• Home »
  • Sinhala »
  • පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලය.

පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලය.

muhudu maha viharaya

“…චෛත්‍යට පහලින් වටේ ඉඩම් වල වැලි අදින්නෙ…
මාස 5.-6 කින් චෙත්‍යරාජයා පහත්වේවි. ..”

මුහුදු මහා විහාරයේ කතාව

ඉතිහාසයේ ගිලී යන්නට වෙරදරණ නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමයේ සංකේතය … ඓතිහාසික පුදබිම පොතුවිල් මුහුදු මහා විහාරය ……..
නැගෙනහිර පළාතේ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොතුවිල් මුහුදු තීරය අසළ සුන්දර පරිසරයක පිහිටා ඇති පුද බිමක් වශයෙන් පොතුවිල් මුහුදු මහ විහාරය හැඳින්විය හැකි ය.

කොළොම්පුරයේ සිට කි.මී. 350 ක් පමණ එපිට නැගෙනහිර පෙදෙසේ වන පොතුවිල් නගරයේ සිට දිවෙන පානම මාර්ගයේ තවත් මීටර් 800 ක් පමණ ගිය තැන දී මෙම ඓතිහාසික පුද බිම වෙතට ගොඩවැදිය හැක.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සුන්දර ආරුගම්බේ මුහුදු තීරයේ වෙරළාසන්නයේ මෙම මුහුදු මහා විහාරය පිහිටා තිබේ.

නමුත් මෙම මාර්ගය සොයා ගැනීමට වන්දනාකරුවන්ට අපහසු වේ.එයට හේතුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු මහ විහාරය යනුවෙන් නාම පුවරුවක් මෙතෙක් සවිකර නොමැතිවීමය.

මහාවංශයට (34 පරිච්ඡේදය) අනුව පැරැණි ලංකා රාජ්‍යයේ 28 වැනි රජු වශයෙන් අභිසෙස් ලත් මහාධාඨිය මහා නාග රජතුමා මෙම මුහුදු මහා විහාරය කරවූ බව කියැ වෙයි.
ලංකාවේ පැරැණි බෙදීම් අනුව මෙම ස්ථානය අයත්ව පැවැතියේ රුහුණු රාජ්‍යයට ය. එම කාලයේ රුහුණේ රජකම් කළේ කාවන්තිස්ස රජතුමා බව ඉතිහාසය පවස යි.
ලංකා ඉතිහාස කතාවේ දී කියැවෙන මුහුද ,ගොඩබිම ගිල ගැනීමට තරම් වියරු වූ සිද්ධිය ඇතිවුනේ ක්‍රි.පූර්ව යුගයේදී ය.

ඒ මොහොතේදි හුදී ජන පහන් සංවේගය පිණිස තම ජීවිතය මාතෘ භූමිය වෙනුවන් පිදීමට තරම් පරිත්‍යාගශීලි වූ අභීත දියණිය, විහාර මහා දේවිය රනින් කළ ඔරුවක නැගුනේ වියරු මහා සාගර දිය කඳට බිලිවීමට සිතා ය. ඇය රැගත් ඔරුව රළ පහර හා සටන් වදිමින් මේ මහා සුනාමියට හසුව දකුණූ ලක කිරින්ද නම් ස්ථානයේදි මහා ගල්කුලක වැදි ගසා ගෙන විත් සයුරු තීරයේ එක්තැනක නතර විය. ඒ නතරවූ ස්ථානය සදාතනික සිහිවටන රන් බිම් කඩක් බවට පත් විය. ඒ ස්ථානය අද අප මේ කතා කරන මුහුදු මහා විහාරය නම් පූජනීය ස්ථානය බවට පත් වූ බිම යැයි බහුතරයක් දැන උගතුන්ගේ මතය වී තිබෙ යි. ජනශ්‍රැතිය විසින් යුග ගණනාවක් නොබිදෙන රළ පහර හා රැගෙන පැමිණි එක් කතාවක් ද මෙසේ ගොඩ නැගෙයි.

මේ අභීත දියණියගේ වාසනාවට ඇය ගොඩ බසින්නේ කාවන්තිස්ස නම් රජතුමාගේ කිරීටය මත රැ‍දෙන රුහුණූ රටට ම අයත් වූ මෙපුරවරට ය.
කුමරියක් දියේ ගසාගෙන කොයි අත පාවී එන්නේ දැයි විමසමින් අට්ටාල ගසාගෙන ධීවරයෝ බලා සිටිති. එසේ අට්ටාල ගැසු ස්ථානය පසුව ‘අට්ටාලෙච්චන’ වී දැන් ‘අඩ්ඩාලෙච්චන ‘ වූ බව ද රජතුමා නො ඉවසිල්ලෙන් “කෝ කුමරිය” “කෝ කුමරිය” යැයි කියමින් පැමිණ තැන ‘කෝමාරිය’ වූ බව ද ධීවරයන් හා සෙනවියන් පිළිතුරු වශයෙන් ‘අර ගම’යැයි කියු තැන ‘ආරුගම්බේ’ නම් වී ඇති බව ද ජනප්‍රවාදය හා සෑදෙන අපූරු ග්‍රාම නාමයන් ය. රජතුමාට උදව් කළ පිරිසට රජතුමා නින්දගම් ප්‍රදානය කළ බව ද එතැන ‘නින්දූර්’ නම් වූ බව ද පසුව සෙසු අයට අක්කර 10 බැගින් ත්‍යාග වශයෙන් දුන් ගම්බිම් එකතුව ‘අක්කරේ පත්තුව’ වූ බව ද කියැවේ.

ඇත්තෙන්ම විහාර මහා දේවියගේ මුල් නම දේවි ය. ඇය ගොඩ බැස්සේ ‘තොටලුතොට’ නම් ස්ථානයට බව ත් ඒ වන විට ද ‘තොට්ටලක’ නම් විහාරයක් එතැන තිබූ නිසා එතැන් සිට කුමරිය විහාර මහා දේවිය වූ බව ද කියැ වෙයි. ඇය රැගත් රන් ඔරුව නිධන්කර සෑයක් ගොඩනැංවූ බවත් මුහුදු විහාරය පසෙක අද අප දකින නටබුන් වු ගොඩැල්ල එම ස්තූපය බවත් තවත් මතයකි. එම ස්ථානයේදි අද අප දකින පූජනීය නටබුන් වූ ප්‍රධාන ස්මාරකය ශෛලමය ගල්කණු මත ඉදිවු විහාර ගෙයකි. ඒ තුළ බුදුන් වහන්සේගේ පිළිමයක් ඉදිරිපස තවත් සම්භාවනීය ස්ත්‍රි හා පුරුෂ පිළිම දෙකක් දක්නට ලැබෙයි. ඒ සිටින්නේ කාවන්තිස්ස රජතුමා හා විහාරමහා දේවිය බවට ප්‍රබල ජන මතයක් ගොඩ නැගී තිබෙ යි. ඇතැම් පුරා විද්‍යාඥයන් මෙන්ම වියතුන් පවසන්නේ ඒ අවලෝකේතීශ්වර පිළිම දෙකක් බව ය.
කෙසේ වෙතත් මෙතැන ඓතිහාසික වශයෙන් වටිනා වු විහාර සංකීර්ණයක් පැවැති බවට සාධක ඇති බොහෝ පුරාවිද්‍යාත්මක සලකුණූ රාශියක් පවතියි. දිය පොකුණක්, බෝධි ඝරයක්, ස්තූපයක්, විහාර ගෙයක්, උපෝෂථාඝාරයක් වැනි විහාරංගයන්හි ප්‍රබල සළකුණූ ඒ අතර වෙයි. නිබඳව ගොඩගැසෙන ආක්‍රමණශිලි මහා වාලුකා තලයකට ඉතිහාසය සැඟවීම එතරම් අපහසු නො වෙයි. මෙම ඉසව්වේ පවතින ස්වභාවය එයට කිසියම් නිදසුනකි. අදත් එහි අපට මහ වැලි පර දකින්නට ලැබේ.

අතීතයේ දී මෙම විහාර ස්ථානයට අක්කර සිය ගණනක් තිබී ඇතත් අද ඉතා සුළු ඉඩම් ප්‍රමාණයකට සීමා වී ඇත. 1965 වසරේ දී මේ සුවශේෂි බිමෙහි වටිනාකම පුරාවිද්‍යානුකූලව තහවුරු කර ගනිමින් අක්කර 30 කට වැඩි භූමියක් පුරාවිද්‍යා රක්‍ෂිතයක් වශයෙන් නම් කෙරෙන්නේ මේ පසුබිම නිසා ම ය. නමුත් රුදුරු වැලිපර තෙරපාගෙන පැමිණි කාලය ද ඊට නොදෙවෙනි වු ඉතිහාසය ආපස්සට තල්ලු කිරීමට කැසකැවූ බුල්ඩෝසර ද මේ පුරාවිද්‍යා බිම විටෙක බලහත්කාරයෙක් කුඩා කරනු ලබයි. එසේම කාලයත් සමඟ ගොඩනැගෙන වෙනත් ජන බලවේග විසින් මේ පුරාවිද්‍යා බිම පටුකර ඇත.
අවසානයේ අද මේ ඓතිහාසික උරුමය විවිධ බලවේගයන්ගේ සිරමැදිරියක් බවට පත් වී තිබේ. එය දැන් අක්කර තුනකටත් අඩු බිම් කඩකට සීමා කිරීමට තරම් ඉතිහාසගත දෛවය සරදම් කරමින් සිටීම ඛේදනීය තත්වයකි. එසේ පුරාවිද්‍යා බිම ආක්‍රමණය කරමින් කුඩා කුඩා නිවාස සෑදේ. අපගේ ශිෂ්ඨාචාර ගත ඉතිහාස ආකෘතිය මහා මාලිගාවක් මෙන් විසිතුර ය. එහි දොරගුරු විවර කරනා ස්වර්ණමය යතුරුවන් අමිල සිහිවටනයන් මේ ගෙපැල් යට, බුල්ඩෝසරයේ යකඩ කුට්ටි යට සදාකලිකවම මිහිදන් වී යෑමට ඉඩ ඇත.
මුහුදු මහා විහාරය මේ යැයි පෙන්වන බෝඩ් ලෑලි පවා විනාශ කර දැමීමට සමහරුන් පෙළන්නේ අපගේ ශිෂ්ඨාචාරය ගොඩ නැගෙන්නේ බෞද්ධ සංස්කෘතියෙන් ලද පෝෂණය මතින් බව පිළිගැනීමට තරම් නිහතමානි නො වන නිසා ද?. එහෙත් සත්‍යය ඇතමකුට කටුක වුව ද එය වසන් කිරීමට කිසිවකුට නුපුළුවන. මෙම ඓතිහාසික උරුමයේ වූ බුද්ධ ප්‍රතිමාවේ සිරස ගිනිජාලා අතර ලිප් ගලකට තබා තිබී සොයාගන්නට සිදුවන්නේ ද ඒ නිසාම ය.

මෙවන් උරුමයන්ගෙන් අපවෙත රැගෙන එන පණිවිඩයන්ට ගිනිගත් ලොවක් පවා සිසිල් කරවිය හැකි ය. සාඩම්බරණීය ශිෂ්ඨාචාරයක හිමිකරුවෝ අපි වෙමු” යැයි නියමතමානීව එහෙත් සාඩම්බරව ලෝකයට කීමට තවමත් නෙක විපත් අභිමුව මේ ශෛලමය ගල්කණු අදත් නැගී සිටියි.

මේ සාඩම්බර පූජනීය උරුමයන්හි අප කවුරුත් තනි තනි අයිතිකරුවන් නො වෙමු. එක ධජයක් යට එකම රටක් තුළ අප කාගේත් උරමය එය යි. සිංහල,දමිල, මුස්ලිම් වූ කාගෙත් අම්මා වන් මිහිමව උදාර ශිෂ්‍යාචාරවත් මාතාවක් බව ලොවට පවසන්නෙ මෙවන් ඓතිහාසික සිහිවටනයන් ය.
අවජාත දරුවන්ට නොව මුහුදු මහා විහාරය වැනි දේශයේ උරුමයන් සුරකින දූ පුතුන් සැමටම හෙටත් මේ බිම අයිති ය.

යුද්ධය අවසන්වීම නිසා නැගෙනහිර වෙරළ තීරය මෙරට සංචාරක කර්මාන්තයට තෝතැන්නක්‌වී ඇත. එය සුබවාදී තත්වයකි. එහෙත් එම සංචාරක ව්‍යාපාරයේ ගොදුරු බවට පත්වනුයේ මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්‌ථාන නම් එය කිසිසේත් සුබවාදී නොවේ. පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලින් එය පැහැදිලි විය. එවැනි අමන කටයුතුවලින් ලබන සංවර්ධනයක්‌ නම් මෙරටට අවශ්‍ය නැත. යුද්ධය අවසන්ව සාමයේ අරුණළු මේ දෙරණ පුරා විහිදෙද්දී මූලධර්මවාදයේ භයංකාර සෙවනැලි නැගෙනහිර වෙළා ගනිමින් තිබේ. එම සෙවණැලිවල මුවාවෙන් මේ ඩෝසර් වනුයේ මෙරට ආධ්‍යාත්මයේ අක්‌මුල්ය. සිංහල ජාතියේ සැබෑ උරුමයයි. මේ අනතුර පිළිබඳ පසුගිය දිනවල බෞද්ධ සංවිධානවල යම් අවදිවීමක්‌ තිබුණු බව අප දුටුවෙමු. බෞද්ධාරක්‌ෂක පදනම, කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් නැගෙනහිර පළාතේ සිදුවෙමින් පවතින බෞද්ධ උරුමය විනාශ කිරීමට එරෙහිව විරෝධතා දැක්‌වූහ. එහෙත් බලධාරීන් සිටිනුයේ මර නින්දකය. උදේ හවා ශ්‍රී මහ බෝධිය, දන්ත ධාතූන් වහන්සේ දොහොත් මුදුන් තබා වන්දනා කරන ජනාධිපතිවරයකු සිටින රටක්‌, බුදුදහම ව්‍යවස්‌ථාවෙන් සුරැකීමට කැපවී ඇති රජයක්‌ බෞද්ධ උරුමය සුරකින අයුරුයි නම් අපූරුය.

පුරාවිද්‍යා කොමසාරිස්‌තුමනි, මුහුදු මහා විහාර භූමියේ අයිතිය තහවුරුකරන 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත පිළිබඳ ඔබ දැනුවත් යෑයි අප විශ්වාස කරමු. එසේ නොමැති නම් ඒ පිළිබඳ ඔබ දැනුවත් වනු ඇතැයි අප සිතමු. ඒ අනුව විහාර භූමියට අයත් ප්‍රදේශය සංරක්‌ෂණය නව නීති අවශ්‍ය නොවන බව පැහැදිලිය. ඔබ ඒ පිළිබඳවද ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිතුම දැනුවත් කරනු ඇතැයි අප සිතමු. අප අවධාරණයෙන් පවසා සිටිනුයේ මෙම ඓතිහාසික භූමියට නීතියෙන් උරුමකර දී ඇති අයිතිය පමණක්‌ බෞද්ධයන්ට ලබාදෙන ලෙස පමණකි.

මුහුදු මහා විහාරයේ කතාව

උපුටාගැනීම : sundaralakdiva.blogsspot .com

154 Viewers