• Home »
  • Sinhala »
  • පේරාදෙණි සංවාද 05- සිංහල ශිෂ්‍ය සංධානය

පේරාදෙණි සංවාද 05- සිංහල ශිෂ්‍ය සංධානය

ඒ 2003 මැද භාගයයි. ඊනියා සටන් විරාම ගිවිසුමෙන් රට දැය දිනෙන් දින විජාතික බලවේගවලට පාවා දෙමින් තිබුණි. සිංහල-බෞද්ධ වචනය යෙදීම පවා සංහිදියාවට බාධාවක් සේ ඒත්තු ගැන්විණි. මේ තත්වය පේරාදෙණියේ අපේ ජාතිකවාදී ශිෂ්‍ය ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට යෑමට අනියමින් තල්ලුවක් විය. මේ අතර අපේ අදහස්වල සිටි අනෙකුත් විශ්ව විද්‍යාලවල සිසුන් ද එකතු කර ගෙන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංවිධානයක් ගොඩ නැගීමට අපි අදහස් කළෙමු.

ඒ වන විට මොරටු විශ්ව විද්‍යාලයේ සිංහල සංස්කෘතික සංගමය (සිංසංසං) සක්‍රීය ලෙස විවිධ ක්‍රියාකාරකම්හි නිරතව සිටියහ. අප සමග මුලින්ම සම්බන්ධ වුයේ සිංසංසං යි. 1999 ආසන්න කාලයක ඇරඹුණු සිංසංසං ආරම්භක සභාපති අරෝෂන් වික්‍රමනායක සොයුරාය. 2003 මැද භාගයේ මේ සම්බන්ධයෙන් අප සමග මූලික සාකච්ජාවට සම්බන්ධ වුයේ තරිඳු රණසිංහයි. පසුව අරුණ ප්‍රියශාන්ත සහ ජාලිය රත්නායක ඉතා ලෙන්ගතුව අප සමග කටයුතු කළේය. එදා අප අතර ඇති වූ මිත්‍රත්වය අද ද කිසිදු වෙනසකින් තොරව පවතී. කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මාවරලේ භද්දිය හිමි වැඩි දවසක් යාමට මත්තෙන් අප සමග සම්බන්ධ විය. උන් වහන්සේ අද ප්‍රසිද්ධ ධර්මදේශකයාණන්වහන්සේ නමකි. කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ සමකාලීනයන් කණ්ඩායමක් ද අපට එක් විය. ජයවර්ධන සරසවියෙන් සාකච්ජා සඳහා පැමිණියේ මදුරුගමුවේ චන්දිම හිමි සහ නිලන්ත දිසානායක සොයුරාය. චන්දිම හිමි සරසවියෙන් පිට වූ පසු දීර්ඝ කලක් ජපානයේ වැඩ සිටි අතර දැන් නැවතත් ශ්‍රී ලංකාවට වැඩම කර ඇත. නිලන්ත බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි. මීට අමතරව රුහුණ, කැලණිය සහ බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලවලින් පැමිණි පිරිස් ද පසුව අප හා එක් විය.

සිංහලකම, බෞද්ධකම ගැන කතා කරන, රනිල්ගේ දේශද්‍රෝහී ගමනට විරුද්ධ වන අන්තර් විශ්ව විද්‍යාලයීය ජාතිකවාදී ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩ නැගීමේ පළමු නිළ සාකච්ජාව පැවතුනේ පේරාදෙණියේ ය. ඒ 2003 සැප්තැම්බර් මාසයේය. දෙවැනි රැස්වීම කොළඹදීත් තෙවැන්න යලි පේරාදෙණියේත් පැවතුණි. එම රැස්වීම් සඳහා පැමිණි අයගේ අත්සන් ලේඛණ මා ළඟ සුරැකිව ඇත. අපගේ ඒකරාශී වීම ගැන එවකට විශ්ව විද්‍යාලවල බලය තිබුණු සමාජවාදී ශිෂ්‍ය සංගමයට (ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංගමයයි) ඉව වැටුණි. ඔවුහු අපගේ ගොඩ නැගීම කඩාකප්පල් කිරීමට විවිධ උපක්‍රම අනුගමනය කළහ. එහෙත් ඒ සියල්ල මග හැර “සිංහල ශිෂ්‍ය සංධානය” නමින් ව්‍යාපාරයක් බිහි කිරීමට අපට හැකි විය. ‘බෞද්ධ රාජ්‍යයක්, නිවහල් ජාතියක් උදෙසා ජාතික චින්තනය’ යන්න අපගේ තේමා පාඨය විය. කොළඹ විශ්ව විද්‍යාලයේ මාවරලේ භද්දිය හිමි සිංහල ශිෂ්‍ය සංධානයේ සභාපතිධුරයටත්, ජයවර්ධනපුර මදුරුගමුවේ චන්දිම හිමි ලේකම්ධුරයටත්, මොරටුවේ අරුණ භාණ්ඩාගාරිකධුරයටත් ,හෙළහඬ ශිෂ්‍ය සංගමයේ සභාපති කොස්ගොඩ ඤාණසීහ හිමි උප ලේකම්ධුරයටත් සුමේධ උප සභාපතිධූරයකටත්, මා කැඳවුම්කරු ලෙසත් තේරී පත් විය.

එනමින් අප කළ පළමු කටයුත්ත රනිල්ගේ අන්තර්වාර පාලන යෝජනාවලට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන් සහ මහජනතාව දැනුවත් කිරීමයි. ඒ වෙනුවෙන් අප මුද්‍රණය කළ අත් පත්‍රිකාවේ සදහන් වූ එක් ඉල්ලීමක් නම් උතුරු නැගෙනහිර පළාත් වෙන් වෙන්ව සලකා නැගෙනහිරට වෙනම ආණ්ඩුකාරයෙක් පත් කරන ලෙසයි. මෙම කරුණ සටන් පාඨයක් ලෙස පළමුව ඉදිරියට ගෙන ආවේ අප විසින් ය. පසුව එය දේශපාලන සටන් පාඨයක් බවට පත්ව අවසානයේ සැබෑවක් විය. මෙම අත් පත්‍රිකා මුද්‍රණය සඳහා බැර පැන දැරුවේ බෙන්තොට බේක් හවුස් අධිපතිතුමා ය. ආධාර ඉල්ලා හෙතෙම හමු වීමට ගියේ මමත් රවීන්ද්‍ර උදයසිරිත්ය. ඔහු ඒ වෙනුවෙන් මුදල් යෙදවීමට කැමති වුවද සිහළ උරුමයට සම්බන්ධනම් මුදල් ලබා නොදෙන බවත් සිංහල වීර විදහනේ සක්‍රීය සාමාජිකයකුව සිටි තමාව සිහළ උරුමයේ පිරිස් රැවටූ බවත් අපට පැවසීය. අපගේ අරමුණු පැහැදිලි කර සිංහල ශිෂ්‍ය සංධානය සිහළ උරුමයේ ශිෂ්‍ය ව්‍යාපාරයක් නොවන බව ඒත්තු ගැන්වීමට අප දෙදෙනාට පැය 2ක් පමණ ගත විය. සිහළ උරුමයට හිතවත්කම් දැක්වූ අය අප සමග කටයුතු කළ ද අපි එම පක්ෂයේ ශිෂ්‍ය අංශය නොවීය. නමුත් ඒ සැකය බොහෝ දෙනා තුළ තිබුණි. කෙසේ වෙතත් සිහළ උරුමයේ දේශපාලන ගමන විශ්වාස කළ සහ නොකළ ලෙස කණ්ඩායම් 2ක් සිංහල ශිෂ්‍ය සංධානයේ විය. පේරාදෙණි සරසවි සංවාද කේන්ද්‍රය, මොරටුව සිංසංසං සහ ජයවර්ධනපුර පිරිසට සිහළ උරුමය ගැන පැහැදීමක් නොවීය. පේරාදෙණිය හෙළ හඬ සහ මාවරලේ හිමිගේ පිරිස සිහළ උරුමයේ ගමන සමග අතිපිහිත විය.

සෝම හිමිගේ හදිසි අපවත් වීම පිලිබඳ ශෝක ප්‍රකාශිත බැනර් සිය ගණනක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රදර්ශනයෙන් සිංහල ශිෂ්‍ය සංධාන නාමය බොහෝ ප්‍රචලිත විය. සංධානයේ කටයුතු සාර්ථක වීම හේතුවෙන් ඒ ගැන මාධ්‍ය සාකච්ජාවක් පවත්වා අපගේ අරමුණු හෙළිදරව් කළෙමු. මාවරලේ භද්දිය හිමි කොළඹ ධර්ම විජය පදනමේ මාධ්‍ය සාකච්ජාව සංවිධානය කර තිබුණි. සිංහල ශිෂ්‍ය සංධානයේ පළමු ජාතික සම්මේලනය 2014 ජනවාරි 15 දින කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ පැවැත්විණි. ඊට සමගාමීව හෙළදිව නමින් පුවත්පතක් ද ප්‍රකාශයට පත් කළෙමු. පුවත්පතේ සංස්කාරක ලෙස කටයතු කළේ සුමේධ සහ බුද්ධිකයි. පළමු කලාපයට සුමේධ එල්ලාවල මේධානන්ද නායක ස්වාමීන්වහන්සේගෙන් සම්මුඛ සාකච්ජාවක් ලබා ගත් අතර මැද පිටුවට අපේ දැනුම වර්ධනය කිරීම මැයෙන් මහාචාර්ය නලින් ද සිල්වා ලිපියක් සැපයීය. මගේ සරසවි සගයකු වූ දිමුතු දින ගණනක් නිදි වරාගෙන පුවත්පත පරිගණකයෙන් සකස් කළේය. අද ඔහු හෘද රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වීම අභියස සිටී (සම්පූර්ණ පුවත්පත සදහා යොමුව https://www.scribd.com/document/378157735/Heladiva ). පුවත්පත මුද්‍රණය සඳහා වියදම දැරුවේ පේරාදෙණි විද්‍යා පීඨයේ මහාචාර්ය රන්ජිත් විජේවර්ධන මහතාය. ඔහු විවාහ වී සිටියේ පසුගිය සියවසේ මෙරට බිහි වූ කැපීපෙනෙන ජාතිහිතෛෂී දේශපාලකයන් දෙදෙනකු වූ වැලිමඩ කේ.එම්.පී රාජරත්න-කුසුමා රාජරත්න යුවලගේ දියණිය සමගයි .

ජාතික සම්මේලනයට සරසවි සියල්ලෙන්ම පාහේ සිසුහු සහභාගී වූහ. ආචාර්යවරු ද විශාල පිරිසක් එහි විය. කෙසේ වෙතත් එහිදී අපූරු සිද්ධියක් විය. අපේ එකඟතාව තිබුනේ මුලසුනට එල්ලාවල හිමි වැඩම කරවා පැවිදි අනුසාශනය අගලකඩ සිරිසුමන හිමිටත් ගිහි දෙසුම මහාචාර්ය නලින්ටත් ලබා දීමටයි. සමුළුව ආරම්භ කිරීමට නියමිතව තිබුණේ සවස 3 ටය. මමත් මොරටුවේ කිහිප දෙනකුත් ශ්‍රවණාගාරය පිටත සිට පැමිණි පිරිස පිරිස පිළි ගනිමින් සිටියෙමු. මේ අතර මහාචාර්ය නලින් පැමිණියේය. අපි එතුමා සාදරයෙන් පිළිගෙන එතන සිටි සොයුරකුට ඒ මහතාට අසුන් පැනවීමට බාර දුන්නෙමු. ශාලාව ඇතුලට ගිය මහාචාර්යතුමා ඒ පයින්ම එළියට ආවේ ගෝරනාඩුවක් ද සමගය. “චන්න කවුද අර මූලාසනේ ඉන්නේ, එල්ලාවල හාමුදුරුවෝ නේද එනවා කිව්වේ?” ඔව් සර් ඇයි ? මම පැවසීමි. “ගිහිල්ල බලනවා කවුද ඉන්නේ කියල ? ” මම වහා ශාලාව ඇතුලට ගොස් මුලාසනේ අසුන් ගෙන සිටින්නේ කවුදැයි බැලීමි. ඒ වනවිටත් එල්ලාවල හිමි වැඩම කර නොසිටි හෙයින් කිසිවකු හෝ එහි සිටිය නොහැකිය. ජංජාලයකි. කොළඹ ප්‍රදේශයේ සිහළ උරුමයට සම්බන්ධ ප්‍රධාන පෙලේ ස්වාමීන් වහන්සේ නමක් මුලසුනට වැඩම කර ඇත. අසුන් සියල්ල පිරී තිබුණු නිසා ශාලාවේ පිටුපස ද 100ක පමණ පිරිසක් හිටගෙන සිටියේය. ඒ අතර සිහළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ ඔහුගේ හිතවතු පිරිසක් සිටිනු මම දුටිමි. සිදුව ඇත්තේ කුමක්ද යන්න වටහා ගැනීමට මට වැඩි වෙලා ගත නොවීය. රට පුරා විශ්ව විද්‍යාලවලින් පැමිණි සිය ගණනක් ආචාර්යවරුන් සහ සිසුන් අපහසුතාවට පත් නොකර ප්‍රශ්නය ගොඩින් විසදා ගැනීම හදිසි අවශ්‍යතාව විය. මම භද්දිය හිමි සොයා ගොස් වහාම මෙය නිරාකරණය කරන ලෙස ඉල්ලා සිටියෙමි. ශාලාවෙන් පිටත උස් හඬින් වචන හුවමාරුවනු ද ඇසෙන්නට විය. කෙසේ හෝ මිනිත්තු කිහිපයකින් එල්ලාවල හිමි වැඩම කළ අතර උන්වහන්සේ මුලසුනට වැඩම කරවා මහාචාර්ය නලින් යලි කැඳවාගෙන විත් සමුළුව සාර්ථක ලෙස නිම කිරීමට අපට හැකි විය. සිදු වූ දේ අවම හානියකින් යථා තත්වයට පත් කිරීමට අපට හැකි විය.

වැඩි දිනක් යාමට පෙර චන්ද්‍රිකාගේ පරිවාස ආණ්ඩුව බිඳ වැටී 2004 අප්‍රේල් මහා මැතිවරණයට දින නියම විය. සිහළ උරුමය හෙළ උරුමය බවට පත්ව භික්ෂුන් වහන්සේලා ජන්දයට ඉදිරිපත් විය. සිංහල ශිෂ්‍ය සංධානය හා සම්බන්ධ වූ පිරිසක් හෙළ උරුම රැල්ලට ගසා ගෙන ගියේය. අපි භික්ෂුන්වහන්සේලා ඍජු දේශපාලනයට පිවිසීම සිංහල බෞද්ධ සම්ප්‍රධායට පටහැනි බව දක්වමින් රැල්ළට එරෙහි වීමු. හෙළ උරුමයට සහය දක්වන ලෙස භද්දිය හිමි කිහිපවතාවක්ම ඉල්ලා සිටියද මම ඒ කාරුණිකව ප්‍රතික්ෂේප කළෙමි. මහමැතිවරණ උණුසුමත් සමග සිංහල ශිෂ්‍ය සංධානය ද යටපත්ව ගියේය (මතු සම්බන්ධයි) .

චන්න ජයසුමන

79 Viewers