• Home »
  • Sinhala »
  • “ථෙරවාද කලාපය සහ එම කලාපයට අයත් රටවල් සහ ප්‍රදේශ සමඟ විදේශ සබඳතා පැවැත්වීම” යන මැයින් අප ඉදිරිපත් කළ යෝජනා මාලාවේ හැඳින්වීම

“ථෙරවාද කලාපය සහ එම කලාපයට අයත් රටවල් සහ ප්‍රදේශ සමඟ විදේශ සබඳතා පැවැත්වීම” යන මැයින් අප ඉදිරිපත් කළ යෝජනා මාලාවේ හැඳින්වීම

හැඳින්වීම

ජාතියක් වශයෙන් ඈත අතීතයේ සිට ම අපට පොදු අරමුණක් වෙයි. ඒ අන් කිසිවක් නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ය. මහා විහාරය ස්ථාපනය කිරීමේ දී ද, දුටුගැමුණු රජු විසින් ආක්‍රමණිකයාගෙන් රට මුදා ගැනීමට කළ සටනේ දී ද, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ දී ද, අටුවා ලිවීමේ දී ද, පොළොන්නරුවේ මහා ශාසන ශෝධන කාර්යයේ දී ද, දඹදෙණිය යුගයේ දී ධර්ම ග්‍රන්ථ ලිවීමේ දී ද, නැවත උපසම්පදාව හඳුන්වා දීමේ දී ද, බ්‍රිතාන්‍යය කිරීටයට අප රටෙහි පාලනය පවරා දුන් ගිවිසුමේ දී ද, අවසාන වශයෙන් අප විසින් සම්පාදනය කරගත් ජනරජ ව්‍යවස්ථා දෙකෙහි ම ද මෙම උදාර වූ කාර්යය අප විසින් අවධාරණය කරනු ලැබ තිබේ.බුද්ධ ශාසනය සුරක්‍ෂිත වන තාක් කල් අප ජාතියක් වශයෙන් ආරක්‍ෂා වනු නිසැක ය. එහෙයින් අපි බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය වෙනුවෙන්, එහි ආරක්‍ෂාව වෙනුවෙන් ජාතියේ සතුරන් සමඟ සටන් වැදීමට ද කටයුතු කර ඇත්තෙමු. එයින් නො නැවතී අපගේ උතුම් ථෙරවාදී ශාසනය අග්නිදිග ආසියාතික රාජ්‍යයන් තුළ ස්ථාපිත කරවීමට ද අපි කටයුතු කර ඇත්තෙමු. ලන්දේසි පාලන කාලය තුළ අපගේ ශාසන සම්ප්‍රදායයන් අනතුරට මුහුණ පෑ විට අප නැවතත් උපසම්පදාව ලබා ගත්තේ අප විසින් ම මුල් බුද්ධ ශාසනය ස්ථාපිත කළ තායිලන්තය (සියමය) සහ මියන්මාරය (අමරපුර සහ රාමඤ්ඤ) යන රටවලිනි.එහෙයින් අග්නිදිග ආසියාතික රටවල් සහ ආශ්‍රිත ප්‍රදේශ සමඟ අප පවත්වන විදේශ සබඳතා බුද්ධ ශාසනයෙහි චිරස්ථිතියට අදාළ මූලික අවශ්‍යතාවක් ලෙසින් අපි හඳුනාගෙන සිටිමු. මෙම යෝජනා මාලාව ඉදිරිපත් කරනු ලබන්නේ උක්ත අවබෝධය පදනම් කරගෙන ය.

ශ්‍රී ලංකාව ප්‍රමුඛ කරගත් මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය යන රටවල්වල ද, දකුණු වියට්නාමයේ ද, චීනයේ යුන්නාන් පළාතට අයත් ශිෂුඅන්පන්නා ප්‍රදේශයේ ද ජනතාව ථෙරවාද බුදුදහම අනුගමනය කරනු ලබයි. එහෙයින් මෙම රාජ්‍යයන්ගෙන් සහ ප්‍රදේශවලින් ආවරණය වන ප්‍රදේශය “ථෙරවාද කලාපය” ලෙසින් හැඳින්වෙයි. “ථෙරවාද කලාපයේ රටවල් සමඟ විදේශ සබඳතා පැවැත්වීම” ලෙසින් මෙම යෝජනා මාලාව නම් කෙරී ඇත්තේ ද එබැවිනි.

එහෙයින් ‍ මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය සහ චීනය සමඟ අප පවත්වන විදේශ සබඳතා අපගේ ජාතික අරමුණ වන බුද්ධ ශාසනයේ චිරස්ථිතියට අදාළ වන අයුරින් ප්‍රතිසංවිධානය කරගැනීම මෙම යෝජනා මාලාවේ මූලික ම අරමුණ වේ.

තව ද ථෙරවාද කලාපයේ අනෙකුත් රාජ්‍යයන්ගේ සහ ප්‍රදේශවල වසන බෞද්ධ ජනතාව විසින් අපගේ රට ඔවුන් පිළිපදින බුදු දහමෙහි මහ ගෙදර වශයෙන් සළකනු ලබන සම්ප්‍රදායයක් ද පැවැතුණි. ඔවුහු තවමත් ඒ පිළිබඳ ව තම අදහස් පළකිරීම ඒ සඳහා නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය. ශ්‍රී ලංකාව යනු ථෙරවාද කලාපය නිරූපණය වන මකරාගේ හිස ලෙසින් ද තමන්ගේ ප්‍රදේශය එම මකරාගේ වල්ගය ලෙසින් ද චීනයේ යුන්නාන් පළාතට අයත් ශිෂුඅන්පන්නා ප්‍රදේශයේ ජනතාව හඳුන්වති. කතෝලික ජනතාව විසින් තම ආගමික මූලස්ථානය ලෙසට වතිකානුව සළකන අයුරින් ම, මුස්ලිම් ජනතාව විසින් තම ආගමික මූලස්ථානය ලෙසට සෞදි අරාබිය සළකන අයුරින් ම, තන්ත්‍රයාන බුදු දහම පිළිපදින ජනතාව විසින් තම ආගමික මූලස්ථානය ලෙසට චීනයේ ටිබෙටය සළකන අයුරින් ම, ථෙරවාද බුදු දහම පිළිපදින සියලු ජනතාව විසින් තම ආගමික මූලස්ථානය ලෙසට ශ්‍රී ලංකාව සළකයි.

ථෙරවාද කලාපය තුළ ජීවත්වන අප විසින් බෙදා හදා ගනු ලැබ ඇත්තේ අපගේ ශාසනික සම්ප්‍රදායයන් පමණක් ම ද නොවේ. අපගේ අවුරුදු සැමරීම් වැනි චාරිත්‍ර, භාෂා සම්ප්‍රදායයන් වැනි සංස්කෘතික අංගෝපාංග විශාල ප්‍රමාණයක් ද අපි එකිනෙකා අතර බෙදා හදාගෙන සිටිමු.

කෙසේ වුව ද, පසුගිය කාලයේ දී අපගේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී බුද්ධ ශාසනයේ චිරස්ථිතිය යන ජාතික අරමුණ අමතක කර කටයුතු කිරීම නිසා කලාපය තුළ අපගේ ප්‍රමුඛතාව ද ඒ තුළින් අප හට ලබා ගත හැකි ශාසනික, සමාජයීය, සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික ප්‍රතිලාභ ද සැළකිය යුතු මට්ටමකින් අහිමි කරගෙන සිටිමු. කාම්බෝජය සහ ලාඕසය යන රාජ්‍යයන් සමඟ සෘජු රාජ තාන්ත්‍රික සබඳතා පැවැත්වීම ද අපට මග හැරී තිබේ.

මෙම අතපසුවීම වහා නිවැරැදි කරගත යුතු ව තිබේ. අපගේ උතුම් ජාතික අරමුණ හොඳින් අවබෝධ කරගත් ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන් ජනාධිපති ධුරයට පත් වී තිබෙන මෙම මොහොතේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ ජාතියේ සමාජ – ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් ථෙරවාද කලාපය සමඟ මනා සබඳතා තහවුරු කරගෙන ඉතා සක්‍රීය සහ අර්ථාන්විත රාජ තාන්ත්‍රික කටයුතු පැවැත්වීම ඉතා ශක්තිමත් කළ හැකි බව අපගේ විශ්වාසයයි. එහෙයින් එම විශ්වාසය මත පදනම් වී උක්ත අරමුණු සාක්‍ෂාත් කරගැනීම උදෙසා මෙම යෝජනා මාලාව අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

චිරං රක්ඛන්තු බුද්ධ සාසනං
චිරං රක්ඛන්තු ලංකා දීපං

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන



164 Viewers