• Home »
  • Sinhala »
  • ගෝලීය ඉඩම් කොල්ලයේ නූතන ගොදුර ශ්‍රී ලංකාව ද?

ගෝලීය ඉඩම් කොල්ලයේ නූතන ගොදුර ශ්‍රී ලංකාව ද?

z

යටජිත යුගයේදී ආක්‍රමණිකයා විසින් ආයුධ බලය සහ ගිවිසුම් යොදාගනිමින් ස්වදේශීය හමුදා යටත් කිරීමෙන් පසුව සහ රාජ්‍ය බලය සහ රාජ්‍ය සතු වත්කම් අත්පත් කර ගැනීමෙන් පසුව මුහුණ දුන් ප්‍රධාන අභියෝගය වූයේ භූමිය අත්පත් කර ගැනීමය. ආක්‍රමණිකයා සහ යටත් විජිතයේ වැසියන් අතර සෘජු ගැටුම් ආරම්භ වන්නේ එම ක්‍රියාවලිය සහ ඊට අදාළ බදු පැනවීමේ ක්‍රියාවලිය තුළ ය. එහි දී පළමු වටයේ දි එක් පැත්තකින් ඉදිරිපෙළ විරෝධතාකරුවන් මරා දැමීම සහ යටත් කිරීම සිදුකෙරුණු අතර අනෙක් පැත්තෙන් පාවා දෙන්නන් සහ සහාය දෙන්නන් දිනා ගැනීම සිදු කෙරිණි. ඒ දෙවන කොට්ඨාශය දීර්ඝ කාලීනව පාර්ශවකරුවන් ලෙස තබා ගැනීම සඳහා රාජ්‍ය ආයතන පද්ධතියට ඇතුලත් කර ගැනීම, රාජ්‍ය වරප්‍රසාද ලබාදීම සහ කොල්ල කනු ලබන ඉඩම් වලින් කොටසක් පාලනය කිරීමේ වගකීම භාර දීම ආදී උපක්‍රම යොදා ගැනුණි.

කෙසේවෙතත් භූමිය කොල්ලකෑමේ දී දීර්ඝකාලීනව ගැටුම්වලින් තොරව වහල් ශ්‍රමිකයන් ලබාගැනීම සහතික කිරීම සඳහා සෘජු බලහත්කාරයට අමතරව වෙනත් ඉතා සූක්ෂම ක්‍රමවේද යොදා ගැනුණි. ඒවා අතර ජනයා සතු ඉඩම් ඉතා අඩු මිලට මිලදී ගැනීම සහ නව නීති මගින් ජනයාගේ ඉඩම් අයිතිය අහිමි කිරීම ආදිය ප්‍රධාන ක්‍රමවේද ලෙස හඳුනාගත හැක. ඊනියා නීත්‍යානුකූල  ක්‍රමවේදය පිළිබඳ හොඳම උදාහරණය ශ්‍රී ලංකාවේ මුඩුබිම් පනතත ලෙස සැළකිය හැක. නමුත් අප්‍රිකානු මහද්වීපයේ නොදියුණු ගෝත්‍රික ජනයාගේ ඉඩම් කොල්ලකෑමේ දී අධිරාජ්‍යවාදීන් විසින් ඉතා මිලේච්ඡ ක්‍රමවේද යොදා ගත් බවට සාක්ෂි ඇත. ලයිබීරියාවේ ඉඩම් කොල්ලකෑමේ දී ඇමෙරිකානු ආක්‍රමණිකයා විසින් ස්වදේශිකයන් අතර ගෝත්‍රික ගැටුම් නිර්මාණය කොට ඔවුන් තම ගම්බිම් අතහැර යන තත්ත්වයක් හෙවත් පලවාහැරීමේ තත්වයක් ඇතිකරන ලදී. ලයිබීරියාව සාමාන්‍ය  අර්ථයෙන් යුරෝපීය ජාතිකයන් විසින් යටත් කර ගන්නා ලද රාජ්‍යයක් නොවේ. අමෙරිකානුවන් විසින් එම භූමිය අත්පත් කරගෙන යටත්විජිත රාජ්‍යයක් නිර්මාණය කරන්නේ ප්‍රධාන වශයෙන් ඇමරිකාවේ ජීවත් වූ නිදහස ලබාදුන් කළු ජාතික වහල් ජනතාව පදිංචි කිරීම සඳහාය.

ඒ ආකාරයට 1820 දී කළු ජාතික ඇමරිකානුවන් 20,000ක් පදිංචි කළ බව කියැවෙන අතර ඇමරිකානු මහා සමාගම විසින් කොල්ලකන ලද ඉඩම්වල කෘෂිකාර්මික කම්කරුවන් ලෙස එම පිරිස් යොදා ගැනුණි. අද වන විට ලයිබීරියාවේ ඵලදායි ලෙස කෘෂි කර්මාන්තයට යොදා ගතහැකි භූමිය 100% අයිති කොට ගෙන ඇත්තේ විදේශිකයන් විසිනි. අවසාන වශයෙන් මෑතකාලීනව 2014දී ස්වදේශිකයින් 7000ක් ඉඩම් වලින් පලවාහැර හෙක්ටයාර් 169,000ක් බ්‍රිතාන්‍ය ෆාම් ඔයිල්සමාගමක් වන ‘’ඉක්වටෝරියල් ෆාම් ඔයිල්’’ නම් සමාගම විසින් අත්පත් කරගෙන ඇත. ලෝකයේ සාමාන්‍ය ජනයා නොදන්නා අප්‍රිකානු මහද්වීපයේ ඉඩම් කොල්ලය පිළිබඳ කඳුළු කතාවට අවසානයක් නැත. එම ක්‍රියාවලිය අද දිනයේද සිදුවන අතර අද වනවිට අප්‍රිකානු මහද්වීපයේ ඵලදායි භූමියෙන් 44%ක් විදේශීය ආයෝජකයින් විසින් අත්පත් කොටගෙන ඇත. මෑත කාලීනව 2009දී ඇමරිකානු සමාගමක් වන ‘’නයිල් ට්‍රේඩිං’’ සමාගම සුඩානයේ ඉඩම් අක්කර ලක්ෂ 15ක් අත්පත් කර ගන්නේ ඇමෙරිකානු ඩොලර් 25,000ක් වැනි සොච්චම් මුදලකට ය.

ලෝක ආහාර සංවිධානයේ දත්ත අනුව 2000 වසරේ සිට 2010 දක්වා ලෝකය පුරා මහා පරිමාණ ඉඩම් අත්පත් කර  ගැනීම් 1217 සිදුවී ඇති අතර ඒ මඟින් ඉඩම් අක්කර මිලියන 205ක් ස්වදේශිකයන්ගෙන් විදේශිකයන් අතට පත් වී ඇත. එම ගනුදෙනුවලින් 62% ක් සිදුවී වී ඇත්තේ අප්‍රිකානු මහද්වීපයේය. ඒ ආකාරයට ඉඩම් කොල්ලයට ගොදුරුවන ස්වදේශීය ජනතාවට අහිමි වන්නේ ඉඩම් පමණක් නොවේ. ඉඩම් අයිතිය අහිමි වීම සමගම ඔවුන්ගේ නිවාස අයිතිය, ජල අයිතිය සහ ආහාර අයිතියද අභියෝගට ලක්වේ. ඊට අමතරව මූලික සනීපාරක්ෂක පහසුකම් පවා අහිමි වන අතර අවසානයේදී දී ජීවත්වීමේ අයිතිය ද අහිමි වේ. ලෝක ආහාර සංවිධානයට අනුව ලෝකයේ බඩගින්න හා දුප්පත්කම ඉඩම් අයිතිය සමඟ දැඩි ලෙස බැඳී ඇත. නමුත් ලෝකයේ මානව හිමිකම් පිළිබඳ කෑමොර දෙන සංවිධාන ඉඩම් අයිතිය අහිමි කිරීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර නීති පද්ධතිය තුළ කිසිදු මූලික ප්‍රතිපාදනයක් ඇතුළු කොට නැත.  ඇබ්ඔරිජින් වරුන් වැනි වඳවීමට ලක්වී ඇති ස්වදේශික ජන කොටස්වල ඉඩම් අයිතිය ආරක්ෂා කිරීම පිළිබඳ ‍ප්‍රතිපාදන ජාත්‍යන්තර නීති පද්ධතියට ඇතුළත් කොට ඇතත් පොදුවේ දුප්පත් ජනයාගේ ඉඩම් අයිතිය පිළිබඳ ජාත්‍යන්තර නීති පද්ධතිය නිහඬතාවය  අනුගමනය කරන්නේ ගෝලීය ඉඩම් කොල්ලය පවත්වාගෙන යාම සඳහා නොවේද?

ඒ ආකාරයට ලොව පුරා මහා පරිමාණයෙන් දියත් වී ඇති ඉඩම් කොල්ලය පිළිබඳව දීර්ඝ පූර්විකාවක් අවශ්‍ය වන්නේ අද වන විට ශ්‍රී ලංකාව නම් වූ කුඩා දිවයින මුහුණ දී සිටින ඉරණම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීම සඳහාය. කෙසේ වෙතත් අද වන විට ශ්‍රී ලංකාව තුළ දියත් වීමට නියමිත ඉඩම් කොල්ලය ලෝකය පුරා දියත් වූ ක්‍රියාවලියේ සාමාන්‍ය දිගුවක්  පමණක් නොවේ. යටත් විජිත සමයේ දී ආක්‍රමණිකයා විසින් යොදාගත් මූලික ක්‍රමවේදය වන ආයුධ බලය වෙනුවට ගිවිසුම් සහ  මූල්‍ය උපාංග යොදා ගනිමින් නව ක්‍රියාවලියක් ආරම්භ කොට ඇත. එහිදී ඉඩම් නීති පද්ධතිය සහ පරිපාලනය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට ඉඩම් වෙළඳපොළක් නිර්මාණය කෙරෙන අතර එම ක්‍රියාවලියට රාජ්‍ය තල්ලු කිරීම සඳහා ආධාර නාමයෙන් මූල්‍ය උපාංග යොදා ගැනේ. ඊට අමතරව විදේශිකයන් විසින් නීත්‍යානුකූලව ඉඩම් කොල්ලය සිදු කිරීම සහ ඒ ආශ්‍රිත ආයෝජන ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා  විදේශ විනිමය නීති, කම්කරු නීති සහ ආගමන- විගමන නීති වෙනස් කිරීම සඳහා බලපෑම් කිරීමටද එම මූල්‍ය උපාංග යොදා ගැනේ.

ගෝලීය මහා සමාගම් ජාලය විසින් එම ක්‍රියාවලිය සඳහා මෑතකාලීනව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නම් වූ ඇමෙරිකානු රාජ්‍ය සමාගම වාහකයා ලෙස යොදාගෙන ඇත.  මීට වසර පහළොවකට පෙර 2004දී ආරම්භ වන එම ක්‍රියාවලියට පෙර ඒ සඳහා යොදා ගැනුණේ ඇමරිකානු ජාත්‍යන්තර ආධාර සංවිධානය හෙවත් ‘’යුඑස්ඒඩ්’’ නම්  වූ ඇමරිකානු මධ්‍යම රජයේ ඔත්තු සේවයේ පෙරටු සංවිධානයක් ලෙස සැලකෙන ආයතනයයි. ඇමෙරිකානු සෙනට් සභාවට ඉදිරිපත් වූ පර්යේෂණ පත්‍රිකා වලට අනුව මිලේනියම් චාලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී  ආයතන ඉතා කාර්යක්ෂම සහ ප්‍රතිඵලදායක ලෙස මූල්‍ය උපාංග යොදා ගනියි. එම  ආයතනයේ සභාපති තනතුර නිල වශයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් වරයාට හිමිවීම තුළින් පැහැදිලි වන්නේ එම ආයතනය විසින් ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රබල භූමිකාවක් ඉටුකරන බව නොවේද?එම  ආයතන සමඟ පළමුවෙන්ම ගිවිසුමකට එළඹෙන මැඩගස්කරයේ දී ”ඩේව්” නම් වූ දකුණු කොරියානු මූලයක් සහිත සමාගම විසින් ඉඩම් අක්කර ලක්ෂ 13 ක් අත්පත් කර ගන්නේ වසර තුනක් තුළදීය.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව එම්.සී.සී ආයතනය සමඟ  ආරම්භ කෙරෙන සාකච්ඡා ක්‍රියාවලිය කූටප්‍රාප්තියට පත් වන්නේ 2018 දීය. ශ්‍රී ලංකාව සමඟ අත්සන් කිරීමට නියමිත ගිවිසුමට අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්නේ 2018 අගෝස්තු මාසයේදීය. එම ගිවිසුම කොටස් දෙකකින් සමන්විත වන අතර ‘’කොම්පැක්ට්’’ නමින් හැඳින්වෙන වැඩසටහනට මේ වන තුරු අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නැත. එහෙත් එම වැඩ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා වැඩසටහන් ‍ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් 2019 ජූලි මාසයේ දී අත්සන් තබා ඇත. ඒ අනුව සමස්ත වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිපාලන ක්‍රියාකාරකම් හා යම් මූලික ආයෝජන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් වෙන්කොට ඇත. එම වැඩසටහනට ඉඩම් හා ප්‍රවාහන වශයෙන් ව්‍යාපෘති දෙකක් අයත් වන අතර ඉඩම් ව්‍යාපෘතියට ඉඩම් ප්‍රතිසංස්කරණ සඳහා නව නීතිමය රාමුවක් සහ ඉලෙක්ට්‍රොනික් ඉඩම් පරිපාලන පද්ධතියක් ඇතුළු නව ඉඩම් පරිපාලන යාන්ත්‍රනයක් හඳුන්වාදීම අයත්වේ. ඉහත සඳහන් කළ මුදල් ආධාරය යොදාගනු ලබන්නේ එම ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පෙළඹවීමේ මූල්‍ය උපාංගයක් ලෙස බව පැහැදිලිව හඳුනාගත හැක.

ඉඩම් ප්‍රතිසංස්කරණ යටතේ ඉඩම් බැංකු පනත  සහ ඉඩම් විශේෂ විධිවිධාන පනත යනුවෙන් නව ඉඩම් නීති දෙකක් හඳුන්වා දීමට සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට යෝජනා වී ඇත. ඊට අමතරව එම ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට 2016දී සංශෝධනය කළ ඉඩම් අයිතිය සීමා කිරීමේ පනත සහ 1998 දී හඳුන්වා දුන් ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතද යොදාගැනේ.  ඒ අනුව යෝජිත සමස්ත ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සදහා මූලික වශයෙන් ඉඩම් පනත් 5ක් යොදා ගැනේ.ඒ සමස්ත  ක්‍රියාවලියේ ප්‍රධාන හා මූලික අරමුණ ඉඩම් වෙළඳපොළක් නිර්මාණය කිරීම සහ එය කාර්යක්ෂම කිරීම. මගින් ඉඩම් කොල්ලයට පහසුකම් සැළසීමය. යෝජිත එම්.සී.සී ආයෝජන සැලසුමට ඇතුළත් කොට ඇති ආයෝජන කලාප 4ක් අතුරින් ප්‍රධාන කලාපය හෙවත් ‘’ආයෝජන පටිය’’ වන ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා සලකුණු කොට ඇති ප්‍රදේශයේ ඉඩම් අක්කර ලක්ෂ 12 මහා සමාගම් විසින් ආයෝජන සඳහා අත්පත් කර කරගැනීමට නියමිතය. ශ්‍රී ලංකාවේ එම්.සී.සී. ගිවිසුම ඊට පෙර අත්සන් කළ සහ අත්සන් කිරීමකින් තොරව ක්‍රියාත්මක වන බවට සැලකෙන  ආරක්ෂක ගිවිසුම් දෙකක් සමග බැඳී ඇත. ‘’ඇක්සා’’ හෙවත් ඒ.සී.එස්.ඒ සහ සෝෆා හෙවත් එස්.ඕ.එස්.ඒ ගිවිසුම් මඟින් ශ්‍රී ලංකාව ඉන්දු පැසිෆික් සාගර කලාපයේ ඇමරිකානු හමුදාවේ ප්‍රධාන මෙහෙයුම් සහ සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් වේ.

ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ මගින් මහා සමාගම් විසින් ඉඩම් අත්පත් කරගැනීමට අවශ්‍ය වන්නේ ඇමරිකානු හමුදාවලට අවශ්‍ය සැපයුම් සහ සේවා සැපයීම මුල්කරගත් ආයෝජන සඳහා බව ඉතා හොඳින් පැහැදිලි වේ. එම ආරක්ෂක ගිවිසුම් දෙක අනුව ඇමරිකාවේ ලක්ෂ 30කට ආසන්න නිල ඇඳුම් සහිතව සහ සිවිල් ඇඳුමින් ක්‍රියා කරන හමුදා නිලධාරීන්ට සහ ඇමරිකානු ආරක්ෂක හමුදාවලට සේවා සපයන කොන්ත්‍රාත්කරුවන්ට මෙන්ම එම ආයතනවල සේවකයින්ට ඇමෙරිකානු හැඳුනුම්පත පමණක් පෙන්වා ඕනෑම තොටුපොළකින් රට තුළට ඇතුළු විය හැක. ඔවුන්ට වීසා අවශ්‍ය නොවන අතර රටපුරා  ගුවනින්, මුහුදින් හා මහා මාර්ග මගින් ආයුධ සන්නද්ධව හෝ නැතිව නිල ඇඳුමින් හෝ සිවිල් ඇඳුමින් සැරි සැරීමට සහ කඳවුරු බැඳීමට අවසර ලැබෙයි. ඔවුන්ගේ වාහන හෝ රටට ඇතුල්වීමේදී හෝ පිටවීමේදී  ඔවුන් සතු ගමන් මලු පරීක්ෂා කිරීමට හෝ බදු පැනවීමට ශ්‍රී ලංකාවේ රජයට බලයක් නැති අතර අපරාධ වැරදි සඳහා ශ්‍රී ලංකාවේ නීතියට අනුව නඩු විභාග කිරීමේ බලයක් ද නැත. තවද, බලපත්‍ර අවශ්‍ය වන ඕනෑම ක්‍රියාවක් හෝ ‍ වෘතියක් සදහා ශ්‍රී ලංකාවේ දී බලපාන බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන අතර අධිවේගී මාර්ග සඳහා වන ගාස්තු වලින් පවා ඔවුන් නිදහස් කෙරේ.ඒ ආකාරයට ඇමරිකානු හමුදා නිලධාරීන්ට ඇමරිකාවේ හෝ නොලැබෙන නිදහසක් ශ්‍රී ලංකාවේ දී ලැබෙන තත්ත්වයක් තුළ එම නිලධාරීන්ට විනෝදය සපයන ප්‍රධාන  මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව බවට පත් වනු ඇත. ඒ අනුව එම ආයෝජන සඳහා කෙතරම් ඉඩම් අවශ්‍ය වනවා ද යන්න තේරුම් ගැනීම අපහසු නැත.

එදා යටත් විජිත සමයේ දී ඉඩම් නීති 5ක් මගින් සිදුකළ ඉඩම් කොල්ලය අද නව ඉඩම් නීති 5ක් යොදා ගනිමින් සිදු කිරීමට හැකිවීම ඉතිහාසයේ සරදමක් ද එසේ නැතහොත් ඛේදවාචකයක්ද යන්න ඉතිහාසය විසින්ම තීන්දු කරනු ඇත. එහෙත් සිදුවෙමින් පවතින දේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීම සඳහා එම ක්‍රියාවලින් දෙකම අධ්‍යයනය කිරීම වැදගත් වේ. එදා 1815 උඩරට ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් විසින් බ්‍රිතාන්‍ය රජයට පවරා දෙනු ලැබුවේ  ඩොමීනියන් තත්වය හෙවත් භාරකරුගේ භූමිකාව පමණි. ඒ අනුව බ්‍රිතාන්‍යයන්ට ස්වයිරිත්වය හෙවත් පරමාධිපත්‍යයේ බලය ලැබුනේ නැත. නමුත් ඔවුන් 1818දී ගිවිසුම උල්ලංඝනය කරමින් ඒකපාර්ශවීයව ස්වෛරී බලය ලබා ගත් අතර ඊට අනුව බ්‍රිතාන්‍ය කිරුළට පරමාධිපත්‍ය  බලය සහ නීති හැදීමේ බලය හිමිවිය. ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තුළ බ්‍රිතාන්‍යයන් පරිපාලන වශයෙන් රජුට අයත් ඉඩම් හෙවත් ‘’ගබඩා ගම්’’ වශයෙන් හැඳින්වූ ඉඩම් අත්පත් කරගනු ලැබීය. ඉන්පසුව  1832 දී කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ යටතේ රාජකාරී ක්‍රමය අහෝසි කිරීම මගින් රටේ ජනතාව විසින් ඉඩම් සහ ජල සම්පත් පරිහරණය කිරීමේ ක්‍රම වේදය සහ සම්මතයන් අනතුරට ලක් කරනු ලැබීය. එම ක්‍රියාවලිය එක්තරා ආකාරයකට ඉඩම් පරිභෝජනය කිරීමේ අයිතිය අහිමි  කිරීම මඟින් ඉඩම් අයිතිය අහිමි කිරීමේ ක්‍රියාවලියක් ලෙස හැදින්විය හැක.

ඉන්පසු  1840 දී ‘’ක්‍රවුන්ඩ් ලෑන්ඩ් ඕර්ඩිනන්ස්’’ හෙවත් කිරුළට  අයත් ඉඩම් සංග්‍රහය නම් වූ නීතිය මගින් රජු විසින් පාලනය කළ ගබඩාගම් සහ ඒ ආශ්‍රිත ඉඩම් සියල්ල විධිමත්ව බ්‍රිතාන්‍ය රජයේ පාලනයට යටත් කරනු ලැබීය. ඒ අනුව යටත් විජිත පාලකයින් ගේ කැමැත්ත අනුව එම ඉඩම් වල අයිතිය අන්සතු කිරීමට නීතිමය ඉඩකඩ ලැබුනි. දෙවනුව බ්‍රිතාන්‍යයන්ගේ ඉඩම් කොල්ලයට ප්‍රධාන බාධකයක් වූයේ රජු විසින් මහා සංඝරත්නයට පූජා කොට ඇති විහාර දේවාලගම් වශයෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් පැවතීමය. ඒ අනුව එම ඉඩම් මහා සංඝරත්නයට අහිමි කිරීම සඳහා විහාර දේවාලගම් ලියාපදිංචි කිරීමේ පනත නමින් ඉඩම් කොල්ලය සඳහා වන දෙවන නීතිය 1856 දී හඳුන්වා දෙනු ලැබීය. ඊට අනුව සඟසතු දේපල තහවුරු කිරීම සහ ඒවා මැනීම් සඳහා වන වියදම් දැරීම අදාල  විහාරස්ථානවලට පැවරිණි. එම වගකීම නීතියට අනුව ඉටු කිරීමට අසමත් වන අවස්ථාවල අදාළ ඉඩම් බ්‍රිතාන්‍ය රජයට අයත් විය. එම ඉඩම් ද අන්සතු කිරීමේ බලය ඒ අනුව බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඊනියා නීත්‍යානුකූල  ක්‍රමවේදයකට අත්පත් කර ගනු ලැබීය. තුන්වනුව රජු විසින් නින්දගම් ලෙස සහ සන්නස් මගින් ප්‍රභූන්ට සහ ජනයාට පවරා තිබූ ඉඩම් බ්‍රිතාන්‍ය රජය සතු කරගැනීම සඳහා 1866 දී ඔප්පු ලියාපදිංචිය අනිවාර්ය කිරීමේ පනත නමින් නව නීතියක් හඳුන්වා දෙනු ලැබීය. එමගින් පෘතුගීසි සහ ලන්දේසි යුගයේදී පවරා තිබූ ඉඩම්ද ඇතුළත්ව නිසි අයිතිය ඔප්පු කිරීමට ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි වූවන්ගේ ඉඩම් බ්‍රිතාන්‍ය රජය යටතට පත්කර කර ගනු ලැබීය.

අවසාන වශයෙන් මහජනයා විසින් හේන් වගාව සහ වෙනත් ආකාරයට අවිධිමත් ලෙස භාවිතා කළ ඉඩම් සියල්ල බ්‍රිතාන්‍ය රජය සතු කරගැනීම සඳහා 1877 මුඩුබිම් පනත නමින් ගෝලීය ඉඩම් කොල්ලයේ දුෂ්ටතම නීත්‍යානුකූල ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබීය. එසේ බ්‍රිතාන්‍ය රජය තමා සතු කරගත් ඉඩම් ‘’සිලිමට – දෙකට “ සුද්දන්ට සහ කළු සුද්දන්ට ලබාදීම මගින් රජයේ අනුග්‍රහය යටතේ නීතියට අනුව රටක ඉඩම් කොල්ලකෑම පිළිබඳව කුප්‍රකට ආදර්ශයක් ලෝකයාට සපයා ඇත. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ ආකාරයට පස්වැනි නීතියක් මගින් 1931දී ‘’ඉඩම් පදිංචි කරවීමේ සංග්‍රහය’’ නම් වූ නීතිය මගින් රජයේ ආර්ථික අරමුණු වෙනුවෙන් මහජනයා විසින් ඉඩම් පරිහරණය කිරීම සහතික කිරීමට ද බ්‍රිතාන්‍යයන් ක්‍රියා කළේය. එම ක්‍රියාවලිය එක්තරා ආකාරයක ඉඩම් පරිහරණය ට අදාල සාධනීය පියවරක් ලෙස සැලකිණි. ඒමගින් ඉඩම් පරිහරණය කරන්නාට ඉඩමේ හිමිකම් ලබාදුන්නද පරම අයිතිය රජය සතු වීම නිසා රටේ පොදු ආර්ථික උවමනාව වෙනුවෙන් අදාල ඉඩම් යෙදවෙන බව සහතික වූ අතරගොවියාගේ ඉඩම් පරිහරණ  අයිතිය සහ සුබසාධනය ආවරණය කෙරිනි. නමුත් එම්.සී.සී ගිවිසුම හරහා හඳුන්වාදෙන ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හෙවත් නූතන ඉඩම් කොල්ලයට පහසුකම් සැලසීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ඉඩම් විශේෂ විධිවිධාන පනත මගින් එම ප්‍රතිපත්තිය සහ මූලධර්මය අහෝසි කෙරේ.

ඒ  අනුව  මෙම නව නීතිය මඟින් රටේ සමස්ත ඉඩම් වලින් 20% ක් තරම් විශාල වන ‍ප්‍රධානයන් සහ බලපත්‍ර මගින් රජය විසින් මහජනයාට ලබා දී ඇති ඉඩම්වලට සින්නක්කර අයිතිය ලබාදීමට සැලසුම් කෙරේ. ඒ මගින් විශාල ඉඩම් වෙළඳපොළක් නිර්මාණය වේ. ඩොලර්වලින් රුපියල් වලට පරිවර්තනය වන මුදල් තොග යොදා ගනිමින් එම ඉඩම් වලට නොවටිනා මිලක් ඉදිරිපත් කිරීම හරහා එම වෙළඳපල කාර්යක්ශම කෙරෙනු ඇත. එ් අනුව අයිතිය ලබා දෙන්නේ අයිතිය නැති කිරීම සඳහා හෙවත් නූතන ඉඩම් කොල්ලයේ දියුණු උපාංගයක් ලෙස බව පැහැදිලි වේ .රටේ සමස්ත ඉඩම්වලින් 13%ක් වන කෘෂිකාර්මික සහ වැවිලි කටයුතු සඳහා යොදා ගන්නා පුද්ගලික ඉඩම් වලට විකිණීමේ නිරවුල් අයිතිය තහවුරු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ 1998 දී සම්මත කළ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සහ බිම්සවිය ව්‍යාපෘතිය මගිනි.

නූතන ඉඩම් කොල්ලයට අදාල බරපතල අභියෝගය වන්නේ රජය සතු ඉඩම් විශේෂයෙන්ම විදේශිකයන්ගෙන් නැවත පවරා ගත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ පවතින ඉඩම් පුද්ගලික අයිතියට පත් කිරීම හෙවත් ඉඩම් වෙළෙද පොළට නිකුත් කිරීමය. එම්.සී.සී  ගිවිසුම යටතේ ඒ සඳහා යොදා ගන්නා නව නීතිය ‘’ඉඩම් බැංකු පනතයි.” එම  ඉඩම් පනත මගින් රජයට අයත් රටේ සමස්ත භූමියෙන් 64%ක් වන ඉඩම්වලින් වනාන්තර සහ වන උද්‍යාන හැර සෙසු ඉඩම්වලින් භාවිතයට යොදා නොගන්නා සහ ඌණ භාවිතය යන ලේබලය ඇලවිය හැකි සියලු ඉඩම්, ‘’ඉඩම් බැංකුව’’ නම් වූ ඉඩම් වෙළෙඳපොළ උපාංගය යටතට පත් කළ හැක. ඊට පහසුකම් සැලසීම සඳහා හතරවන පනත හෙවත් ඉඩම් ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කිරීමට එම්.සී.සී ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ යෝජනා වී ඇත. එම ක්‍රියාවලියට අයත් පස්වැනි පනත ‘’ඉඩම් අයිතිය සීමා කිරීමේ’’ පනතයි. එම පනත සංශෝධනය කිරීම මගින් බදු සහ බදු නොවන සීමා සහ බාධක සියල්ල ඉවත් කෙරේ.

ඉඩම් වෙළඳපොළක් නිර්මාණය කිරීම මගින් සිදුකෙරෙන ඉඩම් කොල්ලයට පහසුකම් සැලසීම සඳහා ඉඩම් මිලදී ගන්නා හෝ බදු ගන්නා ආයෝජකයින්ට රට තුළට පහසුවෙන් පැමිණිය හැකි විය යුතු අතර විදේශ අරමුදල් පහසුවෙන් රට තුළට ගෙන ඒමට සහ පිටතට රැගෙන යාමට හැකියාව තිබිය යුතුය. විශේෂයෙන්ම කළු සල්ලි පරිහරණයට ඉඩ තිබිය යුතුය. ඊට අදාළව දැනටමත් නව විදේශ විනිමය පනත හඳුන්වා දී ඇති අතර ආගමන විගමන පනත ට අදාළ සංශෝධන කෙටුම්පත් කොට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇත. ඉඩම් කොල්ලයේ කූඨප්‍රාප්තිය වන්නේ කොල්ලකනු ලබන ඉඩම් වල වහල් සේවයට අඩු මිලට ශ්‍රමය ලබා ගැනීමය.  ඒ සඳහා එම්.සී.සී ගිවිසුම යටතේ ඊනියා නව ආයෝජන කම්කරු නීති රාමුවක් ද යෝජනා වී ඇත. ශ්‍රී ලංකාවේ විස්තීරණ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය නමින් 2019 අගෝස්තු මාසයේදී නිකුත් කළ A4 පිටු 80 කින් සමන්විත ලේඛනයේ වැඩිම කොටස වෙන් කොට ඇත්තේ මෙම ඊනියා ඉඩම් ප්‍රතිසංස්කරණ සාධාරණීකරණය කිරීමටය. ඒ අනුව දැන් නූතන ඉඩම් කොල්ලය නාට්‍යයේ පිටපත ලියා අවසන් බව පැහැදිලිය. දැන් අප බලා සිටින්නේ නාට්‍ය රගදැක්වීම සදහා අප්‍රිකානු වේදිකාව ශ්‍රී ලංකාවේ නිර්මාණය කෙරෙන තෙක්ද?

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

95 Viewers