• Home »
  • Sinhala »
  • දියවන්නා අපේක්ෂාව හමුවේ ජාතිකත්වය වෛශ්‍යා වෘත්තියට වැටීම

දියවන්නා අපේක්ෂාව හමුවේ ජාතිකත්වය වෛශ්‍යා වෘත්තියට වැටීම

(Courtesy of Aruna)

මහා මැතිවරණ නාම යෝජනා භාර ගැනීම ඊයෙන් අවසන් විය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අදහස් දැක්වීම අනුව මෙරට ඉතිහාසයේ වැඩිම පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ගණනාවක් මැතිවරණයට ඉදිරිපත් වන මැතිවරණය මෙය විය හැකිය.

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය බොහෝ දෙනාගේ මතයට අනුව මෙරට ජාතිකත්වයේ ජයග්‍රහණයකි. විශේෂයෙන්ම එජාපය ප්‍රමුඛ යහපාලන රජය විසින් දෙමළ සන්ධානයේ පූර්ණ ආශිර්වාදය ඇතුව ගෙන ගිය විජාතික ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති සහ ඊනීයා සංහිඳීයාව තුළ ජාතිකත්වයේ බලවේගයන්ට පෝෂණය වන්නට සරු පසක් නිර්මාණය විය. රනිල් වික්‍රමසිංහගේ රණවිරු දඩයම, සංස්කෘතික සංහාරය එක් අන්තයකට රට ගෙන යද්දි භික්ෂුන් වහන්සේලා සහ ජාතික සංවිධාන විසින් දේශීයත්වය හා ජාතික අනන්‍යතාව ආරක්ෂා කර ගත්හ. අනුරාධපුර රුවන්වැලි මහසෑය අබියස දිවුරුම් දීම, නිදහස් දිනයේදි ජාතික ගීය සිංහලෙන් ගැයීම හා 30/01 ජීනීවා යෝජනාවලියෙන් ඉවත් වීම මත ගෝඨාභයගේ ගමන හා අනාගතය පිළිබඳව ජාතික ව්‍යාපාරයට යම් සහතිකයක් ලැබිණි.

ජාතිකත්වය මෙරට දේශපාලන සිතියම තුළ සිතියම් ගත කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ජාතික ව්‍යාපාරයට මෙතෙක් නිවැරැදි දැක්මක් නොමැති බව මෙම මැතිවරණ ක්‍රියාවලිය යළිත් තහවුරු කර ඇත. පක්ෂ හා මැතිවරණ ක්‍රියාවලිය දේශපාලනයේ අත්‍යාවශ්‍ය ලක්ෂණය බවට පත්ව ඇති පරිසරයක තමන්ගේ භුමිකාව පිළිබඳව නිශ්චිත තක්සේරුවක්, ඉලක්කයක් හෝ මාර්ග සිතියමක් නොමැතිව විසිරි කටයුතු කරන තවත් කණ්ඩායම් කිහිපයක් බවට ජාතික ව්‍යාපාරය මෙම මැතිවරණ හා පක්ෂ ක්‍රමය මගින් පත් කර තිබේ. එවන් විසිරි ගිය කණ්ඩායමකට ජාතිකත්වයේ අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට ඇති හැකියාව විශාල සැකයකි.

ජාතික ව්‍යාපාරය තුළ මෙම අර්බුදය හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණය වන්නේ, එය නියෝජනය කරමින් මැතිවරණයට එන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ හා තදින් බැඳුනු පුද්ගලයන්ය. මේ මොහොතේදි දේශපාලන පිටියේ වාසිය තිබෙන්නේ පොහොට්ටුවට යන්න පිළිබඳව සැකයක් නැත. ඉල්ලුමට සපයා ගත නොහැකි සීමිත ලැයිස්තුවක් තුළ තම තමන්ගේ නාමයෝජනා කැපි යන විට ජාතිකත්වයේ අපේක්ෂාවන් තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් වෛශ්‍යා වෘත්තීයේ යෙදවීම බරපතළ වංචාවකි.

මහානායක හිමිවරුන්ගේ මගපෙන්වීම හෝ වෙනත් හේතුවක් මත අතුරලියේ රතන හිමිට පොහොට්ටුවේ නාමයෝජනා නොලැබීම හැර උන්වහන්සේට වෙනත් බලවේගයක් මැතිවරණයට ඉදිරිපත් කිරීමට හේතුවක් නොවීය. මද්‍රසා පාසල් තහනම් කිරීම , බුර්කාව තහනම් කිරීම, එක් නීතියක් මගින් රට පාලනය කිරීම වැනි ජාතික ව්‍යාපාරයේ සටන් පාඨ වලට එහා ගිය දේශපාලන ඉලක්කයක් උන්වහන්සේට ඇත. යහපාලන ආණ්ඩුවේ සිවු වසරක මර්දනය තුළ රතන හිමි දරන ලද ස්ථාවරයන්, ජාතික ව්‍යාපාරය හා කෙතරම් සැසඳේද යන්න අධ්‍යයනය කළ යුතුය. යහපාලන රජය ගෙන ආ මොන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් උන් වහන්සේ ජාතික මතවාදයෙහි පිහිටා විවේචනය කළේද යන්න පසුගිය හැන්සාර්ඩ් වාර්තා අධ්‍යනය කිරීමෙන් තෙරුම් ගත හැකිය.

ශ්‍රිලනිපයෙ සභාපති මෛත්‍රිපාල සිරිසේන, මහා ලේකම් දයාසිරි ජයසේකර සහ සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පොහොට්ටුවේ ලැයිස්තුවෙන් මැතිවරණයට එන විට එම පක්ෂයේ ගාමිණි තිලකසිරි හා ජීවන් කුමාරතුංග රතන හිමිගේ අපේ ජනබල පක්ෂයෙන් ලැයිස්තුවට එති. පොහොට්ටුවේ නාමයෝජනා නොලැබීම නිසා කලකිරීමට පත්වූවෙක් අපේ ජනබල පක්ෂයේ කුරුණෑගල ලැයිස්තුවට නායකත්වය දෙයි. කලුතර දිස්ත්‍රික්කයේ ජාතිකත්වය නියෝජනය කරන ලද පුද්ගලයන් ශ්‍රී ලනිපයෙන් තරග වැදීමට නාමයෝජනා භාර දී ඇත.

මේ එකතු වූ සියලු දෙනා එකිනෙකාට ගැලපෙන්නේ කෙසේද ඔවුන්ට ඇති පොදු අරමුණ කුමක් ද යන කිසිවක් පිළිබඳව කිසිම සමීකරණයක් ගොඩනගා ගත නොහැක. ඔවුන් අතර ඇති කර ගත් අවම එකඟතාව කුමක්ද? පොහොට්ටුවෙන් නාම යෝජනා අහිමි වු දේශපාලන අනාථ කඳවුරක් ලෙස එය එක් අතකින් විග්‍රහ කළ හැකිය. අනෙක් අතට කොහොම හරි මැතිවරණයකට තරගවැදීමට ඇති අසීමිත ආසාවද මෙම නාමයෝජනාවට හේතු විය හැකිය. මෙරට ඉතිහාසය තුළ ජාතිකත්වයේ කණ්ඩායම නියෝජනය කරන අශුද්ධම සන්ධානය මෙම එකමුතුවයි. ප්‍රතිපත්තිමය හෝ උපායමාර්ගික එකඟතාවක් පිළිබඳ කිසිදු සටහනක් අපට දක්නට නොමැත. රට පුරා ඡන්දවලින් යම් ජයග්‍රහණයක් ලැබුවද, මැතිවරණයෙන් මාස කිහිපයක් තුළ ජයග්‍රණය බෙදා වෙන් කර ගැනීමට එකිනෙකා විවේචනය කරගන්නා මාධ්‍ය සන්දර්ශන කිහිපයකින් මෙම ජවනිකාව අවසන් වනු ඇත. සිහල උරුමයත් , ජාතික හෙළ උරුමයත් බල කාමය වෙනුවෙන් කුළල් කා ගනිමින් සැබෑ ජාතික ව්‍යාපාරයක් වෙනුවෙන් පැවති ජනතා ඉල්ලුම කුරුවල් කර දියාරු කර දැමුයේ යම් සේද මෙම අශුද්ධ සන්ධානයද එම ඉඩ හසර හසුරා දමනු ඇත. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ජාතික ව්‍යාපාරය පිළිබඳව නැවුම් බලාපොරොත්තුව තවත් වසර ගණනාවකින් පසුපසට යෑමයි.

කෙසේ වුවද මේ සියලු දෙනාටම තවත් පොදු වූ ලක්ෂණයක් ඇත. ඒ සියලු දෙනා එන්නෙ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටයි. ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපති ධුරයට පත් කරන විට ඔහු කෙරේ ජනතාව යම් වගකීම් කීපයක් පවරන ලදී . කුමන නිර්වචනයකින් පිරිසිදු කර ගැනීමට උත්සහ කළත් මහා මැතිවරණයෙන් පසුව ගෝඨාභයට ආණ්ඩු කිරීමට සිදුවන්නේ පොහොට්ටුවෙන් පත්වන මන්ත්‍රි බහුතරයක් සමග වීම වැලක්විය නොහැක. ජනාධිපතිවරයාගේ සහෝදරයා පොහොට්ටුවේ නායකයා වන අතර අනෙක් සහෝදරයා එහි ප්‍රධාන සංවිධායක වේ. ඒ සියල්ලටමත් වඩා පහුගිය ජනාධිපතිවරණයේදි පොහොට්ටුවට ජයග්‍රහණය ලැබීමේ තීරණාත්මක සාධකය වූයේ ගෝඨාභය පිළිබඳව ජනතා විශ්වාසය මිස මහින්දගේ ප්‍රතිරූපය හෝ බැසිල්ගේ සංවිධාන ශක්තිය නොවේ. එසේ නම් ගෝඨාභයගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය යුත්තේ පොහොට්ටුව මිස වෙනත් බාහිර පාර්ශ්වයක් විසින් නොවේ. පොහොට්ටුවෙන් පත්වන ආණ්ඩුව ජනතාව අපේක්ෂා කරන ලද ඉලක්කයට මෙහෙයවීමෙන් ගැලවී තමන් ස්වාධීන වී අත සෝදාගැනීමට ගෝඨාභයට අයිතියක් නැත. මෙරට ජනාධිපති ධුරය, විශේෂයෙන් 19 වන සංශෝධනයෙන් පසුව පාර්ලිමේන්තුවෙන් වියුක්ත වූවක් නොවේ. ජනාධිපති ධුරයේ සාර්ථකත්වයට පාර්ලිමේන්තුව අත්‍යවශ්‍ය සාධකයකි.

ජාතික ව්‍යාපාරයේ සටන් පාඨ අතට ගන්න ගමන් ගෝඨාභයගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බලයක් ඉල්ලීම දේශපාලන ප්‍රෝඩාවකට වඩා වැඩි යමක් නොවේ. ශේප් න්‍යායෙන් ගෝඨාභයටත් එක දමාගෙන , අපි ඔයා එක්කත් ඉන්නවා කියන පණිවිඩය දෙන ගමන් කොහෙ හෝ හිලකින් පාර්ලිමේන්තුවට රිංගා ගැනීම ජාතික ව්‍යාපාරයේ උපාය මාර්ගය විය නොහැකිය.

පාර්ලිමේන්තුව තුළ සිංහල බෞද්ධ මතයක් නියෝජනය කර ගැනීම මහා මැතිවරණයක් ප්‍රකාශයට පත් කර සුමානයකින් කළ හැකි නම් සුද්දා මෙරට ආණ්ඩු බලය ලබා දෙන්නේ ඩී. එස්. සේනානායකට නොව ධර්මපාලතුමාටයි. ජනාධිපතිවරණයෙන් පසු සියලු ජාතික ව්‍යාපාරයන් විසුරුවා හැරිය යුතු යැයි ප්‍රකාශ කළ පිරිසකට එය අඛණ්ඩ දේශපාලන ව්‍යාපාරයක් බව නොතේරීම පැහැදිලිය. මධ්‍යගත පාලනය විසිරුණු සමාජ ජාලයකින් තොරව හදිස්සියේ නින්දෙන් ඇහැරෙන පිරිසකට ජාතිකත්වයට නායකත්වය දිය නොහැක. දැන් එයට ප්‍රමාද වැඩි වුවත් 2025 ට අවස්ථාවක් ඇත. කාගේ හෝ නාමයෝජනා ලැයිස්තුවකට ඇතුළු වන තුරු මුව අයාගෙන සිටිමින් පවතින පක්ෂවලට ආවැඩීමෙන් තොරව දෙපයින් හිට ගත යුතු යැයි සිතෙන දවසක ජාතික ව්‍යාපාරය පළමු පියවර තබනු ඇත.

නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

166 Viewers