• Home »
  • Sinhala »
  • දෙමළ ජාතිවාදය යළි පුබුදයි

දෙමළ ජාතිවාදය යළි පුබුදයි

By Dinasena Rathugamage
(Courtesy of Divaina)

පලෙයි රෝහලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් එස්‌. ශිවරූබන් නැමති වෛද්‍යවරයා ඔහුගේ රාජ්‍ය සේවා වෛද්‍ය පත්වීමට අමතරව එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් එදා සෘජුවම කටයුතු කළ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

යුද හමුදාවේ බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද මේ වෛද්‍යවරයා ත්‍රස්‌ත මර්දන ඒකකය වෙත බාරදී තිබේ. ඔහුට ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ මියගිය එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි පණපෙවීමට උත්සහ කළේ යෑයි යන චෝදනාවයි.

මෙම වෛද්‍යවරයා එල්.ටී.ටී.ඊ.ය පණ ගන්වන්ට සැලසුම් කරමින් සිට ඇතැයි පැවසෙන්නේ කරුණා අම්මාන් සහ ඩග්ලස්‌ දේවානන්දා ඉලක්‌ක කරමින් ප්‍රහාරයක්‌ එල්ල කරමිනි. ඩග්ලස්‌ සහ කරුණා අම්මාන් ඩයස්‌පෝරාවේ ඉලක්‌ක බවට පත්ව ඇතැයි මෑතකදී හෙළි වන පළමු අවස්‌ථාව වන්නේ මෙයයි.

ඊට පෙර අවස්‌ථා කිහිපයකදීම හෙළිව තිබුණේ ඔවුන් කුරුමානම් අල්ලන්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ට බවය. එහිදී වන්නියේදී සුමන්තිරන් ඉලක්‌ක කර පුපුරවා හරින්නට සූදානම් කර තිබුණු ක්‌ලේමෝ බෝම්බ දෙකක්‌ පවා ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසය විසින් සොයාගන්නා ලදී. සුමන්තිරන් ඝාතන සැලසුමට සම්බන්ධ කිහිප දෙනෙක්‌ද ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටද ගනු ලැබූහ. ඒ අය අතර පුනරුත්ථාපනය වූ මෙන්ම පුනරුත්ථාපනය නොවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝද සිටියහ. ඒ සියලු දෙනාම මෙහෙයවන බව පෙනී ගියේ විදේශවල සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදී ඩයස්‌පෝරාවයි. මේ ජාලයේ වෛද්‍ය සින්නයියා ශිවරූබන්ද ප්‍රබල චරිතයක්‌ බව බුද්ධි අංශයේ තක්‌සේරුවයි.

මේ වෛද්‍යවරයා එල්.ටී.ටී.ඊ.සංවිධානයේ පුපුරන ද්‍රව්‍ය සමගද විශාල ගනුදෙනුවක්‌ පවත්වා ගෙන ගොස්‌ තිබේ.

පුපුරන ද්‍රව්‍ය සොයා මන්ත්‍රීගේ වත්ත හෑරීම

දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් මහතාගේ සොහොයුරාට අයත් ඉඩමක කැණීම් කරමින් පුපුරන ද්‍රව්‍ය සොයන ලද්දේ ත්‍රස්‌ත මර්දන ඒකකය බාරයේ සිටින පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් එස්‌. ශිවරූබන් වෛද්‍යවරයාගෙන් ලැබුණු තොරතුරක්‌ මත බව කිලිනොච්චියේ ආරක්‌ෂක අංශ කියා සිටියහ.

ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට හා ඔහුගේ සොහොයුරාට අයත් ඉඩම් හා නිවාස කීපයක්‌ම කිළිනොච්චියේ වට්‌ටකච්චි ප්‍රදේශයේ ඇති අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබූ පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක්‌ වළලා ඇත්තේ ඒ එක්‌ ඉඩමක බවට අත්අඩංගුවේ සිටින වෛද්‍යවරයාගෙන් ආරක්‌ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.

කොළඹ ත්‍රස්‌ත මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක්‌ පැමිණ යාපනයේ අලියාවලෙයි ප්‍රදේශයේ මුහුදේ සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක්‌ නාවික හමුදාවේ නිලධාරීන්ගේද සහය ඇතිව සොයා ගන්නා ලද්දේද පලෙයි රෝහලේ වෛද්‍යවරයාගෙන් ලද තොරතුරක්‌ මත බවට අනාවරණය වී තිබේ.

මෙම වෛද්‍යවරයා එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වූ කාල වකවානුවේදී පුපුරන ද්‍රව්‍ය සඟවා තැබීමට හා ප්‍රවාහනයට බෙහෙවින් උදව් කළ අයෙකු බවටද තොරතුරු අනාවරණය වී ඇති අතර යුද ගැටුම් පැවති පළාත්වලට පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කොට ඇත්තේ ඔහුට අයත් වාහන වලින් බවද කියවේ.

යුද්ධයේ අවසන් කාලයේදී මේ වෛද්‍යවරයාගේ අනුදැනුම මත පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්‌ තිබී ඇති අතර එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් ක්‍රමයෙන් මුලතිව් දෙසට පසු බසින ලද කාල වකවානුවේදී ඒවා කිළිනොච්චියේ සුරක්‌ෂිත කොට ඇත්තේද මේ වෛද්‍යවරයා විසින් බව කියෑවේ.

දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් මහතාට සහ ඔහුගේ සහෝදරයන්ට අයත් ඉඩම් වල පුපුරන ද්‍රව්‍ය වළලා ඇති බවට වෛද්‍යවරයාගෙන් තොරතුරු ලැබීමත් සමගම ආරක්‌ෂක අංශ අධිකරණ නියෝගයක්‌ ලබා ගෙන කැණීම් කරන ලද නමුත් සැකකටයුතු කිසිවක්‌ පළමු කැණීමේදී හමු වී නොමැත.

කිළිනොච්චියේ ආරක්‌ෂක අංශ ප්‍රධානියා කියා සිටියේ අත්අඩංගුවේ සිටින වෛද්‍යවරයාගෙන් ලැබී ඇති තොරතුරු වලට අනුව පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්‌ කිළිනොච්චියේ ඉඩමක ඇති නිසා විධිමත් පරීක්‌ෂණයකින් පසුව යළිත් කැණීම් සිදු කිරීමට පියවර ගන්නා බවයි.

දෙමළ ජාතිවාදය යළි පුබුදයි

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්‌වරන් මහතා විසින් යළිත් උතුරේදී zzඑලුහ තමිල්ZZ (දෙමළ ජාතියේ පිබිදීම) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි.

එදා එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරේ සිටි කාලවකවානුවේදී ඔවුන් උතුරු නැගෙනහිර පළාත් පුරා පවත්වන ලද්දේ zzපොංගු තමිල් උළෙලයිzz. මේ උළෙලද දෙමළ ජනයාගේ පිබිදීම හා යළි නැගිටීම සනිටුහන් කරමින් කරණ ලද වැඩ සටහනකි. එහිදී ඔවුන් සිදු කළේ ජාතිවාදය වපුරවමින් සටන් පාඨ කියමින් කෑ කෝ ගසමින් උග්‍ර ජාති වාදී ගීත ගායනා කරමින් මේ ඇත්තේ ප්‍රභාකරන්ගේ කාලයයි යනුවෙන් උදම් ඇනීමයි.

උතුරු පළාත් සභාව පිහිටුවන කාල වකවානුව වන විට එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරු නැගෙනහිර පළාත් වලින් මැකී ගොස්‌ සිටි නිසා පළාත් ප්‍රධාන අමාත්‍යධුරයට පත් වූ විග්නේස්‌වරන් මහතා කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පොංගු තමිල් උළෙලට සමාන උළෙලක්‌ zzඑලුහ තමිල්zz යනුවෙන් උතුරු නැගෙනහිර පළාත් පුරා සංවිධානය කිරීමයි.

මේ එලුහ තමිල් උළෙල උතුරු නැගෙනහිර පළාත් වලදී අවස්‌ථා කීපයක්‌ පැවැත්වීමෙන් පසුව එය ඉබේටම නතර වී ගියත් මේ වන විට දේශපාලන බලය ගිළිහී ගොස්‌ සිටින විග්නේස්‌වරන් මහතා යළිත් එම zzඑලුහ තමිල්ZZ උළෙල පැවැත්වීමට කටයුතු යොදමින් සිටියි.

මේ වර්ෂයේ සිට යළිත් එම වැඩසටහන ආරම්භ කරන බව පවසමින් විග්නේස්‌වරන් මහතා එම වැඩ සටහනට ආශිර්වාද ලබා ගැනීම සඳහා 18 දා යාපනයේ නල්ලුර් කෝවිල වැඳ පුදා ගැනීමට පැමිණ සිටියේය.

නල්ලුර් කෝවිල වැඳ පුදාගත් විග්නේස්‌වරන් මහතා ඒ වෙනුවෙන් විශේෂ පූජාවක්‌ද පවත්වා ලබන සැප්තැම්බර් මස 16 වැනිදා යාපනය නගරයේදී zzඑලුහ තමිල්zz උළෙල පැවැත්වෙන බව පැවසීය.

දෙමළ ජාතියේ අනාගතය අඳුරුයිලු

විග්නේස්‌වරන් මහතා නල්ලුර් ප්‍රදේශයේදීම කියා සිටියේ දෙමළ ජනතාවගේ අනාගතය ඉතාම අඳුරු ආගාධයක්‌ කරා ගමන් කරමින් පවතින බවයි.

යුද අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු රටේ හමුදාපති ධුරයට පත්කොට යුද සමයේදී අතුරුදන් වූවන් පිළිබඳව සෙවීමේ කාර්යාලයක්‌ යාපනයේ පිහිටුවීම දෙමළ ජාතියේ අභාග්‍යයක්‌ ලෙස ඔහු සඳහන් කළේය.

විග්නේස්‌වරන් මහතාගේ ටී.එම්.කේ. පක්‌ෂයේ ක්‍රියාධරයින් පිරිසක්‌ සමග පැවති හමුවකදී මේ බව කියා සිටි හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ සෑම ක්‍රියාවකින්ම රජය දෙමළ ජනතාවට දක්‌වන සැලකිල්ල ඉතා හොඳින් පෙනී යන බවද පැවසීය.

ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපතිවරයා වශයෙන් පත් කිරීම පිළිබඳව ඇමරිකාව පවා විරුද්ධ වී සිටිද්දී ඔහුම පත්කිරීම තුළින් රජය අත්තනෝමතිකව කටයුතු කරන බව ඉතා හොඳින් පෙනෙන්නට ඇතැයිද විග්නේස්‌වරන් මහතා සඳහන් කරයි.

ජීනීවා මානව හිමිකම් මණ්‌ඩලය මගින් ඔහු යුද අපරාධකරුවකු කොට තිබෙද්දී ඔහුව හමුදාපතිවරයා ලෙස පත්කරමින් රජය ජාත්‍යන්තරයේ සම්බන්ධකම් වලින් ගිළිහුණු තත්ත්වයකට පත්ව ඇතැයිද විග්නේස්‌වරන් මහතා පැවසීය.

මේ අන්දමට කටයුතු කරන රජයකින් දෙමළ ජනතාවට කිසිම සහනයක්‌ නොලැබෙන නිසා දෙමළ ජනතාවද මෙවැනි රජයකට ඡන්දයකදී සහය දැක්‌වීමට කිසිම අවශ්‍යතාවයක්‌ නොමැති බවද විග්නේස්‌වරන් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අතුරුදන් කාර්යාලයට අතුරුදන් වූවන්ගේ විරෝධය

යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයින් උදෙසා කටයුතු කිරීමට ඒ සඳහා වූ කාර්යාලයක්‌ යාපනයේදී පිහිටුවනු ලැබීය. රජය විසින් පාර්ලිමේන්තු පනතකට අනුව පිහිටුවන ලද අතුරුදන් වූවන් පිළිබඳව තොරතුරු සොයා බැලෙන කාර්යාලයේ දෙවන කාර්යාලය මෙය වෙයි. මෙහි පළමු කාර්යාලය පිහිටුවන ලද්දේ කොළඹදීය.

යාපනය ආදිපාද වීදියේදී පිහිටුවනු ලැබූ එම කාර්යාලය අතුරුදන් වූවන් පිළිබඳව තොරතුරු සොයා බැලෙන කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්‌ මහතා අතින් විවෘත වූ අතර එම අවස්‌ථාවට යාපනයේ රාජ්‍ය අංශ ප්‍රධානීන් කීප දෙනෙකුද සහභාගී වී සිටියහ.

මේ කාර්යාලයට පැමිණ ඕනෑම අයෙකුට යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළ හැකි අතර ඊට අදාළව ඇති සාක්‌කිද ඉදිරිපත් කළ හැකිය.

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පමණක්‌ නොව මේ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව ගණනාවක්‌ම ඔවුන්ගේ විරෝධය පළ කොට තිබුණි.

යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගම් විසින් රජය විසින් යාපනයේදී පිහිටුවන ලද අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීමේ කාර්යාලයට එරෙහිව වවුනියාව, කිලිනොච්චිය හා යාපනය දිස්‌ත්‍රික්‌කවල විරෝධතා සංවිධානය කොට තිබූ අතර ඔවුන් මේ කාර්යාලයට එරෙහිව පෙළපාලි ගිය ආකාරයද දැක ගන්නට හැකි විය.

එම සංගම් කියා සිටින්නේ මීට පෙර මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයාද අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳව සොයා බැලීම සඳහා මැක්‌ස්‌වල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක්‌ පත් කරන ලද නමුත් ඉන් කිසිම ප්‍රයෝජනයක්‌ සිදු නොවූ බවයි.

එම කොමිසමේ නිර්දේශයන්ට අනුව පුද්ගලයින් 19000 ක්‌ දෙනා යුද සමයේදී අතුරුදන්වී ඇති බවට පාර්ලිමේන්තුවට වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලද නමුත් මේ දක්‌වා ඉන් කිසිවෙකුටත් සහන සිදු නොවූ බවයි.

කොමිසම් හමුවේ සාක්‌කි දීමට යැම සඳහා බස්‌ ගාස්‌තුද අදාළ ලියකියවිලි ලබා ගැනීමට හා ඒවායෙහි ඡායාපිටපත් ලබා ගැනීමට විශාල මුදලක්‌ වැය වූවත් එම කොමිසම්වලට කාලය කා දමමින් සහභාගි වුවත් කිසිම පලක්‌ නොවූ බව යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීහු කියා සිටියහ.

මේ රජය විසින් පිහිටුවන ලද කාර්යාලයේ තත්ත්වයද එයම බව උතුරේ එම සංවිධානවල සාමාජිකයින් ප්‍රකාශ කරන අතර මේ කිසිම කොමිසමකට බලයක්‌ නොමැති බවද කියා සිටියහ.

අතුරුදන් කරවීම් වලට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් හා තනතුරු කළින් කොමිසම වෙතත් මේ කොමිසම වෙතත් අවස්‌ථා ගණනාවකදීම ලබා දෙන ලද නමුත් අඩුම තරමින් කොමිසම ඒ පිරිසට එරෙහිව නඩු පැවරීමටවත් කටයුතු කොට නොතිබීම තුළින් කොමිසමේ බලය පෙනී යන බවද එම සංගම් කියා සිටියහ.

මේ නිසා කොළඹ එවැනි කාර්යාලයක්‌ පිහිටුවීමෙන් පසුව යාපනයේ තවත් කාර්යාලයක්‌ පිහිටුවීමෙන් යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන්ට කිසිදු සහනයක්‌ නොලැබෙන බවද ඔවුහු පැවසූහ.

මේ වන විට යුද සමයේදී අතුරුදන් වූ සියලුම පුද්ගලයින් පිළිබඳව සියලුම තොරතුරු රජය වෙත ලැබී අවසන් වී ඇති බව පවසන ඥාතී සංගම් තවදුරටත් එකම තොරතුර සඳහන් කරමින් ලිපි ගොනු පිරවීමෙන් කාලයත් විශාල මුදලකුත් වැය වන බවද කියා සිටියහ.

මේ වැය වන විශාල මුදල යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන්ට වන්දි ගෙවීම සඳහා යොදා ගත්තේ නම් මෙම කාර්යාල පිහිටුවීමට වඩා එය වැදගත් බව ඥාතී සංගම්වල හා ඥාතීන්ගේ අදහසයි.

139 Viewers