නොට්රෙ ඩාම් දේවස්ථානය

“..දේවස්ථානය ගිනි ගැනීම ප්‍රංශයන්ට කතෝලිකයන්ට පමණක් නොව සංස්කෘතීන් අගය කරන සියල්ලන්ටම කණගාටුවට කරුණක්. අවුරුදු පතා ලක්‍ෂ ගණනක් දේවස්ථානය නැරඹීමට එන බව පැවසෙනවා. ප්‍රංශය යුරෝපයේ කලා මධ්‍යස්ථානය ලෙස සැලකෙනවා. අවාසනාවකට දේවස්ථානයේ වහළ සම්පූර්ණයෙන් වගේ පිච්චිලා. ප්‍රංශ ජනාධිපති කියල තියෙනවා එය ප්‍රතිසංස්කරණය කරනව කියලා. එය ඉක්මණින්ම සිදු වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

ඒ අතර අපට අමතක කරන්න බැහැ දළදා මාළිගාවට පහර දීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල වෙඩි තැබීම්, එහි අරක්කු බීමට කරන යෝජනා, සහ සමස්තයක් වශයෙන් අවුරුදු දෙදහස් පන්සියක රෙද්ද. අප බටහිර සංස්කෘතියවත් බටහිර විද්‍යාවවත්, බටහිර කලාවවත් ඒ විධියට අගෞරවයෙන් සලකන්නෙ නැහැ. අප විරුද්ධ වන්නෙ බටහිර සංස්කෘතික ආධිපත්‍යයට. අවුරුදු දෙදහස් පන්සීයක රෙද්ද කතාව කරන්නෙත් ඒ ආධිපත්‍යයෙ සෙවණෙ ඉඳගෙන. නැතුව සිංහල බෞද්ධ සංස්කෘතියෙ ඇතුළතින් කෙරෙන විවේචනයක් ලෙස නොවෙයි. බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් අධ්‍යාපනය හා ජඩමාධ්‍ය හරහා නිවටයන් ටිකක් බිහි කෙරී තියෙනවා. මේ නිවටයන්ට යම් හීනමානයක්ද තියෙනවා. ඒ හීනමානය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.

මේ නිවටකම සිංහල බෞද්ධයනට පමණක් නොව මුස්ලිමුන්ටත් හින්දුන්ටත් අඩු වැඩි වශයෙන් තියෙනවා. මේ අය බටහිර විද්‍යාවෙ නව දැනුම තම සංස්කෘතීවලත් තියෙනව කියන්න හරි කැමතියි. මා ඊයේ පෙරේදා දැක්කා බුදුහාමුදුරුවො කළුකුහර ගැනත් දේශනා කරල තියෙනවා කියන ප්‍රකාශ. බුදුහාමුදුරුවන් දේශනා කරල තියෙනවා මේ විශ්වයේ ආලෝකය පතතිත නොවන තැන් තියෙනව කියල. කළු කුහර කියන්නෙ බටහිර තාරකා විද්‍යාඥයන් කියන විධියට ආලෝකය පතිත නොවන තැන් නොවෙයි ආලෝකය පිට නොවන වස්තු. මේ දෙකේ කොච්චර වෙනසක් තියෙනවාද? එහෙත් සමහරුන් කැමතියි බුදුහාමුදුරුවන් කළු කුහර ගැන දේශනා කරල තියෙනව කියන්න…”

- නලින් ද සිල්වා

58 Viewers