• Home »
  • Sinhala »
  • ත්‍රස්‌තවාදී නව පනතෙන් සියලු ත්‍රස්‌තවාදීන් නිදහස්‌ වෙනවා – වෛද්‍ය වසන්ත බණ්‌ඩාර

ත්‍රස්‌තවාදී නව පනතෙන් සියලු ත්‍රස්‌තවාදීන් නිදහස්‌ වෙනවා – වෛද්‍ය වසන්ත බණ්‌ඩාර

(Courtesy of The Divaina)

ජනාධිපතිතුමා යුද අපරාධ චෝදනාව පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ අදහස්‌ දැක්‌වීමෙන් කිසිදු පලක්‌ අත්නොවන බවත්, ඒ පිළිබඳව අදහස්‌ දක්‌වනවා නම් එතුමා යා යුතුව තිබුණේ ජිනිවාහි මානව හිමිකම් කොමිසම හමුවට බව සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ ඊයේ (25 දා) ජාතික සංවිධාන එකමුතුව විසින් නාවල රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්‌ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

එහිදී ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වූ අමරසේකර මහතා ජනාධිපතිතුමා එ.ජා. සංවිධානය ඇමතීම පිළිබඳව වැඩිදුරටත් මෙසේද පැවසීය.

ජනාධිපතිතුමා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අමතා යෝජනාවක්‌ කිරීමට සූදානම් වන බව වාර්තා වනවා. නමුත් කුමක්‌ ප්‍රකාශ කිරීමට සූදානම් වනවා ද යන්න අපි දන්නේ නෑ. එසේ වුවත් යම් යම් සාක්‍ෂි අනුව ඉදිරිපත් කිරීමට යන යෝජනාව පිළිබඳව කල්පනා කිරීමට පුළුවන්කම තිබෙනවා.

පළමුවෙන්ම ප්‍රකාශ කළ යුතු දේ තමයි ජනාධිපතිතුමා යා යුතුව තිබුණේ නිව්යෝර්ක්‌ නුවර පිහිටි එක්‌සත් ජාතීන්ගේ සම්මේලනයට නොවෙයි. එතුමා යා යුතුව තිබුණේ ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත. පසුගිය දිනවල සරත් වීරසේකර මහතා ඇතුළු ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සාමාජිකයන් සහභාගි වූයේ ජිනීවාවල මානව හිමිකම් කොමිසමට. එම කොමිසම හමුවේදී ඔවුන් යුද අපරාධ චෝදනාව අභූත චෝදනාවක්‌ බව පෙන්වා දීමට සාක්‍ෂි ඉදිරිපත් කළා. ජනාධිපතිතුමාත් කළ යුතුව තිබුණේ එම කටයුත්ත තමයි. නෙස්‌බි සාමිවරයා ප්‍රකාශ කළා 40,000 ක්‌ ඝාතනය කළ බවට ඉදිරිපත් කර ඇති යුද අපරාධ චෝදනාව අසත්‍යයක්‌ බව. එම වාර්තා තවම කොමිසම හමුවට ඉදිරිපත් කරල නෑ. එම වාර්තාව ඇතුළු යුද අපරාධ සිදුවී නොමැති බවට තිබෙන වාර්තා තමයි ඉදිරිපත් කළ යුතුව තිබුණේ. ජනාධිපතිතුමා එම වාර්තාවන් ඉදිරිපත් කළා නම් යම්කිසි වැඩක්‌ වෙන්න ඉඩ තිබුණා. එසේ නොමැතිව එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයට ගිහින් එම කාරිය පිළිබඳව කතා කළත් කුමන ප්‍රතිඵලයක්‌ ඇතිවේද කියන එක පිළිබඳව අපට සැක සහිතයි.

ඒ වගේම මෙහිදී ජනාධිපතිතුමා යම්කිසි ගනුදෙනුවක්‌ කිරීමට සූදානම් වන බව පෙනෙන්න තිබෙනවා. එතුමා කරන ප්‍රකාශ අනුව ඒ බව පැහැදිලි වෙනවා. එතුමා දිගටම යුද අධිකරණ පිහිටුවීමට ඉඩ නොදෙන බවත්, හමුදා සොල්දාදුවන් බිල්ලට නොදෙන බවත් ප්‍රකාශ කළා. එම කරුණ අනුව සිද්ධවෙන්න යන ගනුදෙනුව මොකද්ද කියන එක අපට හිතාගන්න පුළුවන්කම තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිතුමා එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයේදී යුද අපරාධ චෝදනාව විභාග කිරීම නවතා දමන ලෙස ඉල්ලා සිටීමට ඉඩ තිබෙනවා. එම ඉල්ලීමට එකඟ වුවහොත් විශේෂයෙන්ම, ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉවත් කර ගැනීමට, සංහිඳියාව ඇති කිරීම සඳහා නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට සහ සත්‍ය සෙවීමේ කොමිසමක්‌ පිහිටුවීමට එකඟවේවි. ජනාධිපතිතුමා එබඳු යෝජනාවක්‌ ඉදිරිපත් කළොත්, යුද අපරාධ සිද්ධ වී තිබෙන බව අපිට පිළිගන්න වෙනවා. මොකද ජනාධිපතිතුමා යුද අපරාධ පරීක්‍ෂා කරන්න එපා කියල කියන නිසා. නමුත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළ යුත්තේ යුද අපරාධ චෝදනා බොරුවක්‌ කියන එක තමයි. ඒ අනුව බැලුවහම ජනාධිපතිතුමා කරන්නෙත් මංගල සමරවීර ඇමැතිතුමා කළ දේම තමයි. මංගල ඇමැතිතුමා යුද අපරාධ චෝදනා පිළිගන්නා බව ප්‍රකාශ කළා. දැන් ජනාධිපතිතුමාත් සූදානම් වන්නේ වක්‍රාකාරව ඒකම කීමට තමයි. ජනාධිපතිතුමා යුද අපරාධ චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා නම් ඒක කිවයුත්තේ මානව හිමිකම් කොමිසමට. ඒ එතුමා එලෙස කටයුතු නොකර එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයට යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමෙන් මම ඉහත සඳහන් කළ ආකාරයේ ගනුදෙනුවකට සූදානම් වන බව පෙනෙන්න තිබෙනවා. එම ගනුදෙනුව නිසා ඇතිවන තත්ත්වය ලෙඩේට වඩා ලෙඩේට දෙන බෙහෙත භයානකයි වගේ තමයි අපිට පෙනෙන්න තිබෙන්නේ. එය අපට කිසි ලෙසකින් අනුමත කිරීමට බැහැ. මොකද එබඳු යෝජනාවක්‌ ඉදිරිපත් කරනවා නම් අපට අනිවාර්යයෙන්ම රට බෙදන ව්‍යවස්‌ථාව ගෙන ඒමට සිද්ධ වෙනවා. එම නිසා ජනාධිපතිතුමා එබඳු යෝජනාවක්‌ ඉදිරිපත් කරනවා නම් අපි සම්පූර්ණයෙන්ම හෙළාදකිනවා.

ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා, ජනාධිපතිතුමා අද එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයේ 73 වාර්ෂික සැසිවාරය අමතනවා. එහිදී එතුමා 2015 ඔක්‌තෝම්බර් 01 වැනිදා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාව ආපසු හැරවීමේ ප්‍රයත්නයක යෙදීමේ සූදානමක්‌ පවතින බවට තොරතුරු තිබෙනවා. ආචාර්ය අමරසේකර මහතා කියූ පරිදි අපි දන්නේ නැහැ. එහි අන්තර්ගතය කුමක්‌ ද කියලා. නමුත් එම ප්‍රයත්නයේ ක්‍රම විරෝධී බවක්‌ තිබෙන බව සඳහන් කළ යුතු වනවා. එ.ජා. සංවිධානයේ රටවල් 193 ක්‌ සිටිනවා. ඒක තමයි ලෝකයේ තිබෙන ප්‍රධානම දේශපාලන සංවිධානය. එය ප්‍රධාන ආයතන පහකින් සමන්විත වනවා. එම පහෙන් එකක්‌ තමයි මහාමණ්‌ඩලය. ඒක තමයි එම සංවිධානයේ ප්‍රධාන සාකච්ඡා මණ්‌ඩපය. එහිදී සම්මත වන යෝජනා බලාත්මක කිරීමට බැහැ. එ.ජා. සංවිධානය තුළ තමන්ගේ තීරණ බලාත්මක කළ හැකි එකම සංවිධානය ආරක්‍ෂක මණ්‌ඩලය පමණයි. එම නිසා යෝජනා බලාත්මක කළ නොහැකි මහා මණ්‌ඩලයට ජනාධිපතිතුමා මෙම කරුණ ද ඉදිරිපත් කිරීමෙන් අපේක්‍ෂා කරන්නේ කුමක්‌ ද කියන එක ගැටලු සහගතයි.

අනෙක්‌ කාරණය තමයි, එක්‌සත් ජාතීන්ගේ මහ මණ්‌ඩලයේ වාර්ෂික සැසිවාරය ආරම්භ කරන විට සති දෙකක කාලයක්‌ වෙන් කරනවා. පොදු විවාදය නමැති සාකච්ඡාව සඳහා එම පොදු විවාදයේදී තමයි රාජ්‍ය නායකයන් මහා මණ්‌ඩලය අමතා කතා කරන්නේ. එහිදී රාජ්‍ය නායකයන් තම රට කුමන දිසාවකට ගමන් කරනවාද කියන එක පිළිබඳවත් ලෝක ප්‍රශ්න පිළිබඳවත් තම රටේ ස්‌ථාවරය ප්‍රකාශ කරනවා. එවැනි තැනකදී මෙබඳු යෝජනාවක්‌ කිරීමෙන් අපේක්‍ෂිත ප්‍රතිඵලය නම් ලැබෙන්නේ නෑ. අමරසේකර මහතා සඳහන් කළ පරිදි අපේක්‍ෂිත ප්‍රතිඵලය ගැනීමට නම් මෙම යෝජනාව කළ යුත්තේ මානව හිමිකම් කොමිසමේදී ප්‍රතියෝජනාවක්‌ ලෙස. ඒ අනුව මට කියන්න තිබෙන්නේ ආණ්‌ඩුව මේ ආකාරයට ක්‍රම විරෝධී ක්‍රමයකට ගමන් කර තිබෙන්නේ රට තුළ දී දේශපාලන වාසි ලබාගැනීම සඳහා කියන එක තමයි. මොකද තව මාස 16 කින් පමණ ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා – ජනාධිපතිතුමා අද නිව්යොර්ක්‌ නුවරදී කරන ප්‍රකාශයේ වචන මොනවද කියල අපි හරියට දන්නේ නෑ. නමුත් එතුමා කරන්න හදන්නේ කුමක්‌ ද, අරමුණ කුමක්‌ ද කියන එක පිළිබඳව දේශපාලන වශයෙන් තක්‌සේරුවකට එන්න පුළුවන්කම තිබෙනවා.

එතුමා 2015 දී යුද අපරාධ චෝදනා විභාග කිරීමේ අවස්‌ථාව දෙන්න කියලා බැගෑපත් ඉල්ලීමක්‌ කළා. එතුමාගේ අවසරය ඇතිව හෝ නැතිව මංගල සමරවීර ඇමැතිවරයා මානව හිමිකම් සමුළුවට ගිහින් කිව්වේ යුද අපරාධ චෝදනා ස්‌තුති පූර්වකව පිළිගන්නා බව තමයි. ඒ වගේම ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ කොන්දේසි 20 ක්‌ ස්‌තුති පූර්වකව පිළිගත්තා. එතැන් සිට එම ක්‍රියාවලිය ඉදිරියට යනකම් ජනාධිපතිතුමා එක්‌ වචනයක්‌ හෝ කතා කළේ නෑ. රණවිරු දඩයම සඳහා පනත් 3 ක්‌ සම්මත කළා. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කරල නව පනතක්‌ ගෙන එනවා. එම පනතින් සියලු ත්‍රස්‌තවාදීන් නිදහස්‌ වනවා. ඒ වගේම ත්‍රස්‌තවාදීන්ට වන්දි ගෙවීමට අවශ්‍ය කාර්යාලය විවෘත වෙනවා. මේ වන විට එම කොන්දේසි 20 න් ප්‍රධාන ඒවා කිහිපයක්‌ම ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් ඉෂ්ට කර තිබෙනවා.

ජනාධිපතිතුමා එ.ජා. සංවිධානය ඇමතීමේදී බෞද්ධ ගාථා පාඨ කියාවි. අපි කියනවා එම බෞද්ධ කතා පාඨ කියල මෙම අපරාධ වහන්න බැරි බව.


එරික්‌ ගාමිණී ජිනප්‍රිය



695 Viewers