කෙටි සටහන් කිහිපයක්

බොහෝ දේ ලියන්න තියෙනවා. එහෙත් ලිපි කියවන්නේ නැති නිසා ලියල වැඩකුත් නැහැ. මේ ලිපියෙහි කෙටි සටහන් කිහිපයක් තබනවා. සමහරවිට පසුව විස්තර කිරීමේ බලාපොරොත්තුවෙන්. අප රටේ ඊනියා බුද්ධිමය මැදිහත්වීම් ගැන සමහරු කියවනවා. අපේ රටේ ඇති බුද්ධිමය මැදිහත්වීමක් නැහැ. අවුරුදු දහස් ගණනක ඉතිහාසයේ අප විසින් ලෝකයට දෙනු ලැබ ඇති දැනුම කුමක් ද? අප මහායානික අදහස් ගැන කියනවා. නාගර්ජුනපාදයන් ගැන කියනවා. ඒ අදහස් සියල්ල භාරතයේ නිර්මාණය වූ දේ. වෙනස්වීම සම්බන්ධයෙන් නම් මහාවිහාරයේ ප්‍රවාදයක් නිර්මාණය කෙරී ඇති බව වයි කරුණාදාස පවසා තියෙනවා. ථෙරවාදය ගැනත් අපට අර්ථකථනයක් දී ඇත්තේ අන්ද්‍ර ප්‍රදේශයෙන් වැඩම කළ භික්‍ෂූන් වහන්සේ.

අද කෙරෙන ඊනියා බුද්ධිමය මැදිහත්වීම් මොනවා ද? බටහිර මතයක් ප්‍රවාදයක් තමන්ට තේරෙන විධියෙන් අල්ල ගෙන එය සිංහලෙන් කීම බුද්ධිමය මැදිහත් වීමක් ද? බටහිර සංස්කෘතික ආධිපත්‍යයේ නිවට දාසයන් ලෙස සිංහල බෞද්ධ සංස්කෘතියට ගැරහීම බුද්ධිමය මැදිහත් වීමක් ද? උත්තර භාරතීය සංගීතය දන්නා අය තම දැනුම ප්‍රදර්ශනය කරන්න කැමතියි. බටහිර ශාස්ත්‍රීය සංගීතය ගැන යමක් දන්නා අයත් තම දැනුම ප්‍රදර්ශනය කරනවා. එහෙත් මේ කිසිවකු අදාළ ශාස්ත්‍රීය සංගීතයට එකතු කළ යමක් තියෙනවා ද?

මා බටහිර විද්‍යාඥයකු වීමට පාසල් සමයේ සිට සිතා සිටියත් ඒ සඳහා අවුරුදු පනහකට පෙර එංගලන්තයට ගිය මට බටහිර විද්‍යාවට ප්‍රවාදයක් සංකල්පයක් එකතු කිරීමට බැරි බව තේරුණා. මා බටහිර විද්‍යාඥයකු වීමේ අදහස අත්හැර ආපසු ආවා. ඒත් මා හිතුවා මට ඥානව්භාගයේ බුද්ධිමය මැදිහත් වීමක් කළ හැකි ය කියා. මා දන්නා බුදුදහම අනුව මා ඥානව්භාගයක් නිර්මාණය කළා. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්මාබෝධය නොමැති කමින්, එනම් අවිද්‍යාවෙන්, දැනුම් නිර්මාණය කිරීමක් ගැන. මගේ ලෝකය එහි ප්‍රතිඵලයක්. එහි වර්ධනයක් ද කරලා තියෙනවා. එහෙත් සුමේධ වීරවර්ධන හැර මෙරට සිටින දාර්ශනිකයන්, හාමුදුරුවරුන්, උපැවිදි වූවන්, බෞද්ධ උගතුන් ආදී කිසිවකු ඒ ගැන සැලකිල්ලක් දැක් වූයේ නැහැ. මා හිතන්නේ එහි ගතයුත්තක් නැහැ කියා. ඒ නිසා අර කී වර්ධන සිරිවර්ධන කෙනකුට දෙන්න ද කියා හිතෙනවා.

කොහොමටත් මා සිරිජාතිකවාදියකු වෙලා. එහෙත් සිරිසේන නැවත ජනාධිපති වෙනවාට මා කැමති නැහැ. ඔහු මෙරට දෙමළ ජාතිවාදය ගැන දන්නවා කියා හිතන්න බැහැ. මා හිතන්නේ නැහැ ඔහු මා දෙමළ ජාතිවාදය ගැන ලියා ඇති කිසිවක් කියවල තියෙනවා කියා. සමහරවිට ඔහු ඒ කියවා ප්‍රතික්‍ෂෙප කරනවා වෙන්නත් පුළුවන්. ඊයේ අල් කුරානය සිංහලට පරිවර්තනය කිරීමේ උත්සවයේ දී ඔහු කියා තිබෙනවා විවිධ භාෂා කතා කරන අය අතර ඇති භේදය ප්‍රශ්නවලට හේතුවක් කියා. මිනිසුන් බෙදෙන්නේ සංස්කෘතීන් අනුව. භාෂා අනුව පාසල් ඇති කිරීමත් ඔහුගේ දෝෂ දර්ශනයට ලක් වෙලා. එහෙත් භාෂා භේදයක් නොමැති පාසල්වල එකල ඉගෙන ගත් අය දෙමළ ජාතිවාදයේ පුරෝගාමින් බව සිරිසේන දන්නෙ නැතිව ඇති.

ව්‍යවස්ථාදායක සභාවේ සිංහල දෙමළ නියෝජනය එක සමාන විය යුතු ය කියා 1912 දී තරම උද්ඝෝෂණය කෙළේ පොන්ම්බලම් රාමනාදන් හා ඔහුගේ සොයුරු අරුණාශලම්. මෙරට පළමු ජාතිවාදී සංවිධානය ඇති කෙළේ අරුණාශලම් . ඒ හින්දු මහා සභාව. එය සංස්කෘතිය මත පදනම් වූවක්. රාමනාදන් සර්වජන ඡන්දය ලබා දීමට විරුද්ධ වුණා. ඒ එසේ ලබා දීමෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිංහල නියෝජනත්වය වැඩි වේය කියා. පසුව ජී ජී පොන්නම්බලම් පනහට පනහ ඉල්ලුවා.පනහට පනහ ඉල්ලීමෙන් කියැවුණේ සිංහලයන් මන්ත්‍රින් පනහක් අනෙක් අයට පනහක් නො වෙයි. එයින් කියැවුණේ සිංහල නොවන මන්ත්‍රීන් පනහක් සිටිය යුතු බවත් ඉතිරි පනහ බෙදී යා යුතු බවත්.

ඉංගිරිසින් 1931 දී අපට සර්වජන ඡන්දය දුන්නේ මා දැන් හිතන විධියට නම් වෙල්ලාලයන්ගේ දෙමළ ජාතිවාදය උත්සන්න කිරීමට. අපට සර්වජන ඡන්දය ලැබෙන විට එංගලන්තයේ අවුරුදු විසි එකට වැඩි කාන්තාවන්ට ඡන්දය ලැබී අවුරුදු දහතුනක් පමණයි. ප්‍රංශයේ කාන්තාවන්ට එලෙස ඡන්ද බලය ලැබුණේ 1944 දී. දෙමළ ජාතිවාදී නායකයන් සෝල්බරි කොමිසම ඉදිරියට ගිහින් කිව්වේ කෙසේ නමුත් සිංහල නියෝජනත්වය අඩු කිරීමට. මේ සියල්ල සිදුවුණේ 1956ට පෙර බව ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති නොදැනීම කණගාටුවට කරුණක්. මේ පිළිබඳ මා ලියා ඇති දේ වතුරේ ගොස් ඇති බව මට දැනෙනවා.

මා හිතන්නේ නැහැ ගෝඨභයත් මා කියන දේ සම්පූර්ණයෙන් පිළිගන්නවා කියා. එහෙත් දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ දී ඔහු මහින්දටත් වඩා ස්ථිර තැනක හිටි බවයි මගේ විශ්වාසය. ඔහුට ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබෙනවා නම් මා කැමතියි. එහෙත් ඔහුට ඒ සඳහා කඩුලු කිහිපයක් පනින්න තියෙනවා. ඔහුගේ විදෙස් රටවැසි බව නැති කර ගන්න අවශ්‍යයි. එය කෙසේ කෙරෙනවා ද යන්න මා දන්නේ නැහැ. මා එක්සත් රාජ්‍යවල රටවැසි පනත් කියවා නැහැ. ඔහුට විරුද්ධ ව ඒ රටේ නඩු දාන එක කෙසේ බලපානවා ද කියන්න මා දන්නේ නැහැ.

ලසන්ත වික්‍රමතුංග අද ජීවත් වන්නේ ම ඔහුගේ මරණය නිසා. ඔහුගේ ඝාතකයා මාරු වෙනවා. මට මතක හැටියට සරත් ෆොන්සේකාටත් ඒ චෝදනාව තිබුණා. ඔහුට එක්සත් රාජ්‍යවල නඩුවකුත් තිබුණා. එය කුමක් ද කියා මට හරි හැටි කියන්න බැහැ. එහෙත් 2010 ජනාධිපතිවරණයට පෙර ඒ නඩුව අස්කර ගැණුනා. මා ඒ බව 2010 ජනාධිපතිවෆරණය සම්බන්ධ ජාතික රුපවාහිනියේ සාකච්ඡාවකදීත් පැවසුවා මට මතකයි.

අද ලසන්තගේ දුව ගෝඨාභයට විරුද්ධව නඩුවක් දාලා. ඒ නඩුව ලංකාවේ සිදු වී යැයි කියන සිද්ධියක් සම්බන්ධවයි. නඩුව ලංකාවේ නොදැම්මේ ඇයි ද යන ප්‍රශ්නය මතු වෙනවා. ජී එල් පීරිස් කිවුවට රටක රටවැසිකම අස්කර ගැනීමට විරුද්ධ වීමට ඒ රටට බැහැ කියල මා නම් ඒ ගොඩ පෙරකදෝරු කතාව පිළිගන්නේ නැහැ. ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වන සමහරුන් ඇත්තට ම පෙනී ඉන්නේ වෙනත් අයකු වෙනුවෙන් වෙන්න පුළුවන්. කඳවුරේ සමගිය එරෙහිව මාධ්‍ය සාකච්ඡා පවත්වන ජී එල් පෙනී ඉන්නේ තමා වෙනුවෙන් ද? බැසිල් වෙනුවෙන් ද? නැත්නම් ශිරන්ති වෙනුවෙන් ද?

නලින් ද සිල්වා

164 Viewers