• Home »
  • Sinhala »
  • දේශප්‍රේමී මහේෂ් සේනානායකට (RWP/RP/VV/UP- අනාගත පරමවීර විභූෂණ) පිළිතුරක්‌

දේශප්‍රේමී මහේෂ් සේනානායකට (RWP/RP/VV/UP- අනාගත පරමවීර විභූෂණ) පිළිතුරක්‌

mahesh

උතුරේ හමුදා කඳවුරු 80 ක්‌ ඉවත් කිරීමට යන බව පසුගිය දිවයින ඉරිදා සංග්‍රහය මගින් හෙළිදරව් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නැටූ නාඩගම ඔහු ජීවත්වන කුඩා ලෝකය ගැන විශාල අනාවරණයක්‌ කළේය.

යුද හමුදාවේ බළඇණි 33 ක්‌ අඩු කිරීමේ ක්‍රියාවලිය ප්‍රතිපත්තිමය තීන්දුවකි. මෙවැනි බළඇණි ප්‍රමාණයක්‌ අඩු කරන විට යුද හමුදා කඳවුරු 80 ක්‌ පමණ අඩු වීම ඉතාම සාමාන්‍ය තත්ත්වයකි. අපි ඒ බව ද හෙළි කළෙමු. අපගේ හෙළිදරව්ව සම්බන්ධයෙන් නිවේදනයක්‌ නිකුත් කරමින් යුද හමුදාපති මහේෂ් සේනානායක කියා සිටියේ යුද හමුදාව විසින් රටේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා සිදු කරනු ලබන සේවා සැපයුම් ගැන ඇතැම් අවස්‌ථාවකදී දේශපාලනඥයන් සහ මාධ්‍ය ද්වේෂ සහගත ප්‍රකාශ ජනතාවට ඉදිරිපත් කරන බවය.

“පාලනමය රාජකාරි සඳහා යොදවා සිටින සෙබළ පිරිස්‌ ක්‍ෂේත්‍ර රාජකාරිවල යෙදවීම යුද හමුදාව නිරන්තරයෙන් කළ කාර්යයකි. එමගින් හමුදාවේ කාර්යක්‍ෂමතාව දෙගුණයකින් වැඩි වේ. එය බළඇණි වසා දැමීමක්‌ නොව බළඇණි යටපත් කිරීමකි…” ඔහු සිය නිවේදනයෙන් කියයි.

යුද හමුදාපති කියන මේ මඟුල අපට නම් තේරෙන්නේ නැත. මේ ප්‍රකාශය කෙටුම්පත් කළ පුද්ගලයා කවරෙක්‌දැයි අපි නොදනිමු. ඔහු කවරකු වුවත් සුදුසු වන්නේ පත්තරවලට තුන් තේරවිලි ලිවීමට සහ දේශපාලනඥයන්ට කතා ලිවීමටය. යුද හමුදා කඳවුරු 80 ක්‌ වසා දමන බව අපගේ ප්‍රවෘත්තියේ සඳහන් වුවද, එසේ නොවන බව තර්කානුකූලව සහ සංඛ්‍යාත්මකව ඔප්පු කිරීමට ලියුම ලියූ පුද්ගලයාට සහ එයට අත්සන් තබන මහේෂ් සේනානායකට හැකි වී නැත.

උතුරු පළාත බෙහෙවින් සංවේදීය. අද එහි යකා නටන කුඩා කණ්‌ඩායම් තම ප්‍රචණ්‌ඩ ජීවිත පටන්ගෙන ඇත්තේ ප්‍රභාකරන් පටන් ගත් විදියටමය. මෙවැනි සංවේදී පළාත්වල මනුෂ්‍ය ඝාතන සහ ප්‍රචණ්‌ඩ ක්‍රියා හට ගැනීම ඕනෑම වෙලාවක සිදුවෙයි. යාපනේ හිටපු මහාධිකරණ විනිසුරු ඉලන්ෙච්ලියන්ට වෙඩි තැබූ හැටි මතකද? ඉලක්‌කය වැරදුන වෙඩිල්ල ඉලන්වේලියන් විනිසුරුගේ ආරක්‍ෂක පොලිස්‌ නිලධාරියාගේ පපුව හිල් කළ ආකාරය ඔබට මතකද? දහඅට හැවිරිදි සිවලෝගනාදන් විද්‍යා ශිෂ්‍යාව දූෂණය කර මරන ලද්දේ එම දූෂණය රූපගත කර යුරෝපයේ සිටින මහලු නෂ්ටකාමකාරයන්ට විකුණනු පිණිසය. එම සිද්ධියේ අතරමැදියා වූයේ විජයකලා මහේෂ්වරන්ගේ මිත්‍රයකු වන ස්‌විස්‌ කුමාර් ය. ප්‍රභාකරන්ට පණදීමේ බලාපොරොත්තුවෙන් මේ දිනවල වේදිකා මත නටන විජයකලා, ස්‌විස්‌ කුමාර් නමැති කාලකන්නියා බේරා ගැනීමට සුවිශාල පරිශ්‍රමයක්‌ දැරුවාය. පසුගිය වසරේ ජුනි මාසයේ 9 වැනිදා පේදුරුතුඩුව හන්දියේදී කඩු පොලු ගත් ත්‍රස්‌ත පිරිසක්‌ පොලිස්‌ මුරපොළකට පහර දුන්නේය. එම වසරේම ජුලි 21 වැනිදා නාවික හමුදා වෙරළාරක්‍ෂක බළකායකට එවැනිම ත්‍රස්‌ත පිරිසක්‌ පහර දුන්නේය. ඉලන්ෙච්ලියන් විනිසුරු සම්බන්ධ වෙඩි තැබීම සිදු වන්නේ ඊට පසු දිනය. ජූලි 30 වැනිදා යාපනේ කෝපායි නගරයේදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු කඩුවලින් කපන ලදී. මෙයද සිදු කළෝ ත්‍රස්‌ත පිරිසකි.

ඉලන්ෙච්ලියන් විනිසුරුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ත්‍රස්‌තවාදියා 1996 – 98 කාලයේදී කොටි ත්‍රස්‌තවාදියකු ලෙස ප්‍රභාකරන්ට වැඩ කර ඇත. කෝපායි සිද්ධියට සම්බන්ධ ත්‍රස්‌තවාදීහු ආවා නමැති කල්ලියට සම්බන්ධ පිරිසකි. ඔවුහු හිටපු කොටි ත්‍රස්‌තයෝ ය.

උතුරේ ත්‍රස්‌තවාදය යනු තාවකාලිකව මැඩපවත්වන ලද්දකි. කවුරු කොහොම හිතුවත්, දෙමළ ඩයස්‌පෝරාව කටයුතු කරන්නේම ප්‍රභාකරන්ට පණ දීමටය. විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයෙන් ඒ බව තහවුරු වෙයි. එවැනි අවස්‌ථාවක හමුදා බළඇණි යටපත් කිරීමට තැත් කිරීම ගොං වැඩකි. ඒ බව හමුදාපති ම කියනවා නම් එය ද ලොකු අවුලකි. හමුදා කඳවුරු ‘මැඬපැවැත්වීම’ (මෙය මහේෂ් සේනානායකගේ වචනය) පිළිබඳ වගකීම ආණ්‌ඩුව භාරගන්නා බවක්‌ නොපෙනේ. අගමැතිතුමා පවා කියන්නේ මේ කටයුතු සියල්ල යුද හමුදාව මගින් ම කරන බවය. ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති කියන්නේත් එයමය.

මහේෂ් සේනානායකගේ යුද හමුදා කප්පාදුව පිළිබඳ වැඩිදුර විස්‌තර අද (ඉරිදා) දිවයිනේ ප්‍රධාන පුවත ලෙස සඳහන් ය. මේ පුවත සාක්‍ෂි සහිතව පළ කරන ලද්දකි. මහේෂ් සේනානායක හමුදාව මැඬ පවත්වන්නේ මෙහෙම නම් උතුරේ සැඟවුණ ත්‍රස්‌තවාදය ළඟදීම ‘සාමය මැඬපැවැත්වීම’ සඳහා විශේෂ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වනවා ඇත.

‘දිවයින’ මෙවැනි ප්‍රශ්න ගැන මෙතරම් උනන්දු ඇයි? යුද්ධයෙ අවසන් කොටසේදී ඉන්දියාව හා විදේශ බලවේග ලංකාවට අතපොවන කල්හි යුද්ධය ඉදිරියට ගෙන යනු පිණිස හිටියේ මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකා යුද හමුදාව සහ දිවයින පමණි. මහේෂ් සේනානායක එතැන සිටියේ දැයි අපි නොදනිමු. ඔහු එතැන හිටියා නම් ඔවැනි පුවත්පත් නිවේදන නිකුත් නොකරන බවය, අපගේ විශ්වාසය.

හමුදා කඳවුරු ඉවත් කිරීම දින 45 ක්‌ තුළ කරන්නට නියෝග

යුද්ධ හමුදා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ බළඇණි ප්‍රතිස්‌ථාපනය කිරීමේ සැලසුම යටතේ පළමු අදියර යාපනයේ ආරක්‌ෂක සේනා මූලස්‌ථානය මූලික කරගෙන ක්‍රියාත්මක වනු ඇත.

මේ සම්බන්ධව අදාළ නියෝගය පසුගිය ජූලි 13 වැනිදා යුද හමුදා මූලස්‌ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‌ෂ බ්‍රිගේඩියර් එච්. ඒ. එµa. කේ. මුහන්දිරම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් වී තිබිණි. යුද හමුදා කඳවුරු ප්‍රතිස්‌ථාපනය කිරීම දින 45 ක්‌ ඇතුළත සම්පූර්ණ කළ යුතු බවට යුද හමුදා ක්‍රියාන්විත අධ්‍යක්‌ෂ නිකුත් කළ නියෝගයේ සඳහන් වේ.

භට පිරිස්‌ ප්‍රමාණ තුලනයේ පළමු අදියර ජූලි 20 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර එය සැප්තැම්බර් 4 වැනිදා අවසන් විය යුතු බව අදාළ නියෝගයේ සඳහන් වේ.

මෙහි දෙවන අදියර කිලිනොච්චි ආරක්‌ෂක සේනා මූලස්‌ථානය පදනම් කරගෙන සිදුකරන අතර එය අගෝස්‌තු 10 දින ආරම්භ කර සැප්තැම්බර් 25 වැනිදා අවසන් කළ යුතුය.

තුන්වැනි අදියර මුලතිව් ආරක්‌ෂක සේනා මූලස්‌ථානය මූලික කරගෙන සිදුවන අතර එය අගෝස්‌තු 31 වැනිදා ආරම්භ කර ඔක්‌තෝබර් 16 වැනිදා අවසන් කළ යුතුය.

හතර වැනි අදියර වන්නි ආරක්‌ෂක සේනා මූලස්‌ථානය පදනම් කරගෙන සිදුකරන අතර එය සැප්තැම්බර් 4දා ආරම්භ කර නොවැම්බර් 05 වැනිදා අවසන් කළ යුතුය.

මෙලෙස උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම පිළිබඳ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණු අතර එහිදී ඉවත් කරන කඳවුරු පිළිබඳ තොරතුරු රැසක්‌ද අනාවරණය විය.

යුද හමුදා සංස්‌ථා යථා යෝග්‍ය කිරීම යටතේ උතුරු පළාතේ හමුදා කඳවුරුවලට පමණක්‌ වැඩි අවධානයක්‌ යොමු කිරීම ආරක්‌ෂක විශ්ලේෂකයන්ගේ විමතියට හේතු වී ඇත.

467 Viewers