• Home »
  • Sinhala »
  • කළු නිදහස් සටනේ වීරයා; මුගාබේ

කළු නිදහස් සටනේ වීරයා; මුගාබේ

(Courtesy of Divaina)

අධිරාජ්‍ය විරෝධී දැවැන්තයෙකු මරණයට පත්ව තිබේ. කළු මිනිසුන්ගේ අයිතිය වෙනුවෙන් ගරිල්ලා සටන් මෙහෙයවූ නායකයකුගේ අභාවය සිදුව තිබේ. විදේශික ආක‍්‍රමණිකයන් ස්වදේශිකයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන සම්පත් සූරාකන විට එයට එරෙහිව සටන් වැද කළු ජාතික ඉඩම් නැති ගොවීන්ට සාධාරණය ඉටුකළ නායකයා මෙලොවින් සමුගෙන ඇත. හෙතෙම රොබට් මුගාබේ ය. පුරා 95 වසරක දිවියට හෙතෙම සමුදුන්නේ සිංගප්පූරුවේදීය. ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදී බැම්මට සිරවී සිටි එවක රොඬේෂියාව වත්මන් සිම්බාබ්වේ රාජ්‍ය නිදහස් කරගත් නායකයා මුගාබේ වේ. ගුරුවරයකු ලෙස ජීවිතය ආරම්භ කළ මුගාබේ සුදු පාලනයට එරෙහිව කැලෑ සටන් මෙහෙයවූ ගරිල්ලා නායකයෙකි. කළු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කළ නිසාම වසර දහයක් සිරබත් කෑ නායකයෙකි. 1980 දී ඉංග‍්‍රීසි පාලකයන් සිම්බාබ්වේ දේශයට නිදහස ලබාදුන් විට මුගාබේ අගමැති ධුරයට පත්විය.

එතුමාගේ සම්පූර්ණ නාමය රොබට් ගේබි‍්‍රයල් මුගාබේ ය. 1980 සිට 87 දක්වා එරට අගමැති වූ හෙතෙම 1987 සිට 2017 දක්වා ජනපතිවරයා ලෙස කටයුතු කළේය. දේශපාලන දිවියේ මුල් කාලයේදී තමා මාක්ස් ලෙනින්වාදියෙකු ලෙස හඳුන්වා දුන් හෙතෙම පසුව තමා සමාජවාදියකු යැයි ප‍්‍රකාශ කළේය. එයින් පසු තම දර්ශනය මුගාබේවාදය ලෙස හඳුන්වා දුන්නේය. මෙය විශේෂිත තත්ත්වයකි. සිම්බාබ්වේ රාජ්‍යයේ බහුතර පරම්පරාව දන්නා එකම නායකයා මොහුය. මන්ද ඔහුගේ රාජ්‍ය පාලනය දශක හතරකට වඩා දික්වන නිසාය.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවට බෙහෙවින් ඇලූම් කළ මුගාබේ ප‍්‍රකාශ කර සිටියේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන තැනැත්තා ඒ හරහා ශිෂ්ට පුද්ගලයකු බවට පත්වන බවයි. ක‍්‍රිකට්වලට කැමැති වුවත් හෙතෙම සුද්දන්ට කැමැති වූ නායකයෙක් නම් නොවේ. මියගිය සුදු ජාතිකයකු හැර කිසිම සුදු ජාතිකයකු විශ්වාස නොකරන ලෙස ප‍්‍රකාශ කළේ මේ අපි‍්‍රකානු නිදහස් අරගලයේ වැදගත් කාර්යයක් ඉටුකළ සිම්බාබ්වේ හිටපු නායකයාය.

බටහිර ලෝකය මුගාබේ පාලනය දෙස බැලූවේ වෛරයෙන් හා ක්‍රෝධයෙනි. එරට තුළ විශාල ආර්ථික අර්බුදයක් ඇතිවීමටද බටහිර ලෝකයේ නොපනත්කම් හේතු විය.

1999 දී සුදු ජාතිකයන් සතුව තිබූ ගොවිබිම් පාරම්පරික ස්වදේශික කළු ජනයාට පැවරීමට ජනපති මුගාබේ තීරණය කළේය. මෙය බි‍්‍රතාන්‍ය පමණක් නොව බටහිර ලෝකයම සසළ කළ පුවතක් විය. නමුත් තම වැසියන්ගේ යහපත උදෙසා භූමි පුත‍්‍රයන්ගේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් මුගාබේ නිසි පියවර ගත්තේය. එනිසාම ඔහුට ලබාදී තිබුණු නයිට් ගෞරව නාමයද 2008 වසරේදී බි‍්‍රතාන්‍ය ආණ්ඩුව විසින් ඉවත් කර දැමීය. මුගාබේ මේවායින් කම්පනයට පත්වූ පුද්ගලයෙක් නම් නොවීය.

මුගාබේ බලයෙන් පහකෙරුණේ හමුදා කුමන්ත‍්‍රණයකිනි. අවසාන කාලයේ එරට තුළ ප‍්‍රශ්න රාශියක් පැනන`ගින්නට විය. මේ නායකයාගේ වයෝවෘධ භාවයත් ඔහුගේ බිරිය ගේ‍්‍රස් බොහෝ බලතළ අතට ගෙන පාලනයට මැදිහත්වීම නිසාත් රට තුළ ප‍්‍රශ්න ඇතිවිය. සිම්බාබ්වේ වැසියන්ටද වෙනසක් අවශ්‍යව තිබිණි.

ජනපති ධුරයෙන් විශ‍්‍රාම ලැබූ මුගාබේ එරට ආණ්ඩුව හඳුන්වනු ලැබූවේ ජාතියේ පියා ලෙසය. ඔහුට විශේෂිත ඉහළ විශ‍්‍රාම වැටුපක්ද ගෙවනු ලැබීය. රට නිදහස් කර දුන් නායකයාට එරෙහිව නීති පියවර ගැනීමට හෝ සිරගෙට යැවීමට වත්මන් ආණ්ඩුව පියවර නොගත්තේ ඔහුගේ මෙහෙය සැ`ගවිය නොහැකි නිසාය. මේ මරණයෙන් පසුව සිම්බාබ්වේ රාජ්‍යයේ දින ගණනාවක ශෝක කාලයක් ප‍්‍රකාශ කර ඇත. අපි‍්‍රකානු මහාද්වීපයම මේ නායකයාගේ අභාවය ගැන ශෝක වෙයි. සිම්බාබ්වේ තොරතුරු අමාත්‍ය මොනිකා මුට්සවන්ගා ප‍්‍රකාශ කර තිබුණේ මුගාබේ නාමය අතහැර කිසිවිටක ඉතිහාසය ලිවිය නොහැකි බවයි. එය ඇත්තකි.

82 Viewers