• Home »
  • Sinhala »
  • දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව

මගේ ලිපිවල මූලාශ්‍ර නැහැ. යාපනයේ ඊනියා දෙමළ ඉතිහාසය ගැන මාද යම් යම් දේ ලියා තියෙනවා. එහෙත් කිසිවකු මා ලියා ඇති දෙයක් උපුටා දක්වන්නේ නැහැ. පොතපතේ සඳහන් දේ නැවත උපුටා දැක්වීම මගේ විධි ක්‍රමය නොවෙයි. මගේ ලෝකය කෘතියෙහි එකම මූලාශ්‍රයක් දක්වලා නැහැ. එහෙත්ව ඇතැම් ලේඛකයන්ගෙන් ගත් දේ ගැන මා කියනවා. ඒ අතර මගේම අදහස් තියෙනවා. ඒ එකින් එක ගෙනහැර දැක්වීමත් මගේ විධික්‍රමය නොවෙයි. මා හැකිතාක් දුරට සංගතව කතාවක් කියන්න උත්සාහ කරනවා.

යාපනයේ දෙමළ කතාකරන ජනයා පදිංචිකරවීමට පෙර එහි සිංහලයන් බහුතරය බව කී පළමු තැනැත්තා මා නොවෙයි. එකල එහි සිටි සිංහලයන් ඊනියා අඩුකුල ජනයා ලෙස දෙමළ කතාකරන සමාජයට අවශෝෂණය කෙරුණු බව සමහර විට මා කියන්න ඇති. යාපනයේ අත්සන් කළ සිංහල පෘතුගීසි ගිවිසුම සිංහලෙන් හා පෘතුගීසී භාෂාවෙන් ඇති බව මා දැනගත්තේත් වෙනත් අයකුගෙන්. කාර්තිගේසු ඉන්ද්‍රපාලගේ ආචාර්ය උපාධි නිබන්ධය ගැන මුලින්ම සඳහන් කෙළේත් මා නොවෙයි. යාල්පාන වෛපව මාලෙයි ගැන මට කලින් වෙනත් අය කියා තියෙනවා. ලංකාවේ කතාකරන දෙමළ තමිල්නාඩුවේ කතාකරන දෙමළෙන් වෙනස් වන්නේ අවුරුදු තුන්සිය පනහකින් පමණ බව මට කීවේ වාග්විද්‍යාව හා දර්ශනය ඉගැන්වූ මහාචාර්යවරයෙක්. එහෙත් ඒ මහාචාර්යවරයා ඒ කතාව ලියා නැහැ. ඒ අදහස ලන්දේසීන් වෙල්ලාලයන් 1650න් පසු මෙරටට ගෙන ඒම සමග සංගතයි. එහෙත් ඒ ගැන අධ්‍යයනයක්, ඕන නම් ඊනියා පර්යේෂණයක් කරන්න කවුරුන්වත් ඉදිරිපත් වන්නේ නැහැ. ඒ වගේම මා කොතෙකුත් කීවත් කිසිවකු යාපන කච්චේරියේ වෙල්ලාලයන්ගේ තෝම්බු කියවීමට ඉදිරිපත් වන්නේ නැහැ. අපේ විරුද්ධවාදීන් පමණක් නොව ජාතිකවාදීන්ද මේ අදහස් නොපිළිගන්නා බව මට විශ්වාසයි. එහෙත් ජාතිකවාදීන්ට දෙමළ ජාතිවාදය ගැන වෙනත් කතාවක් ඇත්තේත් නැහැ. ඒ නිසා ඔවුන්ට නන්දිකඩාල් ජයග්‍රහණය තේරෙන්නේත් නැහැ.

ප්‍රභාකරන් ඔහුගේ සීයලා මහප්පලා බාප්පලා කෘතියේත් දෙමළ කතාකරන්නන්ගේ ඉතිහාසය ගැන තොරතුරු තියෙනවා. ඒත් කිසිවකු ඒ පොතෙන්වත් කිසිවක් උපුටා දක්වන්නේ නැහැ. ඊනියා උගතුන් මූලාශ්‍ර නැති කිසිවක් උපුටා දක්වන්නේ නැහැ. එය අප සමග සිටින අයටත් පොදුයි. මා කතන්දරකාරයකු මිස ඊනියා උගතකුවත් ශාස්ත්‍රවන්තයකුවත් නොවෙයි. දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් මා කියා ඇති කිසිවක් ජාතික ව්‍යාපාරයේ ඉන්න කිසිවකු නැවත කියන්නේ නැහැ. මෙය තරමක ප්‍රශ්නයක්. මේ අදහස් ප්‍රකාශ කිරීමට වැඩ සටහන් මාලාවක් මුදල් ගෙවා ප්‍රචාරය කරවීමට කිහිප දෙනකු සූදානම් වූ නමුත් දෙරණ නාලිකාව එයට ඉඩක් දුන්නේ නැහැ. එහෙත් ඔවුන් ජාතික මතවාදයේ නාලිකාවක් ලෙස පෙනී සිටිනවා. ඔවුන් හිතන්නේ මා ගේම්කාරයකු ලෙසයි!

ජාතික ව්‍යාපාරයේ කිසිවකු මේ දෙමළ ඉතිහාසය හා දෙමළ ජාතිවාදය ගැන කියන කිසිවකට ප්‍රචාරයක් දෙන්නේ නැහැ. මට තේරෙන විධියට මේ සම්බන්ධයෙන් මා කර ඇත්තේ පේරාදෙණියේ පිරිසකට මේ සම්බන්ධ ගවේෂණයකට මුදල් ආධාරයක් දීමට චින්තන පර්ෂදය කැමති කරවා ගැනීම පමණයි. චින්තන පර්ෂදයට ඔය කියන තරම් මුදලක් නැහැ. චින්තන පර්ෂදයේ සිටි බොහෝ දෙනකු අද එහි ඇත්තේත් නැහැ.

දෙමළ ජාතිවාදයේ නායකත්වය ජී ජී පොන්නම්බලම්ට යෑමෙන් පසු රාමනාදන් අරුණාශලම් පවුල අභාවයට ගියේ නැහැ. ඔවුන්ගෙන් පැවතෙන විග්නේස්වරන් හා ස්වාමිනාදන් තවමත් දේශපාලනයේ ඉන්නවා. එහෙත් ඔවුන් නායකත්වයේ නැහැ. ජී ජී පොන්නම්බලම් සමග තවත් පුද්ගලයකු දෙමළ ජාතිවාදී දේශපාලනයේ ඉහළට ආවා. ඔහු සී සුන්දරලිංගම්. ඔහු තමයි පළමු වරට ඊළම් කියන වචනය හඳුන්වා දුන්නේ. ඔහු ඉංගිරිසියෙන් එය ලිව්වෙ Eylom කියලා.

මේ සමග තවත් දෙයක් සිදුවුණා. ඒ ව්‍යාජ ඉතිහාසයක් නිර්මාණය කිරීම නැවත පටන් ගැනීම. කලිනුත් ව්‍යාජ ඉතිහාසයක් නිර්මාණය කර තිබුණා. ඒ ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන්. යාල්පානම් වයිපව මාලෙයි කවි පොත ඒ සඳහා ලියැවුණු එකක්. ලන්දේසීන්ට අවශ්‍ය වුණෙ නැගෙනහිර වෙරළ තීරය සිංහල රජුට අහිමි කිරීමට. කාර්තිගේසු ඉන්ද්‍රපාල නම් යාපන විශ්වවිද්‍යාලයේ පළමු ඉතිහාස මහාචාර්යවරයාට අනුව ඒ පොත ඉතිහාස පොතක් නොවෙයි. එහෙත් සුන්දරලිංගම් ඊළම කියන අදහස ඉදිරිපත් කළා. ඒ වෙනම රාජ්‍යයකට වඩා මුළු ලංකාවම දෙමළ බව කීමට. වෙනම රාජ්‍ය කතාව ආවෙ තරමක් පස්සෙ කාලෙක. පඬියන්ට නම් දෙමළ කතාකරන ජනයාට දෙමළ නිසා තියෙන ප්‍රශ්නය දෙමළ රාජ්‍යයක් නැති වීම!

ජී ජී පොන්නම්බලම් උත්සාහ කෙළේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පනහට පනහ මගින් සිංහල නියෝජනත්වය සියයට පනහකට අඩුවෙන් තබා ගැනීමට. සුන්දරලිංගම් එයට වෙනස්. ඔහු ලංකාව ඊළමක් ලෙස හැඳින්වූවා. වෙනත් අය ඒ අදහස මත ඉඳගෙන ව්‍යාජ ඉතිහාසයක් නිර්මාණය කළා. ඔවුන් කියා සිටියේ විජය රජු ලංකාවට එන විටත් මෙරට තිබුණේ දෙමළ රාජ්‍යයක් බව. ඔවුන් යාල්පානම් වෛපව මාලෙයි කෘතියේ අදහසුත් ඒ සඳහා යොදා ගත්තා. මෙරට සිංහල වීම ඇරඹුණේ විජය රජුගේ පැමිණීමත් සමග බව ඔවුන් කිව්වා. ලෙස්ලි ගුණවර්ධන වෙනත් වචනවලින් ඊට හුරු දෙයක් කිව්වා. දෙමළ ජාතිවාදීන්ට අනුව නාගයන් දෙමළ.

ඔවුන්ට අනුව සිංහල නමින් භාෂාවක් තිබුණේත් නැහැ. සිංහල යනු පාළි භාෂාව මෙරටට හඳුන්වාදීමෙන් පසු මෙරට ඇති වූ භාෂාවක් ලෙසයි ඔවුන් සැලකුවේ. සිංහල රජවරු පසුව ඇුති වූ අය යැයි ඔවුන් කීවා. දේවානම්පිය තිස්ස යනු දේවානම්පිය තීෂම්. මේ බොරුවලට අප පිළිතුරු දී තිබෙනවා. ඒ බොහෝ විට තර්කයෙන්. එහෙත් සිංහල උගතුන් තර්කයට කැමති නැහැ. ඔවුන්ට අවශ්‍ය සාධක සාක්‍ෂි මූලාශ්‍ර. මේ ඉංගිරිසි අධ්‍යාපනයේ ප්‍රතිඵල. දේවානම්පිය යන්නට දෙමළෙන් නිරුක්ති තියෙනවාද? තමිල්නාඩුවේ තීෂම්ලා දේවානම්පියම්ලා ඉන්නවාද? අශෝක රජු දේවානම්පිය වූයේ ඔහුත් දෙමළ නිසාද? ඇසෑමයේ සිට මාගම දක්වා සිටි නාගයන්ගෙන් දෙමළ වූයේ යාපනයේ සිටියාය කියන කිහිප දෙනකු පමණද? මේ ප්‍රශ්න ජාතික ව්‍යාපාරයේ කිසිවකු සතපහකට ගණන් ගත්තේ නැහැ.
.

- නලින් ද සිල්වා



111 Viewers