ගෝඨාගේ රට කරවීමේ අභියෝගය

president4(Courtesy of Divaina)

මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ සියලු නායකයන් නව ජනාධිපති ගෝඨාභයට උචිත වන අයුරින් සිය පාලනය ගෙන යෑමට අවශ්‍ය පහසුකම් හා පසුබිම සකස් කර දිය යුතු ය. අප මාතෘ භූමියට අසීමිතව ආදරය කරන අවංක මිනිසුන් පමණක් සිය පාලන කටයුතු සඳහා එක්කාසු කර ගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතුය.

මහින්ද රාජපක්‍ෂ මහතා රෑ වැටුණ වළේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දවල් නොවැටෙනු ඇතැයි යන්න අපගේ හැඟීමයි. එබැවින් ගෝඨාභය මහතා ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සමීපයේ සිටි ප්‍රජා පීඩකයන් මෙම නව, නිර්මල, පවිත්‍ර පාලන තන්ත්‍රය වෙත දායක කර නොගැනීමයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් පත් වී ඇත. ඒ පසුගියදා පැවති ජනාධිපතිවරණය සඳහා වලංගු ඡන්ද එක්කෝටි තිස් දෙලක්‍ෂ පනස් දෙදහස් හාරසිය අනූනවයක් (13252499) අතරින් ඡන්ද හැටනව ලක්‍ෂ විසිහතර දහස් දෙසිය පනස් පහක් (6924255) ලබා ගනිමිනි. එය ආසන්න වශයෙන් ප්‍රතිශතාත්මක සියයට පනස් දෙකකි. (52.25%) එසේම ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ප්‍රධාන ප්‍රතිවාදියා වන සජිත් ප්‍රේමදාස මහතාට වඩා වැඩි ඡන්ද ලක්‍ෂ දහතුනකට අධික (1300000) ප්‍රමාණයක් ලබා ගත්තේය. ඉතා සාමකාමී සහ සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් තුළින් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවීම ප්‍රශංසා කටයුතුය. ඒ සඳහා කැප වූ සියලු ජනාධිපති අපේක්‍ෂකයන් මෙන්ම ඔවුන්ගේ ආධාරකරුවන් ඇතුළු සමස්ත ප්‍රජාවේ මෙම කැපවීම අගය කළ යුතුය. ඡන්දය සාමකාමීව පැවැත්වීමට හැකිවීම මෙරට දේශපාලන සංස්කෘතියේ යහපත් ප්‍රවණතාවක් ලෙස දැක්වීමට පිළිවන.

ගෝඨාභය රාජපක්‍ෂ නව ජනාධිපතිවරයා ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ මෙරට බහුතරයක් ජනතාව අනුමත කළ සිය දේශපාලන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමයි. ඒ ඔස්සේ මෙරට පොදු ජනතාව ගෝඨාභය මහතා දිනවීමෙන් ලබාගත් ජයග්‍රහණය ලාංකේය භූමිය තුළ යථාර්ථයක් බවට පත් කළ යුතුව ඇත. එසේම දේශපාලන පක්‍ෂ හෝ ජාති, ආගම් භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන්ට බියෙන් සහ සැකයෙන් තොරව රට තුළ ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමද නව ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ වගකීමක් විය යුතුය.

එසේම ගෝඨාභය මහතාගේ ජයග්‍රහණය ඔහු ගොඩනගන නව ආණ්ඩුවට පමණක් අයත් නොවූවකි. එක් දේශපාලන පක්ෂයකට පමණක් අයත් නොවූවකි. එක් ආගමකට හෝ එක් ජාතියකට අයත් පිරිසකට පමණක් සීමා නොවූවකි. මෑත කාලීනව පැවැත්වූ මැතිවරණවලදී ලංකාවේ උතුර, නැගෙනහිර සහ දෙමළ හා මුස්ලිම් ජනතාවගේ බහුතරයක් වෙසෙන දිස්ත්‍රික්ක සහ ඡන්ද කොට්ඨාසවල ජන්ද ලබා දීමේදී දෙමළ ජාතික සංධානයේ මෙන්ම මුස්ලිම් කොංග්‍රසයේ ඍජු බලපෑමක් එල්ල වී ඇත. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හිමිකර ඡන්ද සංඛ්‍යාව තුළ ජනවාර්ගික හෝ ප්‍රාදේශීය විෂමතා පැවතියද මෙම ප්‍රතිඵලය සමස්ත ශ්‍රී ලාංකේය ජාතියේම නිරූපණයක් වශයෙන් සලකා කටයුතු කිරීමේ වගකීම නව ජනාධිපතිවරයාට පැවරී ඇත.

එසේම මෙරට සාම්ප්‍රදායික දෙමළ සහ මුස්ලිම් නායකයන් ජාතිවාදය අවුස්සා දෙමළ ජනයාගේ ද මුස්ලිම් ජනයාගේ ද ඡන්දය කොල්ලකෑමේ දීන සහ එමෙන්ම අශීලාචාර පිළිවෙත මුලිනුපුටා දැමීමට නව ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව පෙරමුණ ගත යුතුය. ඒ සඳහා නව ජනාධිපතිවරයා සිංහල බෞද්ධ මහජාතියේ නායකයා ලෙස මෙරට සුළු ජාතීන් අතරට ගොස් ඔවුන්ගේ හදවත් සිංහල බෞද්ධයන් වෙනුවෙන් දිනා දිය යුතු වේ. නව ජනාධිපතිවරයා සිංහල මහජාතිය පිළිබඳව සුළු ජාතීන් අතර පවතින දුරවබෝධයන් දුරු කිරීම පිණිස කෙටිකාලීන සහ දිගුකාලීන දේශපාලනමය සමාජමය සහ සංස්කෘතිකමය ව්‍යාපෘතීන් සකස් කළ යුතුව ඇත.

මෙවර ජනාධිපතිවරණය ජාතියක් වශයෙන් අපට ජයග්‍රහණ මෙන්ම පරාජයන් රැසක් අත්කර දී ඇත. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ත්‍රස්තවාදී බියෙන් තොරව නිදහසේ කටයුතු හැකි පරිසරයක් ස්ථාපිත කිරීම, ස්ථාවර රාජ්‍ය නායකත්වයක් ගොඩනැංවීම, ස්ථාවර රාජ්‍ය පාලනයක් ගොඩනැංවීම, නොබැඳි ජාතියක් ලෙස මධ්‍යස්ථව සිය විදේශීය සබඳතා පවත්වාගෙන යෑම, විදේශීය අත පෙවීම්වලින් තොර ස්වාධීන රාජ්‍යයක් ගොඩනංවීම, දේශීය සම්පත් කුණුකොල්ලයට නොවිකිණීම ආදී වූ ජනතා අභිලාෂයන් ගෝඨාභය මහතාත් සමග ජයග්‍රහණය කර ඇත. එහෙයින් එකී ජනතා අභිමතාර්ථ ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නව ජනාධිපතිවරයා පෙනී සිටිය යුතුය. විශේෂයෙන්ම ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය උදෙසා නව ජනාධිපතිවරයා කැප විය යුතුය. දේශපාලන ස්ථාවරත්වය ඔස්සේ ආර්ථික ක්‍රියාවලියේ සහ ජාතික සංවර්ධනයේ නව දිශානති වෙත රට යොමු කළ යුතු ය.

නව ජනාධිපතිවරයාට ජයග්‍රහණය අත්කර දුන් ඔහු ඉදිරිපත් කළ ජාතික වැඩපිළිවෙළ අකුරක් නෑර ක්‍රියාවේ යෙදවීම නව ජනාධිපතිවරයාගේ ද ඔහුගේ නව ආණ්ඩුවේද පරම වගකීම වන්නේය. මෙම ජනාධිපතිවරණ ජයග්‍රහණ අපට පරාජයන් රැසක්ද උරුමකර දී ඇත. සිංහල, දෙමළ, මුස්ලිම් යනාදි සියලු ජාතීන් එකතු කරගත් ජනතා ජයග්‍රහණයක් ලබා ගැනීමට ගෝඨාට ද, සජිත්ට ද හැකි වී නැත.

දෙමළ, මුස්ලිම් සුළු ජාතීන් වෙසෙන උතුරු, නැගෙනහිර සහ කන්ද උඩරට වතු ප්‍රජාව සිය ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ උග්‍ර ජාතිවාදී මානසිකත්වයකින් බව පෙනේ. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට සුළු ජාතික ඡන්ද වැඩි ප්‍රතිශතයකින් ලැබෙන්නේ ද ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සුළු ජාතික ඡන්ද වැඩි වශයෙන් නොලැබෙන්නේ ද මෙම ජාතිවාදී හැඟීම නිසාය.

මෙරට සාමාන්‍ය ජනතාව, මධ්‍යම පාන්තික ජනතාව මෙන්ම උගත්, ප්‍රබුද්ධ ජනතාව ගෝඨාභට සහ ඔහුගේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කර වූයේ අනන්ත වූ බලාපොරොත්තු, සිතැඟියාවන් ඉටුකර ගැනීමේ අභිලාෂයෙනි. රටක් වශයෙන් ලෝකයේ ඉහළ තත්ත්වයන් කරා ගමන් කිරීමේ අරමුණෙනි. ජාතියක් වශයෙන් ලොව ශ්‍රේෂ්ඨත්වයට පත් වීමේ පරමාර්ථයෙනි. ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය ඔස්සේ ජාතික සංවර්ධනයේ ද ඉහළ දර්ශක වෙත ගමන් කිරීමේ අරමුණෙනි. සිංහල ජාතිය, බෞද්ධ ආගම ආදී වශයෙන් ලොව නොනැසී ජීවත්වීමේ අභිමතාර්ථයෙනි. ලොව නොනැසී ජීවත්වීමේ අභිමතාර්ථයෙනි. එබැවින් දුගී පැල්පතේ අපාදුක් විඳිමින් ජීවිතය සමග පොර බදන දිළින්දාගේ සිට සුවිසල් මැඳුරක සුර සැප විඳින ධනවතා දැක්වා වූ සමත් ප්‍රජාව තුළ පවතින සෑම ලොකු කුඩා බලාපොරොත්තුවක්ම කුඩුපට්ටම් කර දමා විනාශ කිරීමට ඉඩ නොදී එකී සෑම බලාපොරොත්තුවක්ම විකසිත කරවීමට සුදුසු පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීම නව ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ වගකීමකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට 1948 නිදහසින් පසු මෙරට බලයට පත් සෑම නායකයෙකුගේ ම ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. අවම වශයෙන් 1977 පසු බලයට පත් නායකයන් සහ ඔවුන්ගේ ආණ්ඩු සිදු කළ අමනකම් පිළිබඳව ගෝඨාභය අතීතයෙන් ඉගෙන ගත යුතුය.

විශේෂයෙන් ජයග්‍රහණයට වඩා ලැබූ ජය කළමනාකරණය කරගනිමින් එය රටෙහි සහ ජාතියෙහි උන්නතිය සඳහා යෙදවීම ඉතා අපහසු කාර්යයකි. මහින්ද රාජපක්‍ෂ මහතාට සිය දෙවැනි ධුරකාලය තුළ තමා ලැබූ ජයග්‍රහණය තමා පිළිබඳ විශ්වාසය තැබූ ප්‍රජාවේ උන්නතිය සඳහා යෙදවීමට නොහැකි විය. යුද්ධය නිමාකර සිය රටවැසියාට ජීවිත්වීමේ අයිතිය ලබාදුන් මේ අසහාය නායකයා රාජ්‍ය පාලනයේදී අසාර්ථක විය. විශේෂයෙන් පශ්චාත් යුද සමය තුළ මෙරට සමාජ, දේශපාලන හා සංස්කෘතිකමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් රටේ ගමන් මග නව දිශානතියක් කරා මෙහෙයවීමට තිබූ අවස්ථාව මහින්ද මහතා බරපතළ අයුරින් පැහැර හැරියේය. 2015 ජනාධිපතිවරණයෙන්ද මහින්ද මහතා පරාජය පත්වීම කෙරෙහි මේ තත්ත්වය යම් ආකාරයකින් ඉවහල් විය.

මහින්ද රාජපක්‍ෂ මහතා සිය දෙවැනි ධුරකාලයේ දී ඇතැම් මැති ඇමැතීන්ට, තමා පත් කළ ඇතැම් සංස්ථා මණ්ඩල සභාපතීන් ප්‍රධාන කොටගත් නිලධාරීන්ට බලය අවභාවිත කිරීමට ඉඩදී ඔහේ බලාගෙන සිටියේය. මෙම ඇතැම් මැති ඇමැතීන් සහ සංස්ථා මණ්ඩල ප්‍රධානීන් සහ ඇතැම් බත් බැලයන් රිසි සේ තම යටත් වැසියන් සහ පොදු ජනතාව පීඩාවට පත් කළේය. මෙම ප්‍රජා පීඩකයන්ගේ අත්තනෝමතික ක්‍රියාවන්ට මහින්ද රාජපක්‍ෂ මහතාට පමණක් නොව සමස්ත ජාතියටම අවසානයේ වන්දි ගෙවීමට සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ මහින්ද මහතාට බලය අහිමි වීම සහ රට වේගයෙන් පසුගාමී වීමයි. අස්ථාවර වීමයි. මහින්ද මහතා සමීපයේ සිටි මෙම ප්‍රජා පීඩක වෘෂභයන් සිදු කළ අවභාවිතයන් පිළිබඳ කොතෙකුත් සාධක පවතී. අවශ්‍ය නම් ඒවා වෙන් වෙන් වශයෙන් ලියා තැබීමට වුව ද පිළිවන.

එබැවින් දේශපාලනඥයන් අභියස වන්දිභට්ටකම් කරන්නා වූ ඇතැම් බඩගෝස්තරවාදීන්ට පොදු ජනතාවගේ මෙම ජයග්‍රහණය විනාශ කිරීමට ඉඩ දිය යුතු නැත. ගෝඨාභය මහතා එවැනි දුර්වලතා හඳුනාගෙන, බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි යන්න අපගේ හැඟීමයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ සියලු නායකයන් නව ජනාධිපති ගෝඨාභයට උචිත වන අයුරින් සිය පාලනය ගෙන යෑමට අවශ්‍ය පහසුකම් හා පසුබිම සකස් කර දිය යුතු ය. අප මාතෘ භූමියට අසීමිතව ආදරය කරන අවංක මිනිසුන් පමණක් සිය පාලන කටයුතු සඳහා එක්කාසු කර ගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතුය.

මහින්ද රාජපක්‍ෂ මහතා රෑ වැටුණ වළේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දවල් නොවැටෙනු ඇතැයි යන්න අපගේ හැඟීමයි. එබැවින් ගෝඨාභය මහතා ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සමීපයේ සිටි ප්‍රජා පීඩකයන් මෙම නව, නිර්මල, පවිත්‍ර පාලන තන්ත්‍රය වෙත දායක කර නොගැනීමයි.

මීට අමතරව රටේ ආර්ථික ප්‍රතිපත්තිය සංවර්ධන ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය, ආගමික සහ සංස්කෘතික ප්‍රතිපත්තිය, ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ජනහිතකාමී සහ විදග්ධ අයුරින් ක්‍රියාවට නැංවීමේ වගකීම ජනාධිපති ගෝඨාභයට පැවරී ඇත. මේ සියලු ප්‍රතිපත්ති දෑ හිතකාමී අයුරින් පවත්වාගෙන යා යුතුය. එසේම තම ඡන්ද පදනම සහ ඡන්ද ප්‍රතිඵලයේ විෂමතා පිළිබඳ සැලකිලිමත් නොවී රටේ සමස්ත ප්‍රජාවටම රැකවරණය සැලසීම සහ රටේ සියලු ජාතීන්ගේ හා ආගමිකයන්ගේ ආරක්ෂකයා වශයෙන් ක්‍රියා කිරීමේ ජනාධිපති ගෝඨාභයගේ උරමත පැට වූ වගකීමකි.

අප රටක් ලෙස, ලෝකය තුළ අතරමං වී ඇත. එබැවින් නව ජනාධිපතවරයාගේ සහ ඔහුගේ ආණ්ඩුවේ කාර්ය විය යුත්තේ රටට, ජාතියට, නිවැරදි මාර්ග දර්ශනය සැපයීමයි. එහිදී දේශාපලනඥයන්, නිලධාරීන්, ආගමික පූජකයන්, වෘත්තිකයන්, උගතුන්, ජනමාධ්‍ය මෙන්ම සමස්ත ප්‍රජාවම තම තමන්ගේ භූමිකා හඳුනාගෙන කටයුතු කළ යුතුය. එසේ නොමැතිව ජනතා ජයග්‍රහණය ආපස්සට හැරවීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැත. මෙවර මෙම ජනතා ජයග්‍රහණය විනාශ කිරීමට දායකවන ඕනෑම බලවේගයකට ප්‍රජාව අතීතයේ මෙන් නිහඬව නොසිට එරෙහි වනු ඇත.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  සමන් රාජපක්‍ෂ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය



63 Viewers