නිදහසේ ගමන් මග

අද නිදහස් දිනයක්. සැමරුවාට කමක් නැහැ. ඒත් සමරන්නේ කුමක් ද කියන එක දැන ගන්න ඕන. අද සමරන්නේ අප එංගලන්තයේ රජු අපේ ද රජු ලෙස සැලකමින් ලත් නිදහසක්. මෙය 1817 දී කැප්පෙටිපොළ විරුවා කොහුකුඹුරේ රටේ රාළ ආදීන් ඇරඹු නිදහස් සටනේ පියවරක් නො වෙයි. ඒ නිදහස් සටන් ව්‍යාපාරය ධර්මපාලතුමාගෙන් තාවකාලික ව අවසන් වුණා. ඒ නිදහස් සටන්වල අරමුණ වූයේ යළි සිංහල බෞද්ධ රාජ්‍යය ගොඩ නැගීමයි.

එහෙත් එය ධර්මපාලතුමා ජීවත් ව සිටි සමයේ දී ම පීලි පන්නනු ලැබුවා. නිදහස් සටනේ නායකත්වයට පොන්නම්බලම් කුමාරස්වාමි පවුල පත් කෙරුණා. ඉංගිරිසින්ට අවශ්‍ය වුණේ ඒ පවුල ඊනියා ලාංකිකයන්ගේ නායකත්වයට පත් කිරීමයි. ඔවුන්ට ඩී එස් සේනානායකලා ජයවර්ධනලා සහ තවත් අය එකතු වුණා. ඊනියා සිලෝන් නැෂනල් කොංග්‍රස් නම් විජාතික සංවිධානයක් පිහිටුවා ගනු ලැබුවා. ඩී බී ජයතිලක වැන්නන් ධර්මපාලතුමා වෙනුවට යොදාගනු ලැබුවා. ධර්මපාලතුමාට ඩී ආර් විජේවර්ධනගේ ලේක්හවුසිය පහර දුන්නා. එතුමාට රට හැර යන තැනට වැඩ කෙරුණා.

අදත් පඬියන් පහර දෙන්නේ ධර්මපාලතුමාට හා ජාතික නිදහස් සටනට මිස ඔවුන් කියන විධියට ධනපති පංතියේ නියමුවන්ට නො වෙයි. පඬියන්ගේ ඉමහත් ගෞරවයට රාමනාදන්, අරුණාශලම් පමණක් නොව ඔවුන්ගේ මී මුණුබුරකු වූ විග්නේෂ්වරන් ද පත් වෙනවා. මේ පවුලට වුවමනා වූයේ මෙරට ප්‍රධානීන් වීමට. ඒ කර ගනීමට නොහැකි ව අද ඔවුන් දෙස් දෙවොල් තියෙනවා. එයට ඉන්දියාවේ ඩොවාල්ගෙ සහාය ලැබෙනවා.

ධර්මපාලතුමාගෙන් පසු පීලි පැන්න නිදහස් සටන සේනානායකලා අතට පත් වුණේ ඉංගිරිසින් 1931 දී අපට සර්වජන ඡන්දය දීම නිසා. එංගලන්තයේත් සර්වජන ඡන්දය දී අවුරුදු කිහිපයකට පමණක් පසුව ඉංගිරිසින් අපට සර්වජන ඡන්දය දුන්නේ වැරදීමකින් කියා හිතන්න පුළුවන්. ඩොනමෝර් කොමිසම හිතන්න ඇති ඉංගිරිසි අධ්‍යාපනයෙන් මෙරට බිහි කෙරුණු පුහු අනුකාරකයන්ට සාමාන්‍ය ජනතාව රවටා පාලනය කළ හැකිය කියා. ඩොනමෝර්ලා සැලකිල්ලට ගත් නොගත් කාරණය වූයේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ ඊනියා නූගතුන්ගේ ශක්තියයි.

ඩොනමෝර් යෝජනාවලින් අනුකාරකයන්/දෙමළ ජාතිවාදීන් බලයේ රඳවා ගැනීමට උත්සාහ කළ නමුත් පැරණි ම පක්‍ෂය වූ සමසමාජ පක්‍ෂය ද නන්නත්තාර ව සිංහල බෞද්ධයනට විරුද්ධ වූ නමුත් එස් මහින්ද හිමියන්, මෙරට භික්‍ෂූන් වහන්සේ, සිංහල ජාතිකවාදීන් ධර්මපාලතුමා ගෙන ගිය නිදහස් සටන නැවතත් ආරම්භ කළා. බුදුසසුනට වඩා භාෂාව ගැන හිත යොමු කළ භාෂා ප්‍රේමීන් නිදහස් සටනට බාහිරින් උපකාර කළා. එහෙත් සිංහල බෞද්ධකම ගැන හැඟීමක් නැති වූ ඔවුනට කළ හැකි ව තිබූ දේ කර ගන්නට නොහැකි වුණා. අදත් ජාතික ව්‍යාපාරයේ ඇතැමුන් සිංහල බුද්ධාගම තේරුම් ගැනීමට නොහැකි ව එක් අතකින් භික්‍ෂූ පක්‍ෂයක් ඇති කරමින් ජාතිකත්වය දුර්වල කිරීමට ක්‍රියා කරන අතර ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට කොනිත්තන බව පැහැදිලියි. ඔවුන් තවමත් මාක්ස්වාදීන්.

1931න් පසුව අනුකාරකයන් ඩොමීනියන් (ඉංගිරිසි රජු අපේත් රජු) නිදහසක් දිනා ගැනීමට කටයුතු කළ අතර ජාතිකවාදීන් පූර්ණ නිදහසක් වෙනුවෙන් ක්‍රියා කළා. එහෙත් ශක්තිමත් වූයේ අනුකාරකයන්. ඔවුන්ට ඉංගිරිසින්ගේ සහාය ලැබුණා. 1948 නිදහස එසේ ලැබුණක්. මාක්ස්වාදීන් ඊනියා විප්ලවය වෙනුවෙන් වතු කම්කරුවන් අපිකේන්ද්‍රය (epicentre)  කර ගෙන කම්කරු පංති ආඥාදායකත්වය ඇති කිරීමට එහෙ මෙහෙ දිවුවා. එහෙත් ජාතිකවාදීන් පූර්ණ නිදහස සටන අත්හැරියේ නැහැ.

ධර්මපාලතුමා හා 1948 නිදහස අතර සම්බන්ධයක් නැහැ. ඒ නිදහස කැප්පෙටිපොළ විරුවාණන් බලාපොරොත්තු වූ නිදහස නො වෙයි. ඒ පූර්ණ නිදහස සඳහා පියවර කිහිපයක් 1952 සිට අද දක්වා ගෙන තිබෙනවා. ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයේ පක්‍ෂය වීම ඉන් ප්‍රධානයි. බණ්ඩාරනායක මැතිණිය 1972 දී ජනරජයක් පිහිටුවීම තවත් වැදගත් පියවරක්. අප නිදහස් දිනය ලෙස සැලකිය යුත්තේ පෙබරවාරි 4 නොව මැයි 22. ඒ බව අප කියන්නේ අද ඊයේ නොවේ. එහෙත් ජේ ආර් නැති කළ මැයි 22 චන්ද්‍රිකාවත් මහින්දවත් ලබා දුන්නේ නැහැ. ඔවුනුත් පෙබරවාරි 4 ම නිදහස සැමරුවා.

පූර්ණ නිදහස සඳහා වූ ව්‍යාපාරයේ තවත් පියවරක් වූයේ නන්දිකඩාල් ජයග්‍රහණයයි. එහි ප්‍රධාන මෙහෙයුම ගෝඨාභය රාජපක්‍ෂගේ. මහින්ද රාජපක්‍ෂ අවශ්‍ය දේශපාලන නායකත්වය එදා ලබා දුන්නා. නන්දිකඩාල් යනු පැරදවීමට නොහැකි යැයි රොහාන් ගුණරත්න වැනි ඊනියා යුද විශේෂඥයන් කියද්දී රටේ ඉතිහාසය හා ශක්තිය දැන සිටි අප අනාවැකි කී පරිදි ලබා ගත් ජයග්‍රහණයක්. එහි දී පරාජය වූයේ දෙමළ ජාතිවාදයයි. අද මෙරට දෙමළ ජාතිවාදයක් පවත්වාගෙන යනවා. ඒ ඉංගිරිසින් ප්‍රධාන බටහිරයන් හා ඉන්දියාව විසින්.

එය ද පරාජය කරන්න පුළුවන්. අප ඉංගිරිසින්ගේ දැනුම් ආධිපත්‍යයට යට විය යුතු නැහැ. බටහිරයන් අපට විරුද්ධ ව එල්ල කරන ඊනියා මානව අයිතිවාසිකම් කඩ කිරීම් චෝදනාවලට අපට මුහුණ දී ඒ පරාජය කරන්න පුළුවන්. අප අපේ දැනුමෙන් කරුණු ඉදිරිපත් කරන්න ඕන. බටහිර දැනුමේ අර වගන්තිය මේ වගන්තිය අනුව ක්‍රියා කරන්න ගියොත් අප අමාරුවේ වැටෙනවා. මෙරට මානව අයිතිවාසිකම් කඩ වී නැහැ. අවුරුදු තිහක් අප කෙළේ ඉංගිරිසින් ඇති කළ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය මානුෂික මෙහෙයුම්වලින් පරාජය කිරීම පමණයි. 1971 දී 1987-90 කාලයේ මානව අයිතිවාසිකම් කඩ වී නැත්නම් 2019 දක්වා ඒ කඩ වී ඇත්තේ කෙසේ ද? මෙහෙයුම්වල දී ආයුධ ගත්තවුන් මිය යනවා. එයට කරන්න දෙයක් නැහැ. සිවිල් වැසියන් මිය ගිහින් ඇත්නම් ඒ සඳහා ක්‍රියා කිරීමට සිවිල් නීතිය මෙන් ම හමුදා නීතියත් තියෙනවා. ඊනියා ජාත්‍යන්තර නීති අවශ්‍ය නැහැ. ඉංගිරිසින් ඇති කළ අනුකාරක පුහු පඬියන් කියන කරන දේ සතපහකට ගණන් ගන්න අවශ්‍ය නැහැ.

අප තවමත් කැප්පෙටිපොළ විරුවා බලාපොරොත්තු වූ නිදහස දිනාගෙන නැහැ. එය කළ හැක්කේ මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩ නැගූ දින. එහෙත් එතෙක් අපට නිදහස් දිනයක් තියෙනවා. ඒ අර පූර්ණ නිදහස දිනා ගැනීමේ ව්‍යාපාරයේ ජනරජයක් වූ දිනය. ඉන්පසු නන්දිකඩාල් දිනයත් තියෙනවා. මා කලකට පෙර යෝජනා කළා මැයි 19 දින අරඹා මැයි 22 අවසන් වන දින කිහිපයක නිදහස සැමරිය යුතු ය කියා. ඒ දින හතර නිවාඩු දෙන්න කියන එක නොවෙයි මා කියන්නේ. මැයි 22 නිවාඩු දිනය විය යුතුයි. උත්සව පටන් ගන්න ඕන මැයි 19.

පොන්නමබලම් රාමනාදන්ලා ඩී එස් සේනානායකලා කැප්පෙටිපොළ ව්‍යාපාරයේ උරුමක්කාරයන් නො වෙයි. වීර පුරන් අප්පූ ගොංගාලෙගොඩ බණ්ඩා ධර්මපාලතුමා බණ්ඩාරනායක මැතිණිය තමයි එහි උරුමකරුවන්. අප මේ ධාරාවන් දෙක පැහැදිලිව තේරුම් ගන්න ඕන. පෙබරවාරි 4 දැන් ඉවරයි. අප මැයි 22, 19 ඉදිරියට ගෙන යන්න ඕන. ඒ සඳහා කෙනිත්තිලි නොකර ගෝඨාභය රාජපක්‍ෂට සහාය දෙන්න ඕන. අපේ අරමුණ විය යුත්තේ ඒ සඳහා ගෝඨාභය රාජපක්‍ෂ ශක්තිමත් කිරීමයි.



240 Viewers