• Home »
  • Sinhala »
  • ජාතික විද්වත් භික්ෂු සංසදයේ නව දසපනත එළිදැක්වීම

ජාතික විද්වත් භික්ෂු සංසදයේ නව දසපනත එළිදැක්වීම

slider_2

සතර අගතිය නිසා මේ වන විට දේශය බරපතල අර්බුදයකට පත් ව ඇති බැවින් මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒමට නම් සතර අගතියෙන් තොර ව කටයුතු කළ යුතු බව ජාතික විද්වද් භික්ෂු සංසදය නිර්දේශ කරයි.

ඉතිහාසයේ දේශය හා ජාතිය ආපදාපන්න අවස්ථාවකට පත් වූ සෑම විටෙක ම මේ රටේ භික්ෂූන් වහන්සේ ඉදිරිපත් ව ඊට පිහිට වී රටත් ජාතියත් බේරා ගත්හ. දුටුගැමුණු රජු දවසත් වළගම්බා රජු දවසත් ධාතුසේන රජු දවසත් ඇති වූ තීරණාත්මක තත්ත්වයන් හමුවේ මෙරටේ භික්ෂූන් වහන්සේ සිය කාර්යභාරය ඉටු නොකරන්නට සිංහල ජාතිය අවසන් වී බොහෝ කල් ගත වී ඇත. වාරියපොල මාහිමියන් සේ ම කුඩාපොල හිමියන් ඇතුඵ ඓතිහාසික භික්ෂූන් වහන්සේ ඒ ඒ අවස්ථාවේ දී සිය කාර්යභාරය මනා ව ඉටු කළ නිසා ම දේශයත් ජාතියත් සම්බුද්ධ සාසනයත් සුරක්ෂිත විය. 1956 වර්ෂයේ දී ද මෙරට සංඝ පිතෲන් වහන්සේලා එක් ව ක‍්‍රියාත්මක කරන ලද තීරණාත්මක ක‍්‍රියාමාර්ගය අතිශයින් ම අවශ්‍ය හා පෙරමග එළිය කරන්නක් ද වූ බව සිහිපත් කරමු. එදා මෙන් අද ඒ ඓතිහාසික කාර්ය භාරය පැවරී ඇත්තේ මේ රටේ මහාසංඝ රත්නයට බව අපි පසක් කොට සිටිමු. එනිසා ම පසුගිය කාලය පුරා ම සිදුවෙමින් පැවති තත්ත්වයන් අධ්‍යයනය කොට ඒ පිළිබඳ සාකච්ඡුා කොට නිගමනයකට පැමිණියෙමු.

රටත් ජාතියත් ආපදාපන්න අවස්ථාවන්ගෙන් නිදහස් කරගැනීම පිළිබඳ සමීපතම ආදර්ශය වනුයේ 1956 දී මහාසංඝ රත්නය විසින් කරන ලද මැදිහත් වීම යි. විවිධ දේශීය හා විදේශීය බලවේගයන් විසින් අඩපණ කරනු ලැබ තිබූ ජාතිකත්වය පිළිබඳ ආකල්පය ඉහළට ඔසවා ජාතික නායකයකු බිහිකරගන්නට තරම් එදා සංඝපිතෲන් වහන්සේ ලා දූරදර්ශී වූහ. එතෙක් භික්ෂූන් වහන්සේ ජාතියට නායකත්වය දෙමින් ආ ගමන් මගේ 1956 දී කරන ලද විප්ලවය එතැන් සිට නැවත සිදු කළ යුතු ව පවතින බව ජාතික විද්වද් භික්ෂු සංසදය අවබෝධ කොටගෙන සිටී.

පනස් හයේ දී ඉදිරිපත් කරන ලද “දස පනත” එතෙක් පැවති පරගැති දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කර ඇත. දේශීයත්වයට මුල් තැන දෙමින් නොබැඳි ප‍්‍රතිපත්තියක් හරහා ජාත්‍යන්තරය සමග ද කටයුතු කිරීමේ හැකියාව ඒ තුළින් ප‍්‍රකට කොට ඇත. පනස් හයේ සිට මේ දක්වා ගත වූ වසර හැට තුනක කාල සීමාව තුළ දී සමාජ ආර්ථික හා දේශපාලනික වශයෙන් සිදු වී ඇති වෙනස ද සුලූ පටු නොවේ. ජාත්‍යන්තර මැදිහත් වීම්, ත‍්‍රස්තවාදයේ මුහුණුවර වෙනස් වීම, බෙදුම්වාදය හා ආපදා අධිරාජ්‍යවාදය අප රටේ ඉදිරි ගමනට බලපෑම් කරමින් ග‍්‍රහණයට හසුකරගැනීමට මාන බලමින් සිටී. එබඳු පසුබිමක ජාතික ප‍්‍රඥප්තියක අවශ්‍යතාව මතු වී ඇත. හතු පිපෙන්නාක් මෙන් හිටිහැටියේ මතුවන පිඵණු වූ “ප‍්‍රතිපත්ති” හා “මාර්ගෝපදේශ” ජනතා හිතකාමී ජාතික නායකත්වය “බිත්තියට හේත්තු කිරීමේ” කූඨ උපක‍්‍රමවලින් සමන්විත වූයේ වෙයි. ඇතැම් විටෙක “දෙපැත්ත කැපෙන ආයුධ” තරමට ම අනතුරුදායක ප‍්‍රතිපත්ති සංග‍්‍රහයන් ද ඉදිරිපත් වෙයි. තවත් අය විසින් ජාති නායකත්වයට ඉදිරිපත් කරනුයේ “නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක්” සෙවීමේ වගකීම බාර දීමකි.

එබැවින් මේ රටේ සමස්ත මහ ජනතාවට රාජ්‍ය පාලනයට මැදිහත් විය හැකි හා සියලූ ජන කොටස්වලට සමගියෙන් කටයුතු කළ හැකි පරිසරයක්, සත්‍ය වූ සන්හිඳියාවෙන් යුක්ත වූ දේශයක් ගොඩනගා ගැනීම සඳහා ශක්තිමත් ප‍්‍රඥප්ති රාමුවක අවශ්‍යතාව ජාතික විද්වද් භික්ෂු සංසදය අවබෝධ කොටගෙන සිටී. ඒ අනුව දීර්ඝ වශයෙන් සාකච්ඡුා කොට පහත දැක්වෙන සංකලපමය රාමුව මත පිහිටා මහජන අදහස් අනුව විස්තීර්න උපාය මාර්ගික හා ප‍්‍රතිපත්ති රාමුව සකස් කළ හැකි ය.

1. දේශපාලන වශයෙන් පලිගැනීමේ සහ පටු අරමුණු මුල් කරගෙන ජාතිය භේදභින්න කිරීමේ පහත් දේශපාලන සංස්කෘතිය පිටුදැකීම.

2. අධර්මයට, ආගමික මූලධර්මවාදයට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගේ අයුතු බලපෑම්වලට මෙන් ම අයුතු විදේශීය බලපෑම්වලට යටත් නොවීම.

3. ජාතිකත්වය හා ආගම, භාෂාව, කුලය, රැකියාව සහ ජීවත් වන ප‍්‍රදේශය මුල් කරගෙන මහජනයා අතර අසමානතා වර්ධනය වීමට ඉඩ නොතැබීම සහ රට තුළ සමාජ සාධාරණත්වය තහවුරු කිරීම.
4. මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව සහ දීර්ඝ කාලීන පැවැත්ම මෙන් ම ජාතික ආරක්ෂාව සහ ජන ජීවිතයේ යහපත් පැවැත්ම පටු දේශපාලන හේතු මත අනතුරට ලක් නොකිරීම. විශේෂයෙන් තමා සතු ඡුන්ද ප‍්‍රමාණයක් පෙන්වා දේශපාලන කේවල් කිරීම් කරන ජාතිවාදී බෙදුම්වාදී ආගමික මූලධර්මවාදී කණ්ඩායම්වල අයුතු බලපෑම්වලට යටත් නොවීම.

5. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජන සම්මුතිවාදය ආරක්ෂා කිරීම සහ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් අවංක ව සහ විනිවිදභාවයෙන් යුතු ව සහ මහජන වගවීම සහිත ව කටයුතු කරන බව සහතික කිරීම.

6. දේශීය නිෂ්පාදන ආර්ථිකයේ පැවැත්ම සහ වර්ධනය තහවුරු කරන අතර රටේ ආහාර සුරක්ෂිතතාව මෙන් ම බහුතර ජනතාවගේ පැවැත්ම රඳාපවතින දේශීය කෘෂි කෘෂිකර්මාන්තය සහ ශ‍්‍රමය සුලූ නිෂ්පාදන ආර්ථිකයේ පැවැත්ම ආරක්ෂා කිරීම.

7. ලෝකය පුරා අසාර්ථක භාවයට පත් වී ඇති සහ මහජන විරෝධයට ලක් වී ඇති ව්‍යාජ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති වෙනුවට බහුතර මහජන යහපත සහ දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන සංවර්ධන න්‍යාය පත‍්‍රයක් සහ බදු ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම.

8. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය මුල් කොටගත් ඓතිහාසික සුභ සුබසාධන සමාජ පද්ධතියේ පැවැත්ම අනතුරට ලක් නොකොට දැනුම මුල් කොටගත් සමාජ ආර්ථික ව්‍යුහයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය අධ්‍යාපන සහ පුහුණු අවස්ථා පුළුල් කිරීම.

9. දේශීය වෙද්‍ය ක‍්‍රමය ඇතුළු දේශීය දැනුම් පද්ධතිය ජාතික උරුමයන් හා සංස්කෘතික මූලයන් ආරක්ෂා කිරීම සහ ඉඩම් අතුළු ස්වාභාවික සම්පත් හා රාජ්‍ය දේපල විදේශීය අයිතියට යටත් කිරීමට ඉඩ නොදීම.

10. පළාත් පාලන ආයතන මට්ටමට රාජ්‍ය විධායක බලය ප‍්‍රශස්ත ලෙස බෙදා හැරීම මගින් මහජනයාට රාජ්‍ය පාලනයට සහභාගි වීමට උපරි ම අවස්ථාව ලබාදීම සහ සමාජ සම්මුතියට ලක් වන යෝජනා ක‍්‍රියාත්මක කිරීමේ දී විනිවිදභාවය සහ මහජන සහභාගිත්වය තහවුරු කිරීම.
එබැවින් මෙම දාර්ශනික පදනම සහ සංකල්පීය රාමුව තුළ පිහිටා පොදු මහජන අදහස් සැලකිල්ලට ගනිමින් ජාතික ප‍්‍රඥප්තියක් සකස් විය යුතු යැයි ජාතික විද්වද් භික්ෂු සංසදය අදහස් කරයි. ඒ අනුව මේ රටට ආදරය කරන සියලූ ජන නායකයන්, සියලූ ම ආගමික නායකයන් හා සාමාන්‍ය ජනතාවත් විවිධ විද්වතුන්, විවිධ වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන් ඇතු`ඵ සමස්ත ප‍්‍රජාව එකී ජාතික ප‍්‍රඥප්තිය සකස් කිරීමේ කර්තව්‍යය සඳහා දායක කරගැනීමට අදහස් කරයි.

ලේකම් කාර්යාලය සහ මාධ්‍ය ඒකකය
සුනේත‍්‍රා මහාදේවී පිරිවෙන
පැපිලියාන
බොරලැස්ගමුව.

ජූනි 04 දින සිට ජූලි 02 දින දක්වා සෑම අගහරුවාදා දිනක ම කාර්යාලය පෙ.ව. 8.00 සිට පස්වරු 6.00 දක්වා විවෘත ව ඇත. 0712178873 දුරකථන අංකයට ඇමතීමෙන් සම්මුඛ ව අදහස් ලබා දීම සඳහා වේලාව වෙන් කරගත හැකි ය. ලිඛිත ව කරනු ලබන අදහස් දැක්වීම් ලේකම්, මහජන අදහස් විමසීම, ජාතික විද්වද් භික්ෂු සංසදය, සුනේත‍්‍රා මහාදේවි පිරිවෙන, පැපිලියාන, බොරලැස්ගමුව. යන ලිපිනයට තැපෑලෙන් හෝ ගෙනවිත් බාරදිය හැකි ය.

පොදු මහජන අදහස් ලබාදීම සඳහා පහත දැක්වෙන දිනවල කාර්යාලය විවෘත ව ඇත.

1. පළමු ජනතා හමුව ජූනි 04
2. දෙවැනි ජනතා හමුව ජූනි 11
3. තෙවැනි ජනතා හමුව ජූනි 18
4. සිව්වැනි ජනතා හමුව ජූනි 25
5. පස්වැනි ජනතා හමුව ජූලි 02


131 Viewers