• Home »
  • Sinhala »
  • ජිනීවා වටලෑමට මුහුණදීම: ඉතිහාසය සහ වර්තමානය

ජිනීවා වටලෑමට මුහුණදීම: ඉතිහාසය සහ වර්තමානය

11ජිනීවා වටලෑමට මුහුණ දීමේදී පසුගිය ආණ්ඩුවට කොන්ද තිබුණා.. මොළේ තිබුනෙ නැහැ. මේ ආණ්ඩුවට දෙකම නැහැ – ජාතික සංවිධාන

කොටි ඩයස්පෝරාව 2009 සිට ජිනීවාහි පැවැත්වෙන සෑම මානව හිමිකම් සැසිවාරයකදීම යුද අපරාධ චෝදනා නැවත නැවත මතක් කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව පීඩනය උත්සන්න කරති. පසුගිය රජය සමයේ දී එම පීඩනයට යටත් නොවුණද අදාළ චෝදනා වලට නිල වශයෙන් ඍජු පිළිතුරු බැඳීමට ක්‍රියා නොකළේය. එසේම එම කාලයේ දී කොටි ඩයස්පෝරාව විසින් එල්ල කරන බොරු චෝදනාවලට මුහුණට මුහුණ පිළිතුරු දීමට ද වැඩපිළිවෙළක් නොතිබුණි. එවැනි ප්‍රතිප්‍රහාර දීම සඳහා බාහිර පිරිස් යොදා ගැනීමට සිදුවේ. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් හෝ ලියාපදිංචි කළ යුතුය. කොටි ඩයස්පෝරාව සතුව මානව හිමිකම් කවුන්සලයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් තිබේ. නමුත් 2016 දී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මැදිහත්ව ඒ සඳහා සංවිධානයත් සොයාගන්නා තෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට එක් සංවිධානයක් හෝ තිබුණේ නැත.

ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති අංශ හෝ විදේශ අමාත්‍යාංශය එවැනි බාහිර මහජන මැදිහත්වීමක උපායමාර්ගික අවශ්‍යතාවය දුටුවේ නැත. ඒ නිසාම ඒ සඳහා උනන්දුවක් නොදැක්විය. සමුළු සැසිවාරවලට ශ්‍රී ලංකාවෙන් තොග පිටින් පිරිස් සහභාගි වුවද ඔවුන් බලා සිටින්නන් ගේ භූමිකාවෙන් එහාට අඩියක් හෝ තැබුවේ නැත. එසේ වුවත් පසුගිය රජය සමයේ විදේශ ත්‍යාංශය මෙහෙයවූ අධීක්ෂණ මන්ත්‍රීවරයා තම අමාත්‍යවරයා පවා නොසලකා හරිමින් පාකිස්තථානු ජාතික ජාවාරම් කාරයෙක් හරහා ඒ මහා ජාත්‍යන්තර ප්‍රශ්නය විසඳීමට උත්සාහ කළේය. ඒ අනුව එම පුද්ගලයා හරහා කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් වැය කොට ඇමරිකානු මහජන සබඳතා සමාගමක් හරහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කවුන්සිලය දිනාගැනීමට උත්සාහ ගැනිනි. ඒ තුළ සැබෑ ලෙසම කළයුතුව තිබුදේ එනම් හමුදාවට එරෙහිව එල්ල වන චෝදනාවලට සාක්ෂි සහ නීතිමය තර්ක සහිතව නිල වශයෙන් පිළිතුරු දීමේ ක්‍රියාවලිය යටපත් විය. ඒ සමස්ථ ක්‍රියාවලිය තුළ පාකිස්තාන්කාරයා සහ අධීක්ෂණ මන්ත්‍රීවරයා පොහොසත් වීම හැර අන් දෙයක් සිදු නොවීය.

නමුත් ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති අංශ අවම යුතුකමක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව වෙනුවෙන් ඉටු කළේය. ඔවුන් විසින් මානව හිමිකම් කවුන්සිලය සහ සෙසු බාහිර පාර්ශව විසින් ඉදිරිපත් කළ චෝදනා සහ ඊට අදාලව ඉදිරිපත් කළ සියලු යෝජනා ප්‍රතික්ෂේප කරන්නට යෙදුණි. එය මහින්ද රාජපක්ෂ රජයේ මූලික ප්‍රතිපත්තියක් විය. එම ප්‍රතිපත්තිය තුල චෝදනා වලට පිළිතුරු බැඳීමක් සිදු නොවුනද ඒවා පිළිනොගැනීමේ සහ ඒ ආශ්‍රිතව සිදුකෙරුණු බලපෑම් ක්‍රියාවලියට යටත් නොවී සිටීමේ ස්ථාවරය පැහැදිලිව පිළිබිඹු විය. එනම් මොළයෙන් කළ යුතුදේ නොකළ ද පිටකොන්ද කෙළින් තබාගෙන ක්‍රියා කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එදා සමත්විය. එසේ මානව හිමිකම් කවුන්සිලය මගින් එල්ල කෙරෙන චෝදනා සහ ඊට අදාළ සියලු යෝජනා ප්‍රතික්ෂේප කිරීම හෙවත් පිළිනොගැනීම ඉතා වැදගත් මූලික උපාය මාර් ගික ප්‍රවේශයකි.

යුද්ධය පැවති කාලයේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ තානාපති වරුන් විසින් සිදු කළ මැදිහත් වීම් වලදී සහ යුද්ධය අවසන් කිරීමෙන් පසුව මහලේකම් බෑන් කී මූන් විසින් කරනු ලැබූ මැදිහත්වීමේ දී ද ‍ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුලින් එම‘‘ පිටකොන්ද‘‘ පිළිබිඹු විය. නමුත් බුද්ධිමය මෙහෙයුමේ අඩුපාඩුව 2009දී තානාපති දයාන් ජයතිලක මහතා විසින් මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ සිටම දක්නට ලැබුනි. එදා එම යෝජනාව මගින් කොටි ඩයස්පෝරාව ඇතුළු ශ්‍රී ලංකාවට එරෙහිව පෙළගැසුණු සියලු බලවේග වලට එක් විශේෂ පොරොන්දුවක් ලබා දුනි. එනම් සන්හිදියාවේ නාමයෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් දේශපාලන විසඳුමක් ක්‍රියාත්මක කරන බවය. එම යෝජනාව 1987 දී 13වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් පසුව නැවත යුද්ධය ආරම්භ වූ දින සිටම බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ඉදිරිපත්විය. එයට හේතුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම වළක්වමින් යම් ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් පනවා තිබීමය. ඒ අනුව එම ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනයම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එම බාධක ඉවත් කළ යුතුය.

ඒ අනුව එදා 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය වැඩි ඡන්දයෙන් සම්මත විය. ඊට හේතුව ශ්‍රී ලංකාවට එරෙහිව යුද්ධය වෙනුවට මානව හිමිකම් කසය යොදා ගනිමින් බලපෑම් කරන සියලු බලවේග වල අවසානය ඉල්ලීම එය වීමය. මහින්ද රාජපක්ෂයන් 2005දී බලයට පත්වීමෙන් පසුව කැඳවූ සර්වපාක්ෂික සමුළුවේ ප්‍රධාන ඉල්ලීම වූයේද එයයි. ඉන්පසුව වර්තමාන රජයේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන කමිටුව වූ මධ්‍ය පරිධිය උප කමිටුවේ ප්‍රධාන ඉල්ලීම වූයේ ද එයයි. එසේම 2015 දී මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ 30/1 යෝජනාවලියේ 16වැනි යෝජනාවෙන් ඉල්ලා සිටියේද එයයි. ‘ද අයිලන්ඩ් පුවත්පතේ ප්‍රවෘති කර් තෘ ෂමින්ද්‍ර ෆර්ඩි නෑන්ඩු මහතා විසින් හෙළිදරව් කළ ආකාරයට 30/1 යෝජනාව සම්මත කිරීමට පෙර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ඉදිරිපිට දී ටී.එන්.ඒ පක්ෂයේ නියෝජිතයන් එකඟ කරවා ගනු ලැබුවේ ද ප්‍රධාන වශයෙන් එම යෝජනාව මුල්කරගෙනය.

ඒ අනුව කරුණු දෙකක් පැහැදිලි වේ. පළමුවැන්න මෙම තත්වය දයාන් ජයතිලක මහතා ඉතා හොඳින් තේරුම් ගෙන සිටි බවය. දෙවැන්න යුද අපරාධ චෝදනා ඉදිරිපත් කෙරෙන්නේ එම මූලික ඉල්ලීම් ඉටු කරවා ගැනීම සඳහා වන ‘‘අත කැරකවීමේ‘‘ උපාංගයක් ලෙස බවය. නමුත් එදා 2009 දී එම යෝජනාවට සියලු දෙනා එක හඬින් එකඟ වනවි විට එක් දෙයක් ඔවුන් දැන සිටියේ නැත. එනම් එදා පැවති වාතාවරණය යටතේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් 13වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීමට මහින්ද රාජපක්ෂ මහතා එකඟ නොවන බවය. කෙසේ වෙතත් 2013 දක්වා ඒ සඳහා මානව හිමිකම් කවුන්සිලය ප්‍රමුඛ බටහිර බෙදුම්වාදී බලවේග සහ ටී.එන්.ඒ පක්ෂය විසින් ප්‍රබල උත්සාහයක් දැරීය. ඉන්පසු 2014 දී 25/1 යෝජනාව මගින් යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පිහිටුවීමට තීරණය වන්නේ මහින්ද රාජපක්ෂයන් යටත් කිරීමේ සියලුම උත්සාහයන් ව්‍යාවර්ථ වූ බැවිනි. නමුත් ඒ දක්වා ක්‍රියාවලිය තුළ ඉහත සඳහන් කළ ආකාරයට පිටකොන්ද සහ මොළය අතර තුලනය සිදු නොවීය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් 2010 දී උගත් පාඩම් කොමිසම පිහිටුවා එහි වාර්තාව කෙසේ වෙතත් මූලික කටයුතු ආරම්භ කිරීමට පෙර එනම් මාස දෙකක් ඇතුළත බන්කි මූන් විසින් දරුස්මාන් වාර්තාව කැද වන්නේ කුමක් නිසාද යන්න එදා ආණ්ඩුව තේරැම් ගත්තා ද යන්න සැක සහිතය. එදා එක් පැත්තකින් ගෝමින් දයාශ්‍රී වැනි ජාතිකවාදී ජේෂ්ඨ නීතිඥ වරුන් කියා සිටියේ ඇමරිකාව කරන ආකාරයට 1971 දී පිහිටවූ අපරාධ යුක්ති කොමිෂන් සභාව මෙන් ‘ව්‍යාජ’ අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කොට සමස්ත ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ අතට ගත යුතු බවය.

එහිදී තවදුරටත් යෝජනාවූයේ බන් කි මූන් ගේ ඊනියා පුද්ගලික දැනුවත් වීමේ වුවමනාව මත පමනක් දරුස්මාන් වාර්තාව කැඳවන බව පිළි නොගත යුතු බවය. එහිදී මතුවූ අදහස වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම සාධාරණීකරණය කිරීම සඳහා එම වාර්තාව යොදා ගන්නා බවය. ඊට එරෙහිව එක්සත් ජාතීන්ගේ කාර් යාලය ඉදිරිපිට පවා ප්‍රබල විරෝධයක් එල්ල කෙරුණ ද ඊට නිසි අවධානය යොමු නොවීය. ඒ අනුව එසේ උපකල්පනය කළ ආකාරයටම සාක්ෂිකරුවන් හෙළිදරව් නොකර බොරු සාක්ෂි තොග වශයෙන් ගොනු කොට ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම්ට එම වාර්තාව යොදා ගැනුණි. එහිදී ආණ්ඩුව විසින් නැවත වතාවක් පිටකොන්දේ ශක්තිය පෙන්වා එම කමිටුව ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වූ අතර ඊට පිළිගැනීමක් ද ලබා දුන්නේ නැත. එසේ වුවත් එම චෝදනාවලට නිළ වශයෙන් කරුණුමය සහ නීතිමය තර්ක යොදා ගනිමින් පිළිතුරු බැඳීමට මොළය යෙදවීමක් සිදු නොවීය.

එහිදී එසේ උත්තර බැඳීමක් සිදු වූවා නම් ඊට වක්‍ර නිල භාවයක් ලැබෙන බවටද තර්කයක් මතු විය. එහෙත් අවසානයේදී එම වාර්තාවට නොනිල ලෙස නිල භාවය ලබාදීමට බන්කිමූන් ඉතා සූක්ෂම ව ක්‍රියා කළේ ය. ඒ අනුව 2014දී 25/1 යෝජනාව මගින් පිහිටවූ ශ්‍රී ලංකාවට එරෙහි පරීක්ෂණ කමිටුව විසින් සිදුකරනු ලැබුවේ ‘‘ඩෙක්ස්වර්ක් ‘‘හෙවත් මේසය මත කරනු ලබන පරීක්ෂණයක් පමණි. එනම් එහිදී සිදු කරනු ලැබුවේ දරුස්මාන් වූ වාර්තාවේ අඩංගු වූ පට්ටපල් බොරු සාක්ෂි නැවත සටහන් කොට ඒවාට සුජාත භාවය ලබාදීම පමණි. කෙසේ හෝ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දිගින් දිගටම පිට කොන්ද කෙලින් තබාගනිමින් එම යෝජනාව සහ වාර්තාව යන දෙකම ප්‍රතික්ෂේප කරන බවට තීන්දුවකට එළඹුණි. කෙසේ වෙතත් එම ක්‍රියාවලිය ආරම්භ වීමට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මොළය ක්‍රියාත්මක වීම යම් පමණකට ආරම්භ විය. ඒ අනුව 2013දී මැක්ස්වෙල් පරණගම කොමිසම් පිහිටුවා අතුරුදන්වීම් පිළිබඳව සොයා බැලීමට කොමිසම්ක් පත් කිරීම සිදුවිය. ඊට හේතුව ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල වූ ප්‍රධානතම,ප්‍රබලම සහ ඔප්පු කිරීමට පහසුම චෝදනාව අතුරුදහන් කිරීමේ චෝදනාව වීමය. එසේ වුවත් ඊට සහභාගි වූ පුද්ගලයන්ගේ දැක්ම සහ ක්‍රියාවලියේ අඩුපාඩුකම් නිසා එම කොමිසමේ යම් නිර් දේශයන් මෙන්ම ඊට පෙර පත්කළ උගත් පාඩම් කොමිසමේ නිර් දේශ ශ්‍රී ලංකාවට පාරා වළල්ලක් බවට ද පත් විය. ඒ සියල්ල නිවැරදි කළ හැකි වූයේ ශ්‍රී ලංකාවේ පැත්තෙන් අදාළ චෝදනා වලට විශ්වාසනීය සහ ප්‍රබල ලෙස උත්තර බැදීමෙන් පමණි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒ බව තේරුම් ගන්නා විට බොහෝ පමා වී තිබුණි. කෙසේ වෙතත් අවසානයේදී මැක්ස්වෙල් පරණගම කොමිසමේ දෙවැනි බල අධිකාරිය ලෙස ලෝකය පිළිගත් යුද අපරාධ විශේෂඥයින් 5 කුට එම වගකීම පැවරිණි. එය ඉතා වැදගත් සහ දියුණු උපාය මාර්ගග තේරීමකි.

එම විද්වතුන් විසින්ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුනොකළ බවට විශ්වාසනීය සාක්ෂි යම් ප්‍රමාණයක් සහිතව සහ ඉතා ප්‍රබල නීතිමය තර්ක ඇතුලත් වාර් තා 6ක් නිකුත් කරන්නට යෙදුණි. ඉන් එක් වාර්තාවක් පමණක් පරණගම කොමිසමේ මූලික වාර්තාවට ඇතුලු වූ නමුත් සෙසු වාර් තා නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ නැත. ඒ සඳහා ශ්‍රී ලංකාවේ යුද හමුදාවට විශේෂ වගකීමක් තිබුණද ඔවුන් ගෙන් පවා එම යුතුකම නිවැරදිව ඉටු නොවිණි. එම ක්‍රියාවලියට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශේෂ දායකත්වයක් ලබා දුන්නද අවසාන ඵලය විධිමත්ව එළිදැක්වීමට නොහැකි වන්නේ 2014දී ජනාධිපති මැතිවරණය ඉදිරියට පැමිණීම නිසාය. නමුත් ද අයිලන්ඩ් පුවත්පතේ ප්‍රවෘති කර්තෘ ෂමින්ද්‍ර ෆර්ඩිනෑන්ඩු මහතාගේ විශේෂ මැදිහත් වීමෙන් ඒවා ප්‍රසිද්ධ කිරීම නිසා එම වාර් තාවලට නිල භාවයක් ආරෝපණය කෙරුණි.

කෙසේ වෙතත් 2015 දී මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව මගින් එල්ල වූ බරපතළ යුද අපරාධ චෝදනාවලට පිළිතුරු දීම සඳහා එම විශේෂඥ වාර්තා 6 යොදාගත හැකිව තිබිණි. නමුත් එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ විරෝධයට කන්ඳුන් වර්තමාන ජනාධිපතිවරයා ඉන් වැළකී සිටියා පමණක් නොව එම වාර්තාව පිටවී දින 13ක් තුළ කිසිදු අධ්යනයකින් හෝ සොයා බැලීම්කින් තොරව එම වාර් තාව ස්තූතිපූර්වකව පිළිගැනීමට විදේශ අමාත්‍යවරයාට අවසර දුනි. ඒ අනුව එම වාර්තාව මත පදනම්ව ඉදිරිපත් කෙරුණු 30/1 යෝජනාව ද ඒ ආකාරයටම පිළිගැනුණි. ඉන්පසුව ආණ්ඩුව විසින් සිහින් කෙඳිරියකින් හෝ විරෝධය පළකිරීමකින් තොරව 30/1 යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදි. ඒ අනුව එහි අටවැනි යෝජනාව අනුව හමුදාවට එරෙහිව පරිපාලන වශයෙන් ක්‍රියාමාර්ග ගැනීම ඉතා ප්‍රබල ව ආරම්භ වූ අතර අද වන විට විවිධ ලේබල යටතේ හමුදාවට එරෙහිව යොදා ගත හැකි පනත් 3ක් විවිධ ලේබල යටතේ සම්මත කොට ඇත. නමුත් ව්‍යවස්ථා සංශෝධනය සහ සත්‍යය සහ සංහිදියාව කොමිසම පිහිටුවීම පවතින දේශපාලනය තත්වය තුළ පහසු නොවන බව පැහැදිලි විය.

ඒ අනුව 2016 දී 34 /1 යෝජනාව මගින් 30/1 යෝජනාවේ සියළු කොන්දේසි සැපිරීම සඳහා වසර දෙකක අමතර කාලයක් ආණ්ඩුවට ලැබුණි. එම කාලය තුළ දෙමුහුන් අධිකරණය පිහිටුවීමේ අමාරුව පිළිබඳව ආණ්ඩුව පැත්තෙන් සිහින් කෙඳිරියක් නැඟුණ ද සෙසු කොන්දේසි ඉටු කිරීමට දැඩි උත්සාහයකක් ගනු ලැබීය. දෙමුහුන් අධිකරණ යෝජනාව එන්නේ සෙසු යෝජනා ඉටුකිරීම සඳහා ආණ්ඩුවේ අත කරකැවීමේ උත්සාහය ලෙස බව පැහැදිලිව පෙනුණි. එහෙත් ආණ්ඩුව පැත්තෙන් යුද අපරාධ චෝදනාවලට එරෙහිව පිළිතුරු බැඳීමට කිසිදු මැදිහත්වීමක් රට තුළදී හෝ ඉන් පිටතදී හෝ සිදු කළේ නැත. මානව හිමිකම් කවුන්සිලයේ දී කොටි ඩයස්පෝරාව සහ ඊට පක්ෂපාතී රටවල් විසින් දිගින් දිගටම එල්ල කරන ලද චෝදනා හමුවේ ජිනීවාහි තානාපති අංශය තදකරගත් තොල් සහිතව අසරණව සහ උකටලී ව බලා සිටින ආකාරය දක්නට ලැබුණි.

එම අඩුව පිරවීම සඳහා 2017දී අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ මැදිහත්වීමෙන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ සහ ජාතික සංවිධාන එකමුතුවේ අනුග්‍රහයෙන් ‘‘විත්තිවාචකය‘‘ නමින් වාර්තාවක් එළි දැක්වීය. එම වාර් තාව එංගලන්තයේ රාජ නීතිඥ ජෙෆ්රි නයිස් සහ ශ්‍රි ලංකාවේ හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතාගේ විශේෂ ඇගැයීමට ලක් වූ අතර එය මානව හිමිකම් කවුන්සලයට නිල වශයෙන් පිළිගැන්වී ය. මේ වන විට ඒ මත පදනම් ව මානව හිමිකම් කවුසිලයට එරෙහිව එක්තරා ආකාරයක අධිකරණ ක්‍රියාවලියකට සමාන පැමිණිලි ක්‍රියාවලියක් හරහා පෙත්සමක් ද ඉදිරිපත් කොට ඇත. ඊට අමතරව සරත් වීරසේකර මහතාගේ මූලිකත්වයෙන් සෑම සැසිවාවාරයකදීම එම වාර්තාව මත පදනම්ව කොටි ඩයස්පෝරාවට අභියෝගාත්මකව පිළිතුරු බැඳීමක්ද සිදුවිය. ඒ සඳහා විත්තිවාචික වාර්තාව සහ ඊට පෙර එළිදැක්වූ විදේශීය විශේෂඥ වාර්තා 6 ද ප්‍රයෝජනයට ගැනුණි. නමුත් එම ක්‍රියාවලියේ තාක්ෂණික ගැඹුර පිළිබඳව සහ එහි අවසාන අරමුණ පිළිබඳව රජයට පමණක් නොව ජිනීවා සැසිවාරවලට සහභාගී වූ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විවිධ පාර්ශව වලට සහ ඔවුන් විසින් වියදම් දරමින් කැඳවාගත් විද්වතුන්ට අවබෝධයක් තිබුණාද යන්න සැක සහිතය. ඔවුන් රටේ වුවමනාව සහ රටට හතුරු බලවේග වල අරමුණු පිළිබඳව ගැඹුරු අවබෝධයකින් තොරව එකිනෙකා පරයමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටිති. නමුත් ජිනීවා හි ක්‍රියාත්මක ශ්‍රී ලංකාවට එරෙහි සතුරු බලවේග එක් මතයක සහ අරමුණක සිට ක්‍රියාත්මක වේ. ඔවුන් දැන් ආණ්ඩුවේ පමණක් නොව ආණ්ඩුව විසින් ඉටු නොකරන වගකීම් ස්වෙච්ඡාවෙන් පවරාගත් ජාතික බලවේගවල කනින් රිංගා නව ප්‍රවේශයක් තෝරන බව පෙනේ. ඊට හේතුව 34/1 යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ රජයට ලබා දුන් වසර දෙකක කාලය 2019 මාරතු මස අවසන් වීම ය. ඉන්පසු ව්‍යස්ථා සංශෝධන ක්‍රියාවලිය අවසන් කොට සත්‍ය සෙවීමේ ෙකාමිසම පිහිටුවා ගැනීමට නම් එදා දයාන් ජයතිලක මහතාගේ ආදර්ශය අනුව යමින් ආණ්ඩුව ලවාම යෝජනාවක් සම්මත කිරීම්ට සිදුවේ.

දැන් ඒ සඳහා වර්තමාන ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් දෙපාර්ශවය විසින් සමාව දීම නම් වූ ජාත්‍යයන්තර ගැටුමක දී යොදා ගන්නා න්‍යායක් භාවිතා කිරීමට උත්සහ කරන බව පෙනේ. නමුත් එවැනි න්‍යායක් රජයක් සහ ත්‍රස්තවාදී සංවිධානයක් අතර ගැටුම් සමනය කිරීම සඳහා යොදා ගත නොහැක. එසේ වුවත් දැන් ජනාධිපතිතුමා විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී වක්‍රවක සහ ඉතා සූක්ෂමව ඉදිරිපත් කරන්නේ ඊට අදාළ මූලික යෝජනාව බවට සැකයක් නැත ඉන් පසුව 2019 මාර් තු මස ඉදිරිපත් වන 40/1 එක යෝජනාව ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකාව පැත්තෙන් බවට 99% විශ්වාස කළ හැක. එදා 2009 දයාන් ජයතිලක මහතාගේ යෝජනාවේ සඳහන් වූ ආකාරයට එම නව යෝජනාවලියට ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඇතුළත් වනු ඇත. ඊට අමතරව සමාව දීමේ න්‍යයාය අනුව සියලු ත්‍රස්තවාදීන්ට සමාව දීම මෙන්ම වන්දි ගෙවීම සහ ඒ හිලව්වට දෙමුහුන් අධිකරණ යෝජනාව ඉවත් කිරීමේ යෝජනාව ඊට ඇතුළත් වනු ඇත. එසේම අදළ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම සහිතව සත්‍ය සෙවීමේ සහ සංහිදියාව කොමිසම් ද ඊට ඇතුළත් වන බවට සැකයක් නැත. දැනට ගැසට් කොට ඇති නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සියලු ත්‍රස්තවාදී සැකකරුවන්ට චූදිතයන්ට සහ වැරදිකරුවන්ට නීතියෙන් සමාව ලැබෙන බැවින් 40 /1 යෝජනාව මගින් පාවාදීමක් නොවන බවට තාක්ෂණිකව සාධාරණීකරණය කෙරෙනු ඇත. එතැන් පටන් දැනට කෙරෙන සියලු ජිනීවා සංදර්ශනවල තිරය වැසීමට සිදුවන බවට විවාදයක් නැත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

302 Viewers