• Home »
  • Sinhala »
  • ජනපතිඳුන්ගේ උවමනාව සැබෑවක් වීමටනම්…

ජනපතිඳුන්ගේ උවමනාව සැබෑවක් වීමටනම්…

Sri-Lanka-President-Maithripala-Sirisena-reu-L

අතිගරු ජනාධිපතිතුමා නිව්‍ යෝර්ක් හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි සැසිවාරයට සහභාගීවෙමින් පැවැත්වූ දේශණයේ අපර භාගය අපට සජීවීව ශ්‍රවණය කිරීමට හැකිවිය. ඒ වන විට අප ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසි වාරයට සහභාගී වීම සඳහා ජිනීවා නුවරට ගොස් සිටියෙමු. එතුමාගේ කතාවට සවන් දීමේදී පසුගිය වසර තුන තුල අප ජිනීවාහී සිදුකල අරගලය මල්පල ගැනෙමින් තිබෙනවාද යන සතුට අප තුල ජනිත විය. එතුමා නිව් යෝර්ක් යෑමට පෙර අමාත්‍ය මණ්ඩලය අමතා රණවිරුවන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳව සඳහන්කර ඊට පිළියම් යෙදිය යුතු බවට පවසා තිබූ බැවින් අප තුල යම් විශ්වාසයක් ඒ වනවිටත් එතුමා කෙරෙහි ඇතිවී තිබුනි.

“අපේ ප්‍රශ්න අපට විසඳාගැනීමට ඉඩ දෙන්න” යන එතුමාගේ මූලික ඉල්ලීම මගින් ගම්‍ය වන්නේ ඉදිරි මානව හිමිකම් සැසිවාරය හෙවත් 40 වැනි සැසි වාරයේදී දැනට පවතින රජයේ ස්ථාවරය වෙනස් විය හැකි බවය. ඒ වෙනස කුමක් විය හැකි දැයි සිතා බැලීමේදී අපට ඉතිහාසයට ගොස් විදේශගත ශ්‍රී ලාංකිකයින් ලෙස අප ඉටුකල භූමිකාව සහ රටේ ජනාධිපති ලෙස එතුමා විසින් ඉටුකළ භූමිකාව පිළිබඳව යම් ඇගයීමක් කිරීමට සිදුවේ. අප රටට දෙවන නිදහස හෙවත් මරණයට කැපවී සිටි ජාතියට නැවත ජීවිතය දිනා දුන් රණවිරුවන්ට බරපතල යුද අපරාධ එල්ලවූ අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් ලෙස අප බරපතල ලෙස කම්පාවට පත්වූයෙමු. එහෙත් අප රටේ එවක සිටි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා එදා ජිනීවාහි 30 වැනි මානව හිමිකම් සමුළුවේදී හැසිරුනේ සම්පූර්ණයෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයටය.

එම සමුළුවේදී රණවිරුවන් යුද අපටාධ කරුවන් කරමින් මානව හිමිකම් කොමසාරිස් වරයා විසින් ඉදිරිපත්කළ වාර්තාව පමණක් නොව රණවිරුවන්ට දඬුවම් කිරීම මුල් කරගෙන ඉදිරිපත්වූ 30/1 යෝජනාව විදේශ අමාත්‍යවරයා විසින් ස්තුති පූර්වකව පිළිගනු ලැබීය. එහිදී එම යෝජනාවට අප රට සම අනුග්‍රහය දැක්වූයේ වාර්තාවේ අඩංගු වූ එක් කරුණක් පිළිබඳව හෝ විරෝධතාවක් පළකිරීමෙන් තොරවය. එම වාර්තාවේ “යුද අපරාධ” යන වචනය අවස්ථා 32 ක සඳහන් කර තිබුනි. ඒ වන විට පරණගම කොමිසම විසින් කැඳවා තිබූ විදේශීය යුද අපරාධ විශේෂඥයින්ගේ වාරතා හයක් රජයට ලැබී තිබුනි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ සිදු කොට නොමැති බවට එම වාර්තා මගින් ප්‍රභල කරුණුමය සාක්ෂි සහ නීති තර්ක ඉදිරිපත් කර තිබුනි. නමුදු එම වාර්තා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් නොකරන ලෙස ටී. එන්. ඒ. පක්ෂය විසින් ජනාධිපතිතුමාට බලපෑම් කොට ඇති බව අපට පසුව දැනගැනීමට ලැබුනි.

මංගල සමරවීර අමාත්‍යවරයාට ජනාධිපතිතුමා විසින් ලබාදුන් උපදේශය කුමක්දැයි අප නොදනිමු. එහෙත් එතුමා විසින් හෝ අමාත්‍ය මණ්ඩලය විසින් හෝ පාර්ලිමේන්තුව විසින් එසේ එම වාර්තාවේ සඳහන් චෝදනා හෝ 30/1 යෝජනාව පිළිගන්නා ලෙස අමාත්‍යවරයාට කිසිදු නිල බලයක් ලබාදී නොමැති බව අප ඉතා හොඳින් දැන සිටියෙමු. ශ්‍රී ලංකාව විසින් 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම නිසා ශ්‍රී ලංකාවට ඉතා අහිතකර වූ සහ අප රටේ ආරක්ෂක හමුදා අගෞරවයට පත්කළ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව පිළිබඳව කිසිඳු ආකාරයේ විවාදයක් එම සමුළුවේදී ඩිදු නොවීය. එම තත්ත්වය තුල අන් රටවලටද එම ක්‍රියාවට විරුද්ධව තම අදහස් පළකිරීමට තිබූ අවස්ථාව අහිමි විය. එම නිසා එම වාර්තාවේ අඩංගු සියළු අභූත චෝදනා වලට ලෝක ප්‍රජාව හමුවේ වලංගු භාවය ලැබුනි. එම තත්ත්වය ශ්‍රී ලස්ංකිකයින් ලෙස අපට කිසිසේත්ම දරාගත නොහැකි විය.

එම නිසා අප ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලෙස ශ්‍රී ලංකාවේ රජය විසින් අත්හල වගකීම සහ යුතුකම ඉටුකිරීමට අපට හැකි අයුරින් ඉදිරිපත් වූයෙමු. ඒ අනුව අප සංවිධානයේ විධායක කමිටුව සහ දේශීයව ක්‍රියාත්මක වන ජාතික සංවිධාන එකමුතුව වැනි සංවිධාන සමග සාකච්චාකොට එම අසාධාරණ චොදනා වලට එරෙහිව විධිමත්ව පිළිතුරු බැඳීම සඳහා නීති විශාරදයින් සහ දේශපාලන උපායමාර්ගික විශේෂඥයින්ගෙන් සැදුම්ලත් විද්වත් කමිටුවක් පත්කරනු ලැබීය. එම කමිටුව ව්සින් “විත්ති වාචකය” නමින් එළි දැක්වූ වාර්තාව මගින් යුද අපරාධ චෝදනාවලට එරෙහිව ප්‍රභල කරුණුමය සාක්ෂි සහ නීති තර්ක සහිතව ප්‍රති තර්ක ඉදිරිපත් කෙරිනි. එම වාර්තාව ජිනීවාහී මානව හිමිකම් සමුළුවට නිළවශයෙන් බාරදුන් අතර ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයාටද බාරදුනි. එම වාර්තාව ඉතා විශිෂ්ඨ වාර්තාවක් බවට ශ්‍රී ලංකාවේ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා සහ බ්‍ර්තාන්‍යයේ රාජ නීතිඥ ජෙෆ්‍රිරි නයිස් මහතා විසින් සහතික කරන්නට යෙදුනි.

එම වාර්තාවේ පිටපත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට, හිටපු ජනාධිපතිතුමාට, හිටපු ආරක්ෂක ලේකම්තුමාට, ඒකාබද්ධ විපක්ෂයේ නායකතුමාට සහ තානාපති අංශ වලට මෙන්ම ඕස්ට්‍රේලියාවේ ආසියානු කලාපයේ කටයුතු බාර ඇමතිතුමා වෙතද බාර දුන් අතර ඒ මත පදනම්ව අපි ජිනීවාහී මානව හිමිකම සැසිවාර වලදී ශ්‍රී ලංකාව නියෝජනය කලෙමු. ඒ වනවිට කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ජිනීවාහී මානව හිමිකම් සැසිවාර වලදී “පාළු ගෙයි වලං බිඳිමින්” සිටිය බව රහසක් නොවේ. නමුත් 2017 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා අප ස්වාධීන පුරවැසියන් ලෙස ඔවුනට ප්‍රභල ප්‍රතිප්‍රහාරයන් එල්ල කළෙමු. ඒ සඳහා රජයෙන් අපට කිසිඳු සහයෝගයක් හෝ ඇගයීමක් ලැබුනේ නැත. එසේම අප එසේ තනිවම සටන් කරද්දී ශ්‍රී ලංකාවේ තානාපති නිලධාරීන් ඉතා අසරණ ලෙස මුනිවත රකිමින් ඒ දෙස බලා සිටිය අයුරු අප මතක් කරන්නේ බලවත් අප්‍රසාදයෙනි.

අප ජිනීවාවල තනිව සටන් වදිද්දී ශ්‍රී ලංකාව තුල 30/1 යෝජනාව ක්‍රියාත්මක වීම ආරම්භ විය. මංගල සමරවීර මහතා ඒ සඳහා දැඩි ලෙස පුද්ගලිකව මැදිහත් වුනි. ජනාධිපතිතුමා ඊට එරෙහිව කරුණු දැක්වූ බව වාර්තා නොවීය. ඒ අනුව 30/1 යෝජනාවේ 8 වැනි වගන්තිය අනුව රණවිරුවන්ට විශේෂයෙන්ම බුද්ධි අංශ නිළධාරීන්ට දඬුවම් කිරීම ආරම්භ විය. අතුරුදහන් වූවන්ගේ කාර්‍යාල පනත, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැලැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සහ අපරාධකරුවන් හුවමාරු කරගැනීමේ පනත ලෙස රණවිරුවන්ට ඳඬුවම් කිරීම සඳහා යොදා ගැනීමට පනත් තුනක් සම්මත කරගැනීමට යෙදුනි. මෙම අන පනත් වලින් නිර්මාණය වන යුද අපරාධ පරීක්ෂණ යාන්ත්‍රණය මගින් ජාත්‍යන්තර අධිකරණයකට හෝ දෙමුහුන් අධිකරණයකට වඩා ඉතා බලවත් “ඳඬුවම් යාන්ත්‍රණයක්” නිර්මාණය වේ. එමනිසා ඇත්ත වශයෙන්ම දැන් දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය නොවේ. මේ වන විට ගැසට් කර ඇති ත්‍රස්ථවාදය වැලැක්විමේ පනත මගින් පැරණි පනත ඉවත්කළ විට සියළු ත්‍රස්ථවාදී සැකකරුවන්ට සහ ඳඬුවම් ලබන්නන්ට නිදහස ලැබේ. එසේම ත්‍රස්ථවාදී ක්‍රියාවල නියුක්තවූවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට වන්දි ගෙවීම සඳහා පිළියම් යෙදීමේ කාර්‍යාල පනත සම්මත කිටීමට ආණ්ඩුව විසින් කටයුතු කරමින් ඇත.

ඒ අනුව දැන් දෙස් ව්දෙස් බෙදුම් වාදීන් හට 30/1 යෝජනා වලින් ඉටුකර ගැනීමට නොහැකි වී ඇත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කෙරෙන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සහ සත්‍ය සහ සංහිඳියා කොමිසම පිහිටුවීම පමණි. ජිනීවා සමුළුවේදී සම්මත කළ 34/1 යෝජනාව මගින් ඒ සඳහා ශ්‍රී ලංකා රජයට වසර දෙකක කාලය දීර්ඝ කිරීමක් ලැබුනි. එම කාලය 2019 මාර්තු මාසයෙන් අවසන් වේ. ඒ නිසා 2019 මානව හිමිකම් සමුළුවට ප්‍රථම ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන රටවල් සහ කොටි හිතවාදි දෙමළ ඩයස්පෝරාව අද බරපතල අර්බුදයකට මුහුන දී ඇත. අපගේ ජාත්‍යන්තර දේශපාලන දැනුම අනුව ඔවුනට දැන් ඉතිරිවී ඇති විකල්පය වන්නේ ශ්‍රී ලංකාවේ රජය මගින්ම යෝජනාවක් ඉදිරිපත්කෙරෙන තත්ත්වයක් ඇතිකිරීමයි. එනම් ශ්‍රී ලංකාව ලවාම බෙල්ලට තොන්ඩුව දමා ගන්නා තැනට තල්ලු කිරීමයි. දැන් තොන්ඩුව සහ ලනුව යන දෙකම ඔවුන් සතුවේ. නමුත් ඔවුන් උත්සාහ කරන්නේ තොන්ඩුව අපේ බෙල්ලට දමා ගැනීමට පොළඹවා ලනුව ඔවුන් අතේම තබා ගැනීමටය.

“ප්‍රති යෝජනා” හෝ “විකල්ප යෝජනා” යන කුමන නමින් එබඳු උත්සාහයක් භෞතතීස්ම කළද ඒ මගින් සිදුවන්නේ මෙතෙක් අප සංවිධානය විසින් ඉටුකළ මෙහෙය පාවා දීමයි. එනම් මහ කොමසාරිස්ගේ වාර්තාවට පිළිතුරු බැඳීම සහ 30/1 යෝජනාව ඉවත්කර ගැනීම සඳහා බලකිරීම යන ප්‍රවේශය වෙනුවට එම වාර්තාව තව දුරටත් පිළිගැනීම සහ එම යෝජනාවේ ඉතිරි කොන්දේසි සැපිරීමට තව වටයකින් පොරොන්දු වීම යන ප්‍රවේශය ආදේශ කිරීමකි. අතිගරු ජනාධිපතිතුමා එවැන්නක් අදහස් කරණ බවට අපට සාක්ෂි නැත. නමුත් කරුණු කාරණා පෙළ ගැසෙන ආකාරයට එවැන්නක් සිදුවිය හැකි බවට ප්‍රභල ලෙස කරුණු දැක්විය හැක.

අතිගරු ජනාධිපතිතුමාගේ කථාව අනුව එතුමා කටයුතු කරනවානම්, එනම් “අපේ ප්‍රශ්න අපට විසඳා ගැනීමට” හැකි තත්ත්වයක් නිර්මානය කරගන්නවානම් එතුමා විසින් පලමුව 30/1 යෝජනාව නීත්‍යානුකූල නොවන බවට ඔප්පු කොට එය ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමයි. නමුත් ඒ සඳහා ඊට පාදක වූ මහකොමසාරිස්ගේ වාර්තාව මගින් එල්ල කෙරෙන චෝදනා වලට පිළිතුරු බැඳීම සඳහා අවස්ථාව ලබා ගත යුතුය. එනම් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ආරම්භකළ ක්‍රියාදාමය එතුමා අතට ගත යුතුය. එහිදී එදා 2015 දී එතුමාගේ අමාත්‍යවරයෙක් ස්තුතිපූර්වකව පිළිගත් යෝජනාව අද ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි මානසික බාධකයක් ඇතිවිය හැක. ඉන් ගැලවීම සඳහා කළහැකි දෙයක්ද අපි යෝජනා කරමු. එදා විදේශ අමාත්‍යයවරයා විසින් 30/1 යෝජනාවට සම අනුග්‍රහය දක්වන්නේ ජනාධිපතිතුමාගේ හෝ, අමාත්‍ය මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිවය. එසේම එවකට ජිනීවාහී සිටි නිත්‍ය නියෝජිතයාද පවසා සිටියේ යෝජනා පිළිබඳව අවධානය යොමු කිරීමට එකඟතාවයක් ප්‍රකාෂ කිරීමක් පමණි. එනම් නිසි අධ්‍යනය කිරීමක් සිදු කිරීමට ප්‍රතිඥාවක් දීමක් පමණි. එනිසා අභූත චෝදනා පසුබිම් කරගත් ඳඬුවම් විඳීමකට යටත් නොවිය යුතුය.

එමනිසා මෙම කාරණය මත සහ රටේ බහු ජනතාවගේ ඉල්ලීම මත එම ක්‍රියාවේ වලංගු භාවය විමසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වැනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ජනාධිපතිවරයාට කඩිනමින් කළ හැක. ඒ සඳහා ගතවන්නේ ඉතා සුළු කාළයකි. එවන් විමසීමක පාර්ශව කරුවෙකු ලෙස අපටද එවිට ඉදිරිපත් වීමට අවකාෂය ලැබෙනු ඇත. එම මතය රටට සහ ආරක්ෂක හමුදාවට පමණක් නොව ජනාධිපතිතුමාටද එරෙහිව යන්නක් නොවන බවට අපටනම් සැකයක් නැත. ඉන් පසුව එම තීන්දුව මත පදනම්ව 30/1 යෝජනාවට ලබා දුන් සම-අනුග්‍රහකත්වය ඉවත් කර ගැනීමට සහ මහකොමසාරිස්ගේ වාර්තාවට (OISL වාර්තාව) එරෙහිව කරුණු දැක්වීමට අවස්ථාව ලබා ගත හැක. ඒ හැර ජනාධිපතිතුමා අපේක්ෂාකරන ආකාරයට අපේ ප්‍රශ්ණ අපට විසඳා ගැනීම සඳහා අවස්ථාව නිර්මාණය කළ හැකි අන් මගක් අප නොදකිමු.

74 Viewers