• Home »
  • Sinhala »
  • බෝම්බ ලොරියේ ටයර් කෑල්ලකින් දළදා මාලිගයට ගැසූ කොටි කොටුකරගත් හැටි

බෝම්බ ලොරියේ ටයර් කෑල්ලකින් දළදා මාලිගයට ගැසූ කොටි කොටුකරගත් හැටි

ශ්‍රී දළදා මාලිගයේ වාහල්කඩ දොරටුවේ රාජකාරියේ නිරතව සිටියේ කාන්තා පොලිස් කොස්තාපල් ගීතානි සහ පොලිස් කොස්තාපල් බණ්ඩාර යන දෙදෙනාය.
දිනය 1998 ජනවාරි මාසයේ 25 වැනි ද‌ාය
වේලාව අලුයම 5.45ට පමණ ආසන්න වෙමින් තිබිණි.
විෂ්ණු දේවාලය දෙසින් විදුලි පහන් දල්වාගත් ෙලාරියක් එනවා මුලින්ම දැක්කේ කොස්තාපල් ගීතානි ජයවර්ධනය.

ශ්‍රී ලංකාවේ 50 වැනි නිදහස් දිනය මහ ඉහළින් ගරු ගාම්භීරව ප්‍රධාන රාජ්‍යය උත්සවය පැවැත්වීමට සියල්ල ලක ලෑස්ති වෙමින් තිබුණේ මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමිනි. නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වීමට නියමිතව සිටියේ බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමාරයාය.

දළදා මාලිගයේ යම් යම් අලුත්වැඩියා කටයුතු සිදු වෙමින් පැවති නිසා එම අලුත් වැඩියා කටයුත්තකට අවශ්‍ය බඩු මුට්ටු රැගෙන එන ලොරියක් විය හැකි බවට මුලින්ම සැක කළත් ලොරිය එන වේගය ඔවුන් දෙදෙනාට එතරම් ඇල්ලුවේ නැත.

තරමක වේගයෙන් ආ ලොරිය වාහල්කඩ ළඟටම එද්දී පඩිපෙළේ හැප්පුණු නිසා කොස්තාපල් බණ්ඩාර ගියේ සිද්ධවුණේ මොකක්ද කියා විපරම් කර බැලීමටය. කොස්තාපල් බණ්ඩාර ගිය පයින් ආපසු හැරී දුවගෙන ආවේ ලොරි රථයේ සිටි අයෙක් ගිනි අවියක් අතට ගෙන එය කොස්තාපල්වරයා දෙසට මෑනීමට සූද‌ානම් වීම නිසාය. කොස්තාපල් බණ්ඩාර අත ගිනි අවියක් නොවීය.

කොස්තාපල් බණ්ඩාර දිව එනු දුටු කොස්තාපල් ගීතානි යම් අනතුරක සේයාවක් දුටු නිසා ක්ෂණිකව ක්‍රියාත්මක වී යකඩ ගේට්ටුව වසා දම‌ා ඇත.

කාන්තා කොස්තාපල් ගීතානි ගේට්ටුව වසනවාත් එක්කම ලොරිය පස්සට ගෙන වේගයෙන් පඩිපේළියේ හැප්පෙනවාත් සමගම මහ පිපිරීම් හඬක් ඇසුණේ මහනුවර නගරයම දෙදරුම් කමිනි.

අධි බලැති බෝම්බයක් සහිත ලොරියක් පදවාගෙන පැමිණ මෙම පිපිරුම සිදුකරනු ලැබුවේ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසිනි.
බෝම්බය පුපුරායාමෙන් 18 දෙනකු මියගිය අතර ඒ අතර ප්‍රහාරයට පැමිණි කොටි ත්‍රස්තයෝ 04 දෙනකු ද වූහ.බෝම්බ ප්‍රහාරයෙන් 21 දෙනකු තුවාල ලබා තිබිණි.තුවාල ලැබූවන් අතර දිල්හානි (1277), ගීතානි ජයවර්ධන (1176), චාන්දනී (440), ස්වර්ණලතා (1600) යන කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සහ බණ්ඩාර (9167) දිසානායක (6894) සහ බණ්ඩාර (6971) යන කොස්තාපල්වරුද සිටියහ.

බෝම්බය පුපුරායාමෙන් කඩා වැටුණු වහලයක සුන් බුන් අතර සිරවී සිටියදී කාන්තා කොස්තාපල් ගීතානි පසුව සොයා ගත් අතර ඇයගේ ජීවිතයට හානි සිදුවී නොතිබුණත් තරමක් තුවාල සිදු වී තිබිණි.

ප්‍රහාරයට පැමිණි මිය ගිය කොටි ත්‍රස්තවාදින් ගේ කැබලි වී ගිය සිරුරු 04ක පමණ කොටස්ද ඔවුන් පැළඳ සිටියදී ඉවත්කර තිබූ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටල 03ක්, ටී. 56 අවි, මිලිමීටර් 40 රොකට් ලොන්චර් 01, ටී. 56 උණ්ඩ 300ක පමණ තොගයක්, ටී. 56 මැගසින්, අධි බැලති ගමන් කථන 02ක්, ආර්.ඩී.එක්ස් වර්ගයේ අධි බලති පුපුරන ද්‍රව්‍ය, අත් බෝම්බ, මෝටාර් හා ආර්.පී.ජි. උණ්ඩ තොගයක්ද යුද හමුද‌ා බෝම්බ නිෂ්ක්‍රීය අංශ යේ සැරයන් ප්‍රසන්න ප්‍රියරංජන මහතා ප්‍රධාන හමුද‌ා භට කණ්ඩායමක් විසින් දළද‌ා මාලිගා භූමියේ තැනිත් තැන වැටී තිබියදී සොයාගෙන ඇත.

මෙහෙයවුම ඇ‌රඹෙන්නෙ මෙතැන් සිටය…,
රහස් පොලිස් කණ්ඩායම එහි යන විටත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ එවකට ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්‍ෂක මෙන්ම පුපුරන ද්‍රව්‍ය විශේෂඥයකු වූ සරත් ගුණතිලක මහතාද එම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් සමග පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

දළදා මාලිගා ප්‍රහාරයේ මූලික විමර්ශන කටයුතු සිදුකළ ආකාරය ගැන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි සේනක කුමාරසිංහ මහතා පැහැදිලි කළේ මෙසේය.

බෝම්බය අටවාගෙන පැමිණි බවට සැලකෙන ලොරිය සුන්බුන් ගොඩක් බවට පත්වෙලා තිබුණා. පිපිරීමෙන් දළ‌ද‌ා මාලිගාවට සිදුවෙලා තිබුණ හානියත් අප දුටුවා. බෝම්බය පුපුරා යාම නිසා බිම හෑරී තිබෙන අන්දමත් අපට දැක ගැනීමට ලැබුණා. ගුණතිලක මහත්තයා කරපු සියුම් පරීක්‍ෂණ අවසානයේ එය කිලෝ 200ක් විතර බර බෝම්බයක් බවට තහවුරු කර ගත්තා. බෝම්බය අටවා තිබුණ ලොරිය ඉසුසු එල්ෆ් වර්ගයේ ලොරි රථයක් බවටත් ගුණතිලක මහත්තයා කළ පරීක්‍ෂණ අවසානයේ නිගමනය කළා. ගුණතිලක මහත්තයා පරීක්‍ෂණ පවත්වා හෙළිදරව් කරගත් කරුණු කාරණා හා හෝඩුවාවන් අපේ ඉදිරි පරීක්‍ෂණවලට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන බව තේරුම් ගියා.

බෝම්බය අටවාගෙන ලොරි රථයේ පැමිණි කොටි ත්‍රස්තවාදීන් ගැන මොනයම් හෝ හෝඩුවාවක් අපට ලැබුණේ නැහැ. ලොරි රථයේ චැසි අංකය හෝ එන්ජින් අංකය සොයා ගැනිමට ලැබුණත් ඒ ඔස්සේ ලොරි රථයේ හිමිකරු සොයා ඔහු අල්ලාගෙන දළ‌‌ද‌ා මාලිගා බෝ්ම්බ ප්‍රහාරයේ සුල මුල අනාවරණය කර ගැනීමට හැකි වෙතැයි සිතා එම අංක සොයා ගැනීමට පරීක්‍ෂණ කණ්ඩායම් නොගත් උත්සාහයක් නැහැ. ඒත් බෝම්බය පුපුරා යද්දී චැසිය හා එන්ජිමද සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබුණා. ඒ නිසා වෙනත් වෙන යම් හෝ හෝඩුවාවක් සොයා ගැනීමට අප කල්පනා කළා

විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා රහස් පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කරමින් සිටි වකවානුවේ ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය සුවිශේෂි අපරාධ පරීක්‍ෂණ සම්බන්ධව වසරක පුහුණු පාඨමාලාවක් හද‌ාරා පැමිණ තිබිණි.

අපරාධයක හෝඩුවාවක් සොයා ගැනිමේ විශේෂ පුහුණුවක් සම්බන්ධයෙන් සේනක කුමාරසිංහ මහතාගේ මතකයට ආවේ නිතැතිනි.
මම ඇමරිකාවේ එෆ්.බී.අයි එකේ විශේෂ පුහුණුවකට ගියා. මාත් එක්ක මේ පුහුණුවට ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට මහත්තයා ද ගියා. ඔස්ට්‍රේලියාවේ ගුවානි කියන දූපතේ තමා මේ පුහුණු පාඨමාලාව පැවැත්තුවේ. මේ කියන දූපතේ අැමරිකාවේ බේස් එකක් තිබුණා. ඇමරිකාවේ සිදුවූ ෆෑන් අදම් ගුවන් යානා බෝම්බ පිපිරවීමේදී ඔවුන් පිපිරීමට සම්බන්ධ හෝඩුවාවක් සොයාගැනීමට ඇඟිලි තුඩු පරීක්‍ෂාව (finger Tip Search) නැමැති පරීක්‍ෂණ ක්‍රමවේදය අනුගමනය කර තිබුණා. මේ පුහුණු පාඨමාලාවේදී අපටත් ඒ ක්‍රමවේදය ගැන මනා පුහුණුවක් ලබාදුන්නා. එම ක්‍රමවේදය අනුගමනය කරමින් ඔවුන් ෆෑන් අදම් ගුවන් යානා බෝම්බ සිද්ධියට අද‌ාළ බැටරියක කැබැල්ලක් සොයාගෙන ඒ ඔස්සේ පරීක්‍ෂණ සිදු කර සැකකරුවන් අල්ලාගෙන තිබුණා.

ඇඟිලි තුඩු පරීක්‍ෂණ ක්‍රමවේදය ගැන මම මේ ගැන පරීක්‍ෂණ පැවැත්වීමට පැමිණ සිටි සියලුම පොලිස් නිලධාරින් දැනුම්වත් කළා. ඒ ක්‍රමවේදය ගැන කරන්නේ කොහොම ද කියා ඔවුන් දැනුම්වත් කළාට පස්සේ මම පොලිස් නිලධාරින් කුඩා කණ්ඩායම්වලට වෙන්කළා. ඊට පස්සේ මුළු මාළිගා භූමියම කොටස්වලට බෙද‌ා ඒ කුඩා කණ්ඩායම් එක එක කොටස් වෙනුවෙන් පත් කර දී ඔවුන්ගේ ඇඟිලි තුඩුවලින් අඟලක් නෑර සර්ච් කරන්න කියා උපදෙස් ලබාදුන්නා

මෙම සෝදිසි කිරීම හා පරීක්‍ෂණ සඳහා එවකට රහස් පොලිසියේ බුද්ධි අංශයේ ස්ථානාධිපති තනතුර දැරූ දැනට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස රාජකාරී කරන ජගත් ෆොන්සේකා මහතාද සහභාගි වී තිබේ.

ඉතිං මේ විදිහට පොලිස් කණ්ඩායම් ඇඟිලි තුඩුවලින් මාලිගා භූමිය අගලක් නෑර සර්ච් කරන්න පටන් ගත්තා. නමුත් පළමුවැනි දිනයේ කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවුණා. ඒත් අපි අපගේ උත්සාහය කිසිසේත් අතහැරියේ නැහැ. පසු දිනයේදී අවට ප්‍රදේශ සෝදිසි කිරීමට පියවරගත්තා. පිපිරවීම සිදු වූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරකින් පිහිටි නාථ දේවාලය තියන වතුර ඇළකට බැස ඇළද සෝදිසි කිරීමට පටන් ගත්තා යැයි කුමාරසිංහ මහතා කීය.

සර්, සර් ඇළේ තිබිලා ටයර් කෑල්ලක් සොයා ගත්තා බෝම්බ ලොරියේ ටයර් කෑල්ලක්ද දන්නේ නැහැ කියා එම ටයර් කැබැල්ල සොයාගත් රහස් පොලිසියේ සැරයන් බැසිල් මහතා කෑගසා පවසා ඇත.

මෙය දළ‌‌ද‌ා මාලිගයේ බෝම්බ පිපිරවීමේ සිද්ධියේ සුල මුල හෙළි කර ගැනිමට සමහර විට කදිම හෝඩුවාවක් විය හැකි බවට සේනක කුමාරසිංහ මහතා අනුමත කළේය.

ඒ අනුමානය යථාර්ථයක් බවට පත් වූ ආකාරය මේ කතාව දිගටම කියවාගෙන යද්දී ඔබට වැටහෙනවා නිසැකය. රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි විශේෂඥයා වූ ගුණතිලක මහතා කරන ලද විද්‍යාත්මක පර් යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් එම ටයරය ඉසුසු ලොරි රථයක අමතර රෝදයක් බව නිගමනය විය.

සේනක කුමාරසිංහ මහතා තව දුරටත් කරුණු කාරණා හෙළිකරමින් මෙසේද කීය.

පොලිස් සැරයන් බැසිල් සොයාගත් ඒ ටයර් කැබැල්ල සියුම් ලෙස පරීක්ෂා කර බලද්දී එහි 750-15 එල්ෆ් යනුවෙන් සඳහන්ව තිබුණි. තවදුරටත් ඒ රෝද කැබැල්ල පරීක්‍ෂා කර බැලීමේදී එය නැවත පිරවූ ටයරයක් බව විමර්ශනවල දී පැහැදිලිව පෙනී ගියා. ඊට පස්සේ අපේ කණ්ඩායම් ටයර් නැවත පුරවා අලෙවිකරන කඩ සොයා යන්නට පටන් ගත්තා. මෙය ඉතා දුෂ්කර කටයුත්තක් වූවත් අප කෙසේ හෝ ඒ අභියෝගය ජය ගැනීමට අධිෂ්ඨාන කර ගත්තා.

අපේ පොලිස් කණ්ඩායම සොයාගත් ටයරය නැවත පුරවා ඇත්තේ එක්තරා මෝටර් රථ සමාගමකින් බව අපට හෙළිකර ගන්න හැකිවුණා. ඒ මෝටර් රථ සමාගම මගින් ටයර් නැවත පිරවීමේදී ඒ ටයරයේ සංකේත අංකයක් සටහන් කරන බවත් අපට දැන ගැනීමට ලැබුණා. අපි ඒ ටයරයේ සංකේත අංකයද අප සොයාගත්තා. ඒ අංකය වුණේ එන්.බී. 5672750.505-6 ආර්.වයි 372 යයි.

ඔය කියන අංකය යටතේ අපි ඒ ටයර් එක සවිකර තිබූ වාහනයේ අයිතිකරු සොයා ගැනීමේ දුෂ්කර කර්තව්‍යයට අත ගැසුවා. අප කළ පරීක්‍ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් අද‌ාළ මෝටර් රථ සමාගමෙන් සැරයන් බැසිල් සොයාගත් ටයරය නැවත පුරවා ගත්තේ කවුද කියන එක හෙළිකරගන්න ලැබුණා. අපි ඒ බව හෙළිකර ගත්තේ මෝටර් රථ සමාගමේ ඇති නැවත පුරවන ලද ටයර් සම්බන්ධයෙන් වූ සටහන් පොත් අප පරීක්‍ෂා කර බැලීමෙන් ඒ ටයරය නැවත පිරවීමට ලබාදී තිබුණේ නිකවැරටිය ප්‍රදේශයේ පිහිටා තිබුණ ඉසුරු කියන ටයර් සෙන්ටර් එකෙන් බව ඒ පොත් පරීක්‍ෂා කර බලද්දී ආනාවරණය කර ගත්තා

තවදුරටත් මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණවලදී 43-1396 දරන ඉසුසු එල්ෆ් වර්ගයේ නිල් පැහැති ලොරි රථය 1997 වසරේ දෙසැම්බර් මාසයේදී සුමිත් යන අයෙක් එළවළු වෙළද‌ාම් කළ පුද්ගලයකුගෙන් මිලදී ගෙන ඇත්තේ සුබ්‍රමනියම් රවින්ද්‍රන් නමැත්තෙක් බව අප හෙළිකරගත්තා. ලොරි රථය රත්නසිරි හා ආරියරත්න නමැති අයගේ මාර්ගයෙන් මෙම ලොරිය රවින්ද්‍රන්ට විකුණා තිබෙනවා. මෙම ලොරි රථය මඩකළපුවේ සිට මහනුවරට දුම්කොළ ප්‍රවාහන කිරීමට කාලයක් තිස්සේ යොද‌ා ගෙන ති ෙබ න බවත් අප හෙළි කර ගත්තා. ඒ විතරක් නොවේ මේ ලොරි රථය බෝම්බය පුපුරා යාමට කලින් කාලයක් තිස්සේ මහනුවර අවට ප්‍රදේශ ගණනක සැරිසරා තිබෙන බව පොලිස් මාර්ග බාධකවල පොලිස් සටහන් වාර්තා පරීක්‍ෂා කර බැලීමේදී අනාවරණය විය. ඒ විතරක් නොවේ, මෙම ලොරි රථය 1998 ජනවාරි මාසයේ 12 වැනිද‌ා සිට වරින් වර මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ ගාල්කර තිබෙනවා. හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ කළමනාකාරවරයාව සිටි කරුපයියාගෙන් ප්‍රශ්න කිරීමේදී ජනවාරි 12 වැනිද‌ා මෙම ලොරි රථය සමඟ රවීන්ද්‍රන්, ධර්මලිංගම් හා රාමචන්ද්‍රන් මෙම මධ්‍යස්ථානයේ ලැඟුම් ගෙන සිටි බවට අප හෙළිකරගත්තා. මෙම ලොරි රථය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ සිට දළ‌‌ද‌ා මාලිගයේ බෝම්බය පුපුරාගිය දවසේ එනම් 25 වැනි ද‌ා පාන්දර යාමයේ පිටව ගොස් ඇතිබව එම මධ්‍යස්ථානයේ ඇති ලේඛනවල සටහන් කර ගෙන තිබුණා.

ඊටපස්සේ අපි මහනුවරට පහසුවෙන් ළඟාවිය හැකි මාර්ගවල පිහිටා තිබුණ මාර්ග බාධකවල ඇති පොත්පත් පරීක්‍ෂා කළා. මෙම ලොරි රථය මෙම මාර්ග බාධක හරහා නිතර එහා මෙහා ගොස් තිබෙනවා. රථය නිතර පරීක්ෂා කිරීම් වලට මාර්ග බාධකවලදී සිදුවී ඇතත් කිසිම සැක කටයුතු දෙයක් හමු වී නැහැ. ලොරි රථයේ ගමන් කළ පුද්ගලයන් මාර්ග බාධකවල රාජකාරීයේ නිරතව සිටී ආරක්‍ෂක නිලධාරීන් එක්ක බොහොම සුහදශීලීව කතා බහ කර තිබෙන බවත් අප දැන ගත්තා. මේ නිසා මාර්ග බාධක වල රාජකාරී කළ අාරක්ෂක භටයින්ට ඔවුන් කෙරෙහි කිසිම සැකයක් ඇති වෙලා නැහැ. ධර්මලිංගම් නමැත්තා ද මේ ලොරියේ නිතර ගමන් කර තිබෙනවා.ඔහුට ඉතා හොඳට සිංහල භාෂාව කතා කරන්න හැකියාව තිබුණු තරබාරු කෙනෙක්. ධර්මලිංගම්ව මේ වැඩේට හවුල්කර ගෙන ඇත්තේ වෙන කිසිම දෙයක් නිසා නොවේ. සිංහල කතා කරන්න පුළුවන්කම තිබුණ නිසයි. තරබාරු කෙනෙක් එල්.ටී.ටී.ඊයේ සාමාජිකයකු විදිහට බඳවා ගනියි කියා ආරක්‍ෂක අංශ කිසිසේත් සැක කරන්නේ නැහැ. ඒ තරමට ඔහු තරබාරුයි ඒ තරබාරුකමත් එල්.ටී.ටී.ඊය වාසියට හරවා ගෙන තිබෙනවා යැයි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා පවසයි.

මෙම පරීක්‍ෂණ සිදු කෙරෙන අතරවාරයේ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා රහස් පොලිසියේ බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක (වර්තමාන සහකාර පොලිස් අධිකාරී) ජගත් ෆොන්සේකා මහතා විසින් උප පොලිස් පරීක්‍ෂක යූ.ඊ.සී. රුද්‍රිගු මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් යොද‌වා ඇත.

උප පොලිස් පරීක්‍ෂක රුද්‍රිගු මහතා ඇතුළු එම පොලිස් කණ්ඩායම මැණික්හින්න ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් දළ‌‌ද‌ා මාලිගාවට ප්‍රහාර එල්ල කිරීමට හවුල් වූවන් පිළිබඳව තොරතුරු සෙවීමේ නිරතව සිට තිබේ.

රහස් පොලිස් කණ්ඩායම ශ්‍රී දළ‌‌ද‌ා මාළිගාවට බෝම්බ ලොරියක් පදවාගෙන පැමිණ එය පුපුරුවා හැරීම සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ උඩපේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණසාමි රාමචන්ද්‍රන් නමැති ලොරි රථ රියැදුරාය.

අධි බලැති බෝම්බය ඇට වූ ලොරිය පදවාගෙන ගොස් එය මරාගෙන මැරෙන කොටි කල්ලියට බාර දී ඇත්තේ මොහුය. ඒ බව හෙළි වූයේ සේනක කුමරසිංහ මහතා ප්‍රධාන රහස් පොලිස් කණ්ඩායම සිදුකළ විමර්ශනවලදීය.

රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක එම්.ඒ.එම්. නවාස් මහතා (පසුව ඔහු සහකාර පොලිස් අධිකාරි නිලයට උසස්වීම් ලැබීය) ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මඩකළපුව බලා යන්නේ ලොරියට බෝම්බ ඇට වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් අල්ලාගැනීම සඳහාය.
ලොරියට බෝම්බ ඇට වූ ත්‍රස්තවාදීන් ගැන තොරතුරු රහස් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ වැමෑරුවේ වෙන කවුරුත් නොව ක්‍රිෂ්ණසාමි රාමචන්ද්‍රන්ය.

රාමචන්ද්‍රන් රහස් පොලිසියට ප්‍රකාශ කර තිබූ ආකාරයට ලොරියට බෝම්බය අටවා ඇත්තේ මඩකළපුව පෝර්තිව් ප්‍රදේශයේදීය.
ඒ වකවානුවේ ජෝර්තිව් ප්‍රදේශය තනිකරම පාලනය කෙරුණේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසිනි.

දළ‌‌ද‌ා මාලිගා ප්‍රහාරයට ආ ලොරි රථයේ බෝම්බය අටවා තිබුණේ සින්නදොරේ සත්‍යානන්ද රසා හෙවත් නිත්‍යනන්දන් නමැති එල්.ටී.ටී.ඊ බෝම්බ විශේෂඥයාය. එල්.ටී.ටී.ඊ ය ඔහු හදුන්වනු ලැබ ඇත්තේ අන්නා කියන අන්වර්ථ නාමයෙනි.

සත්‍යානන්දරාසා පෝර්තිව් කොටි අඩවියේ පදිංචි නිවස පිහිටි ස්ථානය හා එම නිවසට යන පාර ගැන පවා රහස් පොලිසියට පවසා තිබුණේ ක්‍රිෂ්ණසාමි රාමචන්ද්‍රන් නමැති සැකකරුය.

පොලිස් පරීක්‍ෂක නවාස් මහතා ප්‍රධාන රහස් පොලිස් කණ්ඩායම පොලිස් විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමක්ද සමඟ පොර්තිව් කොටි බළකොටුවට හොර රහසේ රිංගා ගත්තේ සතියක පමණ කාලයක් තිස්සේ කරන ලද සොයා බැලීම්වලින් පසුවය.

රහස් පොලීසියට ආරක්‍ෂාව සපයමින් කොටි බෝම්බ විශේෂඥ සත්‍යානන්ද රාසා හෙවත් නිත්‍යානන්දන් නමැත්තා අල්ලා ගැනීමට පෝර්තිව් කොටි අඩවියට දිවි පරදුවට තබාගිය ගමනට නායකත්වය දුන්නේ එවකට ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලයේ සිටි මේ වන විට සහකාර පොලිස් අධිකාරි නිලයේ සිටින දැනටත් විශේෂ කාර්ය බළකායේ රාජකාරියේ නිරතව සිටින දක්‍ෂ නිලධාරියකු වන ටී.එස්. හජ්ජි මහතාය.

රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක නවාස් හා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හජ්ජි යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායම් දෙක කොටි බෝම්බ විශේෂඥයාගේ නිවස වටලනු ලැබූවත් ඔහු නිවසේ නොසිටියේය. නිවසේ සිටියේ බිරිඳ හා දරුවන් පමණකි.

පොලිස් කණ්ඩායමට කොටි බෝම්බ විශේෂඥයා අල්ලා ගැනීමට නොහැකි වූවත් ඔහුට අයත් වැදගත් තොරතුරු රැසක් අඩංගුව තිබූ දින පොතක් පොලිසිය බාරයට ගත්තේය.

කොටි අඩවියේ වැඩි වේලාවක් රැඳී සිටීම ඉතාම අවද‌ානම් කරුණක් වූ නිසා පොලිස් කණ්ඩායම ඒ දින පොත පමණක් රැගෙන නිරුපද්‍රිතව යළි රජයේ පාලන ප්‍රදේශයට පැමිණීමට හැකි විය.

දළදා මාලිගයට බෝම්බය අටවාගෙන ගිය ලොරි රථයේ අංකය (43-1396) පමණක් නොව එයට බෝම්බය සවිකළ ආකාරය ඒ දිනයත් සඳහන් කර තිබුණේ දින වකවානුත් සමඟය.

දළදා මාළිගාවේ බෝම්බ ප්‍රහාරයට සෘජුවම හවුල් වූ සුබ්‍රමනියම් රවීන්ද්‍රන් හා මුත්තුසාමි පිල්ලේ ධර්මලිංගම් යන දෙදෙනා බෝම්බ ප්‍රහාරයෙන් පසු ත්‍රිකුණාමලය ප්‍රදේශයට පලා ගොස් සිටි බවට කරුණු අනාවරණය වූ නිසා ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමේ භාරධූර වගකීම රහස් පොලිස් බලධාරින් පවරන්නේද සේනක කුමාරසිංහ මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායම වෙතය.

ඒ වෙන කිසිවක් නිසා නොව කුමාරසිංහ මහතාට ඕනෑම වගකීමක් බාරදුන් පසු ඉදිරියේදී ඇති විය හැකි සෑම අභියෝගයක්ම කෙසෙ ්හෝ ජයගනිමින් ලබාදුන් වගකීම ඉලක්කය සපුරා ගන්නා නිලධාරියකු බව රහස් පොලිස් බලධාරින් හොඳ‌ාකාරවම දන්නා නිසාය.රවින්ද්‍රන් හා ධර්මලිංගම් ත්‍රිකුණාමලය රජයේ පාලන ප්‍ර දේශයේ සිට කොටි පාලනය යටතේ පවතින කට්ටපරිච්චාන් ප්‍රදේශයට ඒ වන විටත් පලා ගොස් ඇති බව කුමාරසිංහ මහතා ඇතුළු රහස් පොලිස් කණ්ඩායම දැන ගත්තේ ත්‍රිකුණාමලයට ගොස් කළ සොයා බැලීම්වලදීය.

කට්ටපරිච්චාන් කොටි බල ප්‍රදේශයට රහසිගතව ඇතුළු වී දළදා මාලිගයේ බෝම්බ සිද්ධියට සෘජුවම ද‌ායක වූ කොටි ප්‍රබලයකු අල්ලාගෙන ඒමේ වීර වික්‍රමාන්විත ක්‍රියාන්විතය ගැන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී කුමාරසිංහ මහතා සිය මතකය අවදිකළේ මේ අන්දමිනි.

සුබ්‍රමනියම් රවින්ද්‍රන් හා ධර්මලිංගම් කොටි අඩවියට පලා ගොස් ඇති බව අප තහවුරු කරගත්තා. මේ බව තහවුරු කර ගැනීමට හමුද‌ාවේ කෝප්‍රල්වරුන්ගෙන් ලොකු සහයක් අපට ලැබුණා. රවින්ද්‍රගේ බිරිඳ ත්‍රිකුණාමලය වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන කමලාදේවී හා ඇයගේ දරුවන්ද සමඟ ත්‍රිකුණාමලයෙන් කොටි අඩවියට පලා ගොස් තිබුණා. මේ බව දැනගත්තාට පසු ඒ බව රහස් පොලිසියේ බලධාරීන්ට පවසා බොහෝම අමාරුවෙන් අනුමැතිය ලබාගෙන යුදහමුදාවේ කපිතාන් නිලාම් ඇතුළු හමුද‌ාවේ භට කණ්ඩායමක් සමඟ කට්ටපරිච්චාන් කොටි බල ප්‍ර දේශයට රවීන්ද්‍රන් හා ධර්මලිංගම් සොයා ගෙන ගියා. කට්ටපරිච්චාන් වලට අපි යන්න කාලයකට පෙර හමුද‌ා කමන්ඩෝ බළකායේ සෙබළුන් 40ක් ගුවනේ සිට පැරෂුට්වල ආධාරයෙන් ගොඩ බැස මෙහෙයුමක් කිරීමට ගිය මොහොතේම කොටි වෙඩි තබා මරා දමා තිබුණා. කට්ටපරිච්චාන් කියන්නේ ඒ තරම් භයානක ප්‍රදේශයක්.

මගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්‍ෂක හැරී උඩුගම ඇතුළු රහස් පොලිස් කණ්ඩායම හා කපිතාන් නිලාම් ඇතුළු හමුද‌ා බුද්ධි අංශයේ කණ් ඩායම එක්ක කට්ටපරිච්චාන් කොටි බළ ප්‍රදේශයට රහසිගතව ඇතුළු වුණා. රවීන්ද්‍රන්ගේ නිවස වැටලූවත් ඔහු ඒ අවස්ථාවේ නිවෙසේ සිටියේ නැහැ. ඒ නිවසේ සිටි චන්ද්‍රාදේවි හා තවත් අයෙක්. ලබාගත් තොරතුරු මත තව දුරටත් කොටි අඩවියේ ගමන් කළා. එහෙම ගොස් තවත් නිවසක් වැටලුවා. ඒ ධර්මලිංගම් පදිංචි වෙලා හිටිය නිවසයි. පස්සා දොරෙන් පලායාමට උත්සාහ කළ අවස්ථාවේ අපි ධර්මලිංගම්ව අල්ලාගත්තා. රවින්ද්‍රන් තවත් කිලෝ‍ මීටර් පහක පමණ දුරකින් පිහිටි නිවසක ඉන්න බව ධර්මලිංගම් ප්‍රකාශ කළත් එච්චර දුරක් කොටි අඩවියේ ගමන් කිරීම දැඩි අවද‌ානම් සහිත බව පෙනී ගිය නිසා අපි ධර්මලිංගම්ව අත්අඩංගුවට ගෙන රජයේ පාලන ප්‍රදේශයට ආවා.

කොටි අඩවියට රිංගා ධර්මලිංගම් අල්ලාගෙන ඒමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට එවකට ත්‍රිකුණාමලයේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි වර්මාථනයේ මහනුවර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටින එඩ්මන් මහේන්ද්‍ර සහ එවකට රාජ්‍ය බුද්ධි අංශයේ පොලිස් අධිකාරි මහීල් ඩුල් යන මහත්වරුන්ගෙන්ද ලොකු සහායක් ලැබුණු බව විශේෂයෙන්ම සඳහන් කළ යුතු යැයි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා පවසයි.

පළමු විත්තිකරු ලෙස සුබ්‍රමනියම් රවීන්ද්‍රන් ද දෙවැනි විත්තිකරු ලෙස මුත්තුලිංගම් සිවරාජ් නොහොත් ඔසවර් ද තුන් වැනි විත්තිකරු ලෙස මුත්තුසාමිපිල්ලේ ධර්මලිංගම් සහ හතරවැනි විත්තිකරු ලෙස ක්‍රිෂ්ණසාමි රාමචන්ද්‍රන්ද නම් කර මහනුවර මහාධිකරණයේ නඩු පවරනු ලැබිණ.

මෙම නඩුව විභාග වූයේ පළමු වැනි විත්තිකාර සුබ්‍රමනියම් රවින්ද්‍රන් නමැත්තා නොමැතිවය.

මහනුවර ශ්‍රී දළදා මාලිගයට එල්ල වූ කොටි ප්‍රහාරය පිළිබඳ මෙම නඩුව විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ එවකට මහනුවර පළාත් බද මහාධිකරණයේ විනිසුරුවරයාව සිටි ඩී.එස්.සී. ලේකම්වසම් මහතා විසිනි.

පළමු වන චූදිතට වසර 680ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක්ද නියම කර දුටු තැන ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබූ අතර දෙවැනි චූදිතයා සියලු චෝදනා වලින් නිදොස්කර නිදහස් කරනු ලැබූ මහාධිකරණ විනිසුරු ලේකම්වසම් මහතා විසින් තුන්වැනි චූදිතයාට වසර 680ක් බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් නියම කර හතර වැනි චූදිතයාටද වසර 680ක සිර දඬුවමක් නියම කරනු ලැබීය.මිට අමතරව 1,2 සහ 3 වැනි චූදිතයන්ට මහාධිකරණ විනිසුරු ලේකම්වසම් මහතා විසින් මරණිය දණ්ඩනයද නියම කරනු ලැබ ඇත.
මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ 2003.10.15 වැනිද‌ාය.

මෙම නඩු තීන්දුවට එරෙහිව චූදිතයින් වන ධර්මලිංගම් සහ ක්‍රිෂ්ණසාමි රාමචන්ද්‍ර යන අය අභියාචනාධිකරණයට අභියාචනා ඉදිරිපත් කළ බවත් අභියාචනාධිකරණයද මෙම නඩුව විභාග කිරීමෙන් පසු එම තීන්දුව තහවුරු කළ බවත් විශ්‍ර්‍රාමික සහකාර පොලිස් අධිකාරී කුමාරසිංහ මහතා කීය.

සිරදඬුවම් ලබමින් සිටි ධර්මලිංගම් වැලිකඩ බන්ධනාගාර රෝහලේදී හෘදයා බාධයක් හේතුවෙන් 2005 වසරේ මැයි මස 24 වැනිද‌ාට යෙදුණු වෙසක් පුන් පොහෝ දිනයේ මියගිය බවද විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයා පවසයි. මිය යන විට ධර්මලිංගම් 57 හැවිරිදි වියේ පසුවිය.

දළදා මාලිගයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යොද‌ාගත් එම රථයේ අධි බලැති බෝම්බය ඇටවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි සත්‍යානන්දන් හෙවත් අන්නා නමැති කොටි බෝම්බ විශේෂඥයා 2007 වසරේදී අත්අඩංගුවට ගනු ලැබුවේ කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ එවකට රාජකාරි කළ පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

මෙම බෝම්බ ප්‍රහාරය මෙහෙය වූ බවට සැලකෙන මහ මොලකරු වන කුංදින් නමැත්තා පසුකාලයක ගුවන් හමුද‌ාවේ බෝම්බ ප්‍රහාරයකට අසු වී මිය ගොස් තිබුණ බවද කුමාරසිංහ මහතා පෙන්වා දෙයි.

දළදා මාලිගයේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ධර්මලිංගම් සොයා කොටි අඩවියට ගිය පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් පරීක්‍ෂක මොහොමඩ් බයිතුල්ලා මහතා 2000 වසරේ එල්.ටී.ටී.ඊ බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය අතර කොස්තාපල් එම් අසාර් මහතා මුතූර්හිදී කොටි ත්‍රස්තයන් විසින් පැහැරගෙන සාම්පූර් කොටි අඩවියට රැගෙන ගොස් 2000 වසරේදී ඝාතනය කර තිබුණේ දසවධ දීමෙනි.
සේනක කුමාරසිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමද පොලිස් පරීක්‍ෂක නවාස් ප්‍රධාන පොලිස් කණ්ඩායමද කොටි අඩවියට රිංගා කළ වීර වික්‍රමාන්විත ක්‍රියාව සද‌ා අනුස්මරණය කළ යුතුය.



83 Viewers