• Home »
  • Sinhala »
  • දෙමළ ජාතික සන්ධානය දියාරු වෙයි.. සජිත් කිව්ව දේ… රටේ නායකයෝ ඔක්‌කොම උතුරේ….

දෙමළ ජාතික සන්ධානය දියාරු වෙයි.. සජිත් කිව්ව දේ… රටේ නායකයෝ ඔක්‌කොම උතුරේ….

(Courtesy of   Divaina)

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම හවුල්කාර පක්‌ෂයක්‌ වන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්‌ෂය මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දීමට තීරණය කොට තිබේ.

ඔවුන්ම තීරණය ගන්නා ලද්දේ කිසිදු කොන්දේසියක්‌ ඉදිරිපත් නොකරමින් බවද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

ඔහු කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ අනෙක්‌ හවුල්කාර පක්‌ෂ දෙක වන ටෙලෝ සංවිධානයත් ප්ලොට්‌ සංවිධානයත් මේ තීරණයට එකඟ වනු ඇති බවයි.

මේ පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මන්ත්‍රීවරයා ඒ පක්‌ෂ දෙක සමග සාකච්ඡා කරන බවද සුමන්තිරන් මහතා පැවසීය.

උතුරේ දෙමළ දේශපාලන පක්‌ෂ පහක්‌ විසින් සකස්‌ කරන ලද කාරණා දහතුනකින් යුත් ලියවිල්ල මේ කිසිදු සාකච්ඡාවකදී සාකච්ඡාවට බඳුන් නොකළ බවත් එම ලියවිල්ල මේ වන තුරු කිසිදු අපේක්‌ෂකයකු වෙත පෞද්ගලිකව යවා නොමැති බවත් සුමන්තිරන් මහතා කියා සිටියි.

සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් පසුව සම්පන්ධන් මහතා දෙමළ මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණේ ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද කාරණා 13 සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා අනුකූලතාවයක්‌ සෘජුවම දක්‌වා නැතත් දැනට ඉදිරිපත් කොට ඇති මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් යම් සාධනීය තත්ත්ත්වයක්‌ පෙන්නුම් කරන්නේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් පමණක්‌ බවයි.

මේ නිසා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මුල් කරගෙන දෙමළ ජාතික සන්ධානය උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්‌ෂ සමග සාකච්ඡා කොට තීරණයකට එළැඹෙන බව සම්පන්ධන් මහතා සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානය දියාරු වෙයි

දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපතිවරණයේදී කවර තීරණයක්‌ ගනු ලැබුවත් එය කිසිවෙකුට හෝ වාසි හෝ අවාසි නොවන තත්ත්වයක්‌ මේ වන විට උතුරු දේශපාලනය තුළ දක්‌නට ලැබෙයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ එකම බලධාරියා දෙමළ ජාතික සන්ධානය බව ඔවුන් කියා සිටියත් මේ වන විට දෙමළ ජාතික සන්ධානය ක්‍රමයෙන් දියාරු වූ ගතියක්‌ උතුරේදී දැක ගන්නට ලැබෙයි.

උතුරේ සාමාන්‍ය වැසියන් පවා කියා සිටින්නේ දෙමළ ජාතික සන්ධානයේ ඉහළ පෙළේ සිටින පිරිස ජීවත් වන්නේ ආණ්‌ඩුවේ මුදල් වලින් බවයි. ඊට අමතරව නිවාස හා වාහනද තවත් තනතුරුද දෙමළ ජාතික සන්ධානය විසින් ලබා ගෙන දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව ඔවුන් කතා නොකොට නිහඬව සිටින බවට එල්ල වන චෝදනා වල කෙළවරක්‌ නොමැත.

යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංවිධාන සියල්ලක්‌ම මේ වන විට දෙමළ ජාතික සන්ධානය අතහැර ගොසිනි. ඔවුන් මෙවර ජනාධිපතිවරණයේදී ස්‌වාධීන අපේක්‌ෂකයකු වශයෙන් පෙනී සිටින සිවාජිලිංගම් මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කොට තිබේ.

යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව සොයා බලන ඥාති සංගම් වවුනියාවේදී සෙරෙප්පු අතේ තබා ගෙන සුමන්තිරන් මන්ත්‍රීවරයා සහ සම්පන්ධන් මන්ත්‍රීවරයා පැමිණෙන තුරු බලා සිටියේ ඔවුන්ට පහර දීමටය.

පොලිසිය මැදිහත් වී ඔවුන්ව විසුරුවා හැරියේය.

ඔවුන් කියා සිටින්නේ දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ ප්‍රශ්නය පිළිබඳව කතා නොකොට රජයෙන් මුදල් ලබා ගෙන ඔවුන්ව රැවටූ බවයි.

මේ අතරවාරයේ ඊ.පී.ඩී.පී.නායක ඩග්ලස්‌ දේවානන්දා මහතා උතුරේ ගෙනයන දේශපාලන ව්‍යාපාරයට උතුරු පළාත් සභාවේ හිටපු ආණ්‌ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ද එක්‌ වී ඊට උතුරේ තවත් දේශපාලනඥයන් කීප දෙනෙකු ද හවුල් කර ගැනීමත් සමගම උතුරේ වැසියන්ගේ යම් ඡන්ද ප්‍රමාණයක්‌ ගෝඨාභය රාජපක්‌ෂ මහතා වෙත ඇදී ගොස්‌ තිබේ.

නාමල් රාජපක්‌ෂ මහතාද මේ ගමනට එක්‌ වී මේ වන විට ඔහු උතුරු පළාතේ පදිංචි වී සිටින තත්ත්වයකට පත්ව සිටියි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ නිවාස වැඩපිළිවෙළ නිසා උතුරේ තවත් බොහෝ පිරිසක්‌ ඔහු වටා එක්‌ව සිටියි. නමුත් අනාදිමත් කාලයක සිට උතුරේ ඡන්ද දායකයන්ගේ බහුතරය එක්‌සත් ජාතික පක්‌ෂයට ලැදි ඡන්ද දායකයන් පිරිසක්‌ වූ නමුත් මේ වන විට ඒ සංසිද්ධිය තරමක්‌ බැහැර වී ගොස්‌ තිබේ.

මේ තත්ත්වය අවබෝධ වී ඇති නිසා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජනාධිපති සටනට සහය දීම පිණිස රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාත පුරා සංචාරය කරමින් සිටියි.

දෙමළ ජාතික සන්ධානයට උතුරු පළාත තුළ ඔවුන්ගේ බල පරාක්‍රමය පවත්වා ගෙන යාම අසීරු වී ඇති නිසා ඔවුන්ද දෙමළ ජනතාව දිනා ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදමින් සිටිති.

රටේ නායකයෝ ඔක්‌කොම උතුරේ

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්‌ෂකයන් උතුරු පළාත පිළිබඳව දැඩි අවධානයකින් යුතුව පසු වෙති.

මේ ප්‍රධාන අපේක්‌ෂකයන් උතුරු පළාතේ සංචාරය කරමින් ඔවුන්ට උතුරේ ජනතාවගේ සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටිති.

මුලින්ම ගෝඨාභය රාජපක්‌ෂ මහතා සහ මහින්ද රාජපක්‌ෂ මහතා උතුරට පැමිණ වවුනියාව හා යාපනය යන පළාත් වල සංචාරය කළේය. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව උතුරේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ගෙන යන වැඩ පිළිවෙළ ජනතාව හමුවේ තැබීය.

යුද්ධය අවසන් කිරීමෙන් පසුව උතුරු පළාතට යෝධ සංවර්ධනයක්‌ ලබා දීමට මහින්ද රාජපක්‌ෂ මහතා උත්සාහ කළත් ජාතිවාදී හා ආගම්වාදී සුළු පිරිසක්‌ විසින් ගෙන යන ලද අසත්‍ය ප්‍රචාරවලට රැවටී ජනතාව මහින්ද රාජපක්‌ෂ මහතාව පරාජය කළ බවද කියා සිටියේය.

ජනතාව රවටා හිටපු ජනාධිපතිවරයාව පරදවා වත්මන් රජය වසර පහක්‌ මේ රට පාලනය කළද කිසිදු සංවර්ධන ක්‍රියාවක්‌ ජනතාවට දැනෙන සේ නොකළ බවත් ජනතාවට දුන් බොරු පොරොන්දු ඉටු නොකළ බවත් ගෝඨාභය රාජපක්‌ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

යුද්ධය අවසන් වී සාමකාමී ජීවිතයක්‌ ගත කරන උතුරේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ කෘෂිකාර්මික වාරිමාර්ග අධ්‍යාපන සෞඛ්‍ය ඇතුළු සියලු පහසුකම් දියුණු කළ යුතු මට්‌ටමේ පවතින බවත් ඒවා ඉටු කළ හැක්‌කේ තමන් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වීමෙන් පසුව පිහිටුවනු ලබන රජයකට පමණක්‌ බවද ඔහු පැවසීය.

සජිත් කිව්ව දේ

සජිත් ප්‍රේමදාස මහතාද වවුනියාවට පැමිණියේය. ඔහු කියා සිටියේ සියලු සංවර්ධන කටයුතු ඉතා වේගවත් කරන බවය.

තමන් ජනාධිපති ධුරයට පත් වූ විගස යුද්ධයට හසු වූ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීම සඳහා ඒ පළාත් දෙකට වෙන වෙනම ජාත්‍යන්තර ආධාර සමුළු දෙකක්‌ පවත්වා ඒ ඔස්‌සේ මේ පළාත් සංවර්ධනය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‌ෂක සජිත් ප්‍රේමදාස මහතා වවුනියාවේදී පැවසීය.

යුද්ධයේ කුරිරු බවත් ඉන් ඇතිවන වේදනාවත් තමන් ඇතුළු පවුලේ සියලු දෙනාම අත් විඳ ඇති නිසා යුද්ධයෙන් පීඩාවට පත් වූ සියලු ජනතාවගේ ජීවිත නංවාලීමට විශේෂ වැඩ සටහනක්‌ද ජාත්‍යන්තර ආධාර සමුළු වලට අමතරව පවත්වන බව සඳහන් කළේය.

උතුරු පළාතේ විශාල පිරිසක්‌ යුද්ධය නිසා ස්‌වාමි පුරුෂයන් අහිමි වී කාන්තා ගෘහමූලික සමාජ ක්‍රමයක්‌ ගත කරන නිසා ඒ කාන්තාවන්ගේ ජීවන තත්ත්වය උසස්‌ කිරීමට පියවර ගන්නා බවද පැවසීය.

තමන්ගේ අරමුණ ජාති භේද ආගම් භේද හා කුල භේද වලින් තොර රටක්‌ නිර්මාණය කිරීම බව කී සජිත් අමාත්‍යවරයා සියලු ජනතාවගේ සහභාගිත්වයෙන් හා එකමුතුභාවය තුළින් සංහිඳියාව එකමුතුබව මිත්‍රශීලී බව සුරකින යුක්‌තිගරුක හා සදාචාර සම්පන්න ජන සමාජයක්‌ ගොඩ නගන බවද පැවසීය.

අනුර වෙනුවට ටිල්වින්

ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අනුර කුමාර දිසානායක මහතා තවමත් උතුරු පළාතට නොපැමිණියත් ඔහු වෙනුවෙන් වවුනියාවට පැමිණි ටිල්වින් සිල්වා මහතා වවුනියාවේදී මහජන රැලි කීපයක්‌ම ඇමතීය.

උතුරේ දෙමළ දේශපාලන පක්‌ෂ පහක්‌ විසින් කාරණා 13 ක්‌ සහිතව ඉදිරිපත් කොට ඇති ඉල්ලීම් ජාතික සමගියට බාධාවක්‌ වන ඉල්ලීම් නම් කිසිසේත් ඒවා පිළිගත නොහැකි බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා වවුනියාවේදී පැවසීය.

දිනසේන රතුගමගේ

57 Viewers