දෙමළ ජනයාගේ ඊනියා අභිලාෂ

දැන් ආපහු දෙමළ ජනයාගේ අභිලාෂයන් ගැන කතා වෙනවා. මේ කතා කරන්නේ මහින්ද වෙනුවෙන් පෙනී සිටින හෝ එලෙස පෙනී සිටින බව පෙන්වන පිරිසක් වීම තමයි මේකෙ වැදගත් කාරණය. අවසානයේ මේක මහින්ද කඳවුරේ පොදු මතය වුවහොත් ඒක බරපතළ ප්‍රශ්නයක් වෙනවා.

දෙමළ ජනයාට වෙනම රටක් වෙනුවෙන් අභිලාෂයක් කවදාවත් තිබුනේ නැහැ. වෙනම රටක් වෙනුවෙන් අභිලාෂයක් තිබුණේ මැලේසියාවේ ඉපදුන චෙල්වනායගම්, සුන්දරලිංගම් වැනි දෙමළ දේශපාලකයන් පිරිසකට විතරයි. ඒ පසුගිය ශතවර්ෂයේ මැද භාගයේ. ඔවුන් උත්සාහ කළේ දෙමළ ජනයාට දෙමළ වීම නිසා අනන්‍ය වූ ප්‍රශ්න තියෙනවා කියලා පෙන්නන්න. නමුත් ඔවුන්ට ඒ ප්‍රශ්න මොනවද කියලා පෙන්වන්න බැරි වුනා. ඊට පස්සේ අසූව දශකයෙන් විතර පස්සෙ දෙමළ බෙදුම්වාදයේ සිංහල පාර්ශවයත් ඒ උත්සාහයට උර දුන්නා. කෙසේ නමුත් දෙමළ ජනයාට වෙනම රටක් වෙනුවෙන් අභිලාෂයක් තිබුණේ නැහැ. 1982 ජනාධිපතිවරණයේදීත්, ජනරජ ව්‍යවස්ථාව ගෙන ආ බණ්ඩාරනායක මැතිණියට යාපනයේදී දෙමළ අපේක්ෂකයා වූ කුමාර් පොන්නම්බලම් ට වඩා ඡන්ද ලැබුනා.

දැන් මහින්ද කඳවුර වෙනුවෙන් පෙනී සිටින හෝ එලෙස පෙනී සිටින බව පෙන්වන පිරිසගේ අලුත්ම උත්සාහය 83 ජූලි කලබල වැනි “සිංහල ආණ්ඩුවේ” ක්‍රියා නිසා දෙමළ ජනයාට වෙනම රාජ්‍යයක් සඳහා අභිලාෂයක් ඇති වූ බව. කොටි ත්‍රස්තවාදය සඳහා යාපනයේ දෙමළ වැසියන් සමහරක් ගෙන් උදවු ලැබීම ඒ දෙමළ අභිලාෂය සඳහා සාධකයක් ලෙස ඔවුන් පෙන්වනවා. “දෙමළ ජනයාට වෙනම රටක් සඳහා අභිලාෂයක් නැති නම් ඔවුන් බඩේ බෝම්බ බැඳගෙන මරාගෙන මැරෙයිද” ඔවුන් අපෙන් අහන ප්‍රශ්නය ඒකයි. දෙමළ සන්නද්ධ අරගලය සඳහා දෙමළ ප්‍රජාවෙන් යම් පිරිසකගේ සහාය ලැබුණු බව ඇත්ත. (බොහෝ ප්‍රමාණයක් බලහත්කාරයෙන් බඳවා ගනු ලැබූ පිරිස්ය.). ඒ සහාය ලැබුණු පිරිසගේ වෙනම රටක් නැතිනම් ස්වයං පාලනයක් පිළිබඳ අභිලාෂයක් තිබූ බවත් පිළිගන්න පුළුවන්. නමුත් එය දෙමළ ජනයාගේ පොදු අභිලාෂයක් ලෙස පිළිගන්න බැහැ.

1987-89 ජවිපෙ සන්නද්ධ අරගලයක් සිදු කළා. ඊට සම්බන්ධ වූ සිංහල තරුණයන්ගේ අභිලාෂය වුනේ සමාජවාදී රටක්. නමුත් සමාජවාදී රටක් වෙනුවෙන් සිංහල ජනයාගේ පොදු අභිලාෂයක් තිබුණාය කීමට කවුරුන් හෝ එය හුවා දක්වනවා නම් ඒක විහිළු කතාවක් බව පැහැදිලියි. ඒ ආකාරයෙන්ම දෙමළ තරුණයන් පිරිසකගේ සන්නද්ධ අරගලය දෙමළ ජනයාගේ පොදු අභිලාෂයක් ලෙස පෙන්වන්න උත්සාහ කිරීමත් බාල උත්සාහයක්.

මේ පිරිස කියන්නේ දෙමළ ජනයාට වෙනම රටක් වෙනුවෙන් අභිලාෂයක් ඇති නිසා ඔවුන් ඊට මෙහා යම් ඊනියා ‘දේශපාලන විසඳුමක්’ ලබා දී ‘ෂේප්’ කරගත යුතු බවයි. දෙමළ ජනයාට ඔවුන් කියන පරිදි ඇත්තේ වෙනම රටක් වෙනුවෙන් අභිලාෂයක් නම් ඉන් මෙහා ලොසින්ජර් දිමෙන් ඔවුන් සනසා ගැනීම කිසි සේත් සිදු කරගන්නත් බැහැ.

ඇරත් මේ ඊනියා දෙමළ අභිලාෂයන් ඇත්තේ යාපනයේ දෙමළ ජනයාට විතරද? වතුකරයේ දෙමළ ජනයාට මේ ඊනියා අභිලාෂයන් නැතිද? වතුකරයේ දෙමළ ජනයා යාපනයේ දෙමළ ජනයා කවදාවත් එකට හිතන්නේ නැහැ.

404 Viewers