ඉරණමඩු අභියෝගය

(Courtesy by The Divaina)

උතුරේ දෙමළ දේශපාලනඥයන්ගෙන් බුදු දහමට හා බෞද්ධ සිද්ධස්‌ථානවලට එල්ල වන තර්ජනයන් පසුගිය කාලය පුරාවටම වැඩිවිණි.

උතුරේ සාමාන්‍ය වැසියන්ට මේ තත්ත්වය කිසිම ප්‍රශ්නයක්‌ නොවූවත් දෙමළ දේශපාලනඥයන්ට එය ප්‍රශ්නයක්‌ වී ඇත්තේ ඔවුන්ගේ පැවැත්ම උදෙසා බව පෙනී යයි.

මුලතිව්, කුරුඳුමලේ, මුලතිව්, ගුරුකන්ද සේමමඩු විහාරය කෝකිලායි ශ්‍රී සම්බුද්ධ විහාරය යන විහාරස්‌ථාන නිතර නිතර අර්බුදයන්ට ලක්‌ව ඇති විහාරස්‌ථාන වෙයි.

මේ ආගමික අර්බුදය මධ්‍යයේ උතුරේ නව ආණ්‌ඩුකාර ධුරයට පත්වූ ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලබා දීමට උත්සහ දරයි. මෙහි පළමු අදියර යටතේ උතුරේ බොදු සමුළුවක්‌ පැවැත්වීමට එතුමා පියවර ගෙන තිබේ.

වවුනියාව ශ්‍රී බෝධිදක්‌ෂිණාරාම විහාරස්‌ථානයට පැමිණි අවස්‌ථාවේදී උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක සියඹලාගස්‌වැවේ විමලසාර මාහිමිපාණන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවේදී ආණ්‌ඩුකාරවරයා පවසා ඇත්තේ ලබන මාර්තු මස විසි දෙවැනිදා මෙම බොදු සමුළුව වවුනියාවේදී පැවැත්වීමට පියවර ගෙන ඇති බවයි.

උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයාගේ මේ ක්‍රියාවට සියලු දෙනාම සාධුකාර දිය යුතු වේ. ඒ එම ක්‍රියාව කාලෝචිත හා ඉතා අවශ්‍යයෙන්ම සිදුවිය යුතු කාරණාවක්‌ නිසාය. නමුත් මෙහිදී පැන නගින හා විසඳාගත යුතු ප්‍රශ්න කීපයක්‌ම වෙයි.

ඉන් පළමුවැන්න වන්නේ උතුරේ දෙමළ දේශපාලනඥයන්ගෙන් බුදු දහමට හා බෞද්ධ සිද්ධස්‌ථාන වලට එල්ල වෙමින් පවතින තර්ජනයන් අවම කරගන්නේ කෙසේද යන කාරණයයි.

උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයාට උතුරේ දෙමළ දේශපාලනඥයන් පිරිස ආණ්‌ඩු මට්‌ටු කරගැනීමට හැකියාවක්‌ ලැබෙන තුරු කොතරම් බොදු සමුළු තැබූවද පලක්‌ නොවේ. මේ නිසා මුලින්ම සිදුවිය යුත්තේ බොදු සමුළුවට සමගාමීව උතුරේ දෙමළ දේශපාලනඥයන් පිරිසට බෞද්ධාගම හා ඊට සම්බන්ධව උතුරේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්‌ථාන පිළිබඳව මූලික අවබෝධයක්‌ ලබාදීමයි.

බුද්ධාගම යනු හකුරුද? පොල්ද? යන මූලික අවබෝධය නොමැති පිරිසක්‌ සිටියදී බොදු මහ සමුළුවක්‌ පැවැත්වීම තවත් අනතුරුදායක තත්ත්වයකි.

උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා මෙම තීරණය ගත් පසුව දෙමළ මාධ්‍ය වාර්තාකොට තිබුණේ ඊළාම් දේශයට බුදු දහම පැමිණෙයි යන අදහසින් යුතු ප්‍රවෘත්ති කීපයකි.

ඔවුන්ට පෙනෙන්නේ බුදු පිළිමය හා බුදු දහම යනු උතුරේ ඉඩම් කොල්ලකෑමට පැමිණෙන මෙවලම් ලෙසිනි. මුලින්ම බුදු පිළිමය පැමිණ ඊට පසුව ඒ පිළිමය තබන ලද පළාතේ ඉඩම බෞද්ධ විහාරස්‌ථානයකට ලබා දෙන බවට අවස්‌ථා කීපයකදීම මුලතිව් පළාතේ සිටින දෙමළ දේශපාලනඥයෝ රජයට චෝදනා කොට තිබේ.

මීළඟට අවධානය යොමු කළ යුතු වන්නේ මේ බොදු මහ සමුළුව වවුනියාවේ පැවැත්වීම උචිතද? යන කාරණයයි. වවුනියාව යනු මහ අරුම පුදුම ස්‌ථානයකි. යුද සමයේදී පවා සිංහල, දෙමළ හා මුස්‌ලිම් වැසියෝ සහෝදරයන් මෙන් ජීවත් වූයේ මේ වවුනියාවේය. බෞද්ධාගම සම්බන්ධයෙන් වවුනියාව තුළ කිසිදු ගැටලුවක්‌ නොමැත. සර්ව ආගමික සහජීවනතාවය ඉතාම ඉහළින් පවතින නගරය වන්නේද වවුනියාවයි.

මේ නිසා වවුනියාවේ මේ බොදු සමුළුව පැවැත්වීමට වඩා බෞද්ධාගමට ප්‍රශ්න එල්ල වී ඇති මුලතිව් පළාතේ එය පැවැත්වීම වඩාත්ම සුදුසු බව පෙනීයයි.

උතුරේ යුද්ධය පැවති කාලවකවානුවේදී දකුණේ බොහෝ පිරිස්‌ වහාම යුද්ධය නතර කරන ලෙස ඉල්ලා සිටියේ කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටට එක්‌ රැස්‌ වීමෙනි. ඒ උද්ඝෝෂණවල හඬ උතුරට නොඇසිණි. නොදැණුනි. මේ නිසා යුද්ධය යුද්ධයට ඕනෑ අන්දමට ඔහේ කෙරීගෙන ගියේය.

උතුරේ බෞද්ධාගම සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක්‌ ඇත්තේ මුලතිව් පළාතේ නිසා මේ සමුළුව මුලතිව් පළාතේ පවත්වන අතරතුර මුලතිව් සිටින සෙසු පිරිසට මේ සිදු කරන්නේ කුමක්‌දැයි යන්න ඉතා පැහැදිලිව තේරුම් කිරීමට තවත් ක්‍රමවේදයක්‌ සකස්‌ කරන්නේ නම් උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයාගේ මේ උත්සාහය තවත් සාර්ථක වනු ඇත.

ඉරණමඩු අභියෝගය

උතුරු පළාත් ආණ්‌ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රශ්න විසඳීමට විශාල උත්සාහයක්‌ ගන්නා බව පෙනේ. නමුත් ඔහුට උතුරේ දේශපාලන අධිකාරියෙන් ඊට පූර්ණ සහායක්‌ නොලැබෙන බව පෙනී යයි.

කිළිනොච්චිය ඉරණමඩු ජලාශයේ ප්‍රශ්නයද එවැනිම ප්‍රශ්නයකි. යාපනයේ ජනතාවට පානීය ජලය නොමැතිව ඔවුන් ඉතා දුෂ්කරතාවකට මුහුණ පා සිටිති. පළාතේ ඇති ජල සම්පත්වලට අනුව ඔවුන් ලබාගෙන පානය කරන ජලයේ විවිධ අපද්‍රව්‍ය හා විෂ සහිත දේ සියයට

8 ත් 11 ත් අතර ප්‍රමාණයක්‌ ඇති බව ජලයට සම්බන්ධ ආයතන විසින් සිදුකළ පරීක්‌ෂණවලින් හෙළි වී තිබේ.

උතුරේ වැසියන්ට පානීය ජල බෝතල් මිලට ගැනීමට මසකට රුපියල් කෝටි දහයක්‌ වැයවන බව කියා සිටින්නේ පළාතේ පරිසර සංවිධානයි. උතුරේ වැසියන්ට අවශ්‍ය පානීය ජල අවශ්‍යතාවයෙන් රජයට සැපයිය හැක්‌කේ සියයට විස්‌සක තරම් වූ ප්‍රමාණයක්‌ බව උතුරේ පරිසරවේදීන් කියා සිටියි.

මේ සැපයෙන ජල ප්‍රමාණයේ ප්‍රතිශතය අඩුවීමට ප්‍රධාන හේතුව රජයේ වරදක්‌ හෝ රජයේ අතපසුවීමක්‌ නොව පළාතේ ජල සම්පත්වල ඇති ඌණතාවය බවද එම සංවිධාන විසින් පෙන්වා දී තිබේ.

මේ සියලුම දෙනා කියා සිටින්නේ යාපනයට පානීය ජලය කිසිම දිනක යාපනයෙන් සොයාගත නොහැකි බවයි. මේ තත්ත්වය එකල ඉංග්‍රීසී ආණ්‌ඩුවද තේරුම් ගෙන තිබුණි. ඔවුන් යෝජනා කොට තිබුණේද යාපනයට පානීය ජලය සපයා ගැනීමට ඇති හොඳම මඟ කිළිනොච්චියේ ඉරණමඩු ජලාශයේ ජලය පානීය ජලය වශයෙන් යාපනයට රැගෙන යැම බවයි.

මේ තත්ත්වය නිසා කිළිනොච්චිය ඉරණමඩු ජලාශයේ ඇති ජලයෙන් සියයට හැටක ප්‍රමාණයක්‌ පානීය ජලය වශයෙන් යාපනයට රැගෙන යැමට ඇති හැකියාව පිළිබඳව වහාම සොයා බලන ලෙස උතුරු පළාත් ආණ්‌ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා නිලධාරීන්ට දැනුම් දී තිබුණි.

මේ දැනුම් දීම සිදුකළ බවට ආරංචියක්‌ පැතිර යැමත් සමඟම කිළිනොච්චියේ විශාල පිරිසක්‌ උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයාගේ කාර්යාලය වැටලූහ.

ආණ්‌ඩුකාරවරයා ඔවුන් සමඟ සාකච්ඡාවට පැමිණි අවස්‌ථාවේදී ඔවුන් ආණ්‌ඩුකාරවරයාට කියා සිටියේ ආණ්‌ඩුකාරවරයා ගත් තීරණයට ඔවුන් විරුද්ධ බවයි.

උතුරු පළාත් ආණ්‌ඩුකාර සුරේන් රාඝවන් මහතා කිළිනොච්චියේ සිට පැමිණි ජනතාවට පවසා ඇත්තේ මෙය තවමත් යෝජනාවක්‌ පමණක්‌ බවයි.

කිළිනොච්චියේ ඉරණමඩු ජලාශය හා එහි ඇති විශාල ජලස්‌කන්ධය කිළිනොච්චියේ වැසියන්ට අයත් බව තමන් පිළිගන්නා බවත් එසේම මේ උතුරේම ජනතා කොට්‌ඨාශයක්‌ වන යාපනයේ ජනතාවට පානීය ජලය නොමැතිව ඔවුන් විඳින පීඩාවද විශාල ප්‍රශ්නයක්‌ ලෙස සලකන මෙන්ද ආණ්‌ඩුකාරවරයා මේ පිරිසට ප්‍රකාශ කොට තිබේ.

නමුත් ඔවුන්ගේ කිසිම මානුෂීය භාවයක්‌ මෙහිදී දැකගන්නට නොමැත. ඔවුන් කිලිනොච්චියට ආපසු පැමිණ විශාල රැස්‌වීමක්‌ තබා තීරණය කොට ඇත්තේ මේ යෝජනාව අකුලා ගන්නා තුරු විරෝධතාවය පළ කිරීමටය.

දෙමළ ජාතික සන්ධානයේ අනාගත නායකයා

උතුරේ ප්‍රශ්න මෙතරම් දැවෙමින් තිබියදී දෙමළ ජාතික සන්ධානය ඔවුන්ට අනාගත නායකයකු සොයා ගැනීමේ උත්සාහයක නිරතව සිටියි.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊශ්වරන් සරවනබවන් මහතා කියා සිටින්නේ දෙමළ ජාතික සන්ධානයේ මීළග නායකයා බවට පත්විය යුත්තේ සුමන්තිරන් මන්ත්‍රීවරයා බවයි.

දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකයා බවට සුමන්තිරන් මහතා පත්වන බවත්, ඒ සඳහා අවශ්‍ය මූලික වටපිටාව සකස්‌ කිරීම මීළගට පැවැත්වෙන මධ්‍යම කාරක සභා වාරයේදී සිදු කරන බවත් සරවනබවන් මන්ත්‍රීවරයා කියා සිටියි.

යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස්‌ දක්‌වමින් සරවනබවන් මන්ත්‍රීවරයා කියා සිටියේ නායකයෙකු වශයෙන් ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයට ඉතා විශිෂ්ට නායකත්වයක්‌ ලබා දුන් බවයි.

සම්බන්ධන් මන්ත්‍රීවරයා අසනීපයෙන් පෙළීම නිසා ඔහු දෙමළ ජාතික සන්ධානයේ අනුශාසකවරයා වශයෙන් පත්කොට නායකත්වය සුමන්තිරන් මහතාට ලබාදීමට පක්‌ෂය තුළ සාකච්ඡාවක්‌ මේ දිනවල සිදු වෙමින් පවතින බවත් ඒ පිළිබදව පක්‌ෂයේ මධ්‍යම කාරක සභාව ඉදිරියේ දී රැස්‌වූ විට කරුණු සාකච්ඡා කරන බවත් සරවනබවන් මහතා සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකත්වයට පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පත්විය යුත්තේ මාවෙයි සේනාධිරාජා මහතා වුවත් ඔහුගේ අසනීප තත්ත්වය නිසා ඔහුද සුමන්තිරන් මහතාව නායකත්වයට සුදුසු බවට අදහස්‌ පළකොට ඇති බව සරවනබවන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

පුදනකොටම කාපි යකා

දෙමළ ජාතික සන්ධානයේ අනාගත නායකයා ලෙස සුමන්තිරන් මන්ත්‍රීවරයා සුදුසු බවට කතා පැතිරෙද්දී අනාගත නායකයාවත්, වත්මන් නායකයාවත් පතුරු අරිමින් වවුනියාවේ වැසියෝ විශාල උද්ඝෝෂණයක්‌ පැවැත්වූහ.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා හා සුමන්තිරන් මන්ත්‍රීවරයා තමන්ට බොරු පොරොන්දු දෙමින් වසර දෙකක්‌ තිස්‌සේ තමන්ව රැවටූ බව කියමින් යුද සමයේදී පුද්ගලයන් අතුරුදන් වූවන්ගේ සංගමය විසින් වවුනියාවේදී විරෝධතාවක්‌ දියත් කරනු ලැබීය.

යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව රජය කරුණු සොයා බලා එසේ අතුරුදන් වූවන්ගේ පවුල්වලට යම් සාධාරණයක්‌ ඉටු කළ යුතු බවට රජයට බලකරමින් අඛණ්‌ඩ විරෝධතාවක්‌ දියත් කළ අවස්‌ථාවේදී රජය සමග සාකච්ඡා කොට විසඳුමක්‌ ලබාදෙන බවට මේ දෙදෙනා පොරොන්දු වූ බව එම සංගමය කියා සිටියි.

නමුත් යුද සමයේදී පුද්ගලයන් අතුරුදන් වූවන්ගේ සංගමය දින 720 ක්‌ පමණ අඛණ්‌ඩව මෙම විරෝධතාවය වවුනියාව නගරය මැද දියත් කළත් රජයෙන් මේ ප්‍රශ්නයට යම් විසඳුමක්‌ ලබාදීම වෙනුවට සම්බන්ධන් මන්ත්‍රීවරයාත්, සුමන්තිරන් මන්ත්‍රීවරයාත් කළේ රජයෙන් විවිධ වරප්‍රසාද ලබාගෙන පොරොන්දු කඩ කළ බවයි.

අතුරුදන් වූවන්ගේ ඥාතීන් පැවසූවේ තමන්ගේ ඡන්දයෙන් බලයට පත්වූ සම්බන්ධන් හා සුමන්තිරන් වැන්නවුන් දෙමළ ජනතාවගේ ගැටලු පසෙකලා වර්තමානයේ කටයුතු කරන බවයි.

අතුරුදන් වූවන්ගේ ගැටලුව වෙනුවෙන් විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් තමන් රජයෙන් අවස්‌ථා ගණනාවකදී ඉල්ලීම් කරමින් සාකච්ඡා පැවැත්වුවද අදාළ සාකච්ඡාවන් වෙනුවෙන් සුමන්තිරන් හා සම්බන්ධන් මැදිහත් වී රජය සාධාරණීකරණය කිරීම සිදුකරමින් සිටින බැවින් තමන්ගේ ගැටලුවට මෙතෙක්‌ විසඳුම් නොලැබී ඇති බවද විරෝධතාකරුවන් පැවසූහ.

විරෝධතාවට එක්‌වූ අතුරුදන් වූවන්ගේ ඥාතීන් පැවසුවේ තමන්ගේ ගැටලුව වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ මත විසඳුමක්‌ ලබාදිය යුතු බවට තමන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීම් කොට ඇති බවයි.

දේශීය යාන්ත්‍රණයක්‌ හා දේශීය ක්‍රමවේදයක්‌ මගින් ලබාදෙන විසඳුම් තමන් පිළිනොගන්නා බැවින් ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ මත යුද සමයේ මෙරට අතුරුදන් වූවන්ට සිදුවුයේ කුමක්‌ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක්‌ කැඳවිය යුතු බවද අතුරුදන් වූවන්ගේ ඥාතීන් ඉල්ලීම් කරනු ලැබීය.

ඇමරිකා එක්‌සත් ජනපදය හෝ යුරෝපා සංගමය මැදිහත්වී සිය ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ඇමරිකා එක්‌සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් විරෝධතාව පැවැත්වූහ.

අතුරුදන් වූවන්ගේ ඥාතීන්, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්‌ විරෝධතාවට එක්‌ව සිටියහ.

p11-1



49 Viewers