ජාතිවාදියා

ජාතිවාදීයා කවුද කියල හොයන එක එච්චරම අමාරු වැඩක් නෙමෙයි. ආණ්ඩුවේ අයටනම් ජාතිවාදියා මහින්ද. විපක්ෂයේ අයටනම් ජාතිවාදියා චම්පික. ගුටිකාපු අයටනම් ජාතිවාදියා රනිල්. ඉතින් රට තුල ඇතිවෙමින් නැතිවෙමින් යන එන ජාතිවාදී කළබලය පාලනය කරන්න හරිම ලේසියි. මොකද මොන පැත්තෙන් බැලුවත් ජාතිවාදීන් ඉන්නේ තුන් දෙනයි. එතකොට බෝම්බ ගල් පොලු අරගෙන ආපු අය බබ්බු වෙන්නත් පුළුවන්.
මගේ අදහසනම් මංගල, මලික් වගේ අය ඇරුනම ජාතික දේශපාලනයේ ඉන්න අනිත් හැම දේශපාලකයෙක් වගේම ‘ජාතිකවාදී’ අදහසක් ඇති මිනිස්සු. ඒ කියන්නේ සිංහල ජාතිය ලංකාවේ බහුතරය බව පිළිගන්න, ඒ මිනිස්සුන්ට අවේනික සංස්කෘතික ලක්ෂණ රැකගැනීම ජාතික වගකීමක් බව විශ්වාස කරන, බහුතරය අනාරක්ෂිත කලොත් ඒක පොදුවේ රටේ උන්නතියට හොද නැති බව අත්දැකීමෙන් දන්න කට්ටියක්. මහින්ද, චම්පික, ඩලස්, දිනේෂ්, උදය මේ හැමෝම ඉන්නෙ එතන. ඒ කවුරුවත් මුස්ලිම් සහ දෙමළ ජාතීන්ට කෙලවල මේක සිංහලද්විපයක් කල යුතුයි කියල හිතන්නෙ නෑ. අනිත් අතට සුළු ජාතින් ඉන්න පලියට මහ ජාතිය, සම ජාතියක් ලෙස කටයුතු කල යුතුයි කියල හිතන්නෙත් නෑ. මේ දේශපාලකයන් හැමෝම මුස්ලිම් දෙමළ අයත් එක්ක දේශපාලනය කරනවා.

හැබැයි හකීම්, රිෂාඩ්, සම්බන්ධන් කියන්නේ ‘ජාතිකවාදී’ දේශපාලකයන්ද නැත්නම් ‘ජාතිවාදී’ දේශපාලකයන්ද?. එයාලගේ පක්ෂයේ නමේ සිට එයාලගෙ දේශපාලන භාවිතය දක්වා සියලුම කාරණා පදනම් වෙලා තියෙන්නේ එකම ජාතියකට සහ හුදෙක්ම ඒ ජාතියේ ඉල්ලීම් සහ අවශ්‍යතා වලට. ඒ හැමෝම ජාතික දේශපාලන පක්ෂ ඇතුලට එන්න අකමැති තමුන්ගේ ‘ජාතිය උකස් කරලා’ ආණ්ඩුවත් එක්ක දේශපාලන කේවල් කිරීම් කරන්න බැරිවෙන හින්ද. රටේ බොහොමයක් ජාතික ප්‍රශ්න වලදී එයාල අහන්නේ ‘අපේ ජාතියට’ මොකද වෙන්නෙ කියල. හැබැයි කොහොමද දකුණේ මන්ත්‍රීවරයෙක් ‘සිංහලයට මොකද වෙන්නෙ’ කියල ඇහුවොත්?
ඉහත කාණ්ඩ දෙකටම අමතරව ඉන්නවා ‘රනිල්’ වගේ කාණ්ඩයක්. මම නම් කියන්නේ එයාල ජාතිවාදීත් නෑ, ජාතිකවාදීත් නෑ. 83 ඉදන්ම එයාලා ‘අවස්තාවදියි’. රනිල් වගේ අය බලන්නේ රට තුල සදාකාලිකවම පවතින ජාතීන් අතර සැකය කොහොමද පවතින දේශපාලනික අස්ථාවරත්වයෙන් ගොඩ එන්න භාවිතා කරන්නෙ කියල. 83 දෙමළ මිනිස්සුන්ට එරෙහිවත් 18 මුස්ලිම් මිනිස්සුන්ට එරෙහිවත් ප්‍රචණ්ඩත්වයක් ඇතිවෙන්න ඉඩදීලා, හිතාමතාම එය වලක්වන එක කල්දාල, ඊටපස්සේ විපක්ෂයට සහ සමාජමාධ්‍යට එරෙහිව ඇගිල්ල දික්කරලා ස්ථාවර කරගන්න හදන්නේ ආණ්ඩුවේ ධුරකාලය. ඉතින් ප්‍රශ්නය එහෙම්මම ඉතුරුවෙනවා.

මටනම් මහින්ද, චම්පික, හකීම් සහ සම්බන්ධන් කියන සියලුම දෙනා අඩු වැඩි වශයෙන් හරි. මොකද එයාල දේශපාලනිකව නියෝජනය කරන්නේ ඒ ඒ කදවුරු වල ඉන්න මිනිස්සුන්ගේ සැබෑ දේශපාලන චින්තනය. මහින්ද හෝ චම්පික හෙට කිවොත් ‘සිංහලයා මහ ජාතිය බව අමතක කර සියළුම සුළු ජාතීන්ද මහ ජාතින් බවට පත්කලයුතුයි’ කියල, NGO වල වැඩකරන හත් අට දෙනෙක් ඇරුනම අනිත් සියලුම සිංහල චන්ද මෙයාලට අහිමි වෙනවා. හකීම් හරි සම්බන්ධන් හරි කිවොත් ‘අපි සුළු ජාතින් ලෙස මහ ජාතියේ සමාජ සංස්කෘතියට මුල් තැන දෙමු’ කියල මෙයාලට අම්පාරට යාපනේට යන්න බැරි වෙනවා. ඉතින් ඒගොල්ලො ‘මහජන නියෝජිතයෝ’ බව අපි මතක තබාගත යුතුයි. ඒක තේරුම් ගන්නේ නැතිවුනාම තමා ‘නුවර කෝලාහල වලට හේතුව සමාජමාධ්‍ය’ වගේ බහුබූත නිගමන වලට එන්නෙ.

ඒ අතින් රනිල් වගේ අය නරි. එයාල තමුන්ගේ ජාතියට ආදරෙත් නෑ. අනුන්ගෙ ජාතියට ආදරෙත් නෑ. පොදුවේ මිනිස්සුන්ගේ දේශපාලන චින්තනය නියෝජනය කරන්නෙත් නෑ. නියෝජනය කරන්නේ ‘බලය’ පමණයි. ඒක අර දෙගොල්ලන්ටම වඩා භයානක අවස්තාවක්. ෆේස්බුක් තහනම් කරල රටේ ප්‍රශ්නය විසදන්න පුළුවන් කියල එයාල කියන්නෙ ඒකයි.

මගේ යෝජනාවනම් ජාති(ක)වාදියෝ හොයන එක නවත්තල අපි අවස්තාවදියාව අල්ලගන්නයි මහන්සි විය යුත්තේ.

මිලින්ද රාජපක්ෂ



880 Viewers