බොදු උරුමය වැනසීම

(Courtesy of Divaina)

පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති ත‍්‍රිකුණාමලයේ කන්නියා උණුවතුර ළිං පරිශ‍්‍රයේ පිහිටි ඉපැරණි බෞද්ධ දාගැබ සංරක්‍ෂණය සඳහා ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට විරෝධය පා, දෙමළ ජාතික සංධාන මන්ත‍්‍රීවරු හා ඔවුන්ගේ ආධාරකරුවන් මහත් කලබැගෑනියක් ඇතිකර තිබේ. ඒ මෙම භූමිය හින්¥න්ට අයිති බව හා එහි පැවතියේ හින්දු කෝවිලක් බවට ප‍්‍රකාශ කරමිනි.

සැබෑය! බෞද්ධයන් මෙම ස්ථානයෙන් නික්ම ගිය පසුගිය අරාජික, යුද සමයේදී මෙහි තාවකාලික මඩුවක අනවසර කෝවිලක් ඉදිකර තිබී ඇත. එපමණක් නොව තිස් වසරක යුද සමයේදී කන්නියා උණුවතුර ළිං බලන්නට එහි ගිය දහස් ගණනක දකුණේ ජනතාවගෙන් ටිකට්පත් (කප්පම්) වලින් මුදල් ගරාගත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානය බව ද නොදන්නා කෙනෙකු නැත.

එනමුත් කඩාවැටී තිබුණු තාවකාලික කෝවිල් ගොඩනැඟිල්ලේ පස් ඉවත් කරන විට ඒ යටින් සඳකඩ පහනක් හා චෛත්‍යයක පාදමක් ඇතුළු බෞද්ධ විහාරයක නටබුන් මතුවීම බෞද්ධයන් විසින් ගෙතූ කුමන්ත‍්‍රණයක් හෝ බොරුවක් නොව, මේ මහපොළොවේම ඉතා හොඳින් සනිටුහන් වූ සත්‍යයකි. එහි පවතින සෙල්ලිපි ඇතුළු ඉපැරණි බෞද්ධ මූලාශ‍්‍ර අනුව මෙම ස්ථානය ක‍්‍රි. ව. 143 – 167 කාලයේදී භාතික තිස්ස රජු විසින් කරවන ලද විහාරස්ථානයක් තිබී ඇති බවට තහවුරු වී ඇත. මීට නුදුරු විල්ගම් රජමහා වෙහෙරට සමගාමීව මෙම විහාරය ද එකලම ස්ථාපනය කර තිබී ඇති බැවින් පවතින පුරාවිද්‍යා සාධක අනුව 2011/11/09 දින 1723 දරණ ගැසට් නිවේදනය මගින් රජය විසින් පුරාවිද්‍යා ස්මාරකයක් බවට ප‍්‍රකාශයට පත් කර ඇත.

1940 අංක 09 දරණ පුරාවිද්‍යා ආඥා පනත ප‍්‍රකාරව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් මෙම ස්ථානය සංරක්‍ෂණයට කටයුතු යොදා ඇත්තේ ඒ අයුරිනි.

එනමුත්, දෙමළ ජාතික සන්ධානය ඇතුළු දමිළ විරෝධතාකරුවන් මීට විරෝධතා දක්වමින් සංරක්‍ෂණ කටයුතු සඳහා බාධා සිදුකරන්නේ කුමන පදනමකින් ද? මීට පෙර පැවැති සාකච්ඡුාවලදී ගත් එකඟතා ද පසෙලකාය.

රජයේ පාර්ශ්වයෙන් ගත්කල හින්දුන්ට වැඳුම් පිදුම් කරන්නට මෙහි පසෙක කෝවිලක් ද තනා ගන්නට අවසර ලබා දී තිබියදීත්, මෙසේ බෞද්ධ විරෝධයකින් කටයුතු කිරීම අනුමත කළ නොහැක්කකි.

අද මුලතිව්-නයාරු ගුරුකන්දේ ද සිදුවන්නේ මෙයමය. බෞද්ධ උරුමයන් වනසා දමමින් ඒ මතද හින්දු කෝවිලක් තනා ඇත. බෞද්ධ නටබුන් මත හින්දු කෝවිල්, ඉස්ලාම් පල්ලි තැනීම දැඩි ප‍්‍රවණතාවක් වී තිබේ. කූරගල ඊට නිදසුනකි. එසේ හෙයින් මේ තත්ත්වය නොසලකා සිටිය හැක්කේ නොවේ.

ගුරුකන්දේ පැහැදිලිවම බෞද්ධ උරුමය දකින්නට තිබෙද්දී ඒ මත කෝවිලක් තනා මේ වන විට එම විහාරයේ කඨින පිංකම පැවැත්වීම සඳහා ද බාධා පමුණුවා ඇත. බෞද්ධයන්ගේ රටේ බෞද්ධයන්ට ඇති උරුමය පාගා දමමින් ජාතිවාදී, ආගම්වාදී කෝලාහල ඇති කිරීමට මේ අනුව කටයුතු කරන්නේ බෞද්ධයන් ද යන්න විමසා බැලිය යුතුය. මානව හිමිකම්කාරයන්ට මේවා පෙනෙන්නේ නැත.

සිංහලයන්ගේ අයිතියට තිබූ පානම ඔකඳ දේවාලයේ අයිතිය ද මේ වන විට සම්පූර්ණයෙන්ම

අන්‍යාගමිකයන් විසින් ඩැහැගෙන ඇතැයි දැන ගන්නට ඇත. ‘මුතුබණ්ඩා’ පරම්පරාවට අයිතිව තිබූ ඔකඳ දේවාලයේ අයිතිය සූක්‍ෂ්මව හින්දුන් විසින් ලබාගෙන ඇත්තේ ‘‘නොසිතූ පරිදි’’ මුතුබණ්ඩාත්, ඔහුගේ සොහොයුරාත්, පුතුන් දෙදෙනාත් මිය යෑමෙන් පසුවය. දැන් නැගෙනහිර පූජකයන්ට හිමිකම් ඇති ඔකඳ දේවාලයේ සුවිශාල විශ‍්‍රාමශාලා කුමන ජාතික උද්‍යානයේ සීමාව ද පසුකර උද්‍යානය තුළට කඩාවැදී ඇත. උද්‍යානය තුළ කුඹුක්කන්ඔය අසබඩ පිහිටි දෙවියන්ට වැඳුම් පිදුම් කළ ස්ථානය ද කුඩා කැබිලිත්ත නමින් ගොඩනඟන්නේ නීති විරෝධීවය. කුමන උද්‍යානය මෙන්ම විල්පත්තුව ජාතික උද්‍යානය තුළ ද ජනාවාසකරණය යහමින් සිදුවෙමින් පවතින බව අප වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරන්නෙමු.

හින්දුන් විසින් හා ඉස්ලාම්වරුන් විසින් ඉතා දරුණු ලෙස රක්‍ෂිත වනාන්තර ඉඩම් සහ බෞද්ධයන්ගේ උරුමයන් වනසා දැමීමත්, ආක‍්‍රමණය කිරීමත් දැඩි තර්ජනයකි. නොසලකා සිටිය හැක්කක් නොවේ. මේවා කතා කිරීම මගින් ‘දිවයින’ට ජාතිවාදී ලේබලය අලවන්නට ද ඇතැමුන් ක‍්‍රියා කරනු ඇත.

එහෙත්, සමානාත්මතාව අප ඉතා ඉහළින් පිළිගන්නා නමුත්, ආක‍්‍රමණය සහ බොදු උරුමය වැනසීමට එරෙහිව අප දැඩිව හඬ නගන බව ද එවන් ප‍්‍රතිගාමීන්ට කියා සිටින්නට අප කැමැතිය.

නයාරු ගුරුකන්ද, කූරගල සහ කන්නියා යනු ඉතා හොඳින් තහවුරු කළ බෞද්ධ පුරාවිද්‍යා ස්මාරක බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ. දෙමළ සන්ධානය ද වෙනත් සංහිඳියා ඇමැතිවරු ද වෙනත් ආගමික නායකයන් ද එවන් අනාවරණයන්ට ගරු කළ යුතුය. මන්ද අප මෙවන් අනන්‍යතා සන්සන්ධනය කළ යුතුව ඇත්තේ අප ගිලගන්නට එන ජාත්‍යන්තරය සමඟ මිස හින්දු, ඉස්ලාම්, බෞද්ධ යන පදනමෙන් නොවන නිසාය.

ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, ජපානය යනාදී මෙකී නොකී බලවතුන් ශ‍්‍රී ලංකාවට අමුතු ආදරයක් පෙන්වමින් මෙරටේ භූ සම්පත් කොල්ලකන්නට උත්සාහ දරන මෙවන් වකවානුවක අපට වැදගත් වන්නේ බෞද්ධ, හින්දු, ඉස්ලාම් වශයෙන් භේද භින්න වී ගහ මරා ගැනීම නොව, රටේ සැබෑ උරුමය මේ යැයි ජාත්‍යන්තරයට පෙන්වා දී දේශය බේරා ගැනීමටය.

එවන් විටෙක කන්නියා හෝ ගුරුකන්ද හෝ කූරගල හෝ මෙරටේ සැබෑ බොදු උරුමයක් වේ නම් ඒවාට ගරුකර ඒවා තහවුරු කරන්නට රජයට ඉඩදීම අන්‍යයන්ගේ ද යුතුකමය.

එසේ හෙයින් කන්නියාවට තැබූ පියවර යළිත් ආපස්සට නොගත යුතුය



110 Viewers