ජිනීවා යෝජනා 30/1

ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව සමග එකඟතාවකට පැමිණි 30/1 සහ 40/1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත්වීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව රජය විසින් ඉදිරියේදී මේ පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙනු අතර ඒ පිළිබඳව කවුන්සලයේ මතය ඊළඟ සැසියේදී ශ‍්‍රී ලංකාවට දැන ගැනීමට හැකිවනු ඇත.

ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේ වෙබ් අඩවියේ 2015 ඔක්තෝබර් 14 වැනි දින නිකුත් කර ඇති විමර්ශන අංක ්/්‍යඍක්‍/ඍෑී/30/1 අදාළ යෝජනාවලියේ කරුණු බොහොමයක් ශ‍්‍රී ලංකාව විසින් මේ වන විට ඉටුකර තිබේ. එම යෝජනාවලියේ ලංකාව මෙතෙක් ඉටු නොකොට ඇත්තේ 6 වැනි වගන්තියේ එන විශේෂ උපදෙස් මත ක‍්‍රියාත්මක අධිකරණ යාන්ත‍්‍රණයක් ස්ථාපනය කිරීම සහ 8 වැනි වගන්තියේ එන ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය නොකිරීමය. මෙම යෝජනා ඉටුකිරීම සඳහා ආණ්ඩුව 2021 දක්වා කාලය ලබාදෙන ලෙස කවුන්සලයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඊට කවුන්සලයේ අනුමැතිය හිමි වී තිබිණි. නමුත් පෙරේදා (19දා* වර්තමාන කැබිනට් මණ්ඩලය අනුමත කරගත් යෝජනාවකට අනුව 30/1 යෝජනාවලියෙන් සහ එම යෝජනා බලාත්මක කරමින් කවුන්සලය ඉදිරිපත් කළ 40/1 යෝජනාවලියෙන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඉවත් වනු ඇත.

මානව හිමිකම් කවුන්සලය විසින් ඉදිරිපත් කළ 30/1 යෝජනාවලියේ 6 වැනි වගන්තිය ඕනෑම රටක ස්වෛරීභාවයට ඉතා අහිතකර ලෙසින් බලපෑම් එල්ල කළ හැකි කරුණුවලින් සමන්විතය. එම වගන්තියේ එන, මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය සහ විදේශීය විනිසුරුවන්ගෙන් සමන්විත අධිකරණයක් පිහිටුවීමට ශ‍්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ කිසිදු රටක් ඊට ඉඩ නොදෙනු ඇත. එය තනිකරම ජාත්‍යන්තර අත පෙවීමකි. එබැවින් එම යෝජනාවලියෙන් ඉවත් වීමට වර්තමාන ආණ්ඩුවට කොන්දක් තිබීම අගය කළ යුතුය. නමුත් මෙහිදී මතුවන ඊළඟ අර්බුදය වන්නේ යෝජනාවලියෙන් ඉවත් වූ පමණින් මානව හිමිකම් කවුන්සලයේ බලපෑමෙන් අපිට ගැලවිය හැකිද යන්නය.

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන ජාත්‍යන්තරය කතා කිරීමට පටන් ගන්නේ යුද්ධය අවසන් වීමෙන් පසුවය. එම බලපෑමෙන් මිදීමට යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන් රජයටද නොහැකි විය. ඉන් ගැලවීමට රජය විසින් ඉදිරිපත් කළ උපායශීලී ක‍්‍රියාවලිය වූයේ උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිෂන් සභාව :ඛඛඍක්‍* පිහිටුවා එහි වාර්තාව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීමය. කවුන්සලය 30/1 යෝජනාවලිය ඉදිරිපත් කරන්නේ උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිෂන් සභාව මගින් ඉදිරිපත් කරන ලද සාක්ෂි පදනම් කරගනිමිනි. ඔවුන් එය ඉතා පැහැදිලිව 30/1 යෝජනාවලියේ සඳහන් කර තිබේ. 2015 වසරේ බලයට පත් වූ රජය විසින් සිදුකරන්නේ කවුන්සලය ඉදිරිපත් කළ 30/1 යෝජනාවලිය දණ ගසා දෝතින්ම භාර ගැනීමය. එය ප‍්‍රතික්ෂේප කිරීම කෙසේ වෙතත් අඩුම තරමේ ඊට නිර්දේශ ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට කොන්දක් තිබුණේ නැත.

ශ‍්‍රී ලංකාවේ දේශපාලන ශබ්ද කෝෂයේ එන ඉතා නරකම වචනය වන්නේ, ‘පසුගිය ආණ්ඩුව’ යන වචනය ය. පසුගිය ආණ්ඩුව, යහපාලන ආණ්ඩුව, මහින්ද ආණ්ඩුව, චන්ද්‍රිකා ආණ්ඩුව, පේ‍්‍රමදාස ආණ්ඩුව, ජේ. ආර්. ආණ්ඩුව කියා ආණ්ඩු වර්ගයක් දේශපාලන ශබ්ද කෝෂයේ නැත. මේ සෑම ආණ්ඩුවක්ම එක ආණ්ඩුවකි. එය අයිති රටේ ජනතාවටය. එම නිසා බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම ක‍්‍රියා කළ යුත්තේ රටේ ජනතාවගේ අනාගතය යහපත් කිරීමට බලපාන තීන්දු

ගැනීමටය. ඒ සඳහා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර පොදු එකඟතාවක් තිබිය යුතුය. නමුත් ලංකාවේ මෙතෙක් සිදුවෙමින් තිබෙන්නේ එවැනි එකඟතා නොව රටේ සියලූ අර්බුද, දේශපාලන බලය වෙනුවෙන් කළමනාකරණය කර ගැනීමය. ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදී යුද්ධය, යුද්ධයෙන් අවසන් කිරීම සාධාරණීකරණය කිරීමට ඕනෑ තරම් සාක්ෂි සහ තාර්කික පිළිතුරු අප සතුව තිබියදී එම අර්බුදය ජිනීවා නුවර දක්වා පැතිර යෑමට බලපෑ ප‍්‍රධාන හේතුව වන්නේ මේ මජර දේශපාලන චින්තනය ය. එම නිසා දැන්වත් ජිනීවා ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු දීමට රටේ සියලූ දේශපාලන පක්ෂ එක මේසයකට පැමිණිය යුතුය. එය මොහොතක් හෝ ප‍්‍රමාද නොකළ යුතු ජාතික කර්තව්‍යක් බව අපි දේශපාලකයන්ට මතක් කර සිටිමු.

90 Viewers