• Home »
  • Sinhala »
  • පරිවර්තනය කර ඇමෙරිකානු තානාපතිට දෙන්න

පරිවර්තනය කර ඇමෙරිකානු තානාපතිට දෙන්න

(Courtesy of Divaina)

ඇමෙරිකා එක්සත් ජනපදයේ යුද අපරාධ ලොවට හෙළිකළ විකිලීක්ස් (WikiLeaks) වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජේ (Julian Assange) විසින් 2010 වසරේ ‘ලීක්’ කරන ලද “Collateral Muder”නම් වීඩියෝ පටය ඇමෙරිකා එක්සත් ජනපදයේ ම්ලේච්ඡුත්වය ලෝකයට ගෙනගිය කදිම සාක්‍ෂියකි. වීඩියෝ පටයේ දැක්වෙන්නේ 2007 ජුලි 12 වැනිදා AH-64-Apache හෙලිකොප්ටරයේ නැඟුණු ඇමෙරිකා සෙබළු දෙදෙනෙක් M230 නමැති ස්වයංක‍්‍රීය ගිනි අවියෙන් බැග්ඩෑඞ් නගරයේ ගමන් කරමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනකු ඇතුළු 12 දෙනකු අමු අමුවේ ඝාතනය කරන අයුරුය. විනාඩි 39 ක් පුරා දිවයන මෙම වීඩියෝපටයේදී එක් ඇමෙරිකානු සෙබළකු

ගිනිඅවිය ක‍්‍රියාත්මක කරන සෙබළාට පණ  බේරාගැනීමට දිවයන මිනිසුන් පෙන්වන්නේ ”අන්න තව කුරුල්ලෝ දෙන්නෙක්” (Hey, There another two birds) යනුවෙන් පවසමිනි. ඇමෙරිකානු සෙබළුන්ට මිනිසුන් මැරීම කුරුල්ලන් ඝාතනය කිරීම තරම් සරල ක‍්‍රියාවක් බව කීමට මීට වඩා සාක්‍ෂියක් තවත් තිබේද?

පුලිට්සර් සම්මාන දිනූ ඇමෙරිකානු ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වූ සෙමෝර් හර්ෂ් (Seymour Hersh)  විසින් ගල්ෆ් යුද්ධයේදී හෙළි කළ තොරතුරුවලට අනුව ඉරාකය ආක‍්‍රමණය කළ ඇමෙරිකානු 24 වැනි පාබල සේනාංකය විසින් නිරායුද ඉරාක සෙබළුන් 350 දෙනකු ඝාතනය කර තිබේ. සෙමෝර් හර්ෂ් යනු 1968 වසරේ මාර්තු 16 වැනිදා වියට්නාමයේදී ඇමෙරිකානු සෙබළුන් විසින් නිරායුද වියට්නාම් වැසියන් 504 දෙනකු ඝාතනය කිරීම ලොවට හෙළි කළ මාධ්‍යවේදියාය. මයි ලායි සංහාරය (My Lai Massacre) යන මෙම මනුෂ්‍ය සංහාරය සම්බන්ධයෙන් ඇමෙරිකානු සෙබළුන් 26 දෙනකුට චෝදනා එල්ල වුව ද වරදකරු කරනු ලැබුවේ ලූතිනන් විලියම් කැලී පමණි. වියට්නාම් වැසියන් විසිදෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ඔප්පු වූ කැලීට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණු නමුත් ඔහු සිරදඬුවම් වින්ඳේ වසර තුනහමාරක් පමණි. සිරියානු යුද්ධයේදී ඇමෙරිකානු ප‍්‍රහාරක ගුවන් යානා විසින් මාස පහක කාලයක් ඇතුළත රාකා නගරයට ෂෙල් ප‍්‍රහාර තිස්දහසක් එල්ල කරනු ලැබීය. යුද්ධයට පෙර රාකා නගරයේ ජීවත් වූ සිවිල් වැසියන්ගේ ජනගහණය තුන්ලක්‍ෂ හතළිස් දහසක් වූ අතර ඇමෙරිකානු ෂෙල් ප‍්‍රහාරවලින් පසු මෙම පිරිසෙන් දෙලක්‍ෂ හතළිස් දහසකට සිදු වූ දේ දන්නේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ නියමුවන් පමණි. ඇමෙරිකානු හමුදාවේ භාෂාවෙන් කිව්වොත් රාකා නගරයේ ජීවත් වූ කුරුල්ලන් 2,40,000 ක් ෂෙල් ප‍්‍රහාරවලින් අතුරුදන් වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ නව යුද හමුදාපති ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් මහත් සේ කලබලයට පත්ව සිටින්නේ මෙවැනි ම්ලේච්ඡු යුද අපරාධ ඉතිහාසයක් ඇති ඇමෙරිකා එක්සත් ජනපදය ය. ශ‍්‍රී ලංකා යුද හමුදාපතිවරයාගේ පත්වීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඇමෙරිකානු එක්සත් ජනපදය පවසන්නේ  ”සංහිඳියාව හා සමාජ සමගිය අතිශය වැදගත් වන මෙවැනි අවස්ථාවක අදාළ පත්කිරීම ශ‍්‍රී ලංකාවේ කීර්ති නාමය, යුක්තිය සහ වගවීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම හෑල්ලූවට ලක් කරයි.” යනුවෙනි. ශ‍්‍රී ලංකාවේ ජීවත්වන මිලියන 21 ක ජනතාවගේ නිදහස වෙනුවෙන්, ත‍්‍රස්තවාදය පරාජය කිරීමට මරණය පපුවේ තබාගෙන සටන් කළ රණවිරුවකු යුද හමුදාපතිවරයා ලෙස පත්කිරීමෙන් රටේ සංහිඳියාව සහ සමාජ සමගියට සිදුවන හානිය කුමක්ද? අපගේ මතය නම් මෙම පත්වීමෙන් සංහිඳියාව, ජාතික සමගිය පමණක් නොව රටේ කීර්තිනාමය ද ආරක්‍ෂා වූ බවය. මේ සියලූ ගුණාංග ආරක්‍ෂා වන්නේ රටේ ජාතික ආරක්‍ෂාව සහතික වුවහොත් පමණි. රජය විසින් යුද හමුදාපති ලෙස පත්කර ඇත්තේ එම ආරක්‍ෂාව සහතික කර ඇති හමුදා නිලධාරියෙකි. ලංකාවේ සිවිල් ජනතාව ගැන මේ තරම් කැක්කුමක් ඇමෙරිකාවට තිබේ නම් ඔවුන් කළ යුත්තේ රටේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ගන්නා තීන්දුවට සහයෝගය ලබාදීමය. නමුත් ඇමෙරිකාව එම ක‍්‍රියාවලිය අඩපණ කිරීමට යෑමෙන් පැහැදිලි වන්නේ ඔවුන් වෙනත් දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුව කටයුතු කරමින් සිටින බවය.

මේ දේශපාලන න්‍යාය පත‍්‍රය සැකසෙන්නේ ‘සෝෆා’ නොහොත් ‘Status of forces agreement’ කඩිනමින් අත්සන් කර ගැනීම සඳහාය. මෙම

ගිවිසුමේ අරමුණ දකුණු ආසියාවේ ඇමෙරිකන් යුද කඳවුරක් (Base) ලෙස ශ‍්‍රී ලංකාව පවත්වාගෙන යෑමය. ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන

480 ක් නොහොත් රුපියල් කෝටි 8000 ක ආධාර මල්ලක් ද සූදානම් කර තිබේ. මෙම ඩොලර් මල්ලට ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව බිලිදිය යුතුද?

ඇමෙරිකානු ව්‍යාප්තවාදයට එරෙහිව ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ කශේරුකාව ක‍්‍රියා කරන ආකාරය රටේ පුරවැසියෝ සියුම්ව නිරීක්‍ෂණය කරමින් සිටිති. එම නිසා මෙම අර්බුද ඉතා සාමකාමීව විසඳා ගැනීමට ඇමෙරිකාව කටයුතු කළ යුතුය. මෙහිදී ඇමෙරිකාවේ කේවල් කිරීමේ බලයට (Bargain Power) වඩා ශ‍්‍රී ලංකාවේ ජනබලය බලවත් බව ඔවුන් හොඳින් මතක තබාගත යුතුය.

128 Viewers