• Home »
  • Sinhala »
  • උඩ යට ගෙන යන ව්‍යවස්ථා මර උගුල නැවත මතු වන්නේ කෙසේ ද?

උඩ යට ගෙන යන ව්‍යවස්ථා මර උගුල නැවත මතු වන්නේ කෙසේ ද?

(Courtesy of The Divaina)

Capture
ආණ්ඩුව විසින් විපක්‍ෂය ද පටලවා ගනිමින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවා ආරම්භ කළ ව්‍යවස්ථා සංශෝධන කථිකාව යම් කලකට යටපත් විය. ඉන් පසුව ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ කථිකාව නැවත වතාවක් කරළියට පැමිණෙන්නේ සැප්තැම්බර් 5 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ගෙන එන 20වන ව්‍යවස්ථා සංශෝධනයත් සමග ය. එසැනින්ම සමාජය තුළ ඇතිවූ ආන්දෝලනය අද වනවිට තරමක් දුරකට අඩු වී ඇත. පසුගිය අවුරුදු තුන තුළම ව්‍යවස්ථාව සම්බන්ධ කථිකාව වරින්වර ඇතිවී නොබෝ දිනකින්ම යටපත්ව ගිය අයුරු අපි දුටිමු. වර්තමාන රජය ඔවුන් බලයට පත්වූ විගසම නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව රටට පවසමින් ඒ සඳහා ඉතා විශාල මුදලක් වෙන් කරමින් ඒ කාර්යයට මුලපුරන්නේ එහි පළමු පියවර ලෙස මහජන අදහස් විමසීමේ කමිටුව පත්කිරීමෙනි. එහි නිර්දේශ සහිත වාර්තාව-2016 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මගින් ප‍්‍රකාශයට පත් කෙරිණි.

ඉන් පසුව රට වෙනුවෙන් පෙනී සිටින ජාතික ව්‍යාපාර මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින විද්වතුන් ද ඇතුළු බොහෝදෙනා මෙම වාර්තාව විශ්ලේෂණය කරමින් විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කළහ. විශේෂයෙන්ම ඒකීය/ ඔරුමිත්තනාඩු වැනි වචන මෙන්ම ශ‍්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු බවට කළ නිර්දේශ ද සිංහල බෞද්ධයන්ගේ බරපතළ විවේචනයට ලක්විය. එම නිර්දේශයන් අතුරින් වඩාත්ම කතාබහට ලක් වූයේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති විසින් පත් කරනු ලබන ආණ්ඩුකාරවරයාගේ පත්වීම මහ ඇමති එකඟත්වයට යටත්ව කළ යුතු යන සංශෝධනය සහ ඔහු කටයුතු කළ යුත්තේ මහ ඇමති ගේ උපදෙස් මතය. ආණ්ඩුකාරවරයාගේ බලතල කප්පාදු කරමින් විධායකයේ බලතල පළාත් සභා වලට යටත් කිරීමට ගන්නා උත්සාහය භයානක කරුණක් ලෙස ඉස්මතු විය. ඊට අමතරව ජාතික ධජය, ජාතික ගීය පිළිබඳව ද විවිධ ආන්දෝලනාත්මක නිර්දේශයන් ඇතුළත් වී තිබීම ද කතාබහට ලක් විය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටු හය අතරින් වැදගත්ම අනුකමිටුව වන මධ්‍ය පරිධිය අනුකමිටු වාර්තාව මගින් ඒකීය රාජ්‍ය ව්‍යුහය විවේචනය කරමින් සමගාමී ලැයිස්තුව අහෝසි කිරීම, ආණ්ඩුකාරවරයාගේ බලතල අවම කිරීම, විධායක ජනාධිපති ක‍්‍රමයේ විධායක බලතල අහෝසි කිරීම, යනාදිය යෝජනා කෙරිණි. ඊට අමතරව අනුකමිටු හරහා යෝජනා කර ඇති නිර්දේශයන් වන ජාතික ප‍්‍රතිපත්ති සම්බන්ධව තීරණ ගැනීමේ බලය සංවෘත ලැයිස්තුවෙන් හෙවත් මධ්‍යම රජයෙන් ඉවත් කිරීම, සහ ඉඩම් සම්බන්ධ බලය පළාත් විධායකයට පැවරීම යනාදිය විශේෂ අවධානයට ලක්විය. තවද පුරවැසියන් නොවන අයට ද තමන්ගේ සංස්කෘතික ප‍්‍රවර්ධනයට ඉඩ සැලසීම, සමලිංගික සම්බන්ධතා නීතිගත කිරීම යනාදිය ද විවේචනයට ලක් විය. අමතරව ඉදිරියේ දී ඇතිවිය හැකි ව්‍යවස්ථාමය ගැටලූ නිරාකරණය කිරීමට නව ව්‍යවස්ථා අධිකරණයක් යෝජනා වී ඇති අතර එයට විනිසුරුවරුන් පත්කිරීමේදී ජනවර්ගය සැලකිල්ලට ගැනීම ද නිර්දේශ කර ඇත.

මෙම බැරෑරුම් අවස්ථාවේදී කූට උපක‍්‍රම මගින් රට බෙදුම්වාදය වෙත ගෙන යන ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය හෙළාදකිමින් ජාතික බලවේග විසින් මහා සංඝයා දැනුවත් කරමින් යථා තත්ත්වය රටට හෙළිදරව් කරනු ලැබීය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේලා විසින් නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ රටට අවශ්‍ය නොවන බවට ඓතිහාසික ප‍්‍රකාශයක් ඉදිරිපත් කළහ. මෙම ප‍්‍රකාශයත් සමගම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය රජය විසින් තාවකාලිකව අත්හැර තිබුණි. ඉන් පසුව ඉතා කෙටි කාලයක නිහැඬියාවකින් පසුව බෙදුම්වාදයට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය නැවත මතුවූයේ 20වන ව්‍යවස්ථා සංශෝධනය ලෙසයි. එවරද මහා සංඝයා වහන්සේලා විසින් නියෝජිත සමුළුවක් කැඳවා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෙළා දුටු විට බෙදුම්වාදීන් එවරද සංශෝධන ක‍්‍රියාවලිය තාවකාලිකව හකුළා ගත් බව පෙනෙන්නට තිබුණි.

කෙසේ වෙතත් 20 වන සංශෝධනය ගෙන එනු ලබන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා යැයි ජ.වි.පෙ පවසති. එසේ වුවත් එය බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ජ.වි.පෙ විසින් ගෙන එන තවත් තුරුම්පුවක් බවට සැකයක් නැත. ඉතිහාසය දෙස බලන විට 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවේ සිට ඒකීය රාජ්‍යයක්ව පැවැති ශ‍්‍රී ලංකා රජය 1987 දී ඉන්දියාවේ බලහත්කාරී මැදිහත්වීමෙන් ෆෙඩරල් ලක්ෂණ සහිත රාජ්‍යයකට හැරුණි. ඒ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගිනි. එහිදී ශ‍්‍රී ලංකාව පළාත් නවයකට බෙදා ව්‍යවස්ථාදායක සභා විධායක බලතල පළාත් සභාවලට ලබා දීම සිදු විය. ශ‍්‍රී ලංකා මධ්‍යම රජයට යම් විෂයන් සම්බන්ධයෙන් පමණක් තීරණ ගැනීමේ සහ ක‍්‍රියාත්මක කිරීමේ බලය ඉතිරි කර තවත් විෂයයන් 37ක් සම්බන්ධයෙන් පළාත් සභා ලැයිස්තුවක් ඇතිකර එහි වගකීම් පළාත්සභාවලට ලබාදීම ෆෙඩරල් රාජ්‍යය ලක්ෂණයන්ය.

ඒ අනුව 13 වන සංශෝධනයෙන් ඉඩම් සහ පොලිස් බලතල ලබාගැනීමද පළාත් දෙකක් ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීමට බෙදුම්වාදීන් සමත් විය. ශ‍්‍රී ලංකාවට මෙම තත්ත්වය උදාවූයේ බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමට උච්චතම අවස්ථාවට පැමිණි තිබියදී ඉන්දීය රජයේ දැඩි මැදිහත්වීමකට යටත්ව බව අප අමතක කළ යුතු නැත. ශ‍්‍රී ලංකා රජය 13වන ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගනු ලැබුවේ එයට විරුද්ධව හඬ නැඟූ ජාතික බලවේගයන් තුවක්කුවෙන් මෙල්ල කරමිනි. කෙසේ නමුත් 13වන සංශෝධනයෙන් ප‍්‍රතිව්‍යුහගත වූ ශ‍්‍රී ලංකා රාජ්‍යයේ ව්‍යුහය තුළ ඒකීයභාවය රැුකගැනීමට අවශ්‍ය විධිවිධාන එම සංශෝධනයට ඇතුළත් කිරීමට එවකට සිටි විධායක ජනාධිපතිට හැකි විය. ඒවා අතරින් ප‍්‍රධාන වන්නේ ජනාධිපතිවරයාගේ විධායක බලතල පළාතේ ආණ්ඩුකාරවරයාට පැවරීම සහ ජාතික ප‍්‍රතිපත්ති තීරණය කිරීමේ බලය මධ්‍යම රජය සතු කිරීමයි. එසේම සමගාමී ලැයිස්තුවේ විෂයයන් සම්බන්ධව මධ්‍යම රජය සහ පළාත් සභාව සමගාමීව ව්‍යවස්ථාදායක සහ විධායක බලතල ක‍්‍රියාත්මක කිරීමට සැලැස්වීම ද ඊට අයත්වේ.

උදාහරණයක් ලෙස ඉඩම් පළාත් සභා ලැයිස්තුවට අයත් වුවද ඉඩම් සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී ඉඩම් බෙදා දීමේ බලය මධ්‍යම රජයට යටත් වන පරිදි විධිවිධාන යොදා තිබේ. 13වන සංශෝධනය මගින් නිර්මාණය කළ ෆෙඩරල් ව්‍යුහය තුළ පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායකය බලය ක‍්‍රියාත්මක කළ හැකි පළාත් සභා ස්ථාපිත වී ඇත. නමුත් ශ‍්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍යය අන්සතු කළ නොහැක. ඒ අනුව 13වන සංශෝධනය මගින් එම පිළිගැනීම උල්ලංඝනය වීමක් බව ද ව්‍යවස්ථා විශාරදයෝ පවසති. මක් නිසාද යත් පළාත් සභාවක් නියෝජනය කරන්නේ ඒ පළාතේ ජනතාව මිස රටේ සමස්ථ ජනතාව නොවන නිසාය.

කරුණු මෙසේ වුවද ජනතා පරමාධිපත්‍යයේ කොටසක් වන නීති ක‍්‍රියාත්මක කිරීමේ විධායක බලය තවමත් ජනාධිපති වෙත පැවරී ඇති බැවින් 1978 සිට අද වනතුරුත් 19වන වතාවක්ම ව්‍යවස්ථාව සංශෝධනය කෙරෙමින් අනතුරුකට පත් වෙමින් යන රටේ ඒකීයභාවය විධායක ජනාධිපති ධුරය නිසා ආරක්‍ෂා වන බව පෙනේ.

අද වනවිට 20 වන සංශෝධනයෙන් අභියෝගයකට ලක් වන්නේ මේ රටේ ඒකීයභාවය ආරක්‍ෂා කිරීම සඳහා ඉතා වැදගත් වන විධායක ජනාධිපති ධුරයයි. මා විසින් මේ ලිපිය ලිවීමට අදහස් කළේ බෙදුම්වාදී විරෝධී ජාතික ව්‍යාපාරය මගින් මාධ්‍ය හමුවක් කැඳවූ අවස්ථාවක මාධ්‍යවේදියකු නැඟූ ප‍්‍රශ්නයක් නිසාවෙනි. ඔහුගේ ප‍්‍රශ්නය වූයේ මෙතෙක් මැතිවරණවලට ඉදිරිපත් වූ සියලූ දේශපාලනඥයින් වරින්වර ජනාධිපති ධුරය ්අහිමි කරන බව හෝ එහි ඇති බලතල අවම කරන බව හෝ පවසමින් බලයට පැමිණ ඇති මුත් ජාතික බලවේගයන් ඊට විරුද්ධ වන්නේ කුමක් නිසාද යන්නයි.

ඊට ප‍්‍රධානම හේතුව ලෙස මා දකින්නේ විධායක ධුරය මෙරටට හඳුන්වාදුන් ජේ. ආර්. ජයවර්ධන මහතාම එහි බලතල අනිසි ලෙස භාවිත කරමින් එයට ඒකාධිපති මුහුණුවරක් දීම නිසා ජනතාව තුළ විධායක ජනාධිපති ධුරය ඒකාධිපති ධුරයක් මෙලෙස යම් ආකාරයකට සනිටුහන් වීම ය. නමුත් මා කලින් සඳහන් කළ පරිදි ජේ. ආර්. ජයවර්ධන මහතාට ද ඉන්දියාවේ බලහත්කාර මැදිහත් වීමෙන් ඔහු මත 13වන සංශෝධනයට යම් යම් අංශ සංශෝධන ඉදිරිපත් කර බලය බෙදා දීමේදී ඒකීය ව්‍යුහය ආරක්‍ෂා කිරීමට හැකි වූයේ ඔහුට තිබූ විධායක බලතල නිසාමය. නමුත් පටු දේශපාලනඥයන් පසුගිය මැතිවරණවලදී ජනප‍්‍රිය ප‍්‍රවාදයක් ලෙස විධායක බලතල සහිත ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු දෙමින් මහජනයා මුලා කළහ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙසට අද තිබෙන තත්ත්වයට අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කළ හොත් රට අරාජික වීමට සහ බෙදුම්වාදය ශක්තිමත් වීමට ඇති භයානක ඉඩකඩ බොහෝ දෙනා තේරුම් ගෙන නොමැත.

විධායක ජනාධිපති ක‍්‍රමයේ අවුල් පිළිබඳව සටන් පාඨයක් නිර්මාණය කරමින් මහජනයා මුලා කරන්නේ රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර් මතිනි. පොදු මහජනයා විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධ නැත. බෙදුම්වාදී බලවේග මෙම ක‍්‍රමයට විරුද්ධ වන්නේ හේතු දෙකක් නිසාය. පළමුවැන්න විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වී දුර්වල පාර්ලිමේන්තුවක් නිර්මාණය වුවහොත් මධ්‍යම රජය දුර්වල වීම ඔවුන්ට වාසි සහගත වීමය. දෙවැන්න විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් මහජනයා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රවටවා ඔවුන්ට අවශ්‍ය බෙදුම්වාදී සංශෝධන කෙටුම්පතට ඇතුළත් කිරීම ය. එම උපක‍්‍රමය ආණ්ඩුව සහ ටී.එන්.ඒ පක්‍ෂය පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ ද එකට එක්ව ක‍්‍රියාත්මක කරන බව හොඳින් දැක ගත හැක.

ඒ සියලූ බලවේග එකට එකතු වුවත් ඔවුනට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකේ විශේෂ බහුතර බලය ලබා ගැනීම පහසු නැත. ඒ නිසා ඔවුහු මහජනයා සහ මන්ත‍්‍රීවරුන් රැුවැට් වීම සඳහා විවිධ උපක‍්‍රම අනුගමනය කරති. වරින්වර උඩ නැඟීම සහ යටට ගෙන යෑම එක් උපක‍්‍රමයකි. එය සම කළ හැක්කේ හේනකට කඩාවදින වල් ඌරෙකු ගේ හැසිරීමටය. ගොවියා එක කපොල්ලක් වසන විට ඌ පසු බැස නැවත වෙනත් තැනකින් කඩා වැදීමට උත්සාහ කරයි. දැන් පෙනෙන හැටියට 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සිට අගමැතිවරයා හරහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු වේ. ඒ අතර අනෙක් පැත්තෙන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කෙටුම්පතද අමාත්‍ය මණ්ඩලයට පැමිණෙනු ඇත. ඉන් පසුව සිදු වන්නේ ඒ දෙකම හයිබි‍්‍රඞ් හෙවත් දෙමුහුන් කොට නැවත පාර්ලිමේන්තුවට එවීම ය. මේ මගින් මහජනයා සහ මන්ත‍්‍රීවරුන් පමණක් නොව අධිකරණය ද රැුවටීමට උත්සාහ කරනු ඇත. ඒ දෙමුහුන් කෙටුම්පතේ ආණ්ඩුවට සහ බෙදුම්වාදීන්ට උවමනා දේ ඇතුළු කෙරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නමිනි. එයට හේතුව 20වන අයිතිය ඔවුන් විසින් ලබා ගෙන තිබීමය. කුමන මොහොතක හෝ ඒ දෙමුහුන් ව්‍යවස්ථා කෙටුම්පත නැවත කරළියට එනු ඇත. එය පරාජය කිරීමට සූදානම්ව සිටිමු.

අනුරාධා යහම්පත්,
බෙදුම්වාද විරෝධී ජාතික ව්‍යාපාරය



68 Viewers