• Home »
  • Sinhala »
  • ජාතිකත්වයට උපත දෙන සමාජ ක්‍රියාවලිය

ජාතිකත්වයට උපත දෙන සමාජ ක්‍රියාවලිය

(Courtesy of Divaina)
luvi777

වර්තමාන ලෝකය තුළ වැඩිමනක්‌ කතාබහට ලක්‌ වන න්‍යායන් හෝ සංකල්පයන් අතර ලිබරල්වාදය, ප්‍රජාතන්ත්‍රවාදය, ත්‍රස්‌තවාදය වැනි සංකල්පයන් ඉතා වැදගත් වේ. ඒ අනුව බලන කල ලෝකයේ වැඩිම අවධානයට ලක්‌ වූ සංකල්පයන් අතරට එක්‌ වන තවත් සංකල්පයක්‌ ලෙස ජාතිකවාදය (Nationalism) පෙන්වාදිය හැකිය. අතීතයට පමණක්‌ නොව වර්තමාන සමාජ සන්දර්භයන්ට ද ඒකසේ වලංගු වන න්‍යාය පද්ධතියක්‌ ලෙස හැඳින්විය හැකිය. නමුත් පසුගිය ශත වර්ෂය තුළ ඉතා වේගයෙන් ඉදිරියට පැමිණි සංකල්පයක්‌ වන ජාතිකවාදය වර්තමාන ලෝකයේ කේන්ද්‍රීය සාධකයක්‌ ලෙස ඉස්‌මතුව ඇති බව පෙනේ. ජාතිකවාදය යනු කුමක්‌දැයි යන ප්‍රශ්නයට ගෝලීයකරණය හා එක සමව එක එල්ලයේ පිළිතුරක්‌ ලබාදිය නොහැකිය. නමුත් ඔක්‌ස්‌µර්ඩ් ශබ්ද කෝෂය ජාතිකවාදය අර්ථගන්වනු ලබන්නේ “The desire by a group of people who share the same race “culture” language” etc’ to form an independent country” යනුවෙනි. එයින් අදහස්‌ වන්නේ සජාතීය ලක්‌ෂණයන්ගෙන් යුත් පිරිසකගෙන් යුක්‌ත රාජ්‍යක්‌ නිර්මාණය කිරීම සඳහා ඇතිවන්නා වූ කැමැත්ත යන්නයි. එමෙන්ම බ්‍රිටනිකා විශ්ව කෝෂය එය අර්ථ ගන්වන්නේ “Nationalism” ideology based on the premise that the individual’s loyalty and devotion to the nation-state surpass other individual or group interests. යනුවෙනි. එකී නිර්වචනයේ සරල අදහස වන්නේ පුද්ගල සහ කණ්‌ඩායම්හි ආශාවන් ඉක්‌මයමින් ජාතික රාජ්‍ය උදෙසා පවතින්නා වූ ලැදියාව සහ පක්‌ෂපාතීත්වය පිළිබඳ න්‍යාය ජාතිකවාදය යන්නයි. බොහෝ උගතුන් ජාතිකත්වය නම් සංකල්පය ජාතිය පිළිබඳව ඇතිවන හැඟීම” යනුවෙන් ද අර්ථ කථනය කරයි. එය තවදුරටත් පුළුල්ව විග්‍රහ කිරීමේදී යම් නිශ්චිත දේශ සීමාවක්‌ තුළ දේශපාලනික වශයෙන් සංවිධානය වූ ජනතාවක්‌ තමන් සියලු දෙනාම එකම ජාතියකට අයත්ය යනුවෙන් ඇති වන්නා වූ මානසික සිතුවිල්ල” යනුවෙන් හඳුනාගත හැකිය. නමුත් ජාතිකවාදය උපතින් තීරණය වන්නේ ද යන්න ගැටලුවකි. පුද්ගලයකු යම්කිසි රටක උපත ලැබූ පමණින්ම තීරණය වන්නේ ද නැතහොත් ඓතිහාසික තත්ත්වයන් හෝ දුෂ්කරතාවන් ආදිය කේන්ද්‍ර කර ගනිමින් තීරණය වන්නේ දැයි අධ්‍යනය කිරීම වැදගත් වේ.

වර්තමාන ශ්‍රී ලංකාව දෙස අවධානය යොමු කිරීමේ දී ද ජාතිකත්ව වර්ධනය සහ සංහිඳියාව නමැති සංකල්පය ඉතා වැදගත් දේශපාලනික මාතෘකාවක්‌ බවට පත් වී තිබේ. වාර්ගිකත්වය මුදුන්පත් වී ඇති රාජ්‍යකට ජාතිකත්වය ඉතා මහර්ඝ සම්පතකි. නිජබිම් සංකල්පය හා දේශපාලනික ස්‌වයං තීරණ බලය කේන්ද්‍ර කරගනිමින් විවිධාකාරයේ ජාතිවාදී ගැටලු නිර්මාණය කර සහ නිර්මාණය වෙමින් පවතී. බොහෝ ද්‍රවිඩ හෝ මුස්‌ලිම් ලෙස ඉපැදීම ලංකාව තුළ සුළුතර හැඟීම් දනවන්නකි. නමුත් ඔවුන් උපත භාවිත කරමින් රාජ්‍ය තුළ ජාතිවාදී ඉස්‌මතු කිරීම් දනවයි. ඒ සඳහා විවිධ දේශපාලනික හස්‌තයන් ද ක්‍රියාත්මක වෙයි. නමුත් ජාතිකවාදය සංකල්පය තුළ ඔවුන් කුමන ආගමක්‌, කුලයක්‌, ජනවර්ගයක්‌ ලෙස උත්පත්තිය ලැබූව ද එම රාජ්‍ය තුළ සම අයිතිවාසිකම් හිමි කරගන්නා පුරවැසියන් වෙයි. එබැවින් මෙම මාතෘකාව ලංකාව වැනි රාජ්‍යකට ඉතා කදිම නිදසුනකි. මන්ද නිදසුනක්‌ වශයෙන් ඉන්දියාව ගත් විට ඔවුන් අතර කුමනාකාරයේ බෙදීම විශේෂයෙන්ම ජාතිවාදී බෙදීම්, ආගම් හා කුල ආදී වශයෙන් විභේදනය වී සිටියත් ඉන්දියානුවන් වශයෙන් දැඩි ජාතිකත්වයකින් යුක්‌තය. සිදුවිය යුත්තේ ද එයමය.

ජාතිකවාදීන් උපතින් නිර්මාණය කළ හැකිද? එය විවිධ විවේචනයන්ට ලක්‌ වූ මාතෘකාවක්‌ ලෙස පෙන්වාදිය හැකිය. මන්ද උපතින් ජාතිකවාදියෙකු නිර්මාණය කළ හැකි ද යන ප්‍රශ්නය නිතැතින් පැන නගින හෙයිනි. ඒ පිළිබඳව අධ්‍යනය කළ බොහෝ විද්වතුන් පෙන්වා දෙන්නේ උපතින් කොතෙක්‌ දුරට ජාතිකවාදියෙකු නිර්මාණය කළ හැකි ද යන්නයි. ජාතිකවාදය යනු මානව හැඟීමක්‌ ලෙස විස්‌තර කොට ඇති අතර එය උපතින් මිනිසුන් තුළ රෝපණය කළ හැකි ද යන්න ගැටලුවකි. ඒ සඳහා කදිම නිදසුනක්‌ 1983/4 කාලයේ ලංකාව තුළ ඇති වීය. එනම් ලංකාවේ සිටි කුඩා දරුවන් හදාවඩා ගැනීම සඳහා විශාල වශයෙන් විදේශිකයන්ට ලබා දීමයි. ඒ හා බලන විට ලංකාවේ දරුවන් යුරෝපයේ හෝ වෙනත් රටවලට රැගෙන ගිය නමුත් ඔවුන්ගේ ජාතිකවාදය ශ්‍රී ලාංකික ජාතිකවාදය ද යන්න සැකයකි. උපතින් ජාතිකවාදීන් නිර්මාණය වන්නේ නම් ලංකාවෙන් රැගෙන ගිය දරුවන් ලාංකික ජාතිකවාදීන් විය යුතුය. නමුත් එය එසේ නොවීය. ඔවුන්ගේ ජාතිකවාදය එම රටේ ස්‌වභාවය අනුව තීරණය වූවා මිස තමා උපන් රටේ ජාතිකවාදයට අනුව හැඩ නොගැසුණි. ඔවුන් තම කැපකරු මවගෙන් හෝ පියාගෙන් තමා ලාංකිකයෙකු යෑයි දැනගත්තා විනා ඔවුන් උපතින් ලද ජාතිකවාදීත්වය ඉස්‌මතු නොවීය. ඒ හරහා ද පෙනී යන්නේ ජාතිකවාදීන් උපතින් නිර්මාණය නොවන බවයි. එයට තවත් සාධනීය උදාහරණයක්‌ නම් තාරකා විද්‍යාඥ ආතර් සී. ක්‌ලාක්‌ මහතායි. එතුමන් උපතින් එංගලන්ත ජාතිකයෙකු වූ අතර පසුකාලීනව ලංකාව පිළිබඳව දැනගැනීමෙන් ලංකාවේ සම්මානිත පුරවැසියෙකු බවට පත්වෙයි. ඔහු ශ්‍රී ලංකාවට ඉතා ඇලුම් කළ අතරම ඔහු ලංකාව පිළිබඳව විවිධ අවස්‌ථාවන්හී දී වර්ණනයන් සිදු කර ඇත. ඔහු උපතින් එංගලන්ත ජාතිකයෙකු වූ නමුත් ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමෙන් පසුව ලාංකිකයෙකු ලෙස සිය ජාතිකත්වය ලංකාව දෙසට දෝලනය කරන ලදී. යමෙකු ජාතිකත්වය උපතින් හිමිවන්නක්‌ ලෙස අර්ථකථනය කළේ නම් ආතර් සී. ක්‌ලාක්‌ මහතා තවදුරටත් එංගලන්තය පිළිබඳ ජාතිකත්වයකින් යුක්‌ත විය යුතුය. නමුත් එය එසේ නොවූ බැවින් ඔහු ලංකාවේ පුරවැසි බව ලබා ගනිමින් ලාංකිකයෙකු ලෙස මරණය දක්‌වා ම කටයුතු කරන ලදී. එපමණක්‌ නොව ජාතිකවාදය උපතින් තීරණය නොවේ යන්න තහවුරු වීම සඳහා තවත් නිදසුනක්‌ ලෙස පුද්ගලයෙකු තුළ ජාතිකවාදය ඇති වීම කෙරේ කිසියම් නිමිත්තක්‌ ඇති විය යුතුය. එසේ නොමැතිව ජාතිකවාදීන් නිර්මාණය නොවේ. ඒ අනුව ජාතිය කිසියම් අනතුරක හෝ තර්ජනයක්‌ ඇති වූ විටක දී හෝ ජාතිය කිසියම් තීරණාත්මක තත්ත්වයකට පැමිණිය විට දී ජාතිකත්වය වර්ධනය වී ජාතිකවාදීන් නිර්මාණය වේ. එසේ නොමැතිව කිසිදු අභිප්‍රේරණයකින් තොරව ජාතිකවාදීන් නිර්මාණය නොවන බව පෙනී යයි. ඒ අනුව ලෝකය දෙස විපරම් කිරීමෙන් ද ලෝකය තුළ උත්පත්තිය හා බද්ධ නොවී ඇති වත් කිසියම් හේතු සාධක මත පිහිටා ජාතිකවාදීන් නිර්මාණය වී ඇති බව පෙනී යයි.

එමෙන්ම ජාතිකවාදය පිළිබඳව වූ ප්‍රවේශයන් අධ්‍යනය කිරීමෙන් ද ඒ බව පසක්‌ කර ගත හැකිය. සාරාත්මවාදී ප්‍රවේශය, නූතනවාදී, පූර්ව නූතනවාදී ප්‍රවේශය ආදී ප්‍රවේශයන් තුළින් ද පෙන්නුම් කරන්නේ එයයි. ඒ තුළින් ජාතිකවාදය හෝ ජාතිකවාදීන් උපතින් නොව කිසියම් තත්වයන් මත පිහිටා ඇති වන්නක්‌ බව පෙන්වාදෙයි. සාරාත්මවාදීන් එය කිසියම් ස්‌වභාවික හැඟීමක්‌ බවත් එය කිසියම් මිනුම් දඬු භාවිත කරමින් නිර්මාණ වී ඇති බව පවසයි. නූතනවාදීන් කාර්මික සමාජයේ විවිධ අවශ්‍යතාවන් මත පිහිටා ජාතිකවාදය බිහිවී ඇති බව පෙන්වා දෙයි. මේ අනුව පෙනී යන්නේ ජාතිකවාදීන් තීරණය වන්නේ උපත හරහා නොවන බවයි. එසේම යම් පුද්ගලයෙකු කිසියම් රටක උපත ලැබූ පමණින් ජාතිකවාදියෙකු නොවන අතර ඒ සඳහා කිසියම් අධ්‍යාපනික වටපිටාවක්‌ අවශ්‍ය වෙයි. විටෙක පාසල් අධ්‍යාපනය හරහා එම අභිප්‍රේරණය හිමි වෙයි. ඒ හරහා ජාතිකවාදීන් නිර්මාණය වෙයි. විශේෂයෙන් කිසියම් රටක්‌ සිය අධ්‍යාපනික රටාව නිර්මාණය කරනු ලබන්නේ ඒ රටේ දේශපාලනික, ආර්ථික සාධකයන් ජයග්‍රහණය කර ගැනීමේ අරමුණු සහිතවයි. ඒ අනුව බොහෝ විට රට තුළ ජාතිකවාදීන් නිර්මාණය වන්නේ එම අරමුණු සාධනය වන ආකාරයටය. එම නිසා ජාතිකවාදීන් උපතින් තීරණය වේ යන්න පිළිගැනීම අසීරු වේ.

එමෙන්ම ජාතිකවාදීන් උපතින් පමණක්‌ නොව වෙනත් හේතු මත පදනම්ව නිර්මාණය වන බව දැකිය හැකිය. විශේෂයෙන්ම ඒ සඳහා කිසියම් වස්‌තු බීජයක්‌ අවශ්‍ය වන බව පෙර පරිච්ඡේදයක දී සඳහන් කරන ලදී. විශේෂයෙන්ම ජාතිකවාදීන් තීරණය වීම කෙරේ ඉතිහාසය හා ඓතිහාසික තත්ත්වයන් මෙන්ම සිදුවීම් ප්‍රබල වශයෙන් හේතු වේ. ඉතිහාසය පුද්ගලයාට සමීපය. පුද්ගල ප්‍රකාශනය තුළ බොහෝ සෙයින් ඉතිහාසය ගැබ්ව ඇත. අතීතයේ සිදු වූ සිදුවීම් යම් විටෙක ජාතිකවාදය වර්ධනයෙහිලා වැදගත් විය හැකිය. බොහෝ විචාරකයන් පෙන්වාදෙන ආකාරයට මානවයා ඓතිහාසික තත්ත්වයන් වර්තමානය නිර්මාණය කිරීමෙහිලා භාවිත කරනු ලබයි. එමෙන්ම පුද්ගලයන් ඉතිහාසය හා බද්ධ සම්බන්ධ සිදුවීම්වලින් භාවාතිශය වන අතර ඒ හරහා ජාතික වශයෙන් විශාල අභිප්‍රේරණයක්‌ ඇති කරනු ලබයි. ඉතිහාසඥයෙකු වන ඊ. ෙ-. හොබ්ස්‌බෝන් මහතා (E. J. Hobsbawm) මහතා ජාතිකවාදයෙහි වර්ධනය කෙරේ ඉතිහාසයේ හා ඉතිහාසඥයෙකුගේ වැදගත්කම පෙන්වා දෙන්නේ -Historians are to nationalism what poppy-growers in Pakistan are to the heroin-addicts( we supply the essential raw material for the market’ Nations without a past are contradictions in terms’ What makes a nation is the past” what justifies one nation against others is the past” and historians are the people who produce it’ So my profession” which has always been mixed up in politics” becomes an essential component of nationalism’˜” යනුවෙනි.

විශේෂයෙන්ම ඓතිහාසික තත්වයන් ජාතිකවාදීන් තීරණය කිරීමට බලපානු ලබන බව ඉන්දියාව දෙස අවධාරණය කිරීමේ දී පෙනී යයි. එහිදී ඉන්දියානුවන් බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයේ බලපෑම හමුවේ හෙම්බත්ව සිටි අතර ඔවුන්ගේ ඉතිහාසය ක්‍රි. පූ 2500කට ආසන්න කාලයකට දිවෙන බව ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සොයා ගැනීමත් සමඟම ඒත්තු වීය. Hindu nationalists claiming as the origin of their religion the Indus Valley Civili’ation’. ඒ අනුව බොහෝ මිනිසුන් තුළ තම රටේ ඉතිහාසයෙහි පටන් විශ්මිත ශිෂ්ටාචාරයකට උරුමකම් කියන පිරිසක්‌ බව හෙළි වීමත් සමඟ ජාතිකවාදය තවදුරටත් වර්ධනය වීය. එය ජාතිකවාදීන් නිර්මාණය කිරීම කෙරේ බලපාන ලදී. විශේෂයෙන්ම එය ඉන්දීය ජාතික ව්‍යාපාරයට ද කිසියම් උත්තේජනයක්‌ සැපයූ හේතු සාධකයක්‌ ලෙස පෙන්වාදිය හැකිය. එපමණක්‌ නොව ජර්මන් ජාතිකවාදය පිළිබඳ අධ්‍යනය කිරීමේ දී ද ඒ බව පෙනී යයි. බොහෝ විද්වතුන් එය ජාතිකවාදයකට වඩා ජාතිවාදයක්‌ බව ඉස්‌මතු කළ නමුත් ඔවුන් ද ඉතිහාසඥයින් විසින් පෙන්වාදුන් ආර්යන්ගේ නිජබිම් සංකල්පය උපයෝගී කර ගන්නා ලදී. දෙවැනි ලෝක යුද්ධ සමයේ හිට්‌ලර් පෙන්වාදුන්නේ ජර්මන් ජාතිකයන් සතුව ආර්ය ලේ ගමන් කරන බවත්ය. ඒ හරහා පළමු ලෝක යුද්ධයේ අමිහිරි ප්‍රතිඵල භුක්‌ති විඳි ජර්මන් ජාතිකයන්ට නව උත්ප්‍රේරකයක්‌ සපයන ලදී. ඒ හරහා ජර්මන් ජාතිකවාදීන් විශාල වශයෙන් නිර්මාණය වීය. ඒ අනුව ඓතිහාසික තත්ත්වයන් හා සිදුවීම් ජාතිකවාදීන් නිර්මාණය කරන බව හඳුනාගත හැකිය. එපමණක්‌ නොව අසල්වැසි ඉන්දියාව දෙස අවධාරණය කිරීමේ දී අතීතයේ දී මුස්‌ලිම් ආක්‍රමණයන්ට එරහිව සිදු කළ සටන් මෙන්ම මුල් කාලීනව පෘතුගීසීන් හා ලන්දේසීන්ට විරුද්ධව ගෙන ගිය ව්‍යාපාරයන් ආදිය හේතු කොට ගනිමින් ඒ හරහා ඇති කරගත් ජාතිකත්වයත් සමඟම බොහෝ ඉන්දියානු ජාතිකවාදීන් එක්‌ව බ්‍රිතාන්‍ය විරෝධී සටන් ව්‍යාපාරයන් ගෙන ගිය අතර සිපොයි කැරැල්ල වැනි කැරලි ඒ හරහා නිර්මාණය වීය. ඒ හරහා ජාතිකවාදීන් උත්තතේජනය කරන ලදී. එමෙන්ම ක්‍රි.ව 1905 ජපානය වැනි කුඩා රාජ්‍යක්‌ රුසියාව වැනි විශාල හා බලවත් රාජ්‍යක්‌ ආක්‍රමණය කිරීම හරහා ලෝකයේ බොහෝ යටත් විජිත රාජ්‍යන් තුළ ස්‌වකීය ජාතිකවාදයක්‌ නිර්මාණය වූ අතර පසුකාලීනව එම සිදුවීම් උපයෝගී කර ගනිමින් යටත් විජිත මවු රාජ්‍යන්ට එරහිව සටන් කරන ලදී. ඒ අනුව එවැනි අවස්‌ථාවන් සඳහා ඓතිහාසික තත්වයන් හේතු වූ බව හඳුනාගත හැකිය.

ඓතිහාසික තත්වයන් පමණක්‌ නොව රාජ්‍යන් තුළ ඇති වන දුෂ්කරතාවන් මෙන්ම ජාතිය මුහුණ දෙන ගැටලුකාරී තත්වයන් කේන්ද්‍ර කරගනිමින් ද ජාතිකවාදීන් නිර්මාණය වීය. ඒ අනුව ජාතිය කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වී ඇති විටෙක දී ඒ තුළින් ජාතිය බේරා ගැනීමට, ජාතිය නඟා සිටුවීමට පුද්ගලයන් තුළ ජාතිකත්වයක්‌ නිර්මාණය වෙයි. බොහෝ විට විප්ලවයන් හරහා අප එම තත්ත්වයන් දැක ගනී. උදාහරණයක්‌ වශයෙන් ගත් කල ප්‍රංශ විප්ලවය පෙන්වාදිය හැකිය. එවකට ප්‍රංශයේ රජ කළ 14 වැනි ලුවී රජුගේ පාලන නිසා ජනතාව ඉතා අසීරුතාවන්ට ලක්‌ වීය. අධික ලෙස බදු බර ජනතාව මත පටවමින්, දේශපාලන විරුද්ධවාදීන් සිරගත කරමින්, ජනතාව සූරාකමින් ඉතා දුර්දාන්ත පාලනයක්‌ ගෙන යන ලදී. මෙය ජාතික ගැටලුවක්‌ වීය. ජින් ජැක්‌වින් රූසෝ ආදී සමාජ චින්තකයන්ගේ අදහස්‌ හා මතවාදයන් සමඟ එම ජාතිකවාදයන් ඇති වීය. එපමණක්‌ නොව රුසියන් විප්ලවය, චීන විප්ලවය ආදී ලෝකයේ බෙහෝ විප්ලවයන්ට ඉවහල් වූයේ මෙම ජාතීන් මුහුණදෙන දුෂ්කරතාවන්ය. ඒ හරහා ජාතිකවාදීන් නිර්මාණය වීය. එමෙන්ම වසර කිහිපයකට පමණ ඉහත දී ඇති වූ අරාබි වසන්තය නම් ක්‍රියාවලිය හරහාද සිදු වූයේ මෙයයි. ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව ආදී රාජ්‍යන් තුළ පැවති දරුණු ඒකාධිපතීත්වයට එරෙහිව ජාතිකවාදීන් විසින් විප්ලව මාලාවක්‌ ගෙන යන ලදී.

එමෙන්ම යටත් විජිතකරණය හමුවේ බොහෝ රාජ්‍යයන් විශාල අර්බුද රැසකට මුහුණ දෙන ලදී. විශේෂයෙන්ම ආසියා, අප්‍රිකා සහ ලතින් අමරිකානු කලාපයන් ඉන් ප්‍රධාන වෙයි. යටත් විජිත මවු රාජ්‍යන්ගෙන් එල්ල වූ විවිධ තාඩන පීඩනයන් හමුවේ ඔවුන් අසරණ වීය. අප්‍රිකානුවන් වෙළඳ භාණ්‌ඩයන් බවට පත් වීය. ඇමෙරිකාව අමුද්‍රව්‍ය සපයන රාජ්‍යක්‌ මෙන්ම ආසියාව ද තම වෙළෙඳපොළ බවට පත් වීය. මේ යටතේ මෙහි ජනතාව යටත් විජිතවාදීන්ට විරුද්ධව නැඟී සිටි අතරම එකී අසාධාරණයන් ඒ සඳහා හේතු වීය. After World War II, India, Pakistan, Ceylon, (Sri Lanka), Burma and Malaya (Malaysia) in Asia and Ghana in Africa achieved independence peacefully from the British Commonwealth as did the Philippines from the United States’ යන නිදසුන මගින් ඒ බව හඳුනාගත හැකිය. ස්‌වකීය ජාතිය බේරා ගැනීමට මෙන්ම තම සංස්‌කෘතිය විජාතිකයින්ගෙන් ආරක්‌ෂා කිරීම අරඹයා ජාතිකවාදීන් නිර්මාණය වීය. මහත්මා ගාන්ධි, ජවහල්ලාල් නේරු වැනි ඉන්දීය ජාතිකවාදීන් නිර්මාණය වන්නේ ද තම ජාතිය මුහුණ දුන් දුෂ්කරතාවයන් හේතුවෙනි. විශේෂයෙන්ම දකුණු අප්‍රිකාව වැනි රාජ්‍යන් ගත් විට නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයන් යටතේ ජාතිකවාදීන් පෝෂණය වූ අතර එතෙක්‌ සුදු ජාතිකයන්ගෙන් තමන් භුක්‌ති විඳි තාඩන පීඩනයන්ට විරුද්ධව ඔවුන් නැඟී සිටින ලදී. විශේෂයෙන් ශ්‍රී ලංකාව ගත් විට සුදු පාලනය හේතුවෙන් ලංකාව තුළ විශාල පෙරළීන් රැසක්‌ සිදු වීය. සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්‌කෘතික හා ආගමික යන අංශයන් තුළින් එම වෙනස්‌කම් සිදුවීය. ඒවා පෙර පැවති සමාජ ව්‍යqහයට අනුව සිදු නොවූ අතර විශේෂයෙන්ම ක්‍රිස්‌තියානි සංස්‌කෘතීන් ඇති කිරීම හා දුරාචාරය පැතිරවීම එමගින් සිදු වීය. ඒ අනුව සියලුම සිංහල, ද්‍රවිඩ, මුස්‌ලිම් ආදී නායකයන් එක්‌ව තම ජාතිය මුහුණ දෙන ගැටලුවට පිළිතුරු සෙවීමට උත්සුක වීය. විශේෂයෙන්ම අමද්‍යප සංගමය, ලංකා ජාතික සංගමය, පරම විඤානාර්ථ සංගමය, මුස්‌ලිම් ලීගය, හින්දු ශෛව සභා ආදී බොහෝ ආයතනයන් එක්‌ව මේ සටන ගෙන ගිය අතර තත් ගැටලු ඔවුන්ගේ ජාතිකත්වය වර්ධනය කිරීමෙහිලා වැදගත් වීය.

ජාතිය දුෂ්කරතාවන් හේතුවෙන් ජාතිකවාදීන් නිර්මාණය වේ යන්නට තවත් ප්‍රබල නිදසුනක්‌ ලෙස ජපානය පෙන්වාදිය හැකිය. ආසියාවේ බලවතා වශයෙන් නැඟී ආ ජපානය දෙවැනි ලෝක යුද්ධ සමයේ අක්‌ෂ පිල සමඟ සම්බන්ධ වීය. නමුත් ඔවුන් යුද්ධය පරාජයට පත් වීමත් සමඟම ඇමෙරිකාව ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි යන නගරයන්ට න්‍යෂ්ටික බෝම්බ හෙළන ලදී. ඒ නිසාවෙන් සමස්‌ත ජපානයම කඩා වැටුණි. එවැනි අවස්‌ථාවක ජපානයේ ජාතිකත්වය වර්ධනය වූ අතර රට නැවත යථා තත්වයට පත් කර ගත යුතු බව ඔවුන්ට වැටහුණි. ඒ හරහා අභිප්‍රේරණය වූ ජපන් ජාතිකවාදීන් ක්‍රමයෙන් ජපානය වර්ධනීය තත්ත්වයකට පත් කරන ලදී. විශේෂයෙන්ම වර්තමානයේ ජපානය සංවර්ධිත රාජ්‍යක්‌ වන අතරම ලොව කාර්මික හා ආර්ථික බලවතෙකු සේම කලාපීය බලවතෙකු සේ කටයුතු කරනු ලබයි. ඒ අනුව ජපානයට න්‍යෂ්ටික බෝම්බ හෙළීම හරහා ඇති වූ හදිසි තත්ත්වය හරහා ජපන් ජාතිකවාදීන් නිර්මාණය වූ ආකාරය හඳුනාගත හැකිය.

තත් කරුණුවලට අමතරව පුහුණු කිරීම් මගින්ද ජාතිකවාදීන් නිර්මාණය විය හැකිය. විශේෂයෙන්ම ඒ පිළිබඳව ප්‍රාමාණික අධ්‍යාපනයක්‌ ලබාදීම හා දැනුවත් කිරීම මගින් සාර්ථක ජාතිකවාදියකු නිර්මාණය කළ හැකි බව නූතන විද්‍යාර්ථයින්ගේ අදහසයි. විශේෂයෙන්ම වර්තමාන අධ්‍යාපන ක්‍රමය මගින් සිදු කරනු ලබන්නේ එයයි. වර්තමාන රාජ්‍ය බලාපොරොත්තුවන්නා වූ අරමුණු ඉටු කර ගනු වස්‌ ජාතිකවාදීන් නිර්මාණය කිරීමයි. ඒ සඳහා ජනතාව පුහුණු කිරීමේ භාරදූර වගකීම අධ්‍යාපනයට හිමි වීය. වර්තමාන ශ්‍රී ලංකාව තුළ ද අධ්‍යාපනය හරහා නිරුත්සාහිකව සිදු කරනු ලබන්නේ ද එයයි. විශේෂයෙන්ම 19 හා 20 වැනි සියවස තුළ යුරෝපයේ ඉතිහාසය අත්දැකීමේ දී ඒ බව සනාථ කර ගත හැකිය. ඒ බව සමබිම පුවත්පතේ කතුවැකිය අධ්‍යනය කිරීමේ දී හඳුනාගත හැකිය. 19 ශත වර්ෂයේ අග භාගයේ සහ 20 ශත වර්ෂයේ මුල් භාගයේ ජර්මානු බුද්ධිමත්තු ජාතිකවාදීන් වූහ. ඔවුහු ඉතාම තදබල ලෙස ඉංග්‍රීසි විරෝධී හා ඇමෙරිකානු විරෝධී ස්‌ථාවරයක්‌ ගත්හ. ඉංග්‍රිසීන් වනාහි ආත්ම කේන්ද්‍රීය ප්‍රායෝජ්‍යවාදීන් (Egotistic utilitarianists) ලෙස සලකා ගර්හාවට ලක්‌ කළහ. තවදුරටත්, ඉංග්‍රීසි අධ්‍යාපනයේ පදනම ද්‍රව්‍යවාදී, යථානුභූතවාදී, උපයෝගිතාවාදයක්‌ ලෙසට ජර්මානුවන් අතින් නිග්‍රහයට ලක්‌විය. ඊට ප්‍රතිවිරුද්ධව ජර්මන් අධ්‍යාපන පරමාදර්ශය වූයේ වීරයකු සාදන, යුදකාමීන් සාදන, කැප කිරීම, විශ්වාසගරුක බව, විවෘත බව, ගරුසරුත්වය, දිරිගන්වන සුලු බව හා පරිත්‍යාගශීලී බව වඩවන එකක්‌ ලෙසට වර්ධනය කිරීමටය. ජර්මානුවන් ලොව ප්‍රමුඛ පෙළේ ජාතියක්‌ බවට පත්වීම කෙරෙහි ජාතිකවාදීන් පුහුණු කිරීම සඳහා අධ්‍යාපනය යොදා ගත් බවයි.

එමෙන්ම බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉන්දියාව පිළිබඳව අධ්‍යනය කිරීමේ දී ද මදුරාසිය, බොම්බාය, කල්කටා වැනි විශ්වවිද්‍යාලයන් තුළින් ජාතිකවාදී හැඟීම් ඉන්දියානුවන් තුළ ජනිත කරවන ලදී. විශේෂයෙන්ම ඉන්දීය ජාතික ව්‍යාපාරය තුළ කැපී පෙනෙන මෙහෙවරක්‌ සිදු කළ බොහෝ තරුණයින් එකී විශ්වවිද්‍යාලයන් තුළින් අධ්‍යාපනය ලද පිරිස්‌ය. ඔවුන් ජාත්‍යාලය වර්ධනය කර ගනිමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරහිව සටන් කරමින් විශාල මෙහෙවරක්‌ සිදු කරන ලදී. ඒ ජාතිකවාදීන් පුහුණු කිරීම, විශේෂයෙන් ඔවුන්ට එහි යථා ස්‌වභාවයන් පෙන්වාදෙමින් ජාතිකවාදය පිළිබඳව අවබෝධයක්‌ ලබාදීම සිදුවීය.

ජාතිකවාදයේ බිහිවීම හේතු සාධකයන් මත සිදුවන්නේ ද නැතහොත් උපත මගින් තීරණය වන්නේ ද යන්න ඉතා විශ්ලේෂණාත්මක ව අධ්‍යනය කිරීමේ දී තවත් වැදගත් කරුණක්‌ අනාවරණය වෙයි. යම් රාජ්‍යක උපත ලැබූ පමණින් ම ජාතිකවාදීන් නිර්මාණය නොවූව ද යම් රාජ්‍යක උපත ලැබීම ජාතිකවාදයට යම් අභිප්‍රේරණයක්‌ ලබා දීමකි. නිදසුනක්‌ වශයෙන් යම් පුද්ගලයෙකු ශ්‍රී ලංකාව තුළ උත්පත්තිය ලබන්නේ නම් මේ මාගේ රට නැතහොත් මාතෘ භූමිය යනුවෙන් ඇති වන දේශවාත්සල්‍ය, ජාතිකාභිමානය ජාතිකවාදීන් නිර්මාණය කිරීම කෙරෙහි දැඩි වශයෙන් බලපානු ලබයි. යම් රාජ්‍යක උපත ලැබීම ජාතිකවාදයට හෝ ජාතිකත්ව හැඟීම් වර්ධනයට හේතු වූව ද උපතින් ජාතිකත්වය තීරණය වීම නිශ්ඵල වෑයමකි.

කෙසේ වෙතත් මෙම කරුණු අධ්‍යනය කිරීම හරහා ජාතිකවාදීන් උපත මගින් නිර්මාණය වීම හෝ තීරණය වන්නේ නොමැති බව වඩාත් තහවුරු වේ. මන්ද එය කිසි දිනෙක සිදු නොවන ප්‍රායෝගික නොවන කාරණයකි. විශේෂයෙන්ම ජාතිකවාදියෙකු තීරණය වීම සඳහා විවිධ හේතු සාධකයන් පැවතිය යුතුමය. ජාතිය මුහුණ දෙන කිසියම් ගැටලුකාරී අවස්‌ථාවක්‌, ඓතිහාසික කරුණක්‌ හෝ තත්ත්වයක්‌ නැතහොත් පුහුණු කිරීමක්‌ මගින් ජාතිකවාදීන් තීරණය වන බව හඳුනා ගත හැකිය. ඒ බව ඉහත උදාහරණයන් මගින් මනාව සනාථ වේ. ඒ අනුව කිසියම් හේතු සාධකයන් මත ජාතිකවාදියෙකු නිර්මාණය වන බවත් උපත ඒ සඳහා කිසිදු අයුරකින් බලනොපාන බවත් හඳුනාගත හැකිය.

උදාර රත්නායක
පේරාදෙණිය විශ්වවිද්‍යාලය



195 Viewers