• Home »
  • Sinhala »
  • ජනපතිවරණයෙන් ප්‍රකටවූ ජාතිවාදී සහ ආගම්වාදී මානසික බෙදීම සහ රටේ ඉරණම

ජනපතිවරණයෙන් ප්‍රකටවූ ජාතිවාදී සහ ආගම්වාදී මානසික බෙදීම සහ රටේ ඉරණම

gota-jaya(Courtesy of Lanka Lead News)

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනැමීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් අමතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් ‘’ඩේලි මිරර්’’ පුවත්පත වාර්තාකොට තිබුණි. ඉතා සරලව ඔහු සඳහන් කරන්නේ ජයග්‍රහණය සඳහා තමාට වැදගත් වන්නේ එක් දෙයක් පමණක් බව ය. එනම් සිංහල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය වැඩිකර ගැනීම සඳහා නොවරදින සහ අසාර්ථක නොවන උපායමාර්ගයක් තේරීම බවය. එම ප්‍රකාශය මගින් ඔහු විසින් අවධාරණය කරනු ලැබුවේ එය කළ හැකි අපේක්ෂකයා තේරීම ජයග්‍රහණය සඳහා තීරණාත්මක වන බව ය. එය කළ නොහැකිවීම හෙවත් උපායමාර්ගික වරදවා ගැනීම නිසා එක්සත් ජාතික පක්ෂයට විශාල වන්දියක් ගෙවීමට සිදු වී ඇත. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ඔවුනට තිබූ අභියෝගය වූයේ ඒ වන විට 30% මට්ටමේ තිබුණු සිංහල ඡන්ද පදනම 40% දක්වා වැඩි කර ගැනීමය. එනම් 2015දී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් 58% සිංහල ඡන්ද ප්‍රතිශතය 68% දක්වා වැඩි කර ගැනීමට අවස්ථාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා නොදීම ය.

එහිදී එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ගත් විට පාස්කු ප්‍රහාරය නිසා ඇතිවූ තත්ත්වයන්ට අනුව සිංහල යනුවෙන් අවධාරණය කෙරෙන්නේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බව පැහැදිලියි. ඒ අනුව ඒ වන විට එක්සත් ජාතික පක්ෂය සතුව පැවති සුළු ජන ඡන්ද පදනම උපරිමයෙන් වැඩිකර ගත්තද සිංහල බෞද්ධ ඡන්ද පදනම වැඩි කර ගැනීමෙන් තොරව ජයග්‍රහණය කළ නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා ඉතා හොඳින් දැන සිටි බව පිළිගත හැක. නමුත් මැතිවරණ ක්‍රියාවලිය තුළ ඔවුන් ප්‍රායෝගිකව තේරූ උපාය මාර්ගය වූයේ බහුතර සිංහල ජනතාව අතර අනාරක්ෂිත මනෝභාවයක් ඇති කරමින් සුළු ජාතික ඡන්ද පදනම ඇමතීමය. කෙසේ වෙතත් ඊට ප්‍රතිවිරුද්ධ උපායමාර්ගය තේරිය යුතු පොදු ජන පෙරමුණේ උපායමාර්ගික විශේෂඥයන් විසින් උත්සාහ කරනු ලැබුවේ තරඟකාරීව තම සුළු ජන ඡන්ද පදනම වැඩිකර ගැනීමේ උපාය මාර්ගයකි. ඊට හේතුවිය හැක්කේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බෙදීයන තත්වයක් යටතේ සුළු ජාතික ඡන්ද පදනම මත ජයග්‍රහණය තීරණය වන බවට වූ පිළිගැනීම වියහැක.

ඉහත සඳහන් කළ ආකාරයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිවැරදිව උපාය මාර්ගය තෝරා තිබුණ ද ප්‍රායෝගිකව එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට ඔහු අසමත් විය. නමුත් පොදු ජන පෙරමුණේ යම් නායකයින් වැරදි උපාය මාර්ගයක් තෝරා තිබුණ ද ප්‍රායෝගිකව ජාතික බලවේග සහ මහා සංඝරත්නය ඊට පිටින් ක්‍රියා කිරීම නිසා ජයග්‍රහණය තහවුරුවූ බව ප්‍රතිඵලය දෙස බැලූ බැල්මට වටහාගත හැක. මැතිවරණ ක්‍රියාවලිය තුළ අවසානයේදී පොදු ජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා ස්ථානගත වූයේ බෙදුම්වාදය සහ ආගමික අන්තවාදය මුල්කරගෙන බහුතර සිංහල ජනතාව අතර ගොඩනැගී තිබූ අනාරක්ෂිත මනස සුවපත් කරන අපේක්ෂකයා ලෙස ය. ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ පිළිබඳ දැඩි අවධානයකින් සිංහල බෞද්ධයා අතර තමා ස්ථානගත කිරීමට උත්සාහ කළ බව පැහැදිලිව පෙණුනි. එතුමා ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසුව ජාතිය ඇමතීමේ දී තමා මුල සිට ම සිංහල බෞද්ධ ඡන්ද පදනම කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ බව නිර්භයව සහ විවෘතව පැවසීම තුළින් ඔහු විසින් තේරු උපාය මාර්ගය කුමක්දැයි තහවුරු වේ.

ඊට අමතරව දුටුගැමුණු පිළිරුව අබියස රුවන්වැලි මහා සෑ රජුන්ගේ සවන යට දිවුරුම් දීමට තීරණය කිරීම මගින් ද ඔහුගේ දැක්ම සහ අධිෂ්ඨානය පිළිබිඹු වේ. ජයග්‍රහණයේ ගෞරවය මහා සංඝසංඝරත්නය වෙත පිරිනැමීමට පසුබට නොවීම තුළින් ද ඔහුගේ අනාගත භූමිකාව පිළිබඳ ඉඟියක් ලැබේ. මේ සියලු කාරණා මගින් නැවත නැවතත් පැහැදිලි වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මැතිවරණයට පෙර විවෘතව සඳහන් නොකළද සිංහල බෞද්ධ ඡන්ද පදනම මත විශ්වාසය තබා ඔහු කටයුතු කළ නිසා ඔහුගේ ජයග්‍රහණයය තහවුරු වූ බව ය. දිවුරුම් දීමෙන් පසුව ජාතිය ඇමතීමේ දී ඔහු තමා සුළුජාතික ජන කොටස් වෙත කරන ලද ආයාචනාවන්ට ඔවුන් සවන් නොදුන් බව සදහන් කරමින් තමා සමග ප්‍රධාන ප්‍රවාහයට එක් වන ලෙස ආරාධනා කිරීම තුලින් පෙන්වන්නේ කුමක්ද? එමගින් තහවුරු වන්නේ ඔහු ජාතිවාදී පදනමකින් කටයුතු නොකළ බව සහ ඉදිරියටත් නොකරන බව පමණක් නොව පවතින යථාර්ථය ගැඹුරින් තේරුම් ගෙන ඇති බව ය. පසුගිය කාලය පුරාම සුමන්තිරන් සහ සම්බන්ධන් වැනි දෙමළ නායකයින් සහ රිෂාඩ්, හකීම් වැනි මුස්ලිම් නායතයින් සුළු ජන කොටස් අතර මානසික යුද උපක්‍රම මගින් තහවුරු කළ ජාතිවාදය හා ආගම්වාදයවාදය කෙතරම් බරපතළ ද යන්න ඔහු විසින් තේරුම් ගෙන තිබූ බව ඉතා පැහැදිලිය.

සුළු ජන කොටස් නියෝජනය කරන දේශපාලන නායකයින් කෙතරම් දුෂ්ඨ ආකාරයට එම ජනතාව අතර ජාතිවාදය ප්‍රචලිත කරා ද යන්න සුමන්තිරන් මන්ත්‍රීවරයා මුලතිව් වලදී සිදු කළ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. එහිදී ඔහු සඳහන් කරන්නේ සිංහලයා පැරදවීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවන ලෙසය. එවැනි ප්‍රකාශයක් තම දීර්ඝකාලීන අරමුණට එරෙහිව පාරාවළල්ලක් විය හැකි බව ඉතා හොඳින් දැනගෙන ඔහු විසින් එය සිදුකරන්නේ ජාතිවාදය සහ ආගම්වාදය තුළින් ජයගත හැකි බවට වන විශ්වාසය නිසා නොවේද? උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දෙමළ සහ මුස්ලිම් ජනතාව අති බහුතරයක් තම නායකයින් ඇටවූ මර උගුල්ට දෙපා තැබූ බව පහත වගුව මගින් ඉතා හොඳින් පැහැදිලි වේ. ඊට පෙර 2010 සහ 2015 ජනාධිපතිවරණ වලදී කළ නොහැකිවූ දේ කිරීමට 2919 දී එම ජාතිවාදී බෙදුම්වාදී ආගම්වාදී නායකයින් සමත් වී ඇත.

එම ජාතිවාදය සිංහල විරෝධී ජාතිවාදයක් බවද ඡන්ද ප්‍රතිඵලවලින් තහවුරුවේ. විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සහ මුස්ලිම් මූලධර්මවාදී අන්තවාදය හිස එසවීම උතුරු-නැගෙනහිර සුළුජන කොටස් විසින් සැලකිල්ලට ගෙන නොමැති බව පැහැදිලිව පෙනේ. එහිදී සහරාන්ලාගේ ප්‍රහාරයට සෘජුව ඉලක්කවූ මීගමුව, කටුවාපිටිය වැනි ප්‍රදේශවල ජනතාව එම ප්‍රහාරයට වගකිව යුතු බවට චෝදනාවට පාත්‍ර ව සිටින පිරිස් නියෝජනය කරන පාර්ශ්වයට කැමැත්තක් දක්වන්නේ කුමක් නිසාදැයි ප්‍රති තර්කයක් මතු කළ හැක.
capture_20191127173536

ඉහත සඳහන් කළ ආකාරයට 2018 පළාත් පාලන මැතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කයෙන් 35% ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් ලබා ගැනීමට සමත්වූ ටී.එන්.ඒ පක්ෂය තමා සහාය දෙන ජනාධිපති අපේක්ෂකයාට 2019 දී 83% දක්වා ඡන්ද ප්‍රතිශතයක් ලබාදීමට සමත් වන්නේ කෙසේද? එය ඔවුන්ගේ ජාතිවාදී බෙදුම්වාදී මානසික යුද උපක්‍රම වල කූටප්‍රාප්තියක් ද එසේ නැතහොත් ජනතාව අතර ස්වයංව පැනනැගුනු අනාරක්ෂිත මනෝභාවයක් ද යන්න පිළිබඳ වාද විවාද තිබිය හැක. ඒ කෙසේ වෙතත් මෙවර මැතිවරණය තම ජීවිතවලට ඉතා තීරණාත්මක වන බවට බහුතර සිංහල ජනතාව අතර වූ පොදු පිළිගැනීම උතුරේ සුළු ජනතාව අතරද තිබූ බව පිළිගැනීමට සිදුවේ. උතුරේ ජාතිවාදී පක්ෂ කිහිපයක් සහ විශ්වවිද්‍යාල ප්‍රජාව සම්බන්ධ වී ඉදිරිපත්කළ ඉල්ලීම් 13 යනු ප්‍රභාකරන් ඉල්ලූ දේටත් වඩා එහාට යන සිංහල බෞද්ධයා දන ගැස්විය යුතු යැයි කියන බලවේග සතුටු කරන යෝජනාවලියක් බවට විවාදයක් නැත. උතුරේ වෙල්ලාලයින් විසින් කුලහීන ජනතාව මත පටවන කුල පීඩනය ව්‍යාජ ලෙස සමනය කෙරෙන්නේ සිංහල බෞද්ධ විරෝධී ජාතිවාදය මගින් බව ඉතිහාසය පුරාම ඔප්පු වී ඇත.

සජිත් ප්‍රේමදාස මහතා එම ඉල්ලීම් 13ට සෘජුව එකඟතාවය ප්‍රකාශ නොකළ ද ඊට එකඟ නොවන්නේ නම් සහාය නොදෙන බවට අදාළ දෙමළ දේශපාලන පක්ෂ විසින් ප්‍රකාශ කරන්නට යෙදුණි. අවසානයේදී ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාට සහාය ‍ප්‍රකාශ කරන්නේ ප්‍රභාකරන් ඉල්ලූ දේටත් වඩා දෙයක් දීමට ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඔහු එකඟ වීම නිසා බව පිළිගත හැක. දෙමළ බෙදුම්වාදී පක්ෂ 1987 සිට දිගින් දිගටම ඉල්ලා සිටියේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස පමණි. සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට සහ ඒ මගින් පළාත් සභා වලට උපරිමයෙන් බලය බෙදා දීමට එකඟ වේ. දැනටමත් ඉන්දියාවටත් වඩා යම් බලතල බෙදා ඇති තත්ත්වයක් යටතේ තවදුරටත් බලය බෙදීම යනු 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම බව පැහැදිලිය. ඊට අමතරව එම බලතල තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පිටින් ව්‍යවස්ථා අධිකරණයක් සහ පාර්ලිමේන්තුවට උඩින් දෙවන මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවීමට සජිත් ප්‍රේමදාස මහතා එකඟ වේ. එවැනි බරපතල බෙදුම්වාදී යෝජනා මැතිවරණ ‍ප්‍රකාශයක් මගින් හෙළිදරව් කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව එය නොවේද?

ඒ ආකාරයට උතුරේ ජනතාව ජාතිවාදයේ සහ බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කෙරෙන විට එම ජනතාව ඉන් ගලවා ගැනීම සඳහා ප්‍රති පාර්ශවය අවශ්‍ය ප්‍රමාණයට උපායමාර්ගික තේරීම සිදුනොකළ බව අවංකව පිළිගැනීමට සිදුවේ. දකුණේ දේශපාලන පක්ෂ ඉතිහාසයය පුරාම සුළු ජනකොටස් ඇමතීම සඳහා සෘජුව ඔවුනට ළඟා වනවා වෙනුවට පාරාජිකා වූ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලන නායකයින් බ්‍රෝකර්වරුන් ලෙස ලෙස යොදා ගැනීම නිසා එම තත්ත්වය ඇති වූ බව ද පිළිගැනීමට සිදුවේ. ‘’දෙවියන් හෙවත් ජනතාව ඇමතීම සඳහා කපුවන් නැතිව බැහැ’’ යන සම්ප්‍රදායානූකූල පිළිගැනීම මත එම වරද දිගින් දිගටම සිදුවේ. මෙම මැතිවරණයේදී ද පොදු ජන පෙරමුණ විසින් වර්ධරාජා පෙරුමාල් වැනි ජනතාව අතර පාරාජිකා වූ කපුවන් යොදාගෙන ජනතාව ඇමතීමට උත්සාහ කළ බව රහසක් නොවේ. ඊට අදාලව මෙම ලියුම්කරු සමග අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වූ උතුරේ කුඩා පක්ෂයක දිස්ත්‍රික් නායකයෙකු සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තම පුද්ගලික අත්සන යටතේ දෙමළ ජනතාව අමතා ලියැවිල්විල්ලක් ඉදිරිපත් නොකිරීම දේශපාලන වරදක් බවය.

කෙසේවෙතත් මෙම සිංහල විරෝධී ජාතිවාදී , ආගම්වාදී සුලිකුණාටුව හමන්නේ උතුර සහ නැගෙනහිර පළාත් වලින් පමණක් නොවේ. ඒ බව උතුරු කොළඹ, බටහිර කොළඹ, මැද කොළඹ සහ දෙහිවල වැනි අගනුවර සුළු ජන කොටස් බහුලව වෙසෙන ප්‍රදේශවල ඡන්ද ප්‍රතිඵල දෙස බැලීමේදී ඉතා හොඳින් වටහාගත හැක. ඒ අනුව ජාතිවාදය සහ ආගම්වාදය යනු බෙදුම්වාදය ඉක්මවා යන දේශපාලන සටන් පාඨයක් බවට පරිවර්තනය වී ඇති බව පෙනීයයි. උතුරු සහ නැගෙනහිර සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශවල ප්‍රතිඵල මගින්ද පෙනෙන්නේ ජාතිවාදී ප්‍රවණතා දෙමළ සහ මුස්ලිම් ජනතාවට පොදු සාධකයක් වී ඇති බව ය. එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ඉස්ලාම් මූලධර්මවාදයේ නැගීසිටීම යන සාධක මත එම පොදු ප්‍රවණතාව වෙනස් නොවීම ආගමික මූලධර්මවාදයට ඉතා වාසි සහගත බව කිවයුතු නැත.

අවසාන වශයෙන් එම කණගාටුදායක තත්වය වෙනස් කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට වුවමනාව සහ ධෛර්යය තිබෙන බව එතුමාගේ පළමු කතාව තුළින් ම ප්‍රකාශයට පත්වීම සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවට අනාගතයේදී සතුටුවිය හැකි කාරණාවකි. තමා සමග පොදු ප්‍රවාහයට එක්වන ලෙසට ඔහු විසින් ඔහුට ඡන්දය නොදුන් සුුළු ජන කොටස් වලින් ඉල්ලා සිටීම ඉතා හොඳ ආරම්භයකි. එසේම යාපනය දිස්ත්‍රික්කයෙන් එතුමාට ලැබුණු 6% ක් සහ වන්නි දිස් දිස්ත්‍රික්කයෙන් ලැබුණු 12% ක ඡන්ද ප්‍රතිශතය නව ගමන සඳහා ප්‍රමාණවත් බව සැලකිය යුතුය. ඉතා දුෂ්කර තත්වයක් යටතේ බෙදුම්වාදයට සහ ජාතිවාදයට එරෙහිව සෘජුව සිටගත් එම ජනතාව ජාතියට මහත් ශක්තියක් ලෙස සැලකිය යුතුය. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමා කෙරෙහි විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටි ඔහුට ඡන්දය නොදුන් ජනතාව වෙත ඔහු විසින් ඉදිරිපත් කරන විසඳුම් යෝජනාවලිය ජනගත කිරීමට සහ ඒ මත පදනම්ව නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සුළු වුවත් ඉතා ශක්තිමත් එම ජන පදනම රටේ ඉරණමට අදාළව තීරණාත්මකව වැදගත් වනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිවාදය ආගම්වාදය සහ බෙදුම්වාදය පරාජය කිරීම සඳහා උතුරේ ජනතාව වෙත ඉදිරිපත් කරන විසඳුම් කුමක් වුවත් ඊට සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළ විසඳුම් අයත් විය නොහැකි බව ඉතා පැහැදිලිය.ඊට හේතුව ජනමත විචාරණයක් මගින් එම විසඳුම් දැනටමත් පරාජය කොට තිබීමය. යම් මුග්ධ එන්.ජී.ඕ නඩ විසින් අර්ථ දක්වන ආකාරයට රටපුරා පැවැත්වෙන මැතිවරණයකදී ප්‍රකාශයට පත්වන ජනමතය භූගෝලීයව හෝ ජාතිකත්ව පදනමින් බෙදා වෙන් කොට ප්‍රකාශයට පත් කිරීමට හෝ අර්ථ දැක්වීමට හැකියාවක් නැත. දැන් අවශ්‍ය වන්නේ ආයුධ සන්නද්ධ දේශපාලන ක්‍රියාන්විතයට ඒක පාර්ශවීයව විසඳුම් ලබා දුන් ආකාරයට ඡන්ද මගින් සිදු කරන දේශපාලන කේවල් කිරීමට එරෙහිව ඒකපාර්ශවීය විසඳුම් ඉදිරිපත් කිරීමය. ඒ සඳහා බෙදුම්වාදී ජාතිවාදී ආගම්වාදී දුෂ්ඨ දේශපාලන නායකයින් සමග කේවල් කිරීම හෝ ඔවුන්ගේ කප්පම්කාර කොන්දේසි වලට යටත් නොවී කටයුතු කළ යුතුය. ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී ඇති සුවිශේෂී ජනවරම පළමුව යොදා ගත යුත්තේ ඒ සඳහා නොවේද? උතුර – දකුණ මානසික බෙදීම ඇතිකරන්නේ ජාතිවාදී , ආගම්වාදී, බෙදුම්වාදී දේශපලන නායකයින් සහ එන්.ජී.ඕ ඩෙලර් කාක්කන් විසින් වුවද එම බෙදීම සුවපත් කිරීමේ වගකීම දැන් පැටවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂයන්ගේ උර මතය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

53 Viewers