• Home »
  • Sinhala »
  • පොලිස්‌ භටයන් 600ක්‌ සමූල ඝාතනය කළ තිරුක්‌කෝවිල් සංහාරය

පොලිස්‌ භටයන් 600ක්‌ සමූල ඝාතනය කළ තිරුක්‌කෝවිල් සංහාරය

පොලිස්‌ භටයන් 600 ක්‌ තිරුක්‌කෝවිල් කැලෑවේදී අමානුෂික ලෙස සමූල ඝාතනය සිදුවූයේ අද වැනි දිනකය. 1990 ජුනි 11 දා ශ්‍රී ලංකාවේ පොලිස්‌ ඉතිහාසයේ සිදුවූ අවාසනාවන්ත සිද්ධිය මෙයයි. මෙරට දේශපාලකයන්ට සහ අද මානව හිමිකම් ගැන හඬනගන ද්‍රවිඩ සන්ධානයට සහ ඩොලර් අරමුදල් ලබන එන්. ජී. ඕ ක්‍රියාකාරීන්ට සහ රජයේ සංහිඳියා කාර්ය බළකායට මේ යුද අපරාධය අමතකවුවත් විසි අට වසරකට පෙර සිදුවූ එම බිහිසුණු අපරාධය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලයනල් ගුණතිලක සහකාර පොලිස්‌ අධිකාරි තිස්‌ස රවීන්ද්‍ර රත්නායක, රත්නම්පිටිය, පොලිස්‌ පරීක්‍ෂක සයිsසුන්දර් ඇතුළු පොලිස්‌ නිලධාරීන් පිරිසකට අමතක නැත.

එදා තිස්‌ස රවීන්ද්‍ර රත්නායකගේ මෙහෙයවීමෙන් යුත් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිස රූපස්‌කුලම් වනයට ගියේ පාපැදිවලිනි. සැතපුම් 14 ක්‌ දුර යනවිට තිස්‌ස රවීන්ද්‍ර රත්නායකගේ දෙවැනියා ලෙස කටයුතු කළ අද ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයකු ලෙස සේවය කරන ලයනල් ගුණතිලක මහතාට සුළඟ සමඟ ගඳක්‌ වහනය විය. ඒ පිළිබඳව සොයා බැලීමේදී තම නිල ඇඳුම්වලින්ම දැත්බැඳ වෙඩි තබා මරා වළ දමා තිබූ පොලිස්‌ නිලධාරීන් රැසකගේ සිරුරු දැකගැනීමට හැකිවිය. මේ සිරුරු ඉදිමී තිබුණා යයි එම විශේෂ කාර්ය බළකායේ සිටි නිලධාරියෙක්‌ හෙළිකළේය. අප එතනදී ආචාර වෙඩිමුර කීපයක්‌ අහසට එල්ල කර ඔවුන්ට වෙඩි තැබුවා යයි ඔහු තවදුරටත් අනාවරණය කළේය.

පොලිස්‌ භටයන් ඝාතනය කළ ස්‌ථානය වෙත යාම සඳහා අපට තොරතුරු ලැබුණේ රොබට්‌ නැමැති කොටියාගේ පෙම්වතියගෙනි. ඇය කීවේ පොලිස්‌ නිලධාරීන් අසල ඇති කොටි කඳවුරක රඳවාගෙන සිටි බවයි. එසේම පියනමකගෙන්ද අපට තොරතුරු ලැබුණා යයි රූපස්‌කුලම් වනයට විශේෂ කාර්ය බළකායේ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

මේ දිවි පරදුවට තබමින් ගිය ගමනට මුල්වූයේ එදා පොලිස්‌ පරීක්‍ෂකවරයකු ලෙස කටයුතු කළ තිස්‌ස රවීන්ද්‍ර රත්නායකයි. පසුව ඔහු අරලගංවිල ප්‍රදේශයේ කොටුවී සිටි පොලිස්‌ නිලධාරීන් පිරිසකට ආධාර දීමට යාමේදී කොටි ප්‍රහාරයකින් මියගියා. ඔහු සැබෑ වීරයෙක්‌ යයි එම නිලධාරියා පළ කළේය.

1990 ජුනි 11 දා කොටි එරාවුර් – කලවංචිකුඩි – කල්මුණෙයි- සමන්තුරෙයි – අක්‌කරපත්තුව – පොතුවිල් ඇතුළු පොලිස්‌ ස්‌ථාන රැසක සිටි පොලිස්‌ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිරුක්‌කෝවිල් කැලෑවට ගෙන ගියහ.

මේ පොලිස්‌ නිලධාරීන් පිරිස දින තුනකින් මුදාහරින බව එදා කොටි න්‍යායාචාර්යව සිටි ඇන්ටන් බාලසිංහම්ද පවසනු ලැබීය. එහෙත් ඒ වනවිට එම පොලිස්‌ නිලධාරීන්ගේ ඉරණම තීන්දු වී තිබුණි.

එසේම මඩකලපුව පොලිස්‌ ස්‌ථානයට කඩා වැදුනු කොටි රුපියල් මිලියන 45 ක ආහාරද ටී-56 අවි 109 ක්‌ද ටී-84 අවි 77 ක්‌ද සැහැල්ලු මැෂින් තුවක්‌කු 39 ක්‌ද උණ්‌ඩ පුරවා වෙඩි තබන අවි 29 ක්‌ද සබ් මැෂින් අවි 65 ක්‌ද 303 වර්ගයේ අවි 28 ක්‌ද එස්‌. ඒ. ආර්. අවි 78 ක්‌ ද පැහැර ගනු ලැබීය.

මෙලෙස එදා තිස්‌ස රත්නායක – ලයනල් ගුණතිලක ඇතුළු පොලිස්‌ නිලධාරීන් රූපස්‌කුලම් වනයට යාමේ සිද්ධිය අද අමතක වී තිබේ.

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ උපදෙස්‌ මත එවකට පොලිස්‌පතිව සිටි අර්නස්‌ට්‌ පෙරේරා විසින් නැගෙනහිර පොලිස්‌ ස්‌ථානවල පොලිස්‌ භටයන්ට යටත් වනලෙස උපදෙස්‌ දුන් බව පසුව හෙළිවිය.

එහිදී කොටි ත්‍රස්‌තයන් හමුවේ යටත්වීම ප්‍රතික්‍ෂේප කළේ කල්මුණේ පොලිස්‌ ස්‌ථානාධිපතිව සිටි සහකාර පොලිස්‌ අධිකාරි අයිවන් බොතේජු පමණකි. එහෙත් පොලිස්‌පතිගේ නියෝග මත කොටි හමුවේ යටත්වීමට ඔහුට සිදුවිය.

1990 ජුනි 11 දා සිදුවූ මේ ම්ලේච්ඡ මිනිස්‌ ඝාතනය ගැන ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් විසින් හෙළාදැකීමක්‌ පමණක්‌ සිදුකර ඇත.

එහෙත් ප්‍රභාකරන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වූයේ නැත.

වසර 28 කට පෙර සිදුවූ පොලිස්‌ භටයන් ඝාතනය කිරීමේ සිද්ධිය වැනි සමූල ඝාතනයක්‌ ලොව කිසිදු රටක සිදුවී නැත.

අත්අඩංගුවට ගනු ලැබූ පොලිස්‌ භටයන් 600 කගේ පිරිස දින තුනක්‌ තුළ මුදාහරින බවට ලන්ඩන් නුවර සිට ප්‍රකාශ කළ කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ට එරෙහිව බ්‍රිතාන්‍ය රජය පවා පියවරක්‌ ගත්තේ නැත.

මෙම මිනිස්‌ ඝාතනය මෙරට ජනතාවගෙන් මුළුමනින්ම වසන්වී තිබුණි. කොටි ත්‍රස්‌තයන් විසින් පොලිස්‌ භටයන්ව පැහැරගෙන යාමේ සිද්ධිය ඔවුන්ගේ පවුල් වෙත ලබාදීමට එදා ඉහළ පෙළේ පොලිස්‌ බලධාරීන් ක්‍රියාකළේ නැත. ඔවුන් පැවසුවේ එම පොලිස්‌ නිලධාරීන් අතුරුදන්වී ඇති බවයි.

එහෙත් වසර 7 කට පසු තිරුක්‌කෝවිල් සංහාරයට ලක්‌වූ පොලිස්‌ නිලධාරීන් කොටි ත්‍රස්‌තයන් විසින් ඝාතනය කර ඇති බව දන්වමින් පොලිස්‌ බලධාරීන් මරණ සහතික නිකුත් කරනු ලැබීය. එදා රූපස්‌කුලම් වනයට ගිය නිලධාරීන් අතරින් දැනට සිටින ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියා වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලයනල් ගුණතිලකයි.

මෙම පොලිස්‌ භටයන් ඝාතනය ගැන විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ විසින් පරීක්‍ෂණයක්‌ කරන ලෙස පසුගිය රජයෙන් ඉල්ලීමක්‌ කළත් එය ඉටුවූයේ නැත.

එම ඝාතනය ගැන උගත් පාඩම් කොමිසම හමුවේ ඉල්ලීමක්‌ ඉදිරිපත් විය. හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ඇන්ටන් ජෙගනාදන් පවා පැවසුවේ මේ ඝාතන සිද්ධිය විමර්ශනය කළ යුතු බවයි. වසර 28 කට පෙර තිරුක්‌කෝවිල්හිදී සිදුවූ මේ සිද්ධිය ගැන දන්නා පොලිස්‌ නිලධාරීන් කීපදෙනකු පොලිස්‌ සේවයේ දැනට සේවය කරන අතර ඔවුන්ට පොලිස්‌පතිගේ අවසරය රහිතව එම තොරතුරු හෙළිකළ නොහැක.

එහෙත් එදා අම්පාර ප්‍රදේශයේ සේවය කළ පොලිස්‌ නිලධාරියෙක්‌ මේ තොරතුරු අපට හෙළිකළේය.

ඔහු තවදුරටත් පැවසුවේ තිරුක්‌කෝවිල් සංහාරයට ගොදුරුවූ පොලිස්‌ නිලධාරීන් සංඛ්‍යාව 700 ක්‌ බවයි. කොටින් විසින් ඝාතනය කළ එම පොලිස්‌ නිලධාරීන්ගේ සිරුරු සෙවීමට ගිය සහකාර පොලිස්‌ අධිකාරි තිස්‌ස රත්නායක මහතා පසුව කොටි ප්‍රහාරයකින් මිය ගියේය. ඔවුන් සමඟ ගිය ලයනල් ගුණතිලක මහතා පොලිසියේ සිටිනවාද යන්න මා දන්නේ නැහැ යෑයි ඔහු තවදුරටත් කීවේය.

අප මේ තිරුක්‌කෝවිල් සිද්ධිය ගැන දන්නා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු වූ ලයනල් ගුණතිලක මහතා සෙවීමට ගත් උත්සාහයද ව්‍යර්ථ විය.

කෙසේ වෙතත් ගෝලීය ශ්‍රී ලංකා සංසදය මේ යුද අපරාධය නිල වශයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත.

එහෙත් මේ දක්‌වාම මෙරට කිසිම ආණ්‌ඩුවකින් එම යුද අපරාධ පැමිණිල්ල ඉදිරිපත් වූයේ නැත. එහෙත් යාපනය පුස්‌තකාලය ගිනිතැබීමේ සිද්ධියද කොටි ඩයස්‌පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ.

මේ පසුබිම මැද තිරුක්‌කෝවිල්හිදී පොලිස්‌භටයන් සමූල ඝාතනය කිරීමේ සිද්ධිය ගැන විමර්ශනයක්‌ කිරීමට රජය ඉදිරිපත් විය යුත්තේ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ චෝදනා එල්ලවී ඇති අවස්‌ථාවක ඊට ප්‍රතිචාර දැක්‌වීමටය.

යුද්ධය අවසන්වී වසර නවයකට පසු මන්නාරමේ සතොස භූමියේ මිනීඇටකටු ගැන විශ්වවිද්‍යාල සිසුන් පරීක්‍ෂණ ආරම්භ කර ඇති විටෙක තිරුක්‌කෝවිල් සුසාන භූමිය හාරා පොලිස්‌ භටයන් සමූල ඝාතනය කිරීමේ සිද්ධිය ලොවට හෙළිදරව් කළ යුතුය.

තිරුක්‌කෝවිල් සමූල ඝාතනය සිදුවීම ගැන මෙරට ආරක්‍ෂක බලධාරීන් අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. එසේම මේ ම්ලේච්ඡ මිනිස්‌ ඝාතනය ගැන කිසිදු පොලිස්‌ වාර්තාවක්‌ද නැත.

මෙම ඝාතනය වූ පොලිස්‌ නිලධාරින් වෙනුවෙන් හිටපු පොලිස්‌ අධිකාරි ටාසි සෙනවිරත්න මහතා විමර්ශනයක්‌ ආරම්භ කිරීම සඳහා පොලිස්‌ බලධාරීන්ගෙන් කළ ඉල්ලීමද ව්‍යර්ථ විය.

කීර්ති වර්ණකුලසූරිය



164 Viewers