• Home »
  • Sinhala »
  • ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයෝ මහින්ද රාජපක්‍ෂ හමුවෙති

ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයෝ මහින්ද රාජපක්‍ෂ හමුවෙති

(Courtesy of Divaina)
goliya
ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයන් විරුද්ධ පක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිවසේදී හමුවිය. එහිදී ජාත්‍යන්තරව සහ රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ජිනීවා හි මානව හිමිකම් කොමිසමට අදාළ කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විණි. එහිදී ගෝශ‍්‍රීලාසංය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරයන් පෙරටු කරගෙන, කරගෙන ගිය කටයුතු පිළිබඳව දීර්ඝව කරුණු විග‍්‍රහ කෙරුණි.

ප‍්‍රධාන වශයෙන් ගෝශ‍්‍රීලසංය විපක්‍ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේ පසුගිය අසාර්ථක යහපාලන රජයේ ඇමැතිවරයකු විසින් රාජ්‍ය නායකයාගේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව සම අනුග‍්‍රහය දී පිළිගන්නා ලද යුද අපරාධ චෝදනාවන් බාරගැනීමේ ක‍්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ප‍්‍රශ්න කරන ලෙසත්, ව්‍යවස්ථාවේ 129 වන වගන්තිය ප‍්‍රකාරව ජනාධිපතිතුමාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කරන ලෙසත්, ඒ අනුව සම අනුග‍්‍රහයෙන් ඉවත් වන ලෙසත්, ප‍්‍රතියෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු නොකරන ලෙසත් සහ විරුවන්ගේ නිර්දෝශීභාවය පිළිබඳව මානව හිමිකම් සමුළුවේදී නිවැරදි කර පෙන්වන ලෙසත් වේ.

මෙහිදී නීතිඥ දර්ශන් වීරසේකර ප‍්‍රමුඛ විද්වත් මණ්ඩලයක් විසින් සම්පාදනය කරන ලද විරුවන්ගේ විත්තිවාචිකයේ පිටපතක් ද එතුමාට පිළිගන්වන ලදී. මෙහි වැදගත්කම වන්නේ යහපාලන රජය විසින් සම අනුග‍්‍රහය දක්වා පිළිගන්නා ලද මානව හිමිකම් සමුළුවේ 30/1 යුද අපරාධ චෝදනා හතම නිශේධනය කර තිබීමත්, ලබන මාර්තු මාසයේදී 30/1 න් යෝජිත දඬුවම් ක‍්‍රියාත්මක කිරීම නිම කිරීමට ලංකාව බැඳී සිටීමත් යන කරුණු වේ.

තවදුරටත් ගෝ ශ‍්‍රීලාසංයේ විධායක කමිටුවේ සාමාජිකයන් කරුණු දක්වමින් කියා සිටියේ ලබන මාර්තු මාසයේදී කොටි ඩයස්පෝරාව බලාපොරොත්තු වන්නේ එක් එක් පුද්ගලයන්ට විරුද්ධව මානව හිමිකම් කොමිසමට යෝජනා ඉදිරිපත් කිරීම බවත් ඒ අනුව මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, සරත් ෆොන්සේකා, ඇතුළු සමස්ත විධාන මණ්ඩලයට විරුද්ධව යෝජනා ගෙන ඒමට යෝජිත බවත් වේ. මෙම යෝජනා සම්මත කරගෙන ඇත්තේ පසුගිය දින එංගලන්තයේ පාර්ලිමේන්තුවේ අංක 10 ශාලාවේ දී රැස්වුන රටින් පිටත පිහිටුවා ඇති ඊළාම් රජයේ රැස්වීමේදී බවත්, එම යෝජනා එංගලන්ත පාර්ලිමේන්තුව මගින් ගෙන ඒමට යෝජනා කිරීමට කටයුතු කිරීමට එකඟ වුණ බවත් සැල කරන ලදී. එහිදී විපක්‍ෂ නායකතුමා පවසා සිටියේ දැනට කොටි ඩයස්පෝරාවේ අනුග‍්‍රහය ලබන ලාංකික සම්භවය ඇති හතරදෙනෙක් එංගලන්ත පාර්ලිමේන්තුවේ සිටින බව වාර්තා වී ඇති බවයි. මෙම සාකච්ඡාව සඳහා ගෝශ‍්‍රීලසංයේ විධායක කමිටුව නියෝජනය කරමින් නුවන් බැල්ලන්තුඩාව (නේවාසික නියෝජිත ශ‍්‍රී ලංකාව) එරික් මාකාවිටගේ (සභාපති, ස්විට්සර්ලන්තය), සුමින්ද රණතුංග (ලේකම්, අයර්ලන්තය) යසස් ධර්මදාස (ලේකම් සහ එක්සත් අරාබි එමීර් ශාඛාවේ නියෝජිත) ජයරාජ් පලිහවඩන (ලේකම් එක්සත් රාජධානිය) ආචාර්ය දසරත් ජයසූරිය (නියෝජිත ඔස්ටේ‍්‍රලියාව) යන මහත්වරු සහභාගි වූහ

කීර්ති වර්ණකුලසූරිය


147 Viewers