• Home »
  • Sinhala »
  • එකම රටකට නීති දෙකක්! යාපනයට විතරක් බුද්ධාගම අකැප ඇයි? බුදු කුටිය අතුරුදන් කළ වව්නියාව මණ්ඩපය

එකම රටකට නීති දෙකක්! යාපනයට විතරක් බුද්ධාගම අකැප ඇයි? බුදු කුටිය අතුරුදන් කළ වව්නියාව මණ්ඩපය

වී.එස්.ඞී. එදිරිසිංහ ගාල්ල තෙලිකඩ පදිංචිකරුවෙකි. කසුන් ගයාන් තම්මිට මාකවිට පදිංචිකරුවෙකි. කේ.එම්.පී.එස්. උදය කුමාර ගලෙන්බිඳුණුවැව උපුල්දෙණියේ වන අතර, එස්. උදය ප‍්‍රසාන් අවිස්සාවේල්ල පුවක්පිටියේ පදිංචිකරුවෙකි. කේ. කේ. කේ. එස්. කන්නන්ගර ඉත්තෑපාන ලූල්බද්දුව පදිංචිකාරයෙකි. මේ සියලූදෙනා යාපනය විශ්වවිද්‍යාලයට අයත්වන වවුනියාව මණ්ඩපයේ ව්‍යාපාර කළමනාකරණ මානව සම්පත් පීඨයේ හතරවැනි වසර සිසුවෝය. මෙයින් දෙදෙනෙක් ගණකාධිකරණ විශේෂ උපාධිය හදාරන අය වන අතර, එක් අයෙක් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිය හදාරයි. කනගාටුවට කරුණ මේ සියලූදෙනාම විශ්වවිද්‍යාලයේ පන්ති තහනමට ලක්කර තිබීමයි.

මෙයට හේතුව කුමක්ද?

වවුනියා මණ්ඩපයේ බුදු කුටියක් තැන්පත් කිරීමට කටයුතු කිරීමයි. බෞද්ධ රටේ බෞද්ධයන්ට බුදු පිළිමයක් තැන්පත් කිරීමට ඉඩ නොදෙන යාපන විශ්වවිද්‍යාල බලධාරීහු ඉතා ඉහළින් තිලීපන් සමරුව පවත්වති. කොටි ස්මාරක ඉදිකර පහන් දල්වති. එහෙත් බෞද්ධයන්ට සිය ආගමික අයිතිය අහිමි කර ඇත. මේ අයිතිය ගැන කිසිම රාජ්‍ය නොවන සංවිධානයක් උනන්දු වන්නේ ද නැත. කිසිම තානාපති කාර්යාලයක් නිවේදනයක් නිකුත් කරන්නේ ද නැත.

මේ බෞද්ධ සිසුන් හතරදෙනාත් උදය ප‍්‍රසාන් නම් දෙමළ හින්දු සිසුවාත් ආගම ඇදහීමේ අයිතිය වෙනුවෙන් පසුගිය 02 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළහ. බෞද්ධයාගේ අයිතිය උදුරා ගැනීම පිළිබඳව රටම දැන ගත්තේ එවිටය.

අපේ‍්‍රල් මාසයේ 23 වැනිදා වවුනියාව මණ්ඩපය දින නියමයක් නොමැතිව වසා දැමුණේද මේ බුදු කුටියේ අර්බුදය නිසාවෙනි. නමුත් මේ නිසා සිසුන් පහකට පන්ති තහනම් වී ඇති බව රටම දැන ගත්තේ මේ පෙත්සම නිසාවෙනි. වවුනියාව මණ්ඩපයේ ඉගෙනුම ලබන 680 ක් වන බෞද්ධ සිසුන් සඳහා බුදුකුටියක් තැනීම මේ අයගේ අරමුණ විය. එහි මුස්ලිම් සිසුන්ට පවා නේවාසිකාගාරවල වෙනම යාඥා කාමරයක් තිබිණි. නමුත් බෞද්ධයන්ට වතාවත් කිරීම සඳහා බුදු පිළිමයක් තබා ගැනීමට නම් අවසර ලැබී තිබුණේ නැත. මෙය කවර ආගමික නිදහසක් ද?

පොංගු තමිල් හටන ඊනියා මහාචාර්යවරු නිහඬ බෞද්ධයාගේ අයිතිය වාරණය කර තිබිණි.

කෙසේ නමුත් බෞද්ධ සිසුන් එකතු වී අරමුදල් රැස්කර තමන් විසින් ම බුදු කුටියක් සකස් කර ගැනීමට එකඟ වූයේ විශ්වවිද්‍යාල බලධාරීන් උග‍්‍ර බෞද්ධ විරෝධීන් ලෙස කටයුතු කරන නිසාවෙනි. ඒ නිසා ඔවුන් සියලූදෙනා එක් වී රුපියල් හැට දහසක මුදලක් එක්රැස් කර ගත්හ. ඒ අනුව ඔවුහු බුදු පිළිමය තැන්පත් කිරීමට අවශ්‍ය බුදු කුටිය තැනීම අනුරාධපුරයේ වඩුවකු වෙත භාර දුන්හ. පසුගිය අපේ‍්‍රල් 21 වැනි දා මේ බුදු කුටිය ඩිමෝ බට්ටා රථයක දමාගෙන වවුනියාව මණ්ඩපයට ගෙන ඒමට කටයුතු කෙරිණි. බුදු කුටියේ බුදු පිළිමය තැන්පත් කර එය විවෘත කිරීමට තීරණය කර තිබුණේ අපේ‍්‍රල් 29 වැනිදාට යෙදුණු වෙසක් පොහොය දිනයේය. එහෙත් සිදු වූයේ කුමක්ද?

එහෙත් බුදු කුටිය විශ්වවිද්‍යාලය තුළට ගෙන යෑමට ඉඩ ලබා දුන්නේ නැත. දොරටුවේ සිටි ආරක්‍ෂක නිලධාරීන් ප‍්‍රකාශ කළේ නේවාසිකාගාරය භාරව සිටින ආචාර්ය ප‍්‍රියදර්ශන්ගෙන් මේ සඳහා අවසර ගත යුතු බවයි. මේ අවස්ථාවේ ගේට්ටුව අසලට පැමිණි ආචාර්ය ප‍්‍රියදර්ශන් හා වව්නියාව මණ්ඩපයේ ප‍්‍රධානි ආචාර්ය ටී. මංගලේෂ්වරන් ප‍්‍රකාශ කළේ කුමක්ද? වහාම මේ කුටිය ඉවත් කළ යුතු බවයි. ශිෂ්‍යයන් කොතෙක් යාප්පු වුවද මේ බෞද්ධ විරෝධීන් ඒ සඳහා ඉඩ ලබා දුන්නේ නැත. එම නිසා ශිෂ්‍යයන්ට සිදුවූයේ ගේට්ටුව අසල බුදු කුටිය තබා ඉවත් වීමටය. අපේ‍්‍රල් 22 වැනිදාත් මේ කුටිය විශ්වවිද්‍යාලයේ තැන්පත් කිරීමට ඉල්ලීම් කළද ප‍්‍රියදර්ශන් එයට ඉඩ දුන්නේ නැත.

අපේ‍්‍රල් 23 වැනිදා විශ්වවිද්‍යාලයේ විනයාරක්‍ෂකයෝ මෙම බුුදු කුටිය ලොරියක පටවාගෙන යන බව සිසුන්ට දැන ගැනීමට ලැබිණි. වහා ක‍්‍රියාත්මක වූ ශිෂ්‍ය කණ්ඩායමක් යතුරුපැදිවලින් හා බයිසිකල්වලින් මේ රථය හඹාගොස් විශ්වවිද්‍යාලයට කිලෝමීටර් හයක් පමණ ඈත දී මෙය නවත්වා ගත්හ. එහෙත් විනයාරක්‍ෂකයෝ බලහත්කාරයෙන් සිසුන්ගේ යතුරුපැදිවල යතුරු ගෙන මේ ලොරිය නැවත පණගන්වා පලා ගියේ එක් ශිෂ්‍යයකුගේ කකුලක් උඩින් ද ධාවනය කරමිනි. මේ නිසා සමීර උදය කුමාර ශිෂ්‍යයා වවුනියාව රෝහලට ඇතුළත් කිරීමට ද සිදුවිය. සමීර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ එක් පැමිණිලිකරුවෙකි.

මේ සියල්ල අවසානයේ සිසුන් පස්දෙනකුට විශ්වවිද්‍යාලයට ඇතුළුවීමත් තහනම් වේ. මොවුන් තමන්ට සිදුවූ අසාධාරණය ගැන උසස් අධ්‍යාපන ඇමැතිවරයාටත් පැමිණිලි කළද අවසානයේ සාධාරණය ඉටු නොවූ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

වවුනියාව මණ්ඩපයේ බෞද්ධ විරෝධය ගැන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නිහඬව සිටින්නේ සංහිඳියාව නිසා දැයි අපි නොදනිමු.

එහෙත් දකුණේ විශ්වවිද්‍යාලයකදී දෙමළ හෝ මුස්ලිම් ශිෂ්‍ය කණ්ඩායමකට යම් වැරැද්දක් හෝ අකටයුත්තක් සිදු වුවහොත් ඒ ගැන කොටුවේ උද්ඝෝෂණය කරන පිරිස් නම් නිහඬය. මන්ද අසාධාරණය වී ඇත්තේ බෞද්ධයන්ට නිසා ඔවුහු මාරාන්තික නිහඬතාවක පසුවෙති.
බෞද්ධ ප‍්‍රචණ්ඩත්වය ගැන ඉංග‍්‍රීසි පුවත්පත්වල පිටු පුරවන මහත්වරු ද මේ ගැන කිසිම වචනයක් හෝ නොහොල්ලති.

නිරන්තරව කොළඹ වීදිවල කලහ කර ගන්නා වුවමනාවෙන් ම කඳුළු ගෑස් හා වතුර ප‍්‍රහාර ඉල්ලා ගන්නා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය ද මේ ප‍්‍රශ්නයේදී නිහඬය.

ඇත්තෙන්ම මොවුහු බෞද්ධ විරෝධීහුය.
jaffna

ඇතැම් විශ්වවිද්‍යාලවල බෞද්ධ සංගමයක් පිහිටුවා ගන්නවාටත් මොවුන් අකැමැති වෙති.
වඩා කනගාටුව වන්නේ බුදුන්ට වඩා මාක්ස් උතුම් ලෙස සලකන අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු සංගමයක් ද තිබීමය.
මේ සංගමයේ කටයුතු වලින් විනාශ වන්නේ ශාසනය මිස අනෙකක් නම් නොවේ. මේ ස්වාමීන් වහන්සේ කොළඹ වීදිවල කලහකාරීව හැසිරෙන විට බෞද්ධයන් ‘අනේ අපොයි’ යැයි පවසති.

සම අයිතිය ව්‍යාපාරය ද වව්නියාව සරසවියේ ආගම ඇදහීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීද යන්න ප‍්‍රශ්නයකි.
මේ සියලූ දෙනාම පෙරටුගාමීන් විසින් මෙහෙයවන කණ්ඩායම් නිසාය. කවරක් නමුත් අද පැහැදිලිව සිංහල බෞද්ධයන්ට ප‍්‍රශ්නයක් ඇති බව පෙනේ. ඒ තම සංස්කෘතිය ආගම ආරක්‍ෂා කර ගැනීමටය. වවුනියාව මණ්ඩපයේ නූතන කාලිංග මාඝලාට එරෙහිව මේ යහපාලන රජය නම් කිසිම පියවරක් ගනීද යන්න විශ්වාස නැත.

බුදු කුටිය ඉවත් කිරීමට ද සංහිඳියාව වෙනුවෙන් ඉවසිය යුතුද?

එහෙත් බෞද්ධ අයිතිය වෙනුවෙන් වීදි බසින්නට සිදුවේද?

චතුර පමුණුව


48 Viewers