බෞද්ධ කොඩිය ගැලවීම

සාම්පූර් චෛත්‍යය ඩෝසර් කිරීමෙන් පසුව කුච්චවේලි ප්‍රදේශයේ බෞද්ධ කොඩියක්‌ ගැලවීම ගැන අසන්නට ලැබිණි. ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කය බෞද්ධයන්ට අකැපද? පෝය දිනයක බෞද්ධ කොඩිය එසවීම නුසුදුසුද. එක්‌ ජාතික පුවත්පතක සඳහන්ව තිබුණේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම කොඩිය ගැලවීමට අණදී ඇති බවයි. කොඩි ගැලවීමේ අයිතිය ඔහුට ලබාදී ඇත්තේ කවරකු විසින්ද? බෞද්ධ කොඩිය එසවීම මැතිවරණ නීති කැඩීමක්‌ද? කුච්චවේලි සිද්ධියට මැතිවරණ නීති කිසිම සම්බන්ධයක්‌ නැත. යුද්ධයෙන් පසු නැවත පදිංචි වූ පිරිස කුච්චවේලි ප්‍රදේශයේ ජීවත් වෙති. සියලු ජාතීන්ට ආගම්වලට සම්බන්ධ පිරිස මෙලෙස පදිංචි වී සිටිති. ඒ සියලු දෙනාටම ආගම ඇදහීමේ අයිතිය තහවුරු විය යුතුය. එසේම තම ආගමික සංකේත ප්‍රදර්ශනය කිරීමටද හැකියාව තිබිය යුතුයි. නීsතිය එසේ තිබියදී බෞද්ධ කොඩිය ගැලවීමට ප්‍රාදේශීය ලේකම්වරයාට අයිතියක්‌ නැත. සංහිඳීයාව වෙනුවෙන් බෞද්ධ කොඩිය ගලවා දැමීමට ඉඩ දිය යුතු නැත. කුච්චවේලි ප්‍රදේශයෙන් ආගමික සංහිඳියාවට බාධා වන සිද්ධියක්‌ මීට පෙර වාර්තා වී නැත. නමුත් කොඩි ගැලවීම හරහා සිදු වන්නේ ආගමික සංහිඳියාව විනාශ වීමය.

දකුණේ ප්‍රදේශයක මෙවැනි සිද්ධියක්‌ ඇති වූයේ නම් බොහෝ සංවිධාන හා පුද්ගලයෝ පාරට බැස උද්ඝෝෂණය කරන්නට දත කට මැදගෙන සිටිති. එහෙත් කුච්චවේලිහි සුළුතර බෞද්ධයන්ට මේ ප්‍රශ්නයට මුහුණ දීමට සිදුව ඇති නිසා බොහෝ දෙනා නිහඬය. නමුත් පසුගිය කාලය පුරාම නැගෙනහිර බෞද්ධ උරුමය ඩෝසර් කර දැමීමට නිරන්තරව උත්සාහ කෙරිණි. බෞද්ධ කොඩිය ගැලවීම ද ඒ කතාවේ තවත් පිටුවකි.

බහුතර ආගමිකයන්ට හිරිහැර කර හෝ ඒ ආගමික අයිතිය යටපත් කර මෙරට ආගමික සංහිඳියාව රැකීමට නොහැකිය. සංහිඳියාව ගැන කතා කරන ඇමැතිවරයකු කොළඹ නගරයේ සැරිසරන්නේ එස්‌.ටී.එµa. භටයන් පිරිවරාගෙනය. ඔහුගේ ආරක්‍ෂාවට ප්‍රශ්නයක්‌ වී ඇත්තේ ආගමික සමගිය අර්බුදයට ලක්‌වීම නිසා නොව දේශපාලන බල අරගලය නිසා ඇති වූ ප්‍රශ්නයකි.

නැගෙනහිර පළාතේ ද දේශපාලන මෙන්ම ආගමික බල අරගලයක්‌ තිබේ. ඒ ආගමික බලඅරගලයෙන් බෞද්ධ ජනතාවගේ ඇදහීම්වලට, ආගමික සංස්‌කෘතියට බාධා එල්ලවේනම් එය බලවත් අර්බුදයකි. බෞද්ධ ජනයා බහුතරයක්‌ වෙසෙන දකුණේදී සියලුම ආගම්වල මිනිසුන් සහජීවනයෙන් වෙසෙද්දී උතුරේ පමණක්‌ මෙවැනි අන්තවාදී ක්‍රියා සිදුවීම කිසිසේත්ම අනුමත කළ නොහැක. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව රටේ සියලුම ජනතාවගේ ආගමික නිදහස ආරක්‌ෂා කිරීමේ වගකීම පැවැරී ඇත්තේ ආණ්‌ඩුවටය. මෙම වගකීම ආරක්‍ෂා වන්නේ නීතිය අකුරටම ක්‍රීයාත්මක කිරීමෙන් පමණක්‌ බව ආණ්‌ඩුව මතක තබා ගත යුතුය.



285 Viewers