• Home »
  • Sinhala »
  • පූරුවේ කරුමය හා අරාජික වූ රට

පූරුවේ කරුමය හා අරාජික වූ රට

(Courtesy of The Mawbima)

image-sinhalanet

පසුගිය සතියේ ප්‍රවෘතී බලද්දී ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා දෙනමක් විසින් රට ගැන දැඩි කම්පාවෙන්, දෙපලකදී සිදු කරන ලද, එහෙත් එකිනෙකට බොහෝදුරට සමාන වූ ප්‍රකාශ දෙකක් ගැන අපට අසන්නට ලැබුනි. ඉන් එක ප්‍රකාශයක් කර තිබුනේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මාධ්‍ය ඇමතූ විහාරාධිපති ගලබොඩ ඤාණිස්සර ස්වාමීන්ද්‍රයන් විසින්ය. උන් වහන්සේ කීයා තිබුනේ මේ රට අද අරාජික වී ඇති බවත්, නීතියක් ඉතුරුව නැති බවත්, නීතිය විවිධ අය විසින් තමන්ට අවශ්‍ය පරිදි හසුරවනු ලබන බවත්ය. මෙයට එකම විසඳුම අසාධාරණයට ලක්වූ ජනතාවට තම ගැටලු නොබියව ඉදිරිපත් කල හැකි එම ගැටලුවලට නිසැක පිලිතුරු ලබා දෙනු ඇති බවට විශ්වාස කල හැකි නායකත්වයක් බව උන්වහන්සේ පෙන්වා දී තිබුනි.

දෙවන ප්‍රකාශය කර තිබුනේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දාන පින්කමකදී අදහස් ප්‍රකාශ කල අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමිපානන් විසිනි. මෙම ප්‍රකාශය සතියක් පමන යන තුරු ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රකාශයක් විය. උන්වහන්සේ ප්‍රකාශ කොට තිබුනේ රට පුරා අපරාධ රැල්ලක් පැතිර යන බවත්, දහමට නිසි තැන නැති බවත් ඒ නිසා විනාශ වෙමින් පවතින අද රටට දැහැමි නායකයෙකු අවශ්‍ය වී ඇති බවත්ය. රටේ මීලඟ ජනාධිපති පදවියට යෝජනා වන නම් අතර ගෝඨාභය රාජපක්ෂ මහතාද සිටින බව කී උන්වහන්සේ පිරිහෙමින් පවතින රට යලි ගොඩ නැගන ලෙස ඉල්ලීමක් කර තිබුනි.

මේ ස්වාමීන් වහසේලා දෙනමගේම ප්‍රකාශ හරහා පැහැදිලිවම මතුවන්නේ දුර්වල පාලකයන් නිසා වර්ථමානයේ රට අරාජික වී ඇති බවත්, නීතිය වල් වැදී ඇති බවත් රට ගොඩගත හැකි ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාව අසරණ වී සිටින ජනතාවට තදින්ම දැනෙන බවත්ය.

අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් යොදාගත් එක් වැකියක එල්ලී ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස කිරීමේ බොලඳ උත්සාහයක්ද ඉන්පසුව අපට දක්නට ලැබුනි. මෙහි පෙරමුණ ගෙන තිබුනේ වත්මන් ආන්ඩුවේ සිටින හා ආන්ඩුවට පිටත සිට කත් අදින දේශපාලනඥයින්ය. වෙඬරුවේ උපාලි හිමියන් කීවේ ” සමහර අය ඔබ තුමාට හිට්ලර් වගේ කියනවා. හිට්ලර් වෙලා හරි කමක් නැහැ මේ රට හදන ලෙස මහා සංඝරත්නය ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා” කියායි. උන් වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් වගේ කියා කීවේ නැත. උපාලි හිමියන් කීවේ “සමහරු ඔබට එසේ කියනවා” කියාය. ඔය කියන සමහරු කවුද කියා බුද්ධිමත් ජනතාව දැනටමත් හඳුනති. විශේෂයෙන්ම මේ ප්‍රකාශය අල්ලාගෙන බූමිතෙල් වැදුන ගැරඩියන් සේ දඟලන්නට පටන් ගත්තේත් ඔවුන්මය. ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ යැයි බියෙන් තැති ගෙන සිටින යම් යම් දේශපාලනඥයින් හා ඔවුන්ගේ හෙංචයියන් එය වැලැක්වීම සඳහා’ගෝඨාභය ‘ නමේ මඩගාන්නට නොකරන දෙයක් නැත. ගෝඨාභය පාලනයක් ගැන ජනතාව අතර අනිසි බියක් ඇති කරන්නට ඔවුන් උත්සහ කරන්නේ එබැවිනි.

” හිට්ලර් වෙලා හරි කමක් නැහැ” යන්න ව්‍යංගාර්ථයෙන් යොදාගනිමින් අනුනායක ස්වාමීන් වහන්සේ අදහස් කරන්නට ඇත්තේ කිමැක්දැයි වටහා ගන්නට මහා විචාරක බුද්ධියක් අවශ්‍ය නැත. එය සිතා මතා තෝරාගත් ගැලපෙන උදාහරණයක් නොවන බව ඇත්තකි. එහෙත් උන්වහන්සේට කියන්නට අවශ්‍ය වන්නට ඇත්තේ කවුරු මොනවා කීවත් ඒ සියල්ල අමතක කොට රට හදන කටයුත්තට මුල් තැන දිය යුතු බවනම් පැහදිලිය.

වෙඬරුවේ උපාලි හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ උන්වහන්සේ පෙන්වාදුන් පරිදි රටට අහිමි වෙමින් පවතින දේ ආපසු ලබා දීමට කටයුතු කරන ලෙසයි. එනම්;

දහම පිරිහුන රටේ යලි දහම ස්ථාපිත කරන ලෙසයි
නීතිය වල් වැදුන රටේ යලි නීතිය ස්ථාපිත කරන ලෙසයි
අපරාධ රැල්ලක් පැතිර යන රටේ අපරාධ නතර කරවන ලෙසයි
අරාජික වූ රටට යලි නායකත්වයක් දෙන ලෙසයි

එහි ඇති වරද කුමක්ද ?

රට ජාතිය ආගම ගැන ගෞරවයක් නැති අමනයන්ට බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කල හැක. අස්ගිරි අනුනායක හිමියන් සද්භාවයෙන් කල ප්‍රකාශයක අර්ථය විකෘති කිරීමෙන් උන්වහසේටත් උන්වහන්සේ නියෝජනය කරන සමස්ථ බෞද්ධ භික්ෂූන් වහන්සේලාටත් අගෞරවයක් වන බව මේ අය කල්පනා නොකරති.

දින කිහිපයක් පුරා රටේ ජනාධිපතිවරයා හා අගමැති වරයා ඇතුලු තවත් අය තමන් වහන්සේගේ ප්‍රකාශයට වැරදි අර්ථකථන දෙමින් ඔවුන්ගේ දේශපාලන කුහක කම් ප්‍රදර්ශණය කලාට පසු වෙඬරුවේ උපාලි හිමියන් පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කලේ තමන් වහන්සේ කිසිවිටක ගෝටාභය රාජපක්ෂ මහතා හිට්ලර්ට සමාන නොකල බවත් හිට්ලර් මෙන් මිනී මරන්නට කියා අනුශාසනා නොකල බවත්ය. විනාඩි 45 ක පමන දේශනයක වචන 2ක් පමනක් අල්ලාගෙන එය අර්ථ නිරූපනය කරන්නට උත්සාහ කිරීම අලියාගේ වලිග පමනක් ඇල්ලු අන්ධයෙක් අලියා කොස්සක් වැනියැයි තීරණය කලාට සමාන යැයි උන්වහන්සේ පෙන්වා දුන්නහ. මෙහිදි උන්වහන්සේ විසින් අන්ධයාට සමකල අය අතර රටේ නායක දෙපලද සිටීම ඉමහත් අවාසනාවකි.

බුදුන් වහන්සේ පවා වරක් ” පරාජිතයෙකු ලෙස ජීවත් වනවාට වඩා සංග්‍රාම භූමියේදී මිය යාම උතුම්’ යැයි වදාල කල බවද මතක් කල අස්ගිරියේ අනුනායක හිමියෝ ඉන් සකල ලෝ වාසීන්ට ශාන්තිය ප්‍රාර්ථනා කල බුදුන් වහන්සේ යුද්ධය අනුමත කලායැයි අර්ථ දැක්විය හැකිදැයි ප්‍රශ්ණ කොට තිබුනි.

බලය ලබා ගැනීම සඳහා වත්මන් පාලකයින් තරම් බොරුව ආයුධයක් කරගත් පිරිසක් ලංකා දේශපාලන ඉතිහාසයේ නොසිටි බව අද බොහෝ දෙනෙකු පිලිගනිති. 2015 ජනාධිපතිවරණයේදී ඔවුන් කී කතාවලින් කීයක් මේ වන විට ඔප්පු වී ඇත්ද ?

සමහර ඇමතිවරු ඇසින් දුටුවායැයි කී පිටරට බැංකු ගිනුම් අද වන තුරු සොයාගත්තේද ? යාපනෙන් පැන්නුවායැයි කී රත්තරන් කන්ටේනර ගැන අද කතා නැත්තේ මන්ද ? ලැම්බොගිනි කාර් හෝ බකිංහැම් වලින් ගෙනාවා යැයි කී රත්තරන් අශ්වයින් හමුවීද ? රාජපක්ෂ පවුලේ හැම සාමාජිකයෙකුටම එක බැගින් තිබෙනවායැයි කී හෙලිකොප්ටර් අද කොහේද ? රාජපක්ෂලාට අයිතියැයි රට පුරා කටකතා පැතිරවූ මන්දිර, ගොඩනැගිලි, වතුපිටි වලට අද වෙනත් අයිතිකාරයින් ඉන්නේ කෙසේද ? තාජුඩීන්, ලසන්ත එක්නැලිගොඩ ඝාතකයින් වසර 3 1/2 කට පසුවවත් හෙලිවී ඇත්ද ? සුදු වෑන් එකකින් ඉස්සුවාය කියන එක පුද්ගලයෙක් ගැන නඩුවක් අසන්නට ලබෙනවාද, මිනී මොරු සොයාගත්තාද ? බැඳුම්කර හොරුන්ගෙන් මුදල් ගෙන අසුවී අද රෙදි නැතුව සිටින සමහර දේශපාලුවන් එදා රූපවාහිනියේ ෆයිල් ලෙලවමින්, මෙගා ඩීල් කියමින් අභියෝග කල අධිවේගී මාර්ග, තාප බලාගාර ,වරාය, ගුවන් තොටුපොලවල් වලින් යමෙක් කොමිස් ගැසුවා කියා එක නඩුවක් තිබේද ?

අනෙක් අතට මේ අය බලය ගැනීම සඳහා දුන් පොරොන්දු වල තත්වය කුමක් ද ?

බඩු මිල අඩු වීද ?, කාර් වල මිල අඩු වීද ? පෞද්ගලික අංශයට පඩි වැඩි වීද ? අධ්‍යාපනයට දලජාතික නිශ්පාදනයෙන් 6% වෙන්වීද ?, තරුණ තරුණියන්ට ෆ්‍රී වයි වයි ලැබුනේද ? තිබුන කැසිනෝ වැසුනේද ? රත්තරන්වලින් හදනවාදැයි එදා ඇසූ අධි වේගී මාර්ග හදන වියදම අඩු වීද ? නිශ්පාදකයින්ට තේ රබර් වලට සහතික මිල ලැබුනේද ? ගොවියන්ට පොහොර සහනාදාරය දිගටම ලැබුනේද ? තරුණ පරපුරට අඩු මිලට වාහන ගන්න ලැබුනේද ? රටේ කුඩු භාවිතය අඩුවීද ? රටේ දූෂණය වංචාව අඩු වීද ? දින 100ක් අතුලත ජනාධිපති ක්‍රමය අහෝසි කලාද ? රටේ ණය බර අඩු වුනාද ?

තවත් මේ ආකාරයට අසාගෙන ගියහැකි ප්‍රශ්ණ රැසකි. මන්ද ඒ තරමට බොරු චෝදනා හා පොරොන්දු මේ අයගෙන් ජනතාව අසා ඇති බැවිනි.

අද ස්වාමීන් වහන්සේ නමක් කී කතාවක් වැරදියට අර්ථ නිරූපනය කරමින්, බුදු පුතුන්ට පවා අගෞරව කරමින් හිට්ලර් බිල්ලෙක් මවන්නට උත්සාහ කරන්නේ බොරුවෙන් බලයට ආ බොරුවෙන් බලයේ රැඳි සිටින මේ කපටි රැලමය.

ගැටලුව නම් මේ බොරුකාරයින්ට තවදුරටත් රැවටෙන පිරිසකුත් රටේ ඉතුරුව ඉන්නේ කෙසේද යන්නයි ?

පසුගිය වසර 3 1/2 තුල වත්මන් රජය විසින් රටට කල හානිය කොපමනද ?

ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටවල් කිහිපය අතර සිටි ලංකාව අද ආසියාවේ අඩුම සංවර්ධන වේගයක් ඇති රටකි. එදා තොග පිටින් විදේශ ආයෝජකයින් ආ ලංකාව අද අයෝජනයට අවධානම් රටක් ලෙස සුප්‍රකට බ්ලූම්බර්ග් ආයතනය විසින් නම් කොට ඇත. එදා සංචාරක පාරාදීසයක් වූ ලංකාව සංචාරකයන්ට අනතුරුදායක රටක් ලෙස මතයක් ගොඩනැගෙමින් පවතී. වසර 3 1/2 තුල ලංකාවේ මුදලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව 20% කට වඩා බාල්දු වී ඇත. මේ නිසා පමනක් රටේ නොපියවූ ණය වල දේශය අගට රුපියල් බිලියන 800 කට වඩා ඉහල ගොස් ඇත. එම මුදලින් එදා සුදු අලියෙකු කී මත්තල ගුවන් තොටුපොලවල් 30 ක් පමන සෑදිය හැක. රටේ ජනතාව 2018 වසරේදි ගෙවන බදු ප්‍රමාණය 2014ට සාපෙක්ෂව 100% කින් වැඩි වී ඇත්තත් ජනතාවට අලුතින් ලැබුන දෙයක් නැත. රටේ ඉතුරුව සිටි දල ඇතුන් කිහිපදෙනාගෙන් විශාල ප්‍රමාණයක් පසුගිය කාලයේ මරා දමන ලද අතර දැන් ලංකාවට ලෝක ප්‍රසිදියක් ගෙන එන දුර්ලභ වනජීවියෙක් වන දිවියන්ද මරා දමන්නට පටන් ගෙන ඇත. අහිංසක ජනතාවට ලබා දෙන පිලිකා බෙහෙත් වලින් පවා වත්මන් පාලකයින් කොමිස් ගසන ආකාරය පසුගියදා ප්‍රවෘති වලින් හෙලිවිය. මහ පාරේ පවා පාතාලය විසින් වෙඩි තබා මිනිසුන් මරමින් ලංකාව එදා චිකාගෝව වැන්නක් බවට පත්වෙමින් තිබේ. රජය බලයට පත්වී දින 50 ක් යන්නටත් පෙර සිදුකල මහබැඳුම්කර මංකොල්ලයෙන් රටට වූ පාඩුව 2014 වසරේ රටේ සමස්ථ ජාතික ආදායමට සමාන වුවත් මේ හොරකමට උඩ ගෙඩි දුන් එක දේශපාලනඥයෙක් අද වන තුරු අත් අඩංගුවට ගෙන නැත.

වසර 30 කට ආසන්න කාලයක් පුරාවට සිදු වූ විශාල දේපල හා ජීවිත හානි වලින් පසු අවසන් කල ත්‍රස්ථවාදය යලි හිස ඔසවන බවපසුගිය සතියේ සාක්ෂි සහිතවම ඔප්පු වූයේ උතුරේ ත්‍රස්ථවාදීන් විසින් ප්‍රභූ ඝාතනයකට සැලසුම් කල අවි හා බෝම්බ හසු වීමෙනි.මෙම ප්‍රවෘතිය යටපත් කිරීමට රජය නොකරන දෙයක් නැත.

පසුගියදා අගමැති වරයා උත්සවයක් අමතමින් කීවේ රටේ ජනතාව අද ගෙවන්නේ පූරුවේ කරුමයක් කියාය.

ඔහුගේ අනෙක් කතා ගැන මොනවා කීවත් ඒ කතාවටනම් එකඟ වන්නට අපටත් සිදුවේ. මෙවැනි පාලකයන් ලැබි රට අරාජික වීමට පූරුවේ කරුමයක්ම තිබිය යුතුය

- ආචාර්ය නාලක ගොඩහේවා ( මව්බිම 2018 ජුනි 26දා )

138 Viewers