• Home »
  • Sinhala »
  • කන්නියා උණුදිය පොකුණු පරිශ‍්‍රයෙන් බෞද්ධ නටබුන් මතුවෙයි…! දෙමළ සන්ධානය සහ කෝවිල් අම්මා පිස්සු නටයි…!! චෛත්‍යය හදලා තියෙන්නෙ භාතිය තිස්ස රජු…!!! සංරක්‌ෂණ කටයුතු කරන්න අන්තවාදීන් ඉඩදෙන්නේනෑ…..

කන්නියා උණුදිය පොකුණු පරිශ‍්‍රයෙන් බෞද්ධ නටබුන් මතුවෙයි…! දෙමළ සන්ධානය සහ කෝවිල් අම්මා පිස්සු නටයි…!! චෛත්‍යය හදලා තියෙන්නෙ භාතිය තිස්ස රජු…!!! සංරක්‌ෂණ කටයුතු කරන්න අන්තවාදීන් ඉඩදෙන්නේනෑ…..

* අනුරාධපුර යුගයේදී
* එල්.ටී.ටී.ඊ.ය චෛත්‍යය හාරලා නිධන් කොල්ලකාගෙන…
* සෙල්ලිපි, සඳකඩ පහණ, ගල් කණු තවත් බෞද්ධ නටබුන් රාශියක් ඒ භූමියෙන් මතු වෙලා…!!!

kinni1

කන්නියා උණු දිය පොකුණු බැලීමට අපි ගියෙමු. ඒ එම ස්ථානයේ පෞරාණික නටබුන් නරඹමින් උණු දියෙන් දෝවනය වීමට නොවේ. ස්වාභාවිකව උපන් උණු දිය උල්පත්වලටත් අයිතිවාසිකම් කියාගෙන පැමිණෙන භූමි කොල්ලකරුවන් පිරිසක් ගැන කතාවක් කියන්නටය. ඒ කතාව පෙළගැසෙන්නේ මෙසේය.

ක‍්‍රි. ව. 143 – 167 කාලයේදී ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ පාලනය භාරව සිටි භාතික තිස්ස රජු විසින් වෙල්ගම් වෙහෙර රජමහා විහාරස්ථානය ඉදිකර ඇති බවට ඉතිහාසයේ සඳහන්ව ඇත. එමෙන්ම මෙම සිද්ධස්ථානය වටා පරිවාර සිද්ධස්ථාන කිහිපයක් ද ඉදිකර ඇත. වෙල්ගම් වෙහෙර රජමහා විහාරයේ සහ පරිවාර සිද්ධස්ථානවල වැඩ වාසය කළ මහරහතන් වහන්සේට සහ සතර දිගින් වැඩම කරන ලද මහා සංඝයා වහන්සේට උණු පැන් පහසුවීම සඳහා කන්නියා ගමෙන් මතු වූ උණු දිය උල්පත පාදක කරගෙන භාතික තිස්ස රජු විසින් උණු දිය පොකුණු ඉදිකර එම ස්ථානයේ චෛත්‍යයක් සහ සංඝාවාසයක් නිර්මාණය කර මහා සංඝරත්නයට පූජා කර ඇති බව ද ඉතිහාසයේ සඳහන් වේ.

kinniya2
පසු කාලීනව එම උණු දිය පොකුණු පිහිටි භූමියේ ඉදිකර තිබූ චෛත්‍යය, සංඝාවාසය විදේශීය ආක‍්‍රමණිකයන් විසින් විනාශ කර දමා නටබුන් බවට පරිවර්තනය කෙරිණි. පසුව 1950 දශකයේදී හින්දු බැතිමතුන් විසින් උණු දිය උල්පත් ආසන්නයේ දේව රූප තබා වන්දනාමාන සිදු කර ඇත. එම දේව ඇදහීම 1983 අවුරුද්ද වන විට ස්ථිර ගොඩනැඟිල්ලක් සහිත කෝවිලක් බවට පරිවර්තනය වී තිබිණි. පසුගිය එල්.ටී.ටී.ඊ. යුද සමයේ කොටි ත‍්‍රස්තවාදීහු මෙම ස්ථානයේ විසිරී තිබූ එම බෞද්ධ නටබුන් සියල්ලම විනාශ කර උණු දිය උල්පත් කොටින්ගේ ප‍්‍රධාන ආදායම් මාර්ගයක් කරගෙන සිටියහ. අවසානයේ තිස් වසරක යුද සමයේදී නඩත්තු නොවුණු එම කෝවිල ද ගරා වැටී විනාශ මුඛයටම තල්ලූ වී තිබිණි. යුද්ධයේ අවසානයත් සමඟ ගරා වැටුණු කෝවිල නැවත ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩකටයුතු ආරම්භ කෙරිණි.

කෝවිල් පරිශ‍්‍රයේ පස් ඉවත් කරන විට සඳකඩ පහණක්, තවත් බෞද්ධ ස්මාරක රාශියක් සහිත චෛත්‍යයක පාදමක් මතු විය. ප‍්‍රදේශයේ බෞද්ධ භික්‍ෂුන් වහන්සේ ඇතුළුව උණු දිය උල්පත් නැරඹීමට පැමිණි බෞද්ධ බැතිමතුන් පොළොව යටින් මතු වන එම බෞද්ධ ස්මාරක සම්බන්ධයෙන් ත‍්‍රිකුණාමලය දිසාපතිවරයා දැනුවත් කර තිබිණි. එවකට ත‍්‍රිකුණාමල දිසාපතිව සිටි ජනරාල් ටී. ටී. ආර්. ද සිල්වා විසින් එම උණු දිය පොකුණු පරිශ‍්‍රයෙන් මතු වූ බෞද්ධ ස්මාරක ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුට දැනුම්දීමත් සමඟ 2011 වර්ෂයේ නොවැම්බර් 09 දිනැති 1723 දරන ගැසට් පත‍්‍රය මගින් කන්නියා උණු වතුර ළිං සහිත භූමිය පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කරන ලදී. අනතුරුව එම ස්ථානයේ ඇති නටබුන් 2012 සහ 2013 වසරවලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් සිදුකර ඇත.

එම ස්ථානයෙන් මතු වී ඇති චෛත්‍යය සහ විහාරය අනුරාධපුර මුල් යුගයට අයත් බෞද්ධ ස්මාරක බවත් හඳුනාගෙන ඇත. එහෙත් වසර හයකට පෙර සිදු වූ කැණීම් කටයුතුවලින් පසු එම පුරාවිද්‍යා භූමියේ කිසිදු සංරක්‍ෂණ කටයුත්තක් සිදු නොවිණි. සංරක්‍ෂණ කටයුතු සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලැබීමත් සමඟ 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනතේ 48 වගන්තියට අනුව මෙම නටබුන් පැරැණි ස්මාරක ලෙස සලකමින් පසුගිය දිනවලදී සංරක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබිණි. 2012, 13 වර්ෂවලදී එම ස්ථානයේදී කැණීම් සිදු කරන විට නොතිබුණු බාධක රාශියක් මෙවර පැමිණ තිබේ. උණු දිය උල්පත් සහිත බොදු බිමට අයිතිවාසිකම් කියාගෙන දෙමළ කාන්තාවක් ද පැමිණ සිටී. ප‍්‍රදේශයේ දෙමළ දේශපාලනඥයන් පැමිණ එම ස්ථානයේ කැණීම් කටයුතු නතර කරන ලෙසට පුරාවිද්‍යා නිලධාරීන්ට තර්ජනය කර තිබිණි.

මේ සටහන තබන මොහොත වන විට, පසුගිය ඇසළ පෝය දින දෙමළ ජාතික ජනතා පෙරමුණෙහි නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මඩකලපු දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී යෝගේෂ්වරන් හා ත‍්‍රිකුණාමල දෙමළ දේශපාලන පක්‍ෂ රැසක මන්ත‍්‍රීවරුන් පැමිණ පුරාවිද්‍යා කැණීම් කටයුතු නතර කරන ලෙසට විරෝධතාවක් ද සිදු කළහ. එම දේශපාලනඥයන් සමඟ විශාල දෙමළ ජනතාවක් පැමිණ කන්නියා මංසන්ධියේ සිදු කළ එම විරෝධතාවයේ ප‍්‍රධාන ඉල්ලකයන් වී තිබුණේ උණු දිය පොකුණු පරිශ‍්‍රයේ පිහිටි චෛත්‍යයේ සංරක්‍ෂණ කටයුතු නතර කරන ලෙසත්, එම ස්ථානයේ තිබූ පැරැණි කෝවිල නැවත ප‍්‍රතිස්ථාපනය කිරීමට අවසර ඉල්ලා සිටීමත්ය.

විරෝධතාව මහා ගාලගෝට්ටියක් බවට උස් වී උණු දිය පොකුණු පරිශ‍්‍රයට ගමන් කිරීමත් සමඟ එය පාලනය කිරීමට පොලිස් විශේෂ ආරක්‍ෂක භට පිරිස් මෙන්ම 221 බලසේනා මූලස්ථානයට අයත් හමුදා භට පිරිස් ද කැඳවීමට සිදු වී තිබිණි. හමුදා නිලධාරීන්ගේ පැමිණීමත් සමඟ එම විරෝධතාකරුවන් විසිර ගියද ගින්න උණු දිය යට ගිලිණි. පුරාවිද්‍යා නිලධාරීන් චෛත්‍යයේ සංරක්‍ෂණ කටයුතු නැවත ආරම්භ කළ සැණින් දිය යට ගිනි හෝස් ගා පත්තු වනවා නියතය. දිය යට ගිනි දැල්වීමට පෙර එම ගින්නට හේතු පාදක වූ කරුණු විමසා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත‍්‍රිකුණාමල ප‍්‍රාදේශීය සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. එච්. ඒ. සුමනදාස මහතාට දුරකථනය ඔස්සේ අපි කතා කළෙමු. මේ ඒ මහතා අපට කියූ කතාවය.

‘‘ඔය ස්ථානයේ පුරාවිද්‍යා ස්මාරක තුනක් තියෙනවා. උණු වතුර ළිං, දාගැබ, පිළිම ගේ. ඒ ස්මාරක පරීක්‍ෂා කර, භූමියේ මැනුම් කටයුතු කරලා අක්කර පහක බිම් කැබැල්ලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති භූමියක් විදිහට ගැසට් කරලා තියෙනවා. ඒ භූමි භාගයේ තමයි ස්මාරක තුනම තියෙන්නෙ. ඒ ස්ථානයේ තියෙන චෛත්‍යය හාරලා නිධන් අරගෙන කොන්ක‍්‍රීට් එකක් දාලා වහලා ඒක උඩ තමයි කෝවිල ඉදිකරලා තිබුණේ. කෝවිලක් කියන්නෙ තහඩු කෑලි දෙකකින් සෙවිල්ලලා, ඒක යටින් දේව රූප දෙකක් තැන්පත් කරලා තිබුණු තැනක්. කැණීම් කරනකොට ඒ තහඩු කෑලි ගැලවිලා ගියා. අපි චෛත්‍යය මතු කරගත්තා. ඊට අමතරව ඒ ආසන්නයේ තිබිලා සෙල්ලිපි කෑල්ලකුත් හොයාගත්තා. පහුගිය දවස්වල කුණුවළක් කපනකොට තවත් සෙල් ලිපි කෑල්ලක් මතු වුණා. ඒ සෙල් ලිපියට අදාළ තවත් කෑලි කිහිපයක් අඩුයි. අපි සොයාගත්ත සෙල්ලිපි කෑලිවල තියෙන්නෙ මහා සංඝරත්නයට වැව් කිහිපයක ජලය පූජා කරලා තියෙනවා කියලයි…’’

‘‘2012, 13 අවුරුදුවල කැණීම් කටයුතු කරලා ප‍්‍රතිපාදන නැති නිසා දගැබේ සංරක්‍ෂණ කටයුතු නතර වුණා. අවුරුදු හයකට විතර පස්සෙ මේ අවුරුද්දේ ප‍්‍රතිපාදන පාස් කරගෙන සංරක්‍ෂණ කටයුතු ආරම්භ කළා. වැඩ පටන් ගත්ත පළමු දවසේම දෙමළ මිනිස්සු අයිතිවාසිකම් කියාගෙන ආවා. කෝවිල් අම්මා කියා ගත්ත කාන්තාවක් ඇවිත් මේ ඉඩම එයාට පරම්පරාවෙන් ලැබුණු ඉඩමක් කියලත් කිව්වා. කෝවිල ආරම්භ කළේ ඒ අය කියලත් කිව්වා. විරෝධතා එක දිගට ආවා. අපි සංරක්‍ෂණ කටයුතු නතර කළා. ඊට පස්සේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්, පුංචි නිළමේ ආණ්ඩුකාරවරයා, දිසාපති, වෙල්ගම්වෙහෙර නායක හාමුදුරුවෝ, රිදීකන්දේ නායක හාමුදුරුවෝ ඇතුළු නැෙඟනහිර දේශපාලනඥයන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් මේ ගැටලූව සම්බන්ධයෙන් සාකච්ඡුා කළා. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂතුමා පුරාවිද්‍යා ආඥාපනත ගෙනහැර පාලා උණු දිය පොකුණු පරිශ‍්‍රයේ ඉඩමේ අයිතිය තහවුරු කරලා පෙන්නුවා. සාකච්ඡුාවට ඇවිත් හිටපු සියලූ දෙනා කටවල් පියාගෙන හිටියා. සාමකාමීව ගැටලූව විසඳිලා සාකච්ඡුාව අවසාන වෙන්න මොහොතකට පෙර මනෝ ගනේෂන් ඇවිත් කෑගහලා ගාලගෝටියක් ඇති කළා. ඊට පස්සෙ මනෝ ගනේෂන් මන්ත‍්‍රීවරයා කිව්වා මේ ගැටලූ සම්බන්ධයෙන් කොළඹ සාකච්ඡුාවක් පවත්වන්න ඕනෑ කියලා. ඒත් අන්තිමේ එම සාකච්ඡුාව අවසාන වුණේ කන්නියා උණු වතුර ළිං පරිශ‍්‍රයේ සංරක්‍ෂණ කටයුතු කරගෙන යෑමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවසර ලබාදෙමින්. ඊට පස්සෙ මනෝ ගනේෂන් මන්ත‍්‍රීවරයා උණු වතුර ළිං පරිශ‍්‍රයට ගිහින් බලලා කෝවිලක් හදාගන්න පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරායාගෙන් අවසර ඉල්ලා තිබුණා. ඒකට අපේ අධ්‍යක්‍ෂතුමා කැමැත්ත දීලා තිබුණා. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාගේ අනුමැතිය ඇතිව පහුගිය දවසක මම නැවත එම ස්ථානයේ සංරක්‍ෂණ කටයුතු ආරම්භ කළා. වැඩ පටන් අරගෙන දවස් දෙකයි ගියේ, නැවත විශාල පිරිසක් ඇවිත් උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. එතකොට අපේ අධ්‍යක්‍ෂතුමා රට ගිහින් හිටියේ. දිසාපතිවරයා මට කිව්වා අධ්‍යක්‍ෂතුමා එනකන් වැඩ නතර කරන්න කියලා. මම වැඩ නතර කළා…’’

kinniya3‘‘ප‍්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳිලා තියෙද්දී තමයි මේ ජාතිවාදීන් නැවත ප‍්‍රශ්න ඇති කළේ. ඒ විතරක් නෙමෙයි මට මරණ තර්ජන කළා. ඇමෙරිකාවේ ඉඳලා මරණ තර්ජනය කරලා ලියුමක් එවලා තිබුණා. අදටත් ඒ ලියුම මා ළඟ තියෙනවා. ‘බෝම්බ ගහලා මාව මරණවා. රේඩාර්වලට අහුවෙන්නෙ නැති බෝම්බ ඒ අය ළඟ තියෙනවා. තොපි කොහොමද අපේ භූමිය හාරන්නෙ’ අමු තිත්ත කුණුහරුපයෙන් බැණලා තමයි ලියුම එවලා තිබුණේ. මම ඔය ගෙරවිලිවලට බය නෑ. පොලිසියේ පැමිණිල්ලක්වත් දාන්න ගියේ නෑ. මට දුක මගේ රාජකාරි කාලය තුළදී ඔය චෛත්‍යය ප‍්‍රතිසංස්කරණය කරගන්න බැරි වෙයි කියලයි…’’ දීර්ඝ කතාවකින් පසු සුමනදාස මහතා නිහඬ විය. අනතුරුව අපි උණු දිය පොකුණු පරිශ‍්‍රයට අයිතිවාසිකම් කියාගෙන එන දෙමළ කාන්තාව සමඟ ද කතා කළෙමු. ඇය කෝකිලරාණිය. එහෙත් ඇය ප‍්‍රදේශයේ ජනපි‍්‍රය වී සිටින්නේ කෝවිල් අම්මා ලෙසය. කෝවිල් අම්මා කියන විදිහට ඇයගේ අත්තාට එම භූමිය ලබා දී ඇත්තේ ත‍්‍රිකුණාමලය පාලනය කළ සුදු ජාතිකයන් විසිනි. සීයාගේ අභාවයෙන් පසු ඉඩමේ අයිතිය පැවරී ඇත්තේ ඇයටය.

‘මේ අපේ කෝවිලට අයිති ඉඩම්. මරතාඩිය හන්දියේ තියෙන මුතුමාරි අම්මාන් කෝවිලට අයත් ඉඩම්. මේවා අපිට පරම්පරාවෙන් ලැබිලා තියෙන්නෙ. අපේ සීයලා තමයි කන්නියා ගණදෙවි කෝවිල ආරම්භ කරලා තියෙන්නෙත්. සීයගෙන් පස්සෙ අපි තමයි ඒ කෝවිල්වල වැඩ කරගෙන ගියේ. ඒකයි මට කෝවිල් අම්මා කියන්නෙ…’

කන්නියා උණු දිය පොකුණු පරිශ‍්‍රයේ චෛත්‍යයක්, සංඝාවාස ඉදිකර භාතිය තිස්ස රජු විසින් මහා සංඝරත්නයට පූජා කරලා තියෙනවා කියලා මේ ස්ථානයෙන් සොයාගත් සෙල් ලිපියක සඳහන් වෙලා තියෙනවා. මහ සංඝරත්නයට පූජා කරපු ඉඩමක් ඔබතුමියගේ අත්තට අයිති වෙන්නෙ කොහොමද…?

‘ඒක මම දන්නෙ නෑ. කොහොමහරි ලැබිලා තියෙනවා…’

එතකොට ඔප්පුවක් තියෙනවද…?

‘ඔව්. අපේ අත්තට සුද්දො දීපු ඔප්පුවක් තියෙනවා. ප්ලෑන් හිටන් තියෙනවා…’

සුද්දො ඒ ඉඩම් පවරලා තියෙන්නෙ සින්නක්කර ඔප්පුවකින්ද…?

‘නෑ… ඔනර්සිප් ඔප්පු තමයි තියෙන්නෙ…’’

‘ඒ ඔප්පුව දීලා තියෙන්නෙ මොන අවුරුද්දෙද…?

‘1837’

දැන් ඔයාලා ඒ ඉඩමේ අයිතිය ඉල්ලාගෙන එම ස්ථානයේ සංරක්‍ෂණ කටයුතුවල නිරත පුරාවිද්‍යා නිලධාරීන්ට තර්ජනය කරනවා…?

‘අපි ඒ සර්ලට කියන්නෙ ගණදෙවි කෝවිල හදාගන්න අපේ ඉඩම දෙන්න කියලයි. එතැන මට අක්කර ගාණක් තියෙනවා. නඩු ගිහිල්ලා, නඩුවෙනුත් අපි දිනලා තියෙන්නෙ. දැන් ඔය චෛත්‍යය හොයාගෙන තියෙන්නෙ මගේ කෝවිල යට තිබිලා. දැන් පුරාවිද්‍යා එකෙන් බෝඞ් දාගෙන අපිට එතැනට යන්න දෙන්නෙවත් නෑ. ඒක වැරැදියි. උණු වතුර ළිං හදලා තියෙන්නෙ අපේ අත්තා. පුරාවිද්‍යාවට ඒ ළිංවල කිසිම අයිතියක් නෑ…’

‘එතකොට ඒ ළිං කපලා තියෙන්නෙ ඔබතුමියගේ අත්තද…?

‘මට සිංහල ගොඩාක් බෑ… චුට්ටයි තමයි තේරෙන්නෙ… ඔයා කියන දේ මට තේරෙන්නෙ නෑ…’

විනාඩි ගාණක් අපේ ප‍්‍රශ්නවලට සිංහල භාෂාවෙන් පිළිතුරු ලබාදුන් කෝකිලරාණිට ඒ ප‍්‍රශ්නයට පමණක් පිළිතුරු ලබාදීමට අසීරු වී කතාව ද නතර කළාය. අනතුරුව අපි වෙල්ගම් වෙහෙර රජමහා විහාරාධිපති අම්පිටියේ සීලවංශ හාමුදුරුවන් හමු වී කෝවිල් අම්මා කියන කතාවේ සත්‍යතාව විමසා සිටියෙමු.

‘‘ඔය ගෑනු කෙනා කියන්නෙ බොරු මහත්තයො. සුද්දො කොහොමද අපේ රටේ ඉඩම් දෙන්නෙ. එයා කරන්නෙ බලහත්කාරයෙන් ඉඩම් ටිකක් අල්ලගෙන කඩ කෑලි ටිකක් ගහලා මිනිස්සුන්ට බදු දීලා සල්ලි හම්බ කිරීම. ඒක අපිට ප‍්‍රශ්නයක් නෑ. ඒත් මහා සංඝයාට පූජා කරපු ඉඩම් එයාලට දෙන්න බෑ. ඒ භූමියේ වෙනත් තැනක කෝවිලක් ඉදිකරගත්තට අපිට ගැටලූවක් නෑ. චෛත්‍යය උඩ කෝවිල් ගහන්න දෙන්න බෑ…’’ ගිහි පැවිදි සියලූ දෙනාගේ කතාව අපට පැහැදිළිය. කන්නියා උණු දිය පොකුණු පරිශ‍්‍රයෙන් ඇස ගැටෙන බෞද්ධ ස්මාරක දකින ඕනෑම කෙනෙකුට එය ඉපැරැණි බෞද්ධ සිද්ධස්ථානයක් බව ද වැටහේ. පැහැදිළිව චෛත්‍යයේ පාදම මතු වී පෙනෙන ඒ බොදුබිම කෝවිල් බිමක් බව හැඳින්වීමට කිසිදු ඓතිහාසික සාක්‍ෂියක් ද නැත.

කන්නියා පුරාවිද්‍යා භූමියේ ඇති චෛත්‍යය අනුරාධපුර මුල් යුගයට අයත් චෛත්‍යයක් බව සාධක සහිතව සනාථ වී තිබෙන පසුබිමකදී, එම ස්ථානයේ ඇති අනෙකුත් ඉදිකිරීම් පිළිබඳ නොසලකා සිංහල රජ කාලේ සිට පැවත එන එම චෛත්‍යය සංරක්‍ෂණය කිරීමේ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුය. ඒ සඳහා 1940 අංක 09 දරන පුරාවිද්‍යා ආඥා පනතේ 23 (2) වගන්තිය යටතේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට බලය පැවරී ඇත. අන්තවාදී ගෙරවිලි පසෙකලා, බොරු අයිතිවාසිකම් කියාගෙන පැමිණෙන ‘අම්මණ්ඩිලාට’ සහ අන්තවාදය පතුරුවාහරින බඩගෝස්තරවාදී දෙමළ දේශපාලනඥයන්ට නීතිය ක‍්‍රියාත්මක කරමින් කන්නියා උණු දිය පොකුණු සහිත බොදුබිම අපගේ මතු පරපුරට සුරක්‍ෂිත කරදීමේ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉටු කළ යුතුය.

එසේ නොවෙන්න උතුර, නැගෙනහිර අන්තවාදීන් විසින් වෙල්ගම් වෙහෙර රජමහා විහාරයටත් ඔප්පු තිරප්පු පෙන්වමින් දෙමළ දේශපාලන තක්කඩි පැමිණ දේව පිළිම තැන්පත් කර විහාර භූමියෙත් කෝවිල් ඉදිකරනු නියතය. ඊට පෙර උතුර, නැගෙනහිර භූමියේ සිහළ උරුමය සුරක්‍ෂිත කරගැනීමට අප කැප විය යුතුය…

තරංග රත්නවීර
ත‍්‍රිකුණාමල – සමන් මල්ලවආරච්චි

 

301 Viewers