසේ ද? අපි බොරු දැනුමෙන් වැඩ ගනිමු. ඒ දැනුම් සංගත වේ ද නැද්ද යන්නවත් ප්‍රශ්නයක් නොවන බව මට දැන් පැහැදිලි ය. බටහිර විද්‍යාව ද තවත් එවැනි පට්ටපල් බොරුවක් පමණකි. දේශපාලනයෙහි දී අපි එකිනෙකා විවිධාකාරයෙන් කරුණු ඉදිරිපත් කරමු, පැහැදිලි කරමු. අප එකිනෙකා අතර පමණක් නොව ඒ ඒ පක්‍ෂවල ද දේශපාලනඥයන්ගේ ද ඇත්තේ පරස්පර ය. අපට විද්‍යුත් නාලිකාවල වාද පැවැත්වීමට හැක්කේ මේ පරස්පර නිසා ම ය.

කෙසේ වෙතත් දේශපාලනයේ ඊනියා සිද්ධි විවිධ වූ ආකාරයට විස්තර කෙරී ඇත. මා දැන් දකින ආකාරයට අද අපට මෝදි ඊනියා සම්මුතිවාදී දේශපාලනයක් පටවා ඇත. මගේ ප්‍රකාශය වැරදි විය හැකි ය. එහෙත් ඒ තවත් විස්තර කිරීමකි. මේ ඊනියා සම්මුතිවාදය ඉන්දීය ඔත්තු සේවා මගින් එ ජා පක්‍ෂයට හා ශී්‍ර ල නි ප කොටසකට පමණක් නොව දෙමළ ජාතික සංධානයට ද ජ වි පෙරමුණට ද ජා නි සංධානයට ද පටවා ඇත. තොණ්ඩමන් හා ඩග්ලස් දේවානන්ද ගැන කීමට දෙයක් නැත. අද යම්තමින් වුවත් ඉන්දීය ග්‍රහණයෙන් මිදී ඇත්තේ ශ්‍රී ල නි ප කොටසක් හා එ ජ නි සංධානයේ පක්‍ෂයක් දෙකක් පමණකි. එහෙත් ඔවුන්ට අද කළ හැකි දෙයක් නැත. ශ්‍රී ල නි පක්‍ෂයට ආණ්ඩුවේ මෙන් ම විපක්‍ෂයේ ද සිටිය නො හැකි ය. ඔවුන් රූපික බෙදීමක සිර වී ඇත. සංධානයේ ම එ පෙරමුණට ඇත්තේ මන්ත්‍රීවරුන් තිදෙනකු පමණ ය. සම්බන්ධන් විපක්‍ෂ නායක ලෙස පත්කිරීමට එරෙහිව තර්කයක් ඉදිරිපත් කිරීමටවත් නො හැකි ය. සංධානයේ ඊනියා ජාතික ආණ්ඩුව සමග නොමැති කොටස් අදවත් වෙන ම දේශපාලන පක්‍ෂයක් ලෙස සංවිධානය විය යුතු ය. මෛත්‍රිපාලගේ නායකත්වයෙන් ඔවුන්ට දේශපාලන ගමනක් නොමැති බව අප කීවේ අද ඊයේ නො වේ.

අප රටේ එ ජා ප හා ශ්‍රී ල නි ප එකඟ වන්නේ කුමක් සඳහා ද? සංවර්ධනය, ජාතික සමගිය, සංහිඳියාව ආදිය සම්බන්ධයෙන් යැයි යමකු කීමට ඉඩ ඇත. එහෙත් මේ පිළිබඳ විස්තරාත්මක සාකච්ඡා ඇති වන විට අර්බුදය කෙතරම් මහත් දැයි අපට තේරුම් ගත හැකි වනු ඇත. ඊනියා සම්මුතිවාදී පාර්ලිමේන්තුව රැස් වූ දින ම සම්මුතිවාදයක් නැති බවට අඩුම තරමින් කරුණු හතරකින්් කියැවිණි. පළමුව පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකයකු නැත. (මේ ලියන මොහොතෙහි සම්බන්ධන් ඒ තනතුරට පත්කර ඇති බව වාර්තා වෙයි.) ඇමති මණ්ඩලය පත්කර ගැනීම පිළිබඳ මැතිවරණය නිමවා සති දෙකකට පසුවත් සම්මුතියක් නැත. 1948 සිට තිබූ එකඟතාවන්වත් දැන් ඇති කර ගත නො හැකි යැයි සිතමි. සමහර විට හතරවැනි දා වන විට කැබිනට් මණ්ඩලය පිළිබඳ එකඟතාවකට ඒමට ඉඩ ඇත.

අද දැකිය හැක්කේ එකඟතා මත පදනම් වී රට කරවීමක් නොව විධාන හා නියෝග මත රට කරවීමට දරණ ප්‍රයත්නයකි. එදා පාර්ලිමේන්තුව රැස් වූ දින ඊනියා රාජාසන කතාවෙන් පසු උදය ගම්මන්පිළ මහතා තම ස්තුති කතාවේදී අනුචිත කතාවක් කෙළේ ය. එහෙත් ඔහු පාර්ලිමේන්තු සම්ප්‍රදායට එරෙහිව කිසිවක් නො කීවේ ය. ඔහු ඊනියා නිසග ආයුධ ගැනීමක් ගැන කතා නො කෙළේ ය.

රනිල් වික්‍රමසිංහ මහතා එක්කෝ එදා ගම්මන්පිළ මහතා කී දේ සාවධානව අසා සිට නැත. එසේත් නැත්නම් ඇතැමුන් කතාකරන විට වික්‍රමසිංහ මහතාට ඉවසුමක් නැත. ගම්මන්පිළ මහතා වැනි ඒකනායක කෙනකුට කතාවක් දීමෙන් තමන් පරාජයට පත්විණි යැයි වික්‍රමසිංහ මහතා සිතුවේ දැයි නො දනිමි. ඒ කුමක් වුවත් රනිල් වික්‍රමසිංහ මහතා කඩා පැන්නේ ගම්මන්පිළ මහතාට එවැනි කතා කිරීමට ඉඩක් නො දෙන බව කියමිනි. එහි ඇති සම්මුතිවාදය කුමක් ද? තමා හරි යැයි සිතන දේ පමණක් පාර්ලිමේන්තුවේ දී සිදුවනු දැකීම වික්‍රමසිංහ මහතාගේ අභිප්‍රාය බව පැහැදිලි ය. වික්‍රමසිංහ මහතා පසුගිය පාර්ලිමේන්තුව අවසන් භාගයේ දී ද මේ දුර්වලතාව ප්‍රදර්ශනය කෙළේ ය. ඔහු තමන් අගමැති මිස කතානායක නොවන බව දැනගෙන කටයුතු කරන්නේ නම් පාර්ලිමේන්තුවෙන් පිටත සිටින අපට ද පහසුවකි.

එදින ම මත්තල ගුවන්තොටුපළේ එක් ගොඩනැගිල්ලක් වී ගබඩාවක් ලෙස වෙන් කෙරිණි. ඒ ගොඩනැගිල්ලේ ඇති උපකරණ හා භාණ්ඩවලට ඒ නිසා සිදුවන හානිය ගණන් බලා ඇත් ද? මත්තල ගැන ආණ්ඩුව විපක්‍ෂය සමග සම්මුතියකට නො එළඹුණේ ඇයි? ආණ්ඩුවට, විශේෂයෙන් ම රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය තව තවත් මහින්ද රාජපක්‍ෂ මහතාට පහර ගැසීම බව පැහැදිලි ය. සුද්දන් තම මිත්‍රයා යැයි කියමින් ප්‍රතිවාදීන්ට පහර ගැසීමට අපට උගන්වා ඇත. බටහිර සංස්කෘතිය අනුව හැදුණු වැඩුණු රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්‍ෂ මහතාට ව්‍යාජ ස්තුති පුදකරන අතර ඒ මහතාට තව තවත් පහර දෙයි. මත්තල ගැන ගත් ක්‍රියා මාර්ගයෙන් ආණ්ඩුව අත්කරගෙන ඇත්තේ හොඳ හිතක් නො වේ. ආණ්ඩුවට, විශේෂයෙන් ම එ ජා පක්‍ෂයට ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාට පහර ගැසීමේ චේතනාව ය.

අද අපි ඉන්දියාවේ ග්‍රහණයට හසු වී සිටින්නෙමු. අවුරුදු දෙදහස් හයසියයකට පසුව අපි පරාජය වී සිටිමු. මහින්ද රාජපක්‍ෂ මහතාට දඬුවම් කිරීම ඉන්දියාවේ අභිලා’ෂය නොවන බව පෙනී යයි. ඊනියා දේශීය හා ජාත්‍යන්තර පරීක්‍ෂණ ගැන අද අපට වෙනත් ආකාරයකට සිතන්නට බල කෙරී ඇත. අද කළ යුත්තේ ඉන්දියාවෙන් නිදහස් වන මගක් සෙවීම ය. එහෙත් ඒ පහසු නො වේ.

අප මෙතරම් ඉක්මණින් ඉන්දියාවේ ග්‍රහණයට හසුවූයේ කෙසේ ද? ඉන්දීය ඔත්තු සේවයේ අය අද අප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස කටයුතු කරති. ඉන්දිරා ගාන්ධිට පමණක් නොව ජවහර්ලාල් නේරුට ද ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කර ගැනීමේ අවශ්‍යතාව විය. ඉන්දිරා ගාන්ධිගෙන් පසුව ඉන්දීය පාලකයෝ ලංකාවේ දෙමළ ප්‍රශ්නය තම අභිමතාර්ථය සාක්‍ෂාත් කර ගැනීම සඳහා යොදා ගත්හ. මෙයින් කියැවෙන්නේ දෙමළ ප්‍රශ්නය ඉන්දියාවේ නිර්මාණයක් බව නො වේ. එය ඉංගිරිසින්ගේ නිර්මාණයකි. අපට ඊනියා තිස් අවුරුදු යුද්ධය ගැන වෙනත් මනසකින් බැලීමට සිදු වී ඇත. ප්‍රභාකරන්ගේ මරණය පිළිබඳ කරුණා අම්මාන් කතාවක් කීමට පටන්ගෙන ඇත්තේ ඊනියා යුද්ධයේ ගෞරවය ඉන්දියාවට ලබා ගැනීමට ය. ඒ සඳහා ඉන්දීය ඔත්තු සේවය ක්‍රියා කෙළේ අද ඊයේ නො වේ.

චීන පෝට් සිටි හෙවත් වරාය නගරයට ඉන්දියාව තරයේ විරුද්ධ විය. ඉන්දියන් සාගරය චීන ආධිපත්‍යයට යට කිරීමට විරුද්ධව ඔවුහු කටයුතු කළෝ ය. මහින්ද රාජපක්‍ෂ පළවා හැරීමට ඉන්දියාව අවසානයේ දී තීරණය කළේ මේ ආධිපත්‍යය හේතුකොටගෙන ය. ඒ මිස ඊනියා පරිසර විනාශය නො වේ. අද ඉන්දියාව වරාය නගරය සාගරයේ ගිල්වා ඒ වෙනුවට ඊනියා මහාපතරංග නගර (මෙගාපෝලිස්) සංකල්පය ඉදිරිපත් කර ඇත. මහාපතරංග නගරය ඉන්දියාවෙන් මෙහෙයවනු ඇත. එයට අමතර ව සීපා ගිවිසුම හා පාලම ඇත. අපි විමසිල්ලෙන් සිටිමු

නලින් ද සිල්වා

1301 Viewers