ඒකීය රට සුරකිමු

(Courtesy of Divaina )

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ලැබුවහොත් මේ රට සෝමාලියාවට එහා යන තත්ත්වයකට පත්වෙතැයි හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‌ෂ මහතා ප්‍රකාශ කරයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කරන්නේ මානසික රෝගීන් යෑයි එතුමා කළ තිබිණි. ඇත්තෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම අවශ්‍ය ද යන්න බරපතළ ප්‍රශ්නයකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් සිදුවන්නේ ස්‌ථාවර රට අස්‌ථාවර වීම බව අප පැහැදිලිව ප්‍රකාශ කරමු. ජනාධිපති බලතල අඩු කිරීම සඳහා ගෙනඑනු ලැබූ දහනව වැනි සංශෝධනයෙන් ද රටට අත් වූ සෙත කුමක්‌ද? මේ දේශපාලන අස්‌ථාවරත්වය නැති කිරීම සඳහා ජනාධිපතිට අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් බලය අහිමි වී ඇත. එයින් සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් වීම නම් නොවේ. රට තවත් අවුලට පත්වීම නොවේද?

රටේ ජාතික ආරක්‌ෂාව ඉතා වැදගත් ය. ජාතික ආරක්‌ෂාව ගැන තනි තීන්දු ගත යුතු ය. කඹ අදිමින් ජාතික ආරක්‌ෂාව ගැන තීන්දු ගත නොහැකි ය. ජාතික ආරක්‌ෂාව සුරක්‌ෂිත වන්නේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් ආරක්‌ෂා වීමෙන් පමණි. ලංකාව ඉදිරියටත් ශක්‌තිමත් ඒකීය රටක් රාජ්‍යයක්‌ ලෙස වැජඹිය හැක්‌කේ විධායක ජනාධිපති ක්‍රමය සුරැකුණහොත් පමණි. කොටි ත්‍රස්‌තවාදය හමුවේ ශක්‌තිමත්ව මුහුණදීමට හැකි වූ ප්‍රබල දේශපාලන නායකත්වයක්‌ බිහි වූයේ ද විධායක ජනාධිපති ක්‍රමය නිසා ය. යුද්ධයේදී තීරණ ගත යුතු විය. එම තීරණ පාර්ලිමේන්තුවෙන් විමසා සිටියා නම් ප්‍රභාකරන්ට රට බිලිවීමට ද ඉඩ තිබිණි.

සිය දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා යම් පක්‍ෂයක්‌ හෝ කණ්‌ඩායමක්‌ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කිරීම සැබැවින්ම රටේ අනාගතය අනතුරේ දැමීමක්‌ බව සටහන් කළ යුතුය. සියලු දෙනාටම දේශපාලනය කිරීමට මෙන්ම එකිනෙකාට චෝදනා කර ගැනීමට හෝ රට ඉතිරි විය යුතුය. මේ රටේ දේශපාලන ස්‌ථාවරත්වය නැති වී ජාතික ආරක්‌ෂාව බිඳ වැටුණහොත් අපේ අනාගත පරපුරට අත්වන ඉරණම කුමක්‌ද?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි කියන කණ්‌ඩායම් පළාත් පාලන නව ඡන්ද ක්‍රමය මහ ඉහළින් අගය කළහ. නමුත් දැන් සිදුව ඇත්තේ කුමක්‌ද? සියල්ල අවුල් ජාලයක්‌ බවට පත්වීම නොවේද? ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් පත් කිරීම පාර පුරා ගුටිබැට ඇනගන්නා තරමට අවුල් සහගත වී තිබේ. පැතූ වෙනස මෙයද? මේ වෙනස නම් රටට අවශ්‍ය නැත.

වෙනස නිසා රටේ ඒකීයභාවය නැති වී යැමේ අවදානම මතුව ඇත.

රටේ ඒකීයභාවය අනිවාර්යයෙන් ආරක්‌ෂා විය යුතුය. කොටි හිතවාදීන් හැර අන් සියලු පක්‍ෂ කණ්‌ඩායම් ඒකීයභාවයට එරෙහි වන්නේ නැත. මෙරට ඒකීයභාවය සුරක්‌ෂිත වීමට අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ධුරය ද ආරක්‌ෂා විය යුතුය. එය අපි අවධාරණය කරමු.

http://divaina.com

 



779 Viewers