• Home »
  • Sinhala »
  • පොලිස්‌ විරුවන් 650 දෙනා සිහිකරන්න තිරුක්‌කෝවිල්හි ස්‌මාරකයක්‌

පොලිස්‌ විරුවන් 650 දෙනා සිහිකරන්න තිරුක්‌කෝවිල්හි ස්‌මාරකයක්‌

(Courtesy of Divaina)

“අපේ රටේ සියයට හැත්තෑදෙකක්‌ ජීවත් වන සිංහලයා වෙනුවෙන් අද කවුරුත් කතා කරන්නේ නැහැ. උතුරේ මියගිය ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් උපහාර උත්සව පවත්වනවා. නමුත් තිරුක්‌කෝවිල්හි එකතැන අමු අමුවේ ඝාතනය කළ සිංහල පොලිස්‌ නිලධාරීන් හයසිය දෙනා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ මියගිය විරුවන්ගේ ඥතීන් අදත් දුක්‌ විඳිනවා. එම පොලිස්‌විරුවන් සිහිපත් කිරීමට වීර දුටුගැමුණු සංවිධානය 09 වැනිදා (අද) තිරුක්‌කෝවිල්හි දී ස්‌මාරකයක්‌ ඉදිකිරීමට කටයුතු කරනවා.”

මඩාටුගම කොටසර පියංගලු රජමහ විහාරාධිපති දකුණු කලාගම් පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කුඩා කත්නෝරුවේ සිද්ධාර්ථ හිමි බැහැ දැකීමෙන් අනතුරුව වීර දුටුගැමුණු සංවිධානයේ සභාපති හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා එසේ පැවසීය.

එහිදී මර්වින් සිල්වා මහතා මෙසේද කීය. “අද සිංහලයා වෙනුවෙන් කවුරුත් කතා කරන්නේ නැහැ. සංහිඳියාව නිසා සිංහලයාට වෙන අසාධාරණය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මෛත්‍රී – රනිල් දෙදෙනාම උතුරට යනවා. නමුත් දකුණ ගැන කතා කරන්නේ නැහැ. ගම, පංසල, බුද්ධාගම, සිංහලකම රකින්නේ නැත්නම් අපට අනාගතයක්‌ නැහැ.

බුදුන්වහන්සේ වැඩසිටි සමයේත් අපේ රටේ විවිධ ජාතීන් ජීවත් වුණා. එදා යක්‍ෂ, නාග, දේව වශයෙන් ගෝත්‍ර තුනක්‌ ඉඳලා තියෙනවා. ඒත් අද සිංහල නොවන අනෙක්‌ ජනවාර්ගික කොටස්‌ විවිධ පක්‍ෂ සඳහා විවිධ දේශපාලකයන් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට ක්‍රියා කරන අසාධාරණ කපටි ක්‍රියා අප අනුමත කරන්නේ නැහැ.”

“එදා තිරුක්‌කෝවිල්හිදී අමු අමුවේ අපේ පොලිස්‌ නිලධාරීන් හයසීයක්‌ මරා දැම්මා. ඒ විරුවන් අප සිහිපත් කළ යුතුයි. එම විරුවන්ගේ ඥතීන් අපි එක්‌ කළ යුතුයි. එම විරුවන් සිහිපත් කිරීම සඳහා අපි තිරුක්‌කෝවිල්හි ස්‌මාරකයක්‌ හදනවා. ඒ සඳහා මහා සංඝරත්නය අපට උදව් කළ යුතු වෙනවා. පෙර රජ දවස මෙන් සිංහල ජාතිය සුරකිමින් බුද්ධ ධර්මය ඉදිරියට ගෙන යැමට වීර දුටුගැමුණු සංවිධානයේ උදාර මෙහෙවරට ඔබටත් එක්‌විය හැකියි.”

පූජ්‍ය කුඩා කත්නෝරුවේ සිද්ධාර්ථ හිමි” – ඔබතුමා ගෙන යන ජාතික වැඩපිළිවෙළට ජාතික වශයෙන් මමත් මහා සංඝරත්නයත් එක්‌වෙනවා. විජිතපුර, බැලුම්ගල සිද්ධියේදී ඔබතුමා ඉදිරිපත් වීම ගැන මල්වතු අනුනාහිමියෝ ප්‍රශංසා කළා. බුද්ධාගමත් සිංහලකමත් ආරක්‍ෂා කර ගැනීමට වීර දුටු ගැමුණු සංවිධානය ක්‍රියා කිරීම අගය කළ යුතුයි.”

කැකිරාව – සුදත් ඒකනායක



207 Viewers