• Home »
  • Sinhala »
  • එක මැතිවරණයක්‌ ඉවරයි දැන් රැල්ල හැරෙන්නේ කොයි පැත්තටද?

එක මැතිවරණයක්‌ ඉවරයි දැන් රැල්ල හැරෙන්නේ කොයි පැත්තටද?

mm

මැතිවරණයක්‌ මේ රටේ කිසිදා තීරණාත්මක වූයේ නැත. ජනපතිවරණයකට සහ මහ මැතිවරණයකට සාපේක්‍ෂව වඩා අඩු ඡන්ද දායකයන් සංඛ්‍යාවක්‌ ආකර්ෂණය කර ගන්නා පළාත් පාලන මැතිවරණය බොහෝ විට දේශපාලන උණුසුමකින් තොරව පැවැත්විණි. නමුත් පෙබරවාරි 10 “පුංචි මැතිවරණය” මේ රටේ දේශපාලන ගමන් මග තීරණය කරන මැතිවරණයයි. ඡන්ද ව්‍යාපාරය අවසන් වූ මොහොතේ ලියන මෙම ලිපිය ඔබ අතට පත්වන විට මේ රටේ ජනතාව පෙබරවාරි මස 10 වැනි දින තීරණය දී ඇත. එම ප්‍රතිඵලය යහපාලන රජයට, ඒකාබද්ධ විපක්‍ෂයට, ජවිපෙට සහ ද්‍රවිඩ ජාතික සන්ධානයට අඩු වැඩි වශයෙන් බලපෑම් කරනු ඇත. ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5 ක්‌ යෑයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති මේ අවස්‌ථාවේ වසර දෙකක “මැතිවරණ සිතියමේ” පළමුවන මැතිවරණය මෙයයි. මෙම මැතිවරණයේ වැඩි වාසි අත්කරගන්නා පක්‍ෂය ඉදිරි වසර 2 තුළ ගනු ලබන ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවට බරපතළ ලෙස බලපානු ඇත.

පෙබරවාරි 10 ඡන්දය හිටපු ජනපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ නායකත්වය දෙන ඒකාබද්ධ විපක්‍ෂය/ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළහොත්, එම තත්ත්වය යහපාලන රජයට ඉතාම නරක ආකාරයට බලපෑමක්‌ ඇතිකළ හැකි බව මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පසුගියදා ප්‍රකාශ කළේය. ඔහුගේ සගයන් මෙම මැතිවරණය ගමේ ඡන්දය ලෙස දිගින් දිගටම හඳුන්වා දෙන අවස්‌ථාවේදී සමරවීර පැවසුවේ රාජපක්‍ෂ සහ ඔහුගේ සහචරයන් මෙම මැතිවරණයේ වැඩි වාසි අත්කර ගතහොත් එම කණ්‌ඩායම ඊට පසු මැතිවරණවලදී බලය වඩාත් තහවුරු කර ගැනීමට කටයුතු කළ හැකි බවයි. ඉතා පැහැදිලිsව වසර 3 කට පෙර පරාජය වූ රාජපක්‍ෂ නැවත පෙරවාරි 10 ප්‍රතිඵලය මත ජයග්‍රාහී මාවතකට අවතීර්ණ විය හැකි බව සමරවීර පිළිගෙන ඇත. රාජපක්‍ෂ රජයේ (2005 – 2007) විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමරවීර, යහපාලන රජයේ දුර්වලතා ඇති නමුදු නැවත “මිනීමරු” පාලනයක්‌ ඇතිවීම වැළැක්‌වීම 2015 ජනවාරි 8 ජයග්‍රහණයට දායක වූ ජනතාවගේ යුතුකමක්‌ ලෙස සහ රටේ අවශ්‍යතාවක්‌ ලෙස පෙන්වා දුන්නේය. අමාත්‍යවරයාගේ එම උත්සාහය කෙතරම් දුරට සාර්ථක වූයේ දැයි පෙබරවාරි 10 ප්‍රතිඵලය අනුව තේරුම් ගැනීමට අපහසු නැත. පසුගිය සඳුදා කටුනායක 18 කණුව පිට්‌ටනියේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන රැලියේදී ජාතික නිදහස්‌ පෙරමුණු නායක විමල් වීරවංශ පැවසුවේ ඔවුන්ගේ ව්‍යායාමය මහින්ද අගමැති කර හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය “මල් පොහොට්‌ටුවෙන්” ජනපති කිරීම බවයි.

බැසිල්ගේ භූමිකාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්‍ෂ අතර ලාබාලතම පක්‍ෂයයි. 2016 නොවැම්බර් මස පළමුවන දින මැතිවරණ කොමසාරිස්‌වරයා/ මැතිවරණ කොමිසම පිළිගත් එම පක්‍ෂය ඇති කළ තෙරපුම යහපාලන රජය මහත්a අපහසුතාවකට පත්කර ඇත. ජනපතිවරණයේ පරාජයෙන් පසු නව පක්‍ෂයක්‌ පිහිටුවා ගැනීමේ කටයුත්තකට හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මූලිකව කටයුතු කළේය. එහි සභාපති ලෙස හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී.ඇල්. පීරිස්‌ පත්වූ අතර ලේකම් ලෙස නීතිඥ සාගර කාරියවසම් පත්විය. නව පක්‍ෂය පිහිටුවා ගැනීම හේතුවෙන් එම කටයුත්තට මුල් වූ බැසිල් රාජපක්‍ෂ එජාපයේ අවශ්‍යතාවය මත නව පක්‍ෂය පිහිටුවා ගත් බව චෝදනාවට ලක්‌විය. ජනපතිවරණයේ පරාජයෙන් පසු ඉදිරියේ දී ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණදීමට සූදානම් විය යුතු බව තේරුම් ගත් බැසිල් ඇතුලු කණ්‌ඩායම ලංකා ජාතික පෙරමුණ (ක්‍රිකට්‌ පිත්ත ලාංඡනය) අත්පත්කර ගත්තේය. විමල් ගීගනගේ නායකත්වය දුන් එම පක්‍ෂය හරහා ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීම පරාජිත මහින්ද කණ්‌ඩායමේ බලාපොරොත්තුව විය. නමුත් එවකට පැවැති තත්ත්වය අනුව තම කණ්‌ඩායමේ ශක්‌තිය වඩාත් වර්ධනය කර ගැනීමට පක්‍ෂයේ නම වෙනසකට ලක්‌කළේය. එම පක්‍ෂය “අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණ” ලෙස 2015 අගෝස්‌තු මහා මැතිවරණයට සති කීපයකට පෙර ලියාපදිංචි විය.

එහි සලකුණ මල් පොහොට්‌ටුවයි. සාගර කාරියවසම් “ලංකා ජාතික පෙරමුණේ” මෙන්ම “අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණේ” ලේකම් ලෙස කටයුතු කළේය. ඔහු වසර 17 ක්‌ (1960-1977) පාර්ලිමේන්තුව නියෝජනය කළ ඇල්µඩ් කාරියවසම්ගේ (බෙන්තර ඇල්පිටිය ආසනය) පුත්‍රයාය. ඔහු තවදුරටත් “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ” ලේකම් ලෙස කටයුතු කරයි. “මල් පොහොට්‌ටුවට” හිමිකම් කියන එම පක්‍ෂය “නෙලුම් පොහොට්‌ටුව” තම ලාංඡනය ලෙස යොදාගන්නා අතර, වසරක්‌ තුළ ප්‍රබලම දේශපාලන බලයක්‌ ලෙස ඉදිරියට පැමිණ ඇත.

පක්‍ෂයක්‌ කැඩීමෙන් ශ්‍රී ලංකාව තුළ බිහිවූ ප්‍රබලම දේශපාලන ප්‍රවාහය “නෙලුම් පොහොට්‌ටුව” යොදා ගැනීම සම්බන්ධවද සඳහනක්‌ කළ යුතුමය. හිටපු ජනපතිවරයාගේ කණ්‌ඩායමේ ප්‍රථම උත්සාහය තම පක්‍ෂයේ ලාංඡනය ලෙස නෙලුම්මල යොදා ගැනීමයි. එම ඉල්ලීම මැතිවරණ කොමසාරිස්‌/ කොමිසම ප්‍රතික්‌ෂේප කළේ එජාපය ප්‍රේමදාස ජනපතිවරයාගේ පාලන සමයේ දෙකඩ වූ අවස්‌ථාවේ ලලිත් – ගාමිණී පිල (ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ) නෙළුම් මල තම ලාංඡනය කර ගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ කිරීමෙනි. එවකට මැතිවරණ කොමසාරිස්‌ ලෙස කටයුතු කළ චන්දානන්ද සිල්වා නෙලුම් මල ජාතික ලාංඡනයක්‌ බවත් එවැනි සලකුණක්‌ එක දේශපාලන පක්‍ෂයකට හිමිකළ නොහැකි බවත් පැවසීය.

කටුනායක රැලියට බැසිල් රාජපක්‍ෂ සහභාගි නොවුණත් නව පක්‍ෂය පිහිටුවීම පිළිබඳව ඔහුගේ නම සඳහන් විය. ඔහු පසුගිය රජයේ විධායක බලතල පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජාතික සංවිධායක වරයාය. ශූර සංවිධායකවරයකු වුවත් බලය අයුතු ලෙස පාවිච්චි කිරීම තුළ එතුමා පක්‍ෂයේ යම් කොටසක කෝපයට පාත්‍ර විය. නමුත් යහපාලන රැලේ දුර්වලතා සහ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධව ඇතිවූ ආන්දොaලනය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට පැමිණ ඇත.

හංසයා කළ දේ

“පොහොට්‌ටුවට” පුළුවන්ද?

හංසයා ලාංඡනයට හිමිකම් දරණ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ දේශපාලන වශයෙන් ප්‍රබල වැදගත් කමක්‌ හිමිකර ගන්නේ 2009 අග 2010 වසරේ ජෙනරාල් සරත් ෆොන්සේකා එම පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හේතුවෙනි.

එම උත්සාහය අසාර්ථක විය. මහින්ද රාජපක්‍ෂ දෙවැනි වරටත් වැඩි ඡන්ද ලක්‍ෂ 18 කින් ජනාධිපතිවරයා ලෙස පත්විය. ෆොන්සේකා හට සහයෝගය දුන් කණ්‌ඩායම එජාපය මෙහෙය වූ අතර එහි ප්‍රබල සාමාජිකයන් වූයේ ජවිපෙ සහ ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ ජාතික පෙරමුණයි. ෆොන්සේකාගේ හමුදාව 40,000 ක ද්‍රවිඩ සාමාන්‍ය වැසියන් ඝාතනය කළා යෑයි චෝදනා කළ සම්බන්ධන් ෆොන්සේකාට ඡන්දය දෙන්නැයි ද්‍රවිඩ ජනතාවගෙන් පුදුම සහගත ඉල්ලීමක්‌ කළේය. ද්‍රවිඩ ජනතාව එම ඉල්ලීමට අවනත විය. උතුරු නැගෙනහිර සියලුම දිස්‌ත්‍රික්‌කවල ඡන්දය ඉහළ ප්‍රතිශතයකින් ෆොන්සේකා දිනීය. පසු කාලයකදී “විකිලීක්‌ස්‌” හෙළිකළ රහස්‍ය ඇමරිකානු වාර්තා අනුව මෙම සන්ධානය ගොඩනැඟීමට ඇමරිකාව කටයුතු කළ බව තවදුරටත් රහසක්‌ නොවේ.

එජාපය සහ ජවිපෙ එකම දේශපාලන අරමුණකට කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කළ ප්‍රථම අවස්‌ථාව මෙයයි. මීට අමතරව රවුµa හකීම්ගේ මුස්‌ලිම් කොංග්‍රසය හා රාජ්‍ය නොවන සංවිධාන නඩයද 2010 ජනාධිපතිවරණ මෙහෙයුමේදී කොටස්‌කරුවන් වූහ. එම කණ්‌ඩායම එලෙසම 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී එවකට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම්ව සිටි මෛත්‍රිපාල සිරිසේන දිනවීමට කටයුතු කළේය. 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයාද තරගකළේ හංසයා ලකුණෙනි. හංසයා, ජනාධිපතිවරණ දෙකක ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනකුට හිමිකම් කියයි. එහි සභාපති ශලීල මුණසිංහයි. එහි ලේකම් ෂර්මිලා පෙරේරායි. මෑතකදී හංසයා මාධ්‍යයේ කතාබහට ලක්‌වූයේ එහි සභාපති මුණසිංහ තායිවානයේ බැංකුවකින් ඩොලර් කෝටි ගණනක්‌ වංචා සහගත ලෙස සොරාගත් කණ්‌ඩායමක සාමාජිකයකු ලෙස පොලිස්‌ අත්අඩංගුවට පත්වීමය. අත්අඩංගුවට පත්වන අවස්‌ථාවේදී ඔහු ලිට්‌රෝ ගෑස්‌ සමාගමේ සභාපති ලෙස කටයුතු කළේය. රජයට අයිති මුදල් උපයන එම ව්‍යාපාරයේ සභාපති ලෙස පත්කිරීම එතුමාගේ පක්‍ෂය හරහා ජනාධිපති අපේක්‍ෂක සිරිසේන තරගකිරීම හේතුවෙන් ඔහුට ලැබුණු වරප්‍රසාදයකි. මෙවැනි පසුබිමක්‌ තුළ ගෝඨාභය රාජපක්‍ෂ මල් පොහොට්‌ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන බව වීරවංශ කරන ප්‍රකාශය වැදගත් වේ. කැබිනට්‌ ප්‍රකාශක රාජිත සේනාරත්න මල් පොහොට්‌ටුවේ ජනපති අපේක්‍ෂක රාජපක්‍ෂ මිග් ගනුදෙනුවට තමා අත්අඩංගුවට ගනීවී යෑයි බියෙන් ඇමරිකාවට පැනගොස්‌ ඇති බව ඡන්ද ව්‍යාපාරයේ දිගින් දිගටම පැවසීය. පෙබරවාරි 12 ගෝඨාභය නැවත ලංකාවට පැමිණෙන බවත් පැමිණි විගස අත්අඩංගුවට ගන්නා බවත් පවසා ඇත.

මෙම ප්‍රකාශ සියල්ල පළාත් පාලන මැතිවරණයේ ජය පරාජය මත සැලකිල්ලට ගත යුතුය. 2010 සහ 2015 දී මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට එකට දේශපාලන මෙහෙයුමක යෙදුනු කණ්‌ඩායම, ප්‍රධාන ලෙස පක්‍ෂ හතරක්‌ හරහා පෙබරවාරි 10 ඡන්දයට මුහුණ දුන්නේය. එක්‌සත් ජාතික පක්‍ෂය, ජවිපෙ, ද්‍රවිඩ ජාතික පෙරමුණ සහ ජනාධිපති සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කණ්‌ඩායමයි. 2015 මහ බැංකු බැඳුම්කර වංචාව රජය පත්කළ සිංගප්පූරු ජාතික (ශ්‍රී ලාංකික සම්භවයක්‌ සහිත) අර්ජුන මහේන්ද්‍රන් හරහා නොකළේ නම් බොහෝ විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රබල ස්‌ථානයකට ඒමට නොහැකිව තිබිණි. මහින්ද රාජපක්‍ෂත් කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස විවේකීව කටයුතු කිරීමට අවස්‌ථාව තිබිණි. ඔහුගේ 2015 දී වූ පරාජයෙන් පසු ඔහුට ආදරය කළ ජනතාව ඔහු බැලීමට තංගල්ල නිවසට යැමද බොහෝ කලකට පෙර නතර විය හැකිව තිබිණි.

නමුත් ලංකා පොළොව නුහූලන 2015 සහ 2016 කළ මහ බැංකු කොල්ලය ඔහුව නැවත ප්‍රබල ස්‌ථානයකට ගෙන ඒමට අවශ්‍ය වටපිටාව සාදා ඇත. 2015 බැඳුම්කර කොල්ලයට එජාපය වගකීම භාරගත යුතු නම් 2016 මාර්තු මස සිදුකළ වංචාවට බලයේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කණ්‌ඩායමද වගකිව යුතුමය. ඇත්ත වශයෙන්ම පෙබරවාරි මස 10 දා පළාත් පාලන මැතිවරණය ජනමත විචාරණයකට හැරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවූයේ මේ මහා බැඳුම්කර වංචාව හේතුවෙනි. මෙම වංචාව සිදුවූ කාල වකවානුව පැහැදිළිව දැනගත යුතුය.

  • 2015 ජනවාරි 9 මෛත්‍රිපාල සිරිසේන ජනපති ලෙස දිවුරුම් දීම.
  •  2015 ජනවාරි 25 අගමැති වික්‍රමසිංහගේ යෝජනාවෙන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත්වීම.
  • 2015 පෙබරවාරි 26 එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල සාමාජිකයන් වන ඇමැති කබීර් හෂීම් ඇමැති රවි කරුණානායක සහ මලික්‌ සමරවික්‍රම. (එවකට ඔහු මන්ත්‍රීවරයකු ද නොවේ) මහ බැංකුවේ විශේෂ රැස්‌වීමකට සහභාගි වීම.
  •  2015 පෙබරවාරි 27 දින පළමුවන බැඳුම්කර කොල්ලය.
  •  පිටිපන කොමිටිය පත්කිරීම.
  •  ඩිව් ගුණසේකරගේ නායකත්වයෙන් යුත් පොදු ව්‍යාපාර කාරක සභාව පළමුවන බැඳුම්කරය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ ආරම්භ කිරීම.
  •  ජුනි 2015 ගුණසේකර වාර්තාව පාර්ලිමේන්තුවට භාරදීම වැළැක්‌වීමට පාර්ලිමේන්තුව විසිරුවා හැරීම.
  •  2015 අගෝස්‌තු 17 මහ මැතිවරණය.
  •  2016 නව කැබිනට්‌ මණ්‌ඩලයට නැවතත් රවි කරුණානායක මුදල් ඇමැති ලෙස පත්කිරීම.
  •  දෙවැනි කෝප් කමිටුව පත්කිරීම.
  •  2016 මාර්තු 29 දෙවැනි බැඳුම්කර වංචාව.
  •  2016 ජුනි ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහ බැංකු අධිපති ලෙස පත්කිරීම.
  •  2017 ජනවාරි 27 ජනාධිපති කොමිසමක්‌ පත්කිරීම. (පළමු බැඳුම්කර වංචාවෙන් වසර 2 කට පසු)
  •  2017 දෙසැම්බර් 30 කොමිෂන් වාර්තාව ජනාධිපතිතුමාට ලැබීම.
  •  2018 ජනවාරි 3 කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්‌ කළ ජනාධිපතිවරයා රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දූෂිත බව ප්‍රකාශ කළේය.
  • එම ප්‍රකාශය එතුමා පත්කළ හිටපු රජයේ දූෂණ, වංචා සම්බන්ධයෙන්ද අදාළ බව එතුමා පැවසීය.
  •  2018 ජනවාරි 17 එම කොමිෂන් වාර්තා පාර්ලිමේන්තුවට භාරදීම.
  • 2018 පෙබරවාරි 2, අර්ජුන මහේන්ද්‍රන් හා ඔහුගේ බෑණනුවන් අර්ජුණ ඇලෝසියස්‌ සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සැකකරුවන් ලෙස නම් කිරීම.
  •  2018 පෙබරවාරි 4 පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ හිමිකරු ඇලෝසියස්‌ සහ ඔහුගේ අනුගාමික පලිසේන රහස්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වීම සහ පෙබරවාරි 16 – 18 තෙක්‌ සිරභාරයට නියම කිරීම.
  • මහේන්ද්‍රන්ට පෙබරවාරි 15 තෙක්‌ රහස්‌ පොලිසියට භාරවීමට කල් දී ඇත. ඔහු කිසි ලෙසකත් පෙබරවාරි 10 ඡන්දයට පෙර භාර නොවනු ඇත.

යහපාලන නායකයන්ගේ වගකීම

අද දේශපාලන වාතාවරණය කෙසේ වුවත් යුද්ධය දිනූ ජනාධිපති රාජපක්‍ෂ තුන් වන වරටත් තවත් අවුරුදු 6 කට බලයට පත්වීම වැළැක්‌වීම පිළිබඳව මෛත්‍රී- රනිල් කණ්‌ඩායමට ස්‌තුතිවන්ත විය යුතුය. විධායක බලතල සහිත පුද්ගලයෙකු වසර 18 කට එම තනතුරේ කටයුතු කිරීම කිසිලෙසකත් අනුමත කළ නොහැක.

2015 අප්‍රේල් මස අග නීතිගත කළ 19 වන සංශෝධනය හරහා ජනාධිපති ධුර කාලය වසර 5 කට සීමා කිරීම පිළිබඳව රජයට ස්‌තුතිවන්ත විය යුතුය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ රාජපක්‍ෂ මහතාට හිතවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ද මෙම ව්‍යවස්‌ථා සංශෝධනයට සහයෝගය පළ කළ බවයි.

නමුත් අවාසනාවකට 19 වැනි සංශෝධනය නීතිගත කරන අවස්‌ථාවේදී පළමුවන මහ බැංකු කොල්ලය එක්‌සත් ජාතික පක්‍ෂයේ අනුදැනුම මත සිදුකර තිබීමයි. එම මූල්‍ය අපරාධය හේතුවෙන් යහපාලනයට කණකොකා හැŽය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් වසර තුනක්‌ පුරාවට පීඩා වින්දේ පරාජිත මහින්ද රාජපක්‍ෂගේ කණ්‌ඩායමට ඉදිරියට ඒමට අවස්‌ථාව සලස්‌වා දෙමිනි. වසර 30 ක්‌ පුරාවට පැවැති යුද්ධය හේතුවෙන් අප රටට ප්‍රධාන දේශපාලන චරිත බොහෝමයක්‌ අහිමි විය.

ඝාතනයට ලක්‌වූ දේශපාලනඥයන්ගේ සංඛ්‍යාව 40 කට ආසන්නය. ඒ හා සමාන විනාශයක්‌ වංචා දූෂණ අක්‍රමිකතා හේතුවෙන් දේශපාලන පක්‍ෂවලට සිදුවී ඇත. මෙවැනි තත්ත්වයට මුහුණ දුන් වෙන කිසිදු රටක්‌ නැති බව මගේ හැඟීමයි. 2009 මැයි 10 ක්‌ එල්.ටී.ටී.ඊ. පරාජය කිරීමෙන් පසු කොළඹ පැවැති රැලියකදී ජනාධිපති රාජපක්‍ෂ පැවසුවේ ත්‍රස්‌තවාදය අතුගෑ දැමූ බවත් ඔහුගේ ඊළඟ ප්‍රධාන රාජකාරිය දූෂණය නැති කිරීම බවත්ය.

ඔහු ඒ පොරොන්දුව ඉෂ්ට නොකළ බව රහසක්‌ නොවේ. ඔහුගේ දෙවැනි ධුර කාලයේදී බොහෝ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවූ බව පාර්ලිමේන්තු වාර්තා පරිශීලනය කරන ඕනෑම කෙනෙකුට පැහැදිළිය. ජාතික විගණන පනත වසර 10 පුරා ක්‍රියාත්මක නොකිරීමෙන් රාජපක්‍ෂ රජය මහා අපරාධයක්‌ කළේය. එම අකටයුත්තට ශ්‍රී ලංකාව අද විශාල වන්දියක්‌ ගෙවයි.

සිsරිසේන – වික්‍රමසිංහ රජය ජාතික විගණන පනත වසර 3 ක්‌ පුරාවට හිරකරගෙන සිටී. මේ පිළිබඳව ජනාධිපති සිරිසේනගේ වගකීම කුමක්‌දැයි මෙම ලියුම්කරු 2018 ජනවාරි 26 ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී විමසූ අවස්‌ථාවේ ඔහු පැවසුවේ “ජාතික විගණන පනත ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව තමා සිය වරක්‌ පමණ කැබිනට්‌ ඇමැතිවරුන්ට දැන්වූ බවත් නමුත් එම කටයුත්ත සිදු නොවන බවය”.

තම ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා දෙසට හැරුණු ජනාධිපතිවරයා ඔහුගෙන් ඒ පිළිබඳ විමසීමක්‌ කළේය. අදටත් එම පනතට කැබිනට්‌ අනුමැතිය ලැබී නැත.

මහින්ද රාජපක්‍ෂ ජාතික විගණන පනත හඳුන්වා දුන්නේ නම් ඔහුගේ දෙවැනි ධුර කාලය වඩාත් යහපත් වීමට තිබිණි. මැති ඇමැතිවරු සහ මුදල් පිළිබඳ වගකීම දරන අදාළ අමාත්‍යාංශවල ලේකම්වරු වඩාත් යහපත් මුදල් පරිපාලනයට යෙදවීමට තිබිණි. එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විදුලි සංදේශ නියාමන කොමිසමේ මිලියන 600 ක්‌ 2015 ජනාධිපතිවරණ ඡන්ද කාලයේදී සිල් රෙදි බෙදීමකට නිකුත් නොකරනු ඇත. වීරතුංග වැරදිකරුවකු ලෙස උසාවිය නිගමනය කළ අතර අද ඇප ලබා සිටී.

විගණකාධිපති ගාමිණී විඡේසිංහ මෑතකදී මෙම ලියුම්කරු සමඟ “දි අයිලන්ඩ්” පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී පැවසුවේ “අප රටේ මහජන මුදල්, මහා මාර්ගයක වැටී ඇති මුදල් නෝට්‌ටුවලින් පිරුණ පසුම්බියකට සමානයි. ඕනෑම එකෙකුට එම මුදල් පසුම්බිය අහුලාගත හැකි බවත් එම මුදල් තමාට රිසිසේ වියදම් කළ හැකි බවත්” ය.

පෙබරවාරි ඡන්ද ප්‍රතිඵලය, පැහැදිලිsව මහ බැංකු වංචාව සිදු නොවුණා නම් මීට වඩා වෙනස්‌ විය හැකිව තිබිණි. 2018 – 2019 මැතිවරණ සමයයි. පසුගිය වසරේ කල් දැමූ පළාත් සභා 3 ක්‌ මේ වසරේ පැවැත්වීමට තිබෙන පළාත් සභා 5 ක්‌ ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් සභාවක්‌ ජනාධිපති වරණයක්‌ සහ මහ මැතිවරණයක්‌ පෙළගැසී ඇත. පෙබරවාරි 10 ඡන්දය එම ඡන්ද සටනේ ආරම්භයයි. බටහිර බලවතුන්ට අවශ්‍ය ලෙස ඔප්පු නොවූ යුද අපරාධ චෝදනා පාදක කොටගෙන රට බෙදන ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමේ තැත, ආණ්‌ඩුව දුර්වලවීම හේතුවෙන් පසුබෑමකට ලක්‌වනු ඇත.

ශමීන්ද්‍ර පර්ඩිනැන්ඩෝ විසිනි



56 Viewers